වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැළි කැකුළක් මැලවෙද්දි

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනි
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ.
යුගයෙන් යුගයක නොමියන දහනක
දිවියක පදනම මතු වෙද්දි
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දි
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බ්ංදු
ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බිංදු
ඈ ගෙන යද්දි නටබුන් අතරෙක
තවකෙක් ඈ වෙත හඳ රැන්දු
හද විල ඉපැදුණු කැකුලක් නොකලත
නටුවෙන් ගලවා දුරට යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුලක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හඳ
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටි බලා
ගී පද - වොලී නානායක්කාර
ගී නද - ආචාර්ය වික්ටර් රත්නායක
ගී හඬ - සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය - මාතර ආච්චි
1973 වසරේ ජනවාරි මස 11 දින ප්‍රදර්ශනය කෙරුණු ‘මාතර ආච්චි’ සිනමාපටය, සිංහල වංශකතාවේ 260 වන චිත්‍රපටයයි.
කුලුඳුල් නිරමාණ කරුවන් සිනමාලොවට දායාද කළ සුවිශේෂි චිත්‍රපටයක් ලෙසද හැදින්විය හැකිය. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් කුලුඳුල් සිනමා අධක්ෂණ හා නිෂ්පාදනයෙන් මෙය නිර්මාණ වූ අතර, ගී පද රචක වොලී නානයක්කාරගේ පළමු ගී පද රචනය මෙම ගීතයයි. එසේම සංගීතවේදි වික්ටර් රත්නායකගේ කුලුඳුල් චිත්‍රපට සංගීත අධක්ෂණය මෙය වන අතර ගායනා ශිල්පි, සුනිල් එදිරිසිංහයන්ගේ කුලුඳුල් සිනමා ගායනය ද මෙයයි.
දෙනවක හාමිනේ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, වොලී නානායක්කාර, නීටා ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රූබී ද මැල් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වුහ.
මෙම ගීතය අසන්න ලැබී මේ වන විට දශක 5කි. යුගයෙන් යුගය ගත වී ඇතත් අදටත් නූතන පරම්පරාව පවා ඉතාම ආසාවෙන් රසවිඳින, හදට දැනෙන, වියෝදුක එනම් විප්‍රලම්භ ශාංගාරය හොඳින් දනවන ගීතයක් ලෙසත් සුභාවිත ගීත සාහිත්‍යයේ ඉහළින්ම වැජඹෙන ගීතයක් ලෙසත් මෙම ගීතය හැඳින්විය හැකිය. මෙය චිත්‍රපටයේ කතා තේමාවට අදාළව රචනා වූ ගීතයක් වුවත්, අද වන විට මෙය චිත්‍රපටයෙන් වියුක්තව සුභාවිත විරහ ගීතයක් ලෙස රසික හදවත් තුළ ලැඟුම්ගෙන තිබේ.
මාතර ආරච්චි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන පෙම්වතා විසින් මෙම ගීතය ගයන්නේ ඔහු සිය පෙම්වතිය පිළිබඳ සිතමින් ප්‍රසංගයකදීය. ඔහු ඒ, ගායන තුළ, ඔහුගේ පේ‍්‍රමයත්, වියෝවත් හරි අපූරුවට ගායනය කරනු ලබයි.
ඔහු ඉතාම ආදරයෙන් සුරක්ෂිතව ගොඩනගා ගත් ආදර කතාවක අවසානය ඉතාම ශෝකාන්තයක් බවට පත් වේ. ඔහුගේ ආදරවන්තිය මෙහි දමා විදෙස්ගත වන්නේ වැඩිදුර අධ්‍යාපනය ලබා ඒමටයි. ඔහු ඒ කාර්ය නිමකර නැවත පැමිණෙන විට ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකුගේ බිරිඳ වී ගොස් සිටියි. ඈ කෙරෙහි බොහෝ ඒ සිතැතිව ස්ථිර පේ‍්‍රමයක සිටි ඔහුට මේ වියෝව දරාගත නොහැකි වේදනාවක් ගෙනදෙයි. ඔහුගේ හදවතේ ඇති වූ වියෝව, ගීතය පුරාම පද ගළපා ඇති අයුරු අපුරුය.
විප්‍රලම්භ ශෘගාරය එනම්, වියෝදුක තරම්, හදවත දවන වේදනාවක් මෙලොව නැති තරම්ය. ඔහු අදවන විට ඒ වියෝදුක දරමින් සිටී. ඔහුගේ ශෛලමය සඳකඩ පහණ සේ, නොවෙනස්ය. ස්ථිර, චමත්කාරජනක පිවිතුරු පේ‍්‍රමයකි. ඇයගේ පේ‍්‍රමය පාවෙන දේදුන්නක් වැනිය. දේදුන්න අලංකාරයි. විචිත්‍රයි. කෙටි කාලීනයි. වෙනස් වී මැකී යයි. සඳකඩ පහණක්, දේදුන්නත් දෙකම කවාකාරයි. ස්ථිරත්වය හා නොවෙනස් බවත්, අලංකාර වුවත් අස්ථිර බව මේ උපමා රූපක දෙක හරහා ඉතාම ලස්සනට ව්‍යංගාර්ථවක් ලෙස අර්ථ නිරූපණය කර තිබේ. ඒ ප්‍රේමයේ අස්ථිර බව තවදුරටත් අර්ථ ගැන්වීමට යොවුන් හදවත් තුළ ඇති වුණු ආදරය සලකුණු පෙන බුබුලකට උපමා කර තිබේ. පෙන බුබුලක ආයු කාලය හරිම කෙටියි. මේ ආදරයත් එවැන්නක් වැනි වූ බව ගීතයේ ආරම්භයේදීම කියයි.
මේ ආදර කතාවක් යුගයෙන් යුගය නිම කරමින් විවාහ ජීවිතයේ නිසි කාලය ළඟා කරගන්නට පැතුම් දරාගෙන නැවත මව් රටට පැමිණි විට පෙම්වතාට ඇය අහිමි ඇති බව බව පෙනේ. ඔවුන්ගේ පේ‍්‍රමකතාව දලුලා වැඩුණු මහා වෘක්ෂයක් නොවේ. ඔවුන් දැන හඳුනාගෙන පේ‍්‍රම කරන්නට පටන්ගත් මුල් කාලයේදීම ඔවුනොවුනට ඈත් වන්නට සිදු වන්නේ ඔහු විදෙස් ගත වූ නිසාය. ඔහුගේ හදවතේ ඈ කෙරෙහි උපන් පේ‍්‍රමය සියුමැලි කැකුලක්ව මැලවුණු බව පවසයි. එයත් අපූරු ව්‍යංගාර්ථවත් යෙදුමක් හා උපමාවකි. එනම් ඔහුගේ සිතේ ඈ කෙරෙහි උපන් පේ‍්‍රමය කැකුළකට උපමා කර ඇත්තේ නොපිපුණු මලක් එනම්, ඔවුන්ගේ ආදරය මල්ඵල ගැන්වීමක් නොවුණු බවට උපමාවකිනි. නොපෙනෙන ඈතකට ඈ ගොස් ඇති නිසා ඔහුගේ පේ‍්‍රමය නමැති නොපිපුණු මල් කැකුළ මැළ වුණු බව පවසන අයුරු කදිමය.
ඔහු සිය පේ‍්‍රමය රැකගනු වස් කෙතරම් කැපවීමක් කළා ද යත්, මී මැස්සෝ දහයක් පෙති මත වසා රොන්ගෙන ගොස් බොහෝ සේ උත්සාහයෙන් කැපවීමෙන් ආරක්ෂිතව ගසක සේ ඉහළම, සුරක්ෂිතම තැනක මී වදය බඳින්නා සේ, ලෝකයෙන් වහන් කරගෙන නැවත ඔහු පැමිණෙනතුරු ආරක්ෂිතව ඔවුන්ගේ පේ‍්‍රමය තැබීමට ඔහු ගත් උත්සාහය ඉන් ගම්‍ය කරයි.
සුරක්ෂිතව බැන්ඳ මී වදය නෙත් යොමන දෙනෙත් වලින් එය වසන් කරගන්නට ‘මී මැස්සන්ට නොහැකිය.’ අහසට අභියෝග කරන්නට මීමැස්සන්ට නොහැකිය. අහස ගුගුරුවා, කළුකර වහින වැස්ස වළකාලන්නට ඔවුනට නොහැකිය. මෙහි පෙම්වතියත් මේ මොහොතේ මී මැස්සන්ගෙන් අසරණය ඇයගේ දෙම්පියන් ඇයට වෙනත් අයෙකු හා විවාහ වන ලෙස බලකරයි. ඔවුනගේ අණසකට නතුවන්නට ඇයට සිදුවේ.
ඒ උපමාව ද ඉතාම අලංකාරවත්ය. ඇයගේ දෙමව්පියන් හා ඔවුනගේ බලය අහසට හා ගිගුරුම් සහිත වැස්සකට උපමා කර තිබේ. ඔවුන් කලක පටන් දන්නා අයෙකු හා විවාහ වන්නට බලකර ඔහුට ඈ විවාහ කර දේ.
ඈ ඔහු විවාහ වන්නේ කැමැත්තකින් නොවන බව පහත පදවලින් මානව පැහැදිලිය.
හදවිල ඉපැදුණු කැකුළක් නොකලත
නටුවෙන් ගලවා දුරට යවා....
ඇය සිය පෙම්වතා පැමිණෙන තුරු, නිසිකාලය තෙක් විවාහයට මඟ බලා සිටියත්, ඇයගේ පුබුදුවාගත නොහැකි වූ පේ‍්‍රමය නැමැති මල් කැකුළ අකලට, ගලවා දමා ඇයට වෙනත් අයෙකුට විවාහ කර දුන් බව ඉන් ගම්‍ය වේ.
ඔවුන්ගේ බිඳුණු පේ‍්‍රමය වෙනුවෙන් ඔවුන් හෙළු කඳුළැල් වලින් මහපොළොව තෙත් වී සත් සමුදුරකට මුහුව ගියා ලෙස පවසන වදන් තුළ ඔවුන් අහිමි වූ පේ‍්‍රමය වෙනුවෙන් බොහෝ සේ හඬා වැටුණු. දුක් වුණු, බව පවසයි.
ඇය ඔහු හැර දමා අකමැත්තෙන් ගිය විවාහ දිවිය තුළ ඇයට උරුම වුණේ රිදුණු, තැවුණු හදවතක් බව මේ පේ‍්‍රමවන්තයා ඉතා හොඳින් දනී. ඇය ඒ විවාහව තුළ සතුටින් නොවන බව හඳුනන ඔහු ඈ වෙනුවෙන් තව දුරටත් ඔහුගේ හදවතින් උපන් ස්ථිර පේ‍්‍රමය හදවතේ සිරකරගෙන බලා සිටියා. කවදා හෝ ඈ ඇයට උරුම වුණු භෞතිකව සැප සම්පත් අතහැර ඔහු සොයා පැමිණේ යැයි ඔහුගේ නොයිවලිසිමත් හදවත බලා සිටී.
ගීතය පුරාම ඇති උපමා, රූපක සංකේත භාවිතය හා ව්‍යංගාර්ථ පද හරහා ගීතයේ අර්ථය ඉතාම රසවත් හා අර්ථි පුර්ණව ඉදිරිපත් කර තිබේ. කලක පටන් මෙම ගීතයේ අර්ථයට හානිවන ලෙස විවිධ පුද්ගලයින් විසින් විවිධ අර්ථ කථින සැපයුම ද චිත්‍රපටයේ කතා තේමාවට අදාළව, ගී පද රචකයා විසින් චිත්‍රපටයේ අවස්ථානුකූලව ලියා ඇති පද රචනයේ අරුත මෙයයි.
චිත්‍රපට ගීතයක් ලෙසත්, ඉන් වියුක්තව විරහ ගීතයක් ලෙසත්, යුග යුග හදබැදි ඉතාම රසවත් සාර්ථක, අර්ථ පූර්ණ සුභාවිත ගීතයක් ලෙස මෙම ගීතය අර්ථ ගැන්විය හැකිය.
ගීතයේ පද රචනාව මෙන්ම, එයටම උචිත ඉතාම අලංකාර මියුරු සංගීතය හා ගී තනුවක්, ගායනයේ ඇති ළයාන්විත, හැඟුම්බර හඬ මුසුවත් ගීතයට උපරීම සාධාරණය ඉටුකොට තිබේ.