ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී ආදරයක් මිය යාවිදෝ...

පෙබරවාරි 2, 2023

පාළු සුසානේ පේ‍්‍රම පුරාණේ

කඳුළු විලාපෙ මා තමයි

අප දෙදෙනාගේ එදා සෙනේ

සැමරුම් කිසිදා මැකී නොයේ...//

මට අමතක නෑ ඔබට මතක නෑ

ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී

ආදරයක් මිය යාවිදෝ...

හදවත ගොළු වී ඔබේ නාමයෙන්

ජිවිතයක් නවතීවි දෝ

මා විමසන්නෙමි කියන්නකෝ මට

කෙලෙස ද මේ ලෙස කුරිරු වුණේ

මගේ අත්තටු බිඳ පියා සරාලා

යන්නට ඔබ පැතු චේතනා

ඔබයි දිනූවේ පරාජිතයි මා

මේකද මට දුන් වාසනා

ආදර රේඛා සුසුම් හෙළා වී

කම්පා කරවා මහී තලේ

දෛවය මේ නම් සුදු අපි නාඬමු

හමුවෙමු මතු සංසාරයේ

කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා

ඇවිළෙන මේ ගිනි මා ළයේ

ඔබ නොව ළදුනේ මමයි සදාකල්

අසරණ වුයේ කුමාරියේ

ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ

ගී නද - සරත් ද අල්විස්

ගී හඬ - එච්.ආර්. ජෝතිපාල

චිත්‍රපටය - ඔබට දිවුරා කියන්නම්

 

 

සිංහල සිනමා වංශකතාවේ 613 වන සිනමා පටය ලෙස 1985 ජූලි මස 05 දින තිරගත වූ ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටය මෙරට වාණිජ සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයකි.

සුනිල් සෝම පීරිස්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය හා අනෝජා වීරසිංහගේ සහ එම්.එච්. හනීෆා ගේ සම නිෂ්පාදනයකි. ශෂී විජේන්ද්‍ර නම් නවක නළුවකු ප්‍රධාන චරිතය සඳහා යොදාගත් අභියෝගය සාර්ථක වූ අතර, සංගීතය රැගත් මෙම චිත්‍රපටය එම වසරේ වැඩිම ආදායමක් ඉපැයු චිත්‍රපටයයි.

‘තෙරි කසම්’ නම් හින්දි චිත්‍රපටයේ අනුකරණයක් වූ මෙම චිත්‍රපටය ඉහළ ආදායම් වාර්තා තබමින් සාර්ථකව තිරගත වීමට මෙම චිත්‍රපටයට ඇතුළත් වූ එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ ගීත බෙහෙවින් ඉවහල් විය.

1986 වසරේ හොඳම ගායකයාට හිමි සරසවිය සම්මානය ‘පාළු සුසානේ’ ගීතය වෙනුවෙන් එච්.ආර්. ජෝතිපාලයන්ට හිමි වූ අතර, එහි පද රචනය වෙනුවෙන් එම සම්මාන උලෙළේ හොඳම ගීත රචනය වෙනුවෙන් ආචාර්ය අජන්තා රණසිංහ සම්මානයට පාත්‍ර විය.

1986 වසරේ ජනපි‍්‍රයතම සිනමාපටයට හිමි සරසවිය සම්මානය මෙම චිත්‍රපටයට හිමිවිය. එම සිනමා උලෙළේම සහය නිළියට හිමි සම්මානය සෝනියා දිසානායකටත්, කුසලතා සම්මානයක් ශි‍්‍රයාණි අමරසේනටත් හිමිවිය.

ශෂි විජේන්ද්‍ර, අනෝජා වීරසිංහ, සෝනියා දිසානායක, ශි‍්‍රයාණි අමරසේන, ෆ්‍රෙඩී සිල්වා, ජීවන් කුමාරතුංග, රෝයි ද සිල්වා ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වූ අතර සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස්ගෙනි.

දුප්පත් තරුණයෙක් හා ධනවත් තරුණියක් අතර ඇතිවන ආදරයක් වටා ගොඩනැගුණු සරල කතා තේමාවක් ඔස්සේ ගොඩනැඟුªණු චිත්‍රපටයකි. හින්දි චිත්‍රපටයක කතා තේමාව වුවත්, මෙම චිත්‍රපටයේ අඩංගු සියලු ගීත ස්වතන්ත්‍ර නිර්මාණයන්ය.

ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තුළ සරත් ද අල්විස්ගේ මියුරු තනුවට අනුව ‘පාළු සුසානේ’ ගීතය රචනා කර දීම ගීත රචකයාගේ ප්‍රතිභාව මනාව පෙන්නුම් කරයි.

චිත්‍රපටයේ යොවුන් පෙම්වතුන් අතර ඇතිවන විරසකයක් හේතුවෙන් ඔවුනොවුන් තාවකාලිකව වෙන් වී සිටින මොහොතක ගායක, පෙම්වතා විසින් ඔහුගේ ගීත ප්‍රසංගයක දී මෙම ගීතය ගායනය කරනු ලබයි.

ඉතා ආදරයෙන් සිටිය පෙම්වතුන් යුවළක් හදිසියේ වෙන්වීම තුළ ලද විරහ වේදනාව ඉතාම හැඟුම්බර ලෙස ඔහු, ඇය ඉදිරියේ ගයයි.

ආදරයෙන් පිරුණු ඔවුන්ගේ පේ‍්‍රම කතාව නැවතී ඇති බවත්, ඔහු පමණක් ඒ විරහ වේදනාව තනිව විඳින බවත්, ඒ අතීත සුන්දර මතකයන් කිසිදා ඔහුගේ හදවතින් මැකී නොයන බවත් ඔහු සංවේගයෙන් පවසයි.

‘මට අමතක නෑ. ඔබට මතක නෑ.’ ලෙස ඇයට ඔහු චෝදනාවක් ද එල්ල කරයි.

ඇයගේ පිටුපෑම තුළ ඔහුගේ ජීවිතයම කඩා වැටී ඇති බවත්, ඇය වෙනුවෙන්ම උපන් ආදරයෙන් ඔහුගේ ජීවිතය දැඩි පීඩාවකට ලක් වී ඇති බවත් ඔහු පවසයි. ඔහුට හිතාගන්නවත් නොහැකි ලෙස ඇයගේ පිටුපෑම තුළ’ කොහොමද මේ ලෙස කුරීරු වුණේ’ යනුවෙන් ඔහු ඇගෙන් ප්‍රශ්න කරයි.

ඒත් එක්කම ඔහු පරාජය භාරගන්නට සුදානම් බව ද පවසයි. ඇයගේ ආදරය අහිමවීම තුළ තටු සිඳුණු කුරුල්ලෙක් සේ ඔහු අසරණ බවත්, ඔබේ ආදරය නාමයෙන් දුන්නු වේදනාව, ඔහුට දුන්නු වාසනාව දැයි ඔහු ඇගෙන් ප්‍රශ්න කරයි. ඔහුගේ බිඳුණු රිඳුණු හිත මිහිතලයම කම්පාවීමට තරම් ප්‍රමාණවත් මහා දුක් කන්දක් සේ ඔහුට දැනෙයි.

අවසානයේ ඔහු බිඳුණු ආදරය හමුවේ යථාර්ථය තේරුම් ගනියි. අපිට උරුම දෙය වෙන්වීම නම්, මේ ආත්මයේ මේ ලෙස වෙන් වී, මතු ආත්මයක යළි හමුවෙමු යැයි ප්‍රාර්ථනයක් කරයි. මේ විරහා වේදනාව තුළ ඔහු වින්ද වියෝදුක කුරාකුහුඹුවකුටවත් නොලැබේවා යැයි ඔහු පිවිතුරු හදින් ප්‍රාර්ථනය කරයි.

ඔහු අතහැර ගිය ඈ නිසා සදාකාලික වේදනාවකින් තමන්ට උරුම වූ බව ඔහු මහත් සංවේගයෙන් ගයයි. ආදරයේ විරහ වේදනාව, ඉතාම හැඟුම්බර ලයාන්විතව ගයන ගායනය තුළ නවක නළු ශෂි විජේන්ද්‍ර අබිබවා එච්.ආර්. ජෝතිපාලයන් ඉහළින්ම මතුව තිබේ. ඔහුගේ ආකර්ෂණීය හඬ පෞරුෂය තුළ එය ඉස්මතු වීම අරුමයක් ද නොවේ.

දශක 4කට ආසන්නව ඇතත් අදටත් නොමියෙන තවත් බොහෝ කල් පවතින ඉතාම රසවත්, ආදරණීය විරහ ගීතයත් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය.

 

 

[email protected]