ලොවට හොරා මහද පුරා නව හැඟුමන් පිබිදේ

දෙසැම්බර් 8, 2022

සහස්‍රකයේ බිහි වූ චිත්‍රපට අතර 2007 වසරේ නොවැම්බර් 01 වන දින තිරගත වූ ආසයි මං පියාඹන්න, චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක, උදයකාන්ත වර්ණකුලසූරියගේ 12 වැනි සිනමා නිර්මාණයයි.

මෙරට සිනමාවට හඳුන්වාදුන් පූජා උමාශංකර් සහ රෝෂාන් රණවන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර , සනත් ගුණතිලක, උපේක්ෂා ස්වර්ණමාලි, උමාලි තිලකරත්න, නලින් ප්‍රදීප් උඩුවෙල ඇතුළු පිරිසක් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වූහ.

ගැමි සුන්දරත්වයෙන් අනූන, මනරම් කඳුකර ප්‍රදේශයක ජීවත් වුණු රන්මලි නැටුමට ගැයුමට එක සේ දක්ෂතා දැක් වූ සුන්දර යුවතියකි. ඇයගේ යෙහෙළියන් වන නෙළුම් සහ පබළුත් රන්මලී සේම නැටුමට ගැයුමට දක්ෂ ය.

ඔවුන් ජීවත් වුණු සොඳුරු පරිසරයේ සුවඳ, සුවය විඳීමින් භද්‍ර යෞවන වියේ පසුවන ඔවුන්ගේ ජීවිතයේ එක් සුන්දර මොහොතක් සතුටින් වින්දනය කරමින් ඔවුන් එක්ව නටමින් මෙම ගීතය ගයති.

නිදහසේ පියාසරණ සමනලයින් සේ ඔවුන් ජීවිතය විඳීති. සිතේ සතුට සැනසුම පරිසරයේ සොඳුරු බව සමග මුසු වූ විට ඔවුන්ගේ නැවුම් සිතුම් පැත්ම්වල මිහිරියාව හමායන මදනල පවා සුවඳ ගල්වයි. කාටත් නොදැනෙන ලෙස ලොවටම රහසින් යෞවන සිත්වල ඇතිවන සුන්දර චමත්කාරජනක හැඟුමන්ගෙන් සිත ඉපිලී , සොම්නස දෝරේ ගලා යයි.

සොඳුරු පරිසරයේ සොබදම් අසිරිය , චමත්කාරය ඔවුන් මනා සේ අත්විඳීයි.

පිපි මනරම් සුවඳැති මල් 
කෝලයේ සැලුණේ... 
මගේ හිත මල් සිහින අරන් 
දේදුන්නක සැඟවේ....

පිපිච්ච, විචිත්‍ර සුවඳ හමන මල් ලැජ්ජාවෙන් සැලෙන බව පවසන පරිසර වැනුම තුළින් මේ සුන්දර යුවතියන්ගේ කෝල බවින් පිරුණු පිපෙන්නට වෙර දරණ යෞවන හැඟුමන් ගැන හරිම අපූරුවට ඉඟි කරයි.

හෙට දවසේ පිපෙන්න සැරසෙන ඔවුන්ගේ සුන්දර පැතුමන් පිළිබඳ හරි අපූරුවට විචිත්‍ර සිතුවමක් මනසේ චිත්‍රණය කරමින් පද ගළපා ඇති අයුරු කදිම ය.

මේ සුන්දර පරිසර වර්ණනය සේම ඒ පරිසරයේ ජීවත්වන සුන්දර යුවතියන්ගේ සිත් තුළ සැඟවුණු පොපියන සොඳුරු හැඟුමන් පිළිබඳව ඉතා ම අලංකාරයට මෙම ගීතයෙන් කියැවේ.

මෙම සිනමාපටය තාල් හින්දි චිත්‍රපටය ඇසුරින් නිර්මාණය කළ ද මෙම ගීතය මුළුමනින්ම පාහේ දේශීය සංගීතය හා මුසුව අපටම අනන්‍ය ආවේණික ලෙස නිර්මාණය වී තිබේ. මෙය අදටත් ඉතා ම ජනප්‍රිය ගීතයක් වීමට සංගීතය, ගායනය සහ පදවැල එක සේ බලපා තිබේ.

විශේෂයෙන්ම මෙහි රූප රචනය ගැන සඳහන් කළහොත් එය ඉතා ම සුන්දර පසුතලයන් තුළ විශිෂ්ට කැමරාකාචයට හසුකර ගනිමින් කැමරාකරණය කර තිබේ. මෙහි මෙම ගීතය මෙන්ම අනෙකුත් ගීත සඳහා ද එය මනා ලෙස උපයෝගී කරගෙන තිබේ.

මෙම ගීතයේ ද නර්තනයේ යෙදෙමින් ගයන යෞවනියන්ගේ සොඳුරු බව හා ගැයුම, මෙන්ම පරිසරයේ සුන්දරත්වය ද ගීතය පුරා මනා සේ විඳගත හැකි අතර ම, තිදෙනාගේ නර්තනය හා රංගනය මඟින් ගීතයෙන් මතුකරන අදහස වඩාත් තීව්‍ර කර දක්වයි.

මේ සොඳුරු යුවතියන් ජීවත්වන ගම්මානයට හදිසියේ පැමිණෙන අමුත්තෙක් නිසා රන්මලීගේ ජීවිතයේ නව වෙනස්කමක් සිදු වේ. කොළඹින් පැමිණීි කෝටිපති ව්‍යාපාරික තරණයෙක් වූ ප්‍රවීන්ගේ සිත සුන්දර රන්මලී ළඟ නතර වේ. ඔහු ඇයට මුළු හදින්ම ප්‍රේම කරයි. ඇය හිමි කර ගන්නට පෙරුම් පුරයි.

මේ අතර නොසිතූ ලෙස ඇතිවන ගැටුමක ප්‍රතිඵලයේ ලෙස කොළඹ පදිංචියට පැමිණෙයි. ගමේ සිටි සුන්දර ගැමි යුවතිය වෙනස් වී නාගරිකරණය වී ජනප්‍රිය නර්තන ශිල්පිනියක් බවට පත්වෙයි.

ප්‍රවීන්ගේ නොවෙනස් ආදරය හමුවේ රන්මලීගේ වෙනස් වූ ආදරය හිමිකර ගැනීමට ඔහු කරන කැපවීම අවසානයේ ප්‍රවීන්ට රන්මලී හිමි වේ. සරල ප්‍රේම කතාවක් වුවත්, සුන්දර ලෙස ජනප්‍රිය සිනමාව, නොයෙසේනම් වාණිජ සිනමාව ජය ගනිමින් ආදායම් වාර්තා තබමින් සාර්ථක ලෙස රිදී තිරය ජයගන්නට මෙම චිත්‍රපට අධ්‍යක්ෂක, උදයකාන්ත වර්ණකුලසූරිය සමත් විය.

මෙම චිත්‍රපටයේ ඇතුළත් වූ ගීත අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර, එම ගීත අදටත් එක සේ ජනප්‍රියයි.

සමනල හැඟුමන් ගීතය සඳහා එහි පද රචක සුනිල් විමලවීර මහතා හොඳම ගී පද රචනයට හිමි දෙරණ ජ්ඪතථ සම්මානයෙන් පිදුම් ලැබී ය.

එසේම උරේෂා රවිහාරිගේ මියුරු ගායනය හා සංගීතයත් ගීතයේ ජනප්‍රියත්වයට එකසේ හේතු වේ. 

 

සමනල් හැඟුමන් අතරේ
නොයිඳුල් පැතුමන් ඉහිරේ
නල මුදු සුවඳේ
රොන් සුණු පැතිරේ
ලොවට හොරා මහද පුරා
නව හැඟුමන් පිබිඳේ....//

පිපි මනරම් සුවඳැති මල්
කෝලයෙන් සැලුණේ
මගේ හිත මල් සිහින අරන්
දේදුන්නක සැඟවේ....//

ලිහිණි කොවුල් විහඟ රැඟුම්
ස්නේහයයි පිදුණේ
මගේ දෙකොපුල් චුම්බනයෙන්
තෙමන්න දෝ නොදැනේ...//

ගී පද - සුනිල් විමලවීර
ගී නද - රෝහණ වීරසිංහ
ගී හඩ - උරේෂා රවිහාරි
චිත්‍රපටය - ආසයි මං පියාඹන්න