වාසනාවන්ත ජනවාරි 21

ජනවාරි 26, 2023

මීගමුව ප්‍රදේශයෙන් ඇරැඹුණු මිනර්වා නාට්‍ය කණ්ඩායම බි.ඒ.ඩබ්ලිව් ජයමාන්න ගේ මූලිකත්වයෙන් ඉන්දියාවට ගියේ චිත්‍රපටයක් රූප ගත කරන්න.

මේ කණ්ඩායමට ඇතුළත් වුණා එම නාට්‍ය කණ්ඩායමේ නාට්‍යවලට සම්බන්ධවෙලා හිටපු රුක්මණී දේවි, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න ඇතුළු පිරිස. කවදාවත් චිත්‍රපටයක රඟපාල නොතිබුණු මේ අයට මේ වැඩේ අලුත් දෙයක් වුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක්.ඔහු ජ්‍යෝතිෂ් සිංහා ය. ඔහු වංග ජාතිකයෙක්. චිත්‍රපටය කඩවුණු පොරොන්දුව.

අපේ සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස නොමැකෙන නමක් තබා 1947 ජනවාරි 21 වැනිදා කඩවුණු පොරොන්දුව තිරගත වුණා.

කඩවුණු පොරොන්දුවෙන් ඇරැඹි අපේ සිනමාවේ මුල් යුගයේ වැඩිපුරම චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂකවරුන් ඉන්දියාවේ චිත්‍රාගාරවල.

මේ සම්මතය කඩාබිඳ දැමීමට ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් අධ්‍යක්ෂවරයෙක් සමත් වුණා. ඔහු කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ගොස් එළිමහන් දර්ශන රූගත කර ‘රේඛාව’ නම් චිත්‍රපටය නිර්මාණය කළා.

රේඛාවෙන් ඇරැඹි ඔහුගේ ගමන් මඟ තුළ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය නවකථාව ඇසුරින් ‘ගම්පෙරළිය’ චිත්‍රපටය නිර්මාණය කළා.

අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ ප්‍රථම වෘත්තාන්ත වූ ගම්පෙරළියට නවදිල්ලි අන්තර්ජාතික සම්මාන උලෙළේ ‘ගෝල්ඩන් පීකොක්’ (‍රන් මයුර සම්මානය) හිමිවුණා.

එම සම්මානය නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතාට නවදිල්ලියේ විජය බවන් හීදි 1965 ජනවාරි 21 වැනිදා ප්‍රදානය කෙරුණා.

සිනමාවට දේශීය නිර්මාණකරුවන් වැඩිපිරිසක් එක්වෙමින් කර්මාන්තයක් බවට පත්වෙමින් තිබුණු යුගයක සිනමාවේ දියුණුවට රාජ්‍ය ආයතනයක් අවශ්‍ය බව එම කර්මාන්තයට පිවිසුණ බොහෝදෙනෙක් තීරණය කළා.

ඒ අනුව 1972 ජනවාරි 21 වැනිදා රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවීමට හැකිවුණා.

ඇරැව්වල නන්දිමිත්‍රයන් රචනා කළ මල්දෙණියේ සිමියොන් නවකථාව ඇසුරෙන් ඩී.බී.නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටයේ රඟපෑ අනෝජා වීරසිංහ හට ඉන්දියාවේ දී නවදිල්ලි අන්තර්ජාතික සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සිල්වර් පීකොක් (රජත මයුර) සම්මානය හිමි වුණා. එය අනෝජා වීරසිංහහට ප්‍රදානය කළේ 1987 ජනවාරි 21 වැනිදාකය.

එබැවින් ජනවාරි 21 වැනිදා දේශීය සිනමාවට සුවිශේෂී දවසක්.

 

[email protected]