වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
ප්‍රේම කාමනාවෝ රළ පතරේ හඬා වී

ආලෝකේ අතීතයේ කඳුළෙන් මැවේවී
ජීව වේදනාවෝ මා හදේ ගිගුම් දේවී
ජීව වේදනාවෝ මා හදේ ගිගුම් දේවී
වැලි කෙළියේ මා දුටු ඒ සුරූපීය දේහේ
නොපෙනේ අද ඈගේ මධු ගීතය මට නෑසේ
නොපෙනේ අද ඈගේ මධු ගීතය මට නෑසේ...
මා හද ඉවුරේ පාළුව අතුරා
ගී හඬ අහසේ ඈත ඇහෙනවා
ජීවන කතරේ කෙළවර නොපෙනේ
මා තැනු රන් මාලිගාව කැඩී බිඳී විසිරිලා
ආදරයේ ගීතිකාව බොල් සුළඟේ පාවුනා
සංවේගේ ගංගාව උතුරා ගලාවී
පේ‍්‍රම කාමනාවෝ රළ පතරේ හඬා වී...//
රන්තරු මැලවී මේකුළු අතරේ
මහ මාරුතයේ සුසුම් හෙළනවා
මල්වර සමයේ සවනට කොඳුරා
මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා
කෝකිල කූජන අරණේ ඈ වෙනුවෙන් නැවතුණා
සංවේගේ ගංගාව උතුරා ගලා වී
පේ‍්‍රම කාමනාවෝ රළ පතරේ හඬා වී...
පේ‍්‍රම කාමනාවෝ...
පේ‍්‍රම කාමනාවෝ රළ පතරේ හඬා වී...
ගී පද - කරුණාරත්න අබේසේකර
ගී නද - ටී.එෆ්. ලතීෆ්
ගී හඬ - එච්.ආර්. ජෝතිපාල
චිත්‍රපටය - මේ දෙඇස කුමට ද? (1972)
ජීවිතයේ මිහිරි මතකයන් සියල්ල අතීතයට උරුම වූ දෑස් නොපෙනෙන යෞවනයකුගේ හදවතේ මතුවන වියෝ වේදනාවේ කම්පනය හා මුසුවුණු ශෝකී වැළපුමක් පිළිබඳව ගැයෙන, ඉතාම හැඟුම්බර ළයාන්විත ගීතයක් ලෙස මෙම චිත්‍රපට ගීතය හැඳින්විය හැකියි.
ආදරය කළ සියල්ල අහිමිව කුඩා කාලයේම තනිවුණු, හදිසියේම දෑස නොපෙනී ගිය දරුවකු යොවුන් වියට පත් වූ පසුත්, ඔහුගේ හද සංතාපය තුළ නිදන්ව ඇති සෙනෙහසක මතකාවර්ජනයක් ලෙස ද මෙය හැඳින්විය හැකිය.
හිරු එළිය, සඳ එළිය හෝ වෙන කුමන හෝ එළියකින් ආලෝකමත් කළ නොහැකි ඔහුගේ ජීවිතයේ එකම ආලෝකය වන්නේ ‘අතීතය’ පමණයි. ඒ අතීත ආලෝකය ඔහුගේ හදවත තුළ මතකයට නැගෙන වාරයක් පාසා කඳුළු මතු වේ. ඇසට කඳුළක් උනන වාරයක් පාසා ඒ අතීතය ඔහුව හඬවයි.
කුඩා කල පටන් ඔහුගේ හදවතේ ඇඳුණු රුවක් ඔහුගේ මතකය තුළ නිරතුරුවම සැරි සරයි. කාලයත් සමඟ ඔහු යොවුන් වියට පත් වුණත් ඔහුගේ අතීත සතුට රැඳි ඒ මිහිරි මතකයට ඔහුගේ හදවතින් මැකී නොයයි. ඒ මතකය සමඟින් ‘ජීවවේදනාවෝ’ මා හදෙහි ගිගුම් දේවී...” යනුවෙන් ඔහු පවසන්නේ ඔහු ඒ වේදනාව සමඟම ජීවත්වන බවයි.
පාළුවට ගිය ගං ඉවුරක් සේ ඔහුගේ හද ඉවුර ඈ නැති සොවින් පාළු වී තිබේ. ඒ පාළුව මකන්නේ ඔහුගේ ගී හඬයි. ඒත් ඒ ගී හඬ අසන්නට කිසිවකුත් නැත. පාළු හිස් අහසට ඇසෙන ඒ ගීත රාවය රැඳෙන්නේ අහසේ පමණයි. ඔහුගේ ඉමක් නොපෙනෙන ජීවිතය නමැති කාන්තාරය තුළ ඔහු තැනූ සියලු සිහින මාලිගා සිඳී බිඳී ගොස්ය. ඔහුගේ ආදරය බොල් සුළඟේ ගසා ගෙන ගොස් තිබේ. ඔහුගේ හදවත කොයිතරම් නම් වේදනාවෙන් පෙළේ ද යත්, ‘සංවේගය’, ගංගාවක් නම් එය උතුරා පිටාර ගොස් තිබේ. ඒ ගං දිය රැළි අතර මොනතරම් සරාගී අඟනක් හඬා වැටුණ ද ඔහුගේ හදවත ඈ වෙනුවෙන්ම වෙන් වී තිබේ. ඔහුගේ අචල ආදරයේ තරම ඉන් හොඳින්ම කියැවේ.කුමන ස්ත්‍රියක් හමුවේ වත් ඔහුගේ සිත නොවෙනස්ය.
රන් තාරුකා මැලවීලා ආකාසේ වලාකුළු අතර සැඟවිලා ගිහින්, මහ මාරුතයක් සුසුම් හෙළනවා. ඒ සුසුම් කෙතරම් ද යත් එයයි මාරුතයක් ව හඹා යන්නේ. මේඝ වලාකුළු අතර පවා ඈ සිටී දැයි සොයනවා මහ වනයෙන් ඇසුණ කෝකිල කූජනය පවා ඈ වෙනුවෙන් නැවතී තිබේ. මෙය කෙතරම් තදින් බැඳුණු සිතට කා වැදුණු පේ‍්‍රමයක් ද යන්න ඉන් ගම්‍ය වේ.
වනයේ කෝකිල කූජනය නැවතුණා යන උපමාව තුළ ඈ නැති සොවින් ඔහු ජීවිතයේ සතුට අතහැර දමා ඇති බවක් ව්‍යංගයෙන් පවසයි.
ඔහුගේ සංවේගයේ තරම ඉන් මොනවට පැහැදිලි වේ.
පේ‍්‍රමයෙන් බැඳුණු හදවතට ඒ පේ‍්‍රමය වෙනුවෙන් කොතරම් හෝ කාලයක් බලාසිටිය හැකි බව ඔහුගේ ගීතය පුරා ඔහු පවසයි. මොන දේකටවත් හදවතේ ඇතිවුණු පේ‍්‍රමය විනාශ කළ නොහැකි වේ. ඔහුගේ ආදරය එතරම්ම ස්ථිරයි.
මෙය 1972 වසරේ තිරගත වූ මේ දෑස කුමට ද? චිත්‍රපටයේ ඉතාම ජනපි‍්‍රය වුණු පේ‍්‍රමණීය ගීතයකි. මාලිනි ෆොන්සේකා, විජය කුමාරතුංගගේ රංගනයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය ඔවුන් එක්ව රඟපෑ ප්‍රථම චිත්‍රපටයයි. තිමති වීරරත්න විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ මෙහි ප්‍රධාන චරිත නිරූපණය විජය කුමාරතුංග හා මාලිනි ෆොන්සේකා ය. රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, මාක් සමරනායක, තලතා ගුණසේකර, දොන් සිරිසේන ඇතුළු රංගන ශිල්පීන් ද මේ සඳහා රංගන දායකත්වය සපයා තිබේ.
එම වසරේ තිරගත වූ චිත්‍රපට අතුරින් ඉතාම ජනපි‍්‍රය වූ හා ආදායම් අතින් ඉතා සාර්ථක වූ චිත්‍රපටයකි. මෙහි කතාව සේම චිත්‍රපට ගීත ද රසිකයින් අතර ජනාදරයට පත්විය. එම ගීත අදටත් එකසේ නූතන පරම්පරාව පවා රසවිඳින ගීතයි.
මේ ගීතය හින්දු ගීතයක අනුකරණයක් වූව ද මෙහී දේශීය සලකුණ සහිත, සරල බස් වහර හා සුමට බවත් මියුරු සංගීතය හා එච්.ආර්. ජෝතිපාලයන්ගේ ළයාන්විත මධුර හඬ මුසුවක් ගීතයට ජීවයක් එක්කර තිබේ. අදටත් නොමියෙන ගීත අතර රැඳී ගීතයක් බවට මේ ගීතය පත්ව තිබෙන්නේ ඒ නිසාය.
සංවේදී කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වුණු මෙම චිත්‍රපටයේ මේ ගීතය සේම ‘නිල් අහසේ උමතු වලා.’ සෝබාව හංගා මේ ලෝ තලේ. ඝණ අන්ධකාරයෙන් මිදී යන ගීත ද එකසේ ජනපි‍්‍රය විය.