වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
අකාලයේ දිවි අහිමි වු පන්ජාබි ජාතික ගී තරුව

ශුබ්දීප් සිං සිධු නොහොත් සිධූ මූස් වාලා නම් පන්ජාබි රැප් ගායකයා පසුගියදා නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියදී මාන්සාහි ජවහර්කේ ප්‍රදේශයේදී ඔහු ඝාතනයට ලක් වී තිබේ. මිය යන විට ඔහු 28 වැනි වියේ පසු වූයේය. සිධූ මූස් වාලා පන්ජාබි සංගීත ක්ෂේත්‍රයේ සහ පන්ජාබි සිනමාවේ ගායකයෙකු මෙන්ම නළුවෙකි. "So High" ගීතය සමඟ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් ඔහු විවාදාත්මක ගීත ඉදිරිපත් කිරීම වෙනුවෙන් ප්‍රකට වූයේය. ඇතැම් ගී නිර්මාණ හේතුවෙන් ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනා සමඟ නීතිමය තත්වයන්වලටද මුහුණ දීමට සිදු විය. ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සාමාජිකයෙකු වන සිධූ මූස් වාලා මේ වසරේ පන්ජාබ් මැතිවරණයට තරග කළද පරාජයට පත් විය.
ඉන්දියාවේ පන්ජාබ්හි මාන්සා දිස්ත්‍රික්කයේ මූසා නම් ගම්මානයේ සීක් පවුලක උපත ලද සිධු මූස් වාලා විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකි. උපාධිය ලැබීමෙන් පසු කැනඩාවේ පදිංචියට ගිය අතර පළමු ගීතය වන "G Wagon" ඉදිරිපත් කළේ එහිදීය. ඔහුගේ "Issa Jatt" ගීතය පන්ජාබි සංගීත සම්මාන උලෙළේදී නව පරපුරේ හොඳම ගීතය ලෙස සම්මානයට පාත්‍ර විය. 2018 වසරේදී Dakuaan Da Munda චිත්‍රපටය වෙනුවෙන් ඔහු සිය පළමු චිත්‍රපට ගීතය "Dollar" නිර්මාණය කළේය. 2020 වසරේදී අම්රිත් මාන් සමඟ එක්ව නිර්මාණය කළ Bambiha Bole ගීතයේ වීඩියෝව පැය විසිහතරක් තුළදී මිලියන දහයකට අධික සංඛ්‍යාවක් නරඹා තිබේ. මූස් වාලා රංගනය පිවිසියේ ඔහුගේ නිෂ්පාදන සමාගමක් වන ජෙට් ලයිෆ් ස්ටුඩියෝස් ඉදිරිපත් කළ Yes I Am Student චිත්‍රපටයෙනි. ඔහු ප්‍රධාන චරිත නිරූපණය කළ Moosa Jatt චිත්‍රපටය පසුගිය වසරේදී නිකුත් කෙරුණි. 2020දී "Panjab: My Motherland" ගීතය නිකුත් කළ අතර එය සීක් බෙදුම්වාදී ව්‍යාපාරයක් වන ඛලිස්ථානි වෙනුවෙන් කළ උපහාරයක් විය. ඝාතනයට ලක් වන විට ඔහුට විරුද්ධව නඩු හතරක චෝදනා එල්ල වී තිබුණි.
අනවසර ගිනි අවි ළඟ තබා ගැනීම හා ගිනි අවි භාවිතයට පුහුණු කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඒ අතර වේ.
සිධූ මූස් වාලා ඝාතන සිදුවීම මේ වන විට පන්ජාබයේ දේශපාලන ගැටුමකට හේතු වී ඇති අතර කොංග්‍රස් පාක්ෂිකයන් පවසා සිටින්නේ ඔහුට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීම මෙම ඝාතනට හේතුව බවයි. තවද මූස් වාලාගේ රසික රසිකාවන් මෙන්ම කොංග්‍රස් පාක්ෂිකයන් ඔහුට යුක්තිය ඉල්ලමින් සමාජ මාධ්‍යය ඔස්සේ ව්‍යාපාරයක් දියත් කර තිබේ.