තාත්තා මාව හැමෝටම පෙන්නූවේ ‘මේ මගේ අම්මා’ කියලයි

ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නගේ දියණිය ගයාත්‍රී එදිරිමාන්න කියයි
නොවැම්බර් 3, 2022

 

හෙළ සිනමා වංශ කතාවේ 42 වන චිත්‍රපටය ලෙසින් 1957 වසරේ දී රිදී තිරය ඔපලූ ‘සූරයා’ සිනමා සිත්තමින් ප්‍රධාන භූමිකාව හෙබ වූ එකල රසික හද ඇද බැඳ තබාගන්නට තරම් සමත් වු කඩවසම් රංගන ශිල්පියා ඔහු වුයේය.

අද්විතීය ස්ථානයක සිය නාමය රඳවා තබා සිනමාව පමණක්ම නොව වේදිකාව, ගුවන් විදුලි වැඩ සටහන්, ගුවන් විදුලි ප්‍රාසංගික නාට්‍ය, ටෙලි නාට්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක සිය ප්‍රතිභාව විදහා දැක් වූ හෙතෙම ජාතික චිත්‍රපට සංස්ථාව බිිහිකරලීමේ දැවැන්ත කර්ත්‍යවයේ පුරෝගාමීයකු ලෙසින් ද හඳුන්වන මේ රූපණවේදියාණෝ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නයෝය.

ඔහු පිළිබඳ ඉමිහිරි මතකයන් සිහිපත් කරමින් ‘සරසවිය’ වෙනුවෙන් අප හා පිළිසඳරට එක් වූ ඔහුගේ දෙවන දියණිය ගයාත්‍රී එදිරිමාන්න මහත්මිය සිනාබර මුවින් සිය කටහඬ අවදි කළාය.

අපේ තාත්තාට දූ දරුවන් හතර දෙනයි. මගේ අක්කා බිම්බා, අයියා චින්තක, මගේ මල්ලි ලක් විජය. මම පවුලේ තුන්වැන්නිය. ඇත්තටම, මගේ ලේකයේ වීරයා අපේ තාත්තා. පුංචි කාලෙ ඉඳන්ම තාත්තාගේ උණුසුමේ ඉන්නමයි මම ආශා කළේ. අපේ තාත්තාගේ ඇඟ උඩ නැගල නිදාගන්න අපි පොර කෑව හැටි නම් මට තාම මතකයි.

ප්‍රශ්න තියෙන්න ඇති. ඒත් කවදාවත් අපේ තාත්තා අපට පහරක් වත් ගහලා නැහැ. කවදාවත් අම්මා එක්ක රණ්ඩු වුණු දවසක්වත් අපි දැකලා නැහැ. අනේ ඇත්තටම අපේ තාත්තා ළඟ උතුරා යන තරමේ කරුණාබර හිතක් තිබුණේ. අපටම කියලා නෙමේ, අපේ තාත්තා අපට දක්වන ආදරය, කරුණාව පිටස්තර දරුවන්ටත් මනුස්සයන්ටත් එහෙමම තිබුණා.

අම්මාටත් වඩා මං තාත්තටයි සමීප වුණේ. මගේ ජීවිතයේදීත් හැම දෙයක් දිහාම මධ්‍යස්ථාව බලන්න හිතන්න පුරුදු වුණෙත් තාත්තාගෙන්මයි.

තාත්තා බලවත් කම්පාවකට පත්වෙලා හිටිය දවස් හැටියට මං දැක්කේ අපේ තාත්තා 1980 ජුලි වැඩ වර්ජනයට එක්වීම නිසා තාත්තාගේ රස්සාව නැතිවු දවස් ‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපේ තාත්තා රස්සාව කළේ. අපේ තාත්තට ගුවන් විදුලිය ද තහනම් කලාපයක් වුණා. මගේ පවුල රැකබලා ගන්නේ කොහොමද කිය කියා තාත්තා දුක් වුණ ඒ දවස් මට තාම මතකයි. පස්සේ 83 දී අපේ තාත්තා මැද පෙරදිග රටක රස්සාවකට ගියා. අ..යි...යෝ අපි ඒ දුක දරාගත්ත හැටි වචනයෙන් කියාගන්න බැරිතරම්.

‘අපේ අම්මා හෙදියක්. සුමනා ලියනගේ, ගෙදර වැඩ කටයුතු පිරිමැහැව්වේ අපේ අම්මා. අපේ තාත්තා පුදුම විදිහට අනුන් ගැන හිතනවා. එහිදි ඒ ඒ අයගේ තරාතිරම, උස්පහත්භේද, ඇති හැකිකම් මේ මුකුත්ම තාත්තා සැලකුවේ නැහැ. ඒ උතුම් ගුණය අපටත් හුරු වුණා. මිතුරු මිතුරියන් ආශ්‍රයේදී අපෙත් එහෙමමයි.

අනේ විජය මහත්තයාගේ තාත්තාව බලන්න නිතර ආවා. යම් යම් කරුණුවලදී විජය තාත්තාගේ හිත හදනවා. මට තවමත් මතකයි. තාත්තා මාව හැමෝටම පෙන්නුවේ මේ මගේ අම්මා කියලමයි.

ඕ දෑස කඳුළට බරවිත්

‘සමාවෙන්න. අපේ තාත්තා ගැන මතක් වෙනකොට තවමත් හිතට දුක එනවා. දුකක් කියාගෙන එන කෙනෙක්ව හිස් අතින් ආපසු යවන සිරිතක් අපේ තාත්තාට තිබුණේම නැහැ.

‘අපේ තාත්තා ඉඩ ලැබෙන ලැබෙන හැම පොහෝ දිනටම අපිත් එක්කම සිල් සමාදන් වුණා. ආගමික පැත්තට පුදුම භක්තියක් තිබුණේ. ඒ වගේමයි රස්සාවටත්, චිත්‍රපටවලට රඟපාන්න ඉන්දියාවට යන්න වුණාම තාත්තා රස්සාව රැකගන්නේ කොහොමද කියල හිතුවා. නිවාඩු ගැනීමත් ප්‍රශ්නයක්. පස්සේ අපේ තාත්තා ලිපියකුත් ලියාගෙන බණ්ඩාරනායක මහත්තයාව හම්බවෙන්න රොස්මීඩ් පෙදෙසට ගිහින් එතුමාට කාරණය කිව්වාම මොකටද ඉන්දියාවේ චිත්‍රපට හදන්න යන්නේ. මෙහෙදීම ඒක කරගනිමු කියලා එතුමා කියලා තියෙනවා.

ඒ දවස් වලමයි එතුමා ඝාතනය වුණේ. පස්සේ සිරිමාවෝ මැතිනිය මාර්ගයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවන්න අපේ තාත්තා මුල්වුණේ.

අනේ අපේ තාත්තා - අපේ හොඳම තාත්තා අනේ ඔත්පළ වුණා. සිහි කල්පනාව එනවා යනවා. අංශබාගය වැළඳුණා. හැම තැනකින්ම ප්‍රතිකාර කළා. එහෙමට ලෙඩ ඇඳටම වැටී හිටියත් දන්න කියන අයගේ මළගෙවල් වලට පවා තාත්තාට යන්න ඕන වුණා.

මම ඕ දෙස බැලීමි. අතුරු පැනයක් ඇසුවෙමි.

‘හදිසියේ තාත්තා ආවොත්?’

ඇයට හැඬුම් ආවාය. ‘එහෙනම් මං දුවගෙන ගිහින් අපේ තාත්තාව මං ආදරයෙන් බදා ගන්නවා’.

 

 

 

[email protected]

 

සේයාරූ - දයානන්ද කුමාරගේ