සාගර වෙරළක පියසටහන් මත ඔබ මා සමඟින් ගෙවුණු දිනක් ඇත

ඔක්තෝබර් 6, 2022

 

ඔබම මාද විය

මාද ඔබම විය

සාගර වෙරළක පියසටහන් මත

ඔබ මා සමඟින් ගෙවුණු දිනක් ඇත

ඒ රන් හිරු රැස විිහිදුණු මොහොතේ

ඔබම මාද විය මාද ඔබම විය

පවසා ගන්නට දහක් වදන් ඇත

පෙන්විය නොහැකි වූ දහස් දසුන් විය

ඒ සැම මැද්දේ සිත කය සිරවුණු

අහිංසකාවිය පමණ ද ඔබ ළඳ

ඔබමය මා සිත ඔබමය මා ගත

සිතින් ද සිරුරෙන් සොබ කළ හිමියනි

ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත

එවන් කලෙක මා එපා නොකළ මැන

ගේය පද - බණ්ඩාර කේ. විජේතුංග

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල

චිත්‍රපටය - මධුසමය

 

 

මේ ගීතය 1991 වසරේදී, සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වූ ‘මධු සමය’ චිත්‍රපටයේ ඇතුළත් වුවකි.

විජය කුමාරතුංග, මාලිනි ෆොන්සේකා හා ලකී ඩයස් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍රපටය සඳහා, වල්පොල ආර්.විමලසිරිගේ ‘නිරංජලා’ නවකතාව පාදක කරගෙන තිබේ.

විජය කුමාරතුංගයන් රඟපෑ විශිෂ්ටතම රංගනයක්, මෙම සිනමාපටයේ දැකගත හැකිය. විජය - මාලිනි යුවළ රඟපෑ චිත්‍රපට අතුරින් ඉතාම සාර්ථක තාත්වික රංගනයක් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කර තිබේ. විජය මියයන්නට පෙර මාලිනි ෆොන්සේකා සමඟ රඟපෑ චිත්‍රපට අතර තිරගත වූ අවසන් චිත්‍රපටය ද මධුසමය විය.

වරෙක සැබෑ ජීවිතයේ දී ද පෙම්වතුන් වූ ඔවුන්, මෙම චිත්‍රපටයේදී පෙම්වතුන් සේ එක්ව විවාහ වී විවාහක කුඩුම්භය තුළ, යොවුන් වියේදීම මතුවන අනපේක්ෂිත සිදුවීමක් ඔස්සේ ඇතිවන ඝට්ටනය ඉතාම තාත්වික ලෙස රඟ දක්වා තිබේ.

මෙම චිත්‍රපටයේ ඔහු පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහුගේ බිරිඳ හෙදියකි. ආදරණීය ප්‍රේමයක් මල්ඵල ගන්වමින් ඔවුන් විවාහ වී ඉතාම සතුටින් අනාගත සුබ සිහින දකිමින් ජීවත් වේ.

ජීවිතය හරි පුදුමයි. සිතු දේ නොමවන නොසිතු දේම වෙන මේ ජීවිතයේ හදිස්යේම රිය අනතුරකට ලක්වීමෙන් ඔහු දරුණු ආබාධයකට ලක් වේ. ස්නායු ආබාධයක් සහිතව කායික දුබලතාවය හා බෙලහීන තත්වයකට පත්වන්නට මෙම යොවුන් ස්වාමියාට සිදුවේ. වෘත්තීමය වශයෙන් ඔහු ගෙවූ වගකීම් සහිත කාර්ය බහුල රැකියාවකට සමු දී එක්තැන් වන්නට සිදුවීම දෛවයේ දැඩි දඬුවමකි.

ඔහුගේ සුන්දර බිරිඳ, සිය ස්වමියා රැකබලා ගනිමින් හෙදියක් ලෙස දිවා රෑ වෙහෙස වෙමින් රැකියාවක් කරයි. හුදකලාව, අකර්මණ්‍ය වූ ඔහු පාළුව, තනිකම, සංකාව මෙන්ම ඊර්ෂ්‍යාව, සැකය, විචිකිච්ඡාව මේ සියල්ලටම තනිවම මුහුණ දෙයි. නිතරම ඔහුගේ රූමත් බිරිඳව සැකකිරීමට ඔහු පෙලඹෙයි. රෝහලේ වෛද්‍යවරයකු සමඟ ඈ ඇසුරක් පවත්වන බවට ඔහු සැකකරයි.

මේ මානසික ඝට්ටනයේ අවසානය ඛේදවාචකයක් කරමින්, ඔහු සිය දිවි නසාගනියි. ඔහුට පණ මෙන් ආදරය කළ බිරිඳට ඔහුගේ වියෝව මහ කම්පනයකි. දරාගත නොහැකි වේදනාවකි. විවාහ දිවිය තුළ ඔහුගෙන් ප්‍රතික්ෂේප වු මොහොතක ඇයට දැනෙන කම්පනය, ඇයගේ ඒ වේදනාවෙන් පෙළෙන සිතිවිලි ගීතයකට රචනා කරන්නට මෙම චිත්‍රපට ගීතය රචනා කළ බණ්ඩාර කේ. විජේතුංගයන්ගේ පද රචනය මනා ලෙස සමත් වී තිබේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මධුර තනුව හා සංගීතයත්, විශාරද මාලිනී බුලත්සිංහලගේ භාවමය ලයාන්විත හඬ මුසුවත් ගීතයට මනා සාධාරණයක් ඉටුකොට තිබේ.

“ඔබම මාද විය - මාද ඔබම විය....”

අපේ ජීවිතයේ ගෙවුණු අතීත මතකයන් මොනතරම් සුන්දර ද? කිසිදු දිනක කවර ලෙසකින් හෝ ඒ සොඳුරු අතීතය අමතක කළ හැකි ද? ඔබ මගේම වුණු... මා ඔබේම වුණු ඒ මතක සැමරුම්, අපිම පමණක් දන්නා ආදරණීය මතකයන් මිහිරි හැඟුමන් සියල්ල සොඳුරු සිත්තමක් ලෙස තවමත් හදවතේ සිත්තම්ව තිබේ.

ආදරණීය කැදැල්ලක කුඩුවෙලා අපි ගෙවපු සුන්දර ජීවිතයේ මිහිරි මතකයන් දන්නේ ඔබත් මාත් පමණයි. අපි අනාගතය ගැන දැකපු සුබ සිහින ගැන දන්නෙත් අපි පමණයි. තනිවුණු හැම මොහොතකම අපි අපේම වුණු මතකයන් මොනතරම් සොඳුරු ද?

මේ සයුරු වෙරළේ අපි මොනතරම් ඇවිද යන්නට ඇති ද අපේ සුන්දර,පේ‍්‍රමණීය මතකයන් මේ සයුරු ඉමේ කොතෙකුත් ඇති. ඔබේ අතැඟිලි පහස ලබමින් ඇවිද ගිය ඒ සොඳුරු සැන්දෑ කාලයන් කෙසේ අමතක කරන්න ද? ඒ මතකයන් හද පාරවයි.

අපි අපෙන් දුරස් කරමින්, කාලය අද කෙතරම් නපුරු වී ද? ඔබට කියාගන්න බැරිව බොහෝ දේ මගේ සිතේ තද කරගෙන මං දුක් විඳිනව ද? ඔබ වෙනුවෙන් කරන්න මට මොනතරම් දේවල් තියෙනවද? ඔබට පෙන්වන්න ඔබ හා විඳින්න, ජීවිතේ බෙදාහදා ගන්න කොපමණ දේවල් තව තියෙනවාද? ජීවිතයේ ඉටු කරන්න මොනතරම් බලාපොරොත්තු අපිට තිබුණ ද? ඒත් අද ඒ සියල්ල සිහිනයක්. ඔබ ළඟ ඇතත්, ඔබ ළඟ නැති .. සිතින් ගතින් මා තනි වූ බිරිඳක් පමණයි. හැම මොහොතකම හදවතින් වැලපෙන.

එදා මගේ මුළු ජීවිතයම වුණේ ඔබයි. මගේ සිතත්, ගතත් නතු වුණේ ඔබට පමණයි. ඔබ ළඟ විතරයි. එවන් ආදරක් තිබුණු මගේ හිත තවමත් ඔබට ආදරෙයි. ඔබෙන් වසන් කරන්නට කිසිදු රහසක් නැහැ. ඉතින් ඇයි මේ සැක සංකා මා ගැන.. ඇයි ප්‍රතික්ෂේප කරන්නේ?

ආදරයේදී යමෙකු තමන් ආදරය කරන කෙනාගෙන් ප්‍රතික්ෂේප වීම තරම් දරුණු වේදනාවක් ලොව නැති තරම්. එය එතරම්ම ප්‍රබලයි. පෙම්වතුන් සේ සිටිය දී මෙන් නොව විවාහ තුළ දී සිදුවන ප්‍රතික්ෂේප කිරීම ඊටත් වඩා ප්‍රබල කම්පාවකි. ඇය ඒ දරුණු වේදනාව විඳිමින් සිටී. ඔහු මෙන්ම ඈ ද මානසිකව කඩා වැටී තිබේ. ඔවුන්ගේ ජීවිත නීරසවන තරමටම පේ‍්‍රමය පලුදු වී තිබේ.

එවන් බිදුණු පේ‍්‍රමයකින් පරාද වුණු මානසිකත්වයක් සහිත බිරිඳකගේ කම්පාව, විශාරද මාලනී බුලත්සිංහල ගේ වැලපුම් ස්වරය සහිත, භාවමය හඬ මුසුවෙන් ප්‍රේක්ෂක රසික හදවත් කම්පා කරන අතර එය අපුරුවට රඟ දැක්වීමට ප්‍රවීණ නිළි මාලිනි ෆොන්සේකා සමත් වේ.

සම්මානයෙන් පිදුම් ලද මධු සමය චිත්‍රපටය අධ්‍යක්ෂණය, නිෂ්පාදනය හා තිර රචනය සහ කැමරාකරණය යන සියල්ල සිදුකළේ කේ.ඒ.විජේරත්නය. ඔහු මෙරට සිටි ඉතාම දක්ෂ කැමරා ශිල්පීයෙකි. මෙම චිත්‍රපටයේ මෙම ගීතයේ රූප රාමු, විශිෂ්ට කැමරාකෝණයකට ඔහු හසුකර ගෙන ඇති අයුරු විශිෂ්ටය. ඔහු කැමරාකරණය කරමින් අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය ද මෙයයි.

හොඳම ගීත රචනය සඳහා 1992 දී සරසවි සම්මානය මෙහි ගීත රචක බණ්ඩාර කේ. විජේතුංගට හිමිවිය. එසේම ස්වර්ණ සංඛ, ර්‍ණ.ඛ්.ධ්.ඛ්, සරසවි යන සම්මාන උලෙළවල් වලදී මෙම චිත්‍රපටය සඳහා සම්මාන 07ක් හිමිවිය.

සිංහල සිනමා වංශකතාවේ තවත් එක් අගනා චිත්‍රපටයක් ලෙස මධුසමය චිත්‍රපටය හැඳින්විය හැකිය. එය හෙළ සිනමාවේ තවත් එක් මං සලකුණකි.