ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා

පෙබරවාරි 9, 2023

 

කොමල ලියා - බොළඳලියා

මාව දමා යන්න ගියා

සියුමැලියා.... සිකුරුලියා...//

ගත සීතල පහස ලබා

ළැම රන්වන් සුවඳ සොබා

මුව මී රොන් ලැබුව මෙමා

සිකුරුලියා

මාව දමා යන්න ගියා

සිකුරුලියා

නෙත ඇඳි රුව ඔබය සුදූ

අද ඒ නෙත කඳුලු බිඳු

ආදරයෙන් ඔබව හැදූ

සිකුරුලියා

මාව දමා යන්න ගියා

සිකුරුලියා

ආදරයෙන් ඔබ හින්දා

මා මනසින් දුක් වින්දා

පාළුව අද මා රන්ඳා

සිකුරුලියා

මාව දමා යන්න ගියා

සිකුරුලියා

ගී පද - ධර්මසිරි ගමගේ

ගී නද - ක්ලැරන්ස් විජේවර්ධන

ගී හඬ - ජේ.ඒ.මිල්ටන් පෙරේරා

චිත්‍රපටය - සිකුරුලියා

 

“සිකුරුලියා” 1975 සැප්තැම්බර් 27 දින ප්‍රදර්ශනය කෙරුණු සිංහල සිනමාවේ 316 චිත්‍රපටයයි. මැද මාවතේ සිනමාකරු එච්.ඩී. පේ‍්‍රමරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු චිත්‍රපටය මෙයයි. මෙම චිත්‍රපටයට, අප කවුරුත් අසා ඇති දික්තලා හා කාලගෝල කතාව ඇසුරින් ගොඩනැගුණු චරිත දෙක හා සමාන චරිත දෙකක් ප්‍රධාන චරිත ලෙස යොදාගෙන තිබේ.

කායිකව ඉතා මිටි, ඒත් ඉතා ධනවත් පුද්ගලයකු හා විවාහ වන ලස්සන යුවතියක් වටා කතාව ගලා යයි.

දුප්පත්කම හා දෙමව්පියන්ගේ දැඩි බලකිරීම මත අකැමැත්තෙන් ගමේ සිටි ධනවත්, පිරිමියකු හා විවාහ වන්නට ඇයට සිදුවේ. ඒ අතෘප්තිමත් විවාහය, ඇය මුහුණපාන මානසික අසහනයක්, ඇයගේ රුවට තදින් පෙම් බඳින සැමියකුගේ සන්තුෂ්ටිය අතර ගලායන කතාව වෙනතකට යොමු වන්නේ ඔහුගේ රියැදුරු හා තරුණ බිරිඳ අතර ඇතිවන පේ‍්‍රම සම්බන්ධය හේතුවෙනි.

විවාහයට පෙර ඇය ගමේ සිටි කඩවසම් තරුණයකු හා පේ‍්‍රමයෙන් බැඳි සිටි අතර, මෙම බලහත්කාර විවාහයෙන් ඇයට ඔහු අහිමි විය. එම වේදනාවෙන් සිටි ඇයට මෙම නොගැළපෙන විවාහයෙන් මොන සැප සම්පත් ලැබුණ ද සිතේ සතුට සැනසුම නොවුණි. ඇය රියැදුරු හා හාද වන්නේ ඇගේ මේ නොසන්සුන් අතෘප්තිමත් අසහනයෙන් පිරි ජීවිතයට සැනසුමක් ලබා ගැනීමටය.

මෙහිදී එක් අවස්ථාවක මොවුන් දෙදෙනාගේ පලායෑම සිදුවේ. එහිදී ජොනී බාලසූරිය නම් ධනවත් සැමියාට ඒ සිදුවීම දරාගත නොහැකි කම්පනයක් ඇති කරයි. ඔහු ඇයට අප්‍රමාණව පේ‍්‍රම කළ බවක් ඔහුට හැඟේ. ඔහුගේ හදවතේ කම්පනය, විලාපයක් සේ ගැයෙන ඉතාම ශෝකී රසයක් මුසු වූ විරහ ගීතයක් ලෙස මෙම ගීතය එම අවස්ථාවට ගළපා තිබේ.

ඔහු ඇයගේ රුවට කෙතරම් තදින් බැදී සිටියා දැයි හැඟේ.

ඇයගේ කෝමල, බොළඳ සියුමැලි ස්ත්‍රීත්වය තුළ ඔහු පෙර නොදුටු සුවයක් රසයක් ඔහු අප්‍රමාණව විඳගත් බව ඔහු වේදනාවෙන් කියයි.

ගත සීතල පහළ ලබා

ළැම රන්වන් සුවඳ සොබා

මුව මී රොන් ලැබුව මෙමා...

සිකුරුලියා...

මාව දමා යන්න ගියා...

ඇය නිසා ඔහු කෙතරම් රසයක්, පහසක්, තෘප්තියක් ලැබුවා ද යන්න මෙයින් හැඟේ. එවන් ළඳකගේ හැර යෑම ඔහුට කෙතරම් වේදනාවක් ද යන්න ඔහුගේ වැළපුම් ස්වරයෙන්ම පැහැදිලි වේ.

ඔහුගේ නෙතට රසඳුනක් වූ ඇය, නෙතට කඳුළක් එක්කර තිබේ. මලක් සේ හැඩකර, ලස්සන විඳගැනීමට ඔහු තුළ තිබූ ආසාව අහිමි වී තිබේ. ඔහුගේ ජීවිතයට කඳුළක්, තනිකමක් උරුමකර ඇයගේ නික්ම යෑම ඔහු කම්පාවෙන් විඳගන්නා අයුරු ගීතය මගින් මානව රූපණය වේ.

විශේෂයෙන්ම ගී පද රචනය තුළ ඇති සරල වදන් හරහා මතුකරන සංකීර්ණ භාව ප්‍රකාශනය විශිෂ්ටය. වසන්ත විරිතෙන්, මාත්‍රා 12කින් යුතුව දරු නැළවිලි ගීතයක් සේ ගී පද ලියා තිබේ.

එම ගීත රචනය, මෙරට සිටි අති දක්ෂ සංගීතඥයෙක් හා ගායන ශිල්පියකු වූ, මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ ක්ලැරන් විජේවර්ධනයන් වෙනස්ම ලෙස පද පේළී තුනෙන් තුනට වෙන්කර ඒ අතර මැදට ‘සිකුරු ලියා’ යන වදන යොදා වෙනස්ම ලෙස තනුව නිර්මාණය කර තිබේ.

එසේම ඔහු මෙම ගීතය ගැයීම සඳහා මෙරට සිටි අති දක්ෂ ගායන ශිල්පියකු වූ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගායන ශිල්පියාට යොදාගැනීමට කරන ලද යෝජනාව, කෙතරම් සාධාරණ ද සාර්ථක ද යන්න ගීතය අසන වාරයක් පාසා හැඟේ.

ඔහුගේ ශෝකී භාවය මුසු ගායන විලාශය චිත්‍රපටයේ මෙම අවස්ථාව හා කදිමට ගැළපේ. චිත්‍රපටයේ මෙම අවස්ථා නිරූපණයට ඔහුගේ ගායන විලාශය තුළ උපරීම සාධාරණය ඉටුකර තිබේ. ඒ සඳහා ක්ලැරන්ස් විජේවර්ධනයන් යොදාගත් තනුව හා සංගීතයත් මහෝපකාරී වී තිබේ.

මෙම ගායන ශිල්පියා සතු හැකියාව හා ප්‍රතිභාව කෙතරම් ද යක් මෙම ගීතය පුහුණුවීම් අතරතුර කරන ලද පටිගත කිරීමම චිත්‍රපටය සඳහා යොදා ගැනීමට හැකි වී තිබේ. ඒ තරමට ඔහු ඉතා සාර්ථක ලෙස පළමු ගැයුම ගායනා කර තිබේ.

විශේෂයෙන්ම තමන්ගේ පළමු චිත්‍රපටය සඳහා ප්‍රධාන නළු භූමිකාව සඳහා එවකට රිදී තිරයේ දැවැන්තයෙක් නොගෙන, බන්දුල ගලගෙදර රංගන ශිල්පියාගේ ප්‍රථම රංගනය සඳහා චිත්‍රපටයට යොදා ගැනීමම ප්‍රභල අභියෝගයකි. නමුත් මැද මාවතේ සිනමාකරුවකු ලෙස පේ‍්‍රමරත්නයන් එම අභියෝගයට සාර්ථකව ජයගත් බව, සිකුරුලියා චිත්‍රපටයට ලද ඉහළ පේ‍්‍රක්ෂක ආකර්ෂණය හා ආදායම් වාර්තා අතින් සාර්ථක වීම තුළ පැහැදිලි වේ.

බන්දුල ගලගෙදර, සුවිනීතා වීරසිංහ, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, රොබින් ප්‍රනාන්දු, ශාන්ති ලේඛා, විමල් කුමාර ද කොස්තා, තලතා ගුණසේකර ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ.

 

 

[email protected]