සෙනෙහස වැඩි දා සිත ද බොළඳ වේ ලොවම ආදරෙයි කියා සිතේ...

නොවැම්බර් 3, 2022

 

 

අම්මාවරුනේ... අම්මාවරුනේ...

සම්මා සම්බුදු අම්මාවරුනේ

දරුවන්ගේ දුක් කඳුළු දකින දා

සුර ලොව සිට අත පා

ඒ කඳුළැලි පිසිනා...

අම්මාවරු නැති දරුවන්ගේ

සංකා දුක් කව්දෝ දන්නේ

ඒ දුක දන්නා අම්මාවරුමයි

යම් මතු දිනයක බුදු වන්නේ

සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ....අම්මාවරුනේ...

සෙනෙහස වැඩි දා

සිත ද බොළඳ වේ

ලොවම ආදරෙයි කියා සිතේ

මායාවක් වී එහි තනි වූ දා

අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මා පමණයි ළඟ ඉන්නේ....

ගී පද - ධර්මසිරි ගමගේ

ගී නද - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස

ගී හඬ - ආචාර්ය නන්දා මාලිනි

චිත්‍රපටය - යස ඉසුරු

 

මාතෘත්වයට උපමා කළ හැකි දෙයක් මේ ලොව තුළ නැති තරම්ය. ඒ තරමටම, මව් සෙනෙහස මේ ලොව තුළ ඇති විශිෂ්ටතම, ශ්‍රේෂ්ඨතම බැඳිමක් සහ හැඟීමකි.

මව්ගුණ ගීතයක් කියූ පමණින්ම අපගේ මතකයට එන ගීතයක් නම්, ඒ ‘අම්මාවරුනේ....’ ගීතයයි.

1982 වසරේ තිරගත වූ ‘යස ඉසුරු’ චිත්‍රපටයට ඇතුළත් වූ මෙම ගීතය, එදා පටන් අද දක්වා වසර 40කට වැඩි කාලයක් තවමත් එකසේ ජනපි‍්‍රය, රසවිඳින සදා අමරණීය වුවකි. නූතන පරම්පරාවේ බොහෝ දෙනෙක් මෙම ගීතය චිත්‍රපට ගීතයක් බව නොදැන රසවිඳියි. එය මෙම ගීතයේ ඇති විශිෂ්ට සහ සර්වකාලීන බව පසක් කරයි.

‘සම්මා සම්බුදු අම්මාවරුනේ’ ලෙසින්, මාතෘත්වයට පුද දිය හැකි උතුම්ම ගෞරවය, ගීත රචක, ධර්මසිරි ගමගේ ශූරීන් විසින් මෙම ගීතයෙන්, ලොව සිටින සියලු මව්වරුන්ට පුද කර තිබේ.

‘යස ඉසුරු’ මව් සෙනෙහස අහිමි වූ යොවුන් දියණියක හා පුතෙකු ජීවිතයේ මුහුණ දෙන සිදුවීමක් පිළිබඳව කතා කරන සංවේදී කතා පුවතක් රැගත් සිනමාපටයකි.

යොවුන් වියේ සිටින දියණියකට ‘මව් සෙනෙහස කුඩා කලටත් වඩා කොතරම් නම් අවැසි දැයි හැඟෙන්නේ, ඇය ජීවිතයේ පේ‍්‍රමය හමුවේ අසරණවන, මං මුළාවන මොහොතක දීය.

අහිමි මව්සෙනෙහස ඉල්ලා හඬා වැටෙන සිත් පමණක්ම දන්නා ඒ වියෝ දුක, කෙතරම් වේදනාත්මක ද යන්න දන්නේ ඒ අහිමි වීම අත්දැක ඇති හිත්ම පමණයි. ඒ වේදනාව කොතරම් ප්‍රබල ද යත්, දරුවන් අකාලයේ අත්හැර මෙලොවින් සමුගත් මව්වරුන් ‘සුරලොව සිටියත් ඒ දරුවන්ගේ දුක ඔවුන්ට දැනේ. ඒ නිසයි සිහිනයක හෝ රැඳී පැමිණ ඒ දරු දුක පිසලන්නට වෙර දරන්නේ සැබැවින්ම එය ඉතාම අලංකාර වැනුමකි.

අම්මාවරුන් අහිමි දරුවන්ගේ සදාකාලීන, වේදනාව, සංකාව, පසුතැවීම දන්නේ, අම්මා වරුන්ම පමණයි. එවන් මාතෘගුණය හෙබි මව්වරුන් සංසාරේ මතු බුද්ධත්වය ලබයි.

මව් සෙනෙහස, රැකවරණය නම් දැවැන්ත වෘක්ෂයේ සෙවණ අහිමි යොවුන් දියණියකගේ සිත පේ‍්‍රමය නැවුම් බලාපොරොත්තුවක් එක් කරයි. ඒ ආගන්තුක සෙනෙහස සිතට වැඩිය දා ඇගේ මුළු ලෝකයම ඒ ආදරය යැයි ඇයට හැඟේ. ඒ ආදරය හමුවේ යොවුන් සිත බොළඳයි. අසරණයි. ඉතින් එවන් සිතක් රැවටීම පහසුයි. ආදරය නාමයෙන් එන මායාවන්ට ඒ සිත් නතු වේ. අවසනයේ තනි වේ. සියල්ල අහිමිව අසරණ වූ මොහොතේ පවා සිහියට නැගෙන්නේ ‘අම්මා’ පමණයි. මෙලොව කිසිදා වෙන් කළ නොහැකි ඒ සදාතනික බැඳිමයි. ගතිත් නැතත් සිතින් හෝ ළඟ සිටින්නේ අම්මා පමණයි. ගතින් නැතත් සිතින් හෝ ළඟ සිටින්නේ අම්මා පමණයි. ඉතින් කුමට ද මාතෘත්වයට තවත් උපමා.

ගීතය රචනා කළ ධර්මසිරි ගමගේ ශූරීන් මෙන්ම එය සංගීතවත් කළ කේමදාස මාස්ටර් හා ගීතයට හඬ මුසුවෙන් උපරීම සාධාරණය ඉටුකළ නන්දා මාලනියගේ විශිෂ්ට සුසංයෝගය හේතුවෙන් මෙම ගීතය අදටත් එකසේ ජනපි‍්‍රය සදා මතකයේ රැඳුණු ගීතයක් බවට පත් වී තිබේ.

කවියට පුනරුක්තිය අලංකාරයක් එක් කරයි. නමුත් ගීතයට පුනරුක්තිය අලංකාර නොවේ යැයි මතයක් තිබේ. නමුත් මෙම ගීතයේ පුනරුක්තිය භාවිතා කර තිබේ. ගමගේ ශූරීන් විසින් මුලින්ම ලියා ඇති ගීතය ‘සම්මා සම්බුදු අම්මාවරුනේ’ ලෙසින් ආරම්භ කර තිබේ. නමුත් එයට වැඩි අලංකාරයක් එක් කිරීම සඳහා කේමදාස මාස්ටර් විසින් එහි මුලට අම්මාවරුනේ.... අම්මාවරුනේ.... ලෙසින් පදයක් පුනරුක්තිවන සේ යොදා තිබේ. එය මෙම ගීතයට සැබැවින්ම මහඟු ආලෝකයක් වී තිබේ. ගීතයේ අර්ථය හා එහි රසය වඩාත් උද්දීපනය සඳහා එය බලපා තිබේ.

මෙම ගීතය සැබැවින්ම හදට දැනෙන ගීතයකි. එහි රසය සර්වකාලීනය.

විජය කුමාරතුංග, මාලිනි ෆොන්සේකා, අමරසිරි කලංසුරිය, ගෝතමී පතිරාජ, විජය නන්දසිරි, ලීනා ද සිල්වා, මියුරු සමරසිංහ, දොන් සිරිසේන ඇතුළු රංගන ශීල්පීහු රංගනයෙන් දායක වෙති.

මෙම චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිරරචනය ලියා අධ්‍යක්ෂණය කළේ ධර්මසිරි ගමගේ ශූරීන්ය. මෙම ගීතය වෙනුවෙන් හොඳම ගීත රචනයට හිමි සරසවිය සම්මානය ධර්මසිරි ගමගේ මහතාට හිමි වූ අතර මෙම ගීතය ගැයූ නන්දා මාලිනිය හොඳම ගායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. තවද, 1982 පැවති ජනාධිපති සම්මාන උලෙළේ දී ද හොඳම ගායිකාවට හිමි සම්මානය ගීතය සඳහා ඇයට හිමි වූ අතර 1985 ඕ.සී. අයි.සී. සම්මාන උළෙලේ විශේෂ ජූරී සම්මානය ද මෙම ගීතය සඳහා ඇයට හිමි විය.

සිංහල ගීත සාහිත්‍යයේ පෝෂණයට හා ප්‍රගමනයට මෙවන් සුභාවිත ගීත මඟින් ඉටුකරන මෙහෙය අනර්ඝයි. ගීත රසවිඳින හොඳ රසික ප්‍රජාවක් බිහිවීමට මෙවන් ගීත ඉටු කරන කාර්යය අතිමහත්ය.

[email protected]