මහ මුහුදම ගොඩට ගලා රත්වුණු හිරු පායන්නට

දෙසැම්බර් 29, 2022

 

හා...හා... උදුම්බරා...

හා... හා... හිනහෙනවා

උදුම්බරා හිනහෙනවා

ඉර අඳුරට හැංගෙනවා

දස දහසක් සම් මස් ඇට

සිනා කඳුළු වැහි වැහැලා

ගිනිගෙන රත්වුණු දවසක

සැනසෙන එක හැන්දෑවක

උදුම්බරා හිනහෙනවා...

මුහුදු කොණේ සුදු වැල්ලේ

ඉර හැංගෙන එක මොහොතක

උදුම්බරා හිනහෙනවා...

කළුවර දුම එක හුස්මට

මුළු ලෝකෙම වසා ගන්න

ගිිනි දිය ලෝ දිය වැස්සේ

කිරි සල්කිරි උදුම්බරා...

සිනා කඳුළු වගුරනවා...

ආදරයේ ඔබ ඔබමය

මා ඔබ නොව

ඔබ මා නොව

දවසක් දා

හඳුනාගත්තොත් ඔබ මා...

ඒ මොහොතෙම එක හුස්මට

උපදිනවා ගිනි රස්නය

සීතලෙන්ම...

හඳුනාගත්තොත් ඔබ මා...’

මහ මුහුදම ගොඩට ගලා

රත්වුණු හිරු පායන්නට

රත්වුණු හිරු පායන්නට

ගොඩබිම මහ මුහුදක් විය

මහ මුහුදම ගොඩබිම විය

උදුම්බරා කඳුළු සළයි...

උදුම්බරා කඳුළු සලයි...

කඳුළු සලයි... කඳුළු සලයි...

ගී පද - ඩබ්ලිව්. ජයසිරි

ගී නද - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස

ගී හඬ - ටී.එම්.ජයරත්න /

සුනිලා අබේසේකර / අයිවෝ ඩෙනිස්

චිත්‍රපටය - බඹරු ඇවිත්

 

 

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ විශිෂ්ට සම්මානනීය අධ්‍යක්ෂවරයකු වු ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘බඹරු ඇවිත්’ සිනමාපටය 1978 දී තිරගත විය.

ලාංකේය දේශපාලනය තුළ විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දෙමින්, නව ධනවාදී දේශපාලන සංස්කෘතියක් මෙරට ඇති කරමින් තිබු පසුබිමක මෙම සිනමාපටය නිර්මාණය කර තිබේ. ඒ අනුව මෙම සිනමා නිර්මාණය තුළින් පුළුල් දේශපාලනික කතිකාවක් ගොඩනැගීමට, අධ්‍යක්ෂකවරයා සමත් වී තිබේ. 1977න් පසුව බිහි වූ නව ධනවාදී දේශපාලන සමාජ ක්‍රමය පිළිබඳ පුළුල් දේශපාලනික විග්‍රහයක්, සිනමාපටයක් හරහා සමාජගත කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වී තිබේ.

ඉතාම සාමකාමී ලෙස, තම ජීවනෝපාය කරගනිමින් සමගියෙන් සහජීවනයෙන් ජීවත් වූ ධීවර ගම්මානයක වැසියන්ගේ ජන ජීවිතය හා පැවති සාමකාමී බව නැති කරමින් මතුවන සමාජ, ආර්ථික හා සංස්කෘතික වෙනස්වීම සිනමාපටයේ මුලික කතා තේමාව ලෙස මතුපිටින් ගෙන හැර ඇතත්, එහි එයට වඩා ගැඹුර සමාජ, ආර්ථික, දේශපාලනික හරයක් තිබේ. පාරම්පරික ධීවර ගම්මානයක ජීවත්වන චරිත කිහිපයක් සහ එම ගම්මානයට නගරයෙන් පැමිණෙන තරුණයින් පිරිසක් වටා කතාව ගොඩ නගා තිබේ. එම ධීවර ගම්මානයේ කා සමඟත් සුහඳව ජීවත් වන ධීවරයින්ගේ මාළු මිලට ගනිමින්, එහි අණසක පතුරුවාගෙන සිටින ඇන්ටන් මුදලාලිත්, එම ධීවර ගමේම ඉපදී හැදී වැඩි ධීවර කර්මාන්තයේ නියුතු සිරිල් නම් තරුණයා සහ ඔහුගේ අනාගත භාර්යාව වීමට ගිවිසගෙන සිටින එම ගම්මානයේ රූමත්ම තරුණිය වන හෙලන් සහ ඔවුන් අතරට නගරයෙන් සංක්‍රමණය වන බේබි මහත්තයා හෙවත් වික්ටර් මෙහි ප්‍රධාන චරිත වේ.

වික්ටර්ගේ පැමිණීම හේතුවෙන් සාම්ප්‍රදායික ධීවර ගම්මානයට හා එහි ගැමියන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු බොහෝය. බල අරගලය, ආර්ථික සූරා කෑම, ලිංගික හිංසනය, මැර බලය, සංස්කෘතික සෝදාපාළුව, ප්‍රචණ්ඩත්වය යනාදී සියල්ල ගම ගිලිගනියි.

එහි ප්‍රතිඵලයක් ලෙස සිරිල් දිවිනසා ගනී, ඇන්ටන්ව වික්ටර්ගේ ගෝලයකු වූ ෆ්‍රැන්සිස් විසින් මරා දමනු ලබයි. ප්‍රචණ්ඩත්වය ගමතුළ හිස ඔසවයි.

මේ සියලු දේ වන අතර සිරිල්ගේ පෙම්වතිය වූ හෙලන්, වික්ටර් නිසා අනාථභාවයට පත් වේ. ඈ තනිකර වික්ටර් ගමින් පිටමන් වේ.

මේ කතා සියල්ල අස්සේ වාමාංශික තරුණ දේශපාලන කතිකාවක් ධීවර ගම්මානය තුළ ඇති කිරීමට වික්ටර්ගේ ගෝලයකු වූ වීරසේන නම් තරුණයා උත්සාහ දැරුව ද එම පණිවිඩය සමාජගත කිරීමට හෝ ඔහු විසින් දෙන දේශපාලන පණිවුඩය, තේරුම් ගැනීමට, එම ගමේ කිසිවකුට හෝ හැකි නොවේ.

මෙවැනි සංකීර්ණ කතා තේමාවක් සිනමා නිර්මාණයක් බවට පත්කොට ඇති අතර එම සිනමාපටයේ ඇතුළත් ගීතය වන තේමා ගීතය තුළ මුළු සිනමාපටයේම කතාව අන්තර්ගතකොට ප්‍රබල කතිකාවක් සහ හඬක් මතුකොට තිබේ.

පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ අද්විතීය සංගීත භාෂාව තුළින් සිනමා කෘතිය මුළුමනින්ම සිය සංගීතමය අණසකට යටත්කර ගැනීමට සමත් වී තිබේ. ධර්මසේන පතිරාජයන් ගොඩනැගූ කතා පුවතට නොදෙවෙනි ලෙස සංගීතමය කතිකාවක් ඔහුගේ සංගීත අධ්‍යක්ෂණය තුළ ඔහු විසින් ගොඩ නගා තිබේ.

ඉර අඳුරේ හැංගෙන්නේත්, උදුම්බරා හිනැහෙන්නේත් එකම මොහොතක, එකම තැනකය. ඇය ඉපදුණු හැදී වැඩුණු ධීවර ගම හා පරිසරයට, ආවේණික ලෙස ගීතයට අවශ්‍ය සංගීත සංයෝජනය මනා ලෙස නව ආරකින් සුසංයෝජනය කර ගීතය චණ්ඩ තුනකින් යුතුව චිත්‍රපටයේ සමස්තයම හකුළුවා කර ඇති ඉදිරිපත් කිරීම විශිෂ්ටය.

මහා මුහුදේ විලාපය, එහි ධීවරයන් මුහුද හා කරන අරගලය, ඔවුන්ගේ දුක් දොම්නස් මුහුදේ නිතර සිදුවන වෙනස්වීම්, හරි අපූරුවට සංගීතය හා මුසුව ගළපා තිබේ. මහ මුහුදේ නිසල බව, රළ බිඳෙන පෙරළෙන ස්වභාවය, චණ්ඩ රළ හා කැලඹෙන දියඹේ ස්වභාවය සංගීතය හා මුසුකොට ඇති අයුරු කදිමය.

මහ මුහුද විටෙක නිසලය, විටෙක චංචලය. තවත් විටෙක ප්‍රචණ්ඩය. මේ සියලු සංසිද්ධීන් පුද්ගල මමෝභාවයන් හා මුසුකොට ගීතය හරහා ජීවමාන රිද්මයකට හසුකර තිබේ. එය විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරයකු සතු ප්‍රතිභාව හා දක්ෂතාව මැනවින් නිර්මාණයට මුසුකරගත් අවස්ථාවකි.

ආදරයේ ඔබ ඔබමය

මා ඔබ නොව

ඔබ මා නොව

දවසක් දා

හඳුනාගත්තොත් ඔබ මා...//

මෙම කතා පුවත ගීතය හරහා ප්‍රතිනිර්මාණය කොට ගීතය තුළින් කතාව පේ‍්‍රක්ෂකයා වෙත ඉදිරිපත් කර තිබේ. චිත්‍රපටයක තේමා ගීතය හා පසුබිම් සංගීතය ඉතා විශිෂ්ට ලෙස නිර්මාණය ඉස්මතුකර දැක්වීමට මෙමඟින් හැකි වී තිබේ.

තුන්කොන් ආදරයකට හිර වුණු හෙලන්නේ මානසික සංවාදය ගීතයේ ගායන පෞරුෂ හරහා ප්‍රබල ලෙස ඉස්මතු කර දැක්වීමට ගායන ශිල්පීන් වන සුනිලා අබේසේකර, අයිවෝ ඩෙනිස් හා ටී.එම්. ජයරත්නයන්ගේ ගායන විලාශය හා හැකියාව සමත්කම් පායි

එක පිට එක නැගෙන මුදු රළ හා අනුගතව යමින් ටී.එම්.ජයරත්න සහ අයිවෝ ඩෙනිස්ගේ ගායනය මනා ලෙස සංගීතයට මුසු කිරීමට සංගීත අධ්‍යක්ෂවරයා සමත් වී තිබේ. ඔවුන්ගේ ගායන විලාශය, උස්, පහත් මන්ද්‍ර ස්වර හරහා ඉතාම අලංකාර ලෙස ගීතයට මුසුකර තිබේ.

සුනිලා අබේසේකරගේ අනන්‍ය වූ හඬ පෞරුෂය හරහා සංගීතය තුළින් ප්‍රතිනිර්මාණ කතා පුවත වඩ වඩාත් ඉස්මතු කර තීව්‍රර ලෙස මුළු කතාවම එක්තැන් කර පෙන්වයි. හිනැහුණු උඳුම්බරා අවසානයේ කඳුළු සලයි.

විශිෂ්ටතම සිනමා සංගීතයට හා ගීත රචනයට හිමි ජනාධිපති සම්මානය 1978 වසරේ දී ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ට හා ඩබ්ලිව්. ජයසිරිට හිමි වුයේ මෙම ගීතය වෙනුවෙනි.

 

 

[email protected]