වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කළා...

මාගේ මතකේ ඔබේ රුව ඇන්දේ
සුහද මා ජිවිතේ ඔබ සතුයි...
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරි සරයි...
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
සීත සඳපානේ කිරි සයුර කළතා සොයයි
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ළං වෙලා...
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කළා...
ඕලු මානෙල් පිපී සුවඳ පිනි හා වෙළී
සොඳුර ඔය මුහුණ මිහිදුම් සේලෙන් වැසී...
ගී පද - ගුණවර්ධන දොඩම්ගොඩ
ගී නද - ජේ.ඒ. දොඩම්වෙල
ගී හඬ - එච්. ආර්. ජෝතිපාල /
සුජාතා අත්තනායක
චිත්‍රපටය - මිනිසුන් අතර මිනිසෙක්
ආදරේට නිර්වචන දෙන්න කාටවත් බැහැ. ආදරය කරන, ආදරය විඳින හිත්වලට “ආදරය” දැනෙන විධිය විවිධාකාර වන්නට පුළුවනි. ඒ කොහොම වුණත් දෙහදක් ආදරයෙන් ළං වුණාට පස්සේ ඒ හදවත් තුළ මහා ගැඹුරක්, නොවෙනස් වෙන බර සිතිවිල්ලක් තැන්පත් වෙනවා. ඒ රැඳෙන සිතිවිල්ල ඔහු හෝ ඇය වෙනුවෙන් උපන් පේ‍්‍රමයයි. හැම මොහොතකම ඒ සිතිවිල්ල ආදරයට ජීවය ගෙන දෙනවා.
මේත් ඒ වගේ ආදරයෙන් බැඳුණු සිත් දෙකක්.
“මාගේ මතකේ ඔබේ රුව ඇන්ඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි...”
ඇය ඔහුට බොහෝ සේ පේ‍්‍රම කරනවා. හැම මොහොතකම හැම සිතිවිල්ලකම ඔහු ඈ සමඟ ජීවත් වෙනවා. ඔහුගේ රූපය ඈ මනසේ නිරතුරුවම සිතුවම් වෙනවා.
ඈ පමණක් නොවෙයි, ඔහුත් ඇයට තදින්ම පේ‍්‍රම කරනවා. ඇයගේ සුවඳේ මතකය පවා ඔහුව පුබුදුවාලනවා. ඒ, හැම මොහොතකම ඇය ඔහු ගේ හදේ සැරිසරන නිසා. මොහොතකටවත් ඔහුටත් ඇයව අමතක නොවන බව ඔහුත් පවසන්නේ,
“ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරි සරයි” ලෙසින්.
එලෙස දෙහදක් ආදරයෙන් බැඳුණු පසු හැම සිතිවිල්ලකම, හැම මොහොතකම එකිනෙකා හා ලංව ගෙවන ජීවිතයක් පිළිබඳ ප්‍රාර්ථනයක් හැම මොහොතකම හදවතේ මතුවෙනවා. පි‍්‍රයයන් හා එක්ව ගෙවන ජීවිතයක රස විඳින්න ඒ ආදර සිත් කෙතරම් පෙරුම් පුරනවා ද?
සමහර විට එය මේ භවයේ පමණක් හිමි වූ දෙයක් නොවන්නට පුළුවනි. පෙර සසරේ පටන් හමුවුණු, මේ භවයේත් හමුවන්නට කළ ප්‍රාර්ථනාවක් ලෙසින් ද පෙම්වත්තු හමුවෙති. මේත් එවැනි ප්‍රාර්ථනාවක ඵලයක් ලෙස හමුවුණු පේ‍්‍රමයක් යැයි ඇයට හැඟේ.
ඉතාම සරල ලෙස දෙහදක් ප්‍රේමණීය හැඟුමන් විඳින ආකාරය ගීතයකට පද ගළපා ඇති අපූරු ආකාරය මෙම ගීත රසවිඳින විට දැනේ. ඉතාම සංයමයෙන් පද හසුරුවා ඇති අයුරු කදිමය. පේ‍්‍රමය තුළ පවතින පිවිතුරු බව වචනවලින් ගළපා ඇති අයුරු සේම, ඒ පවිත්‍ර පේ‍්‍රමය සොබාදහමේ අපූරු චමත්කාරය හා මුසුකොට ඇති ආකාරය ද මනරම්ය.
මෙම ගීතය 1979 වසරේ තිරගත වූ මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටය සඳහා ඇතුළත්ව තිබූ, එකල සේම, අදටත් එකසේ ජනපි‍්‍රය, එක සේ රසවිඳින ගීතයකි.
මෙම ගීතය සඳහා රංගනයෙන් දායක වන්නේ ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩිය. රසවිඳින ප්‍රේමණීය හැඟුමන් ඔවුන්ගේ රංගනයෙන් දැකගත හැකියි.
ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩි, රෝයි ද සිල්වා ගීතා කුමාරසිංහ, ෆේරඩී සිල්වා, ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළේ ජෝ දේව් ආනන්දය. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ටී.එෆ්. ලතීෆ්ගෙනි.
මෙම චිත්‍රපයට සඳහා ගීත 05ක් ඇතුළත් වූ අතර, මෙම ගීතය ඉතාම ජනපි‍්‍රය විය. මේ ගීතයේ ජනපි‍්‍රයත්වය සඳහා ගුණවර්ධන දොඩම්ගොඩගේ පද මාලාවත්, ජේ.ඒ. දොඩම්වෙල ගේ මියුරු සංගීතය හා තනුවත්, එච්.ආර්. ජොතිපාල හා සුජාතා අත්තනායකගේ හැඟුම්බර මියුරු ගායනයත් එක සේ ඉවහල් විය. සහෝද පේ‍්‍රමයක්, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් කැපවුණු සහෝදරයකුගේ අවංක මිනිස් ගුණය පිළිබඳ කතා තේමාවක් සහිත මෙම චිත්‍රපටය එකල ආදායම් වාර්තා තැබූ ජනපි‍්‍රය චිත්‍රපටයක් විය.