මම ඉපදුණේ අන්අයට සතුට බෙදන්න

එදා ගී ලොව වැජඹුණු ශන් (සුබ්‍රමනියම් ශන්මුගම්)
ජුනි 2, 2022

නීල දෑස පුරා 
සිහින ලොවින් පෙරා 
වෑහේ කැලුම් නුරා 
මා ඔබෙ පෙම්බරා

මේ ගීතය අප මෙතෙක් අසා තිබුණේ ජනකාන්ත ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ හඬිනි. එහෙත් ඒ ගීතයේ තනුවේ සැබෑ හිමිකරු විසින් රූප රචනාවක් ද සමඟින් ඒ ගීතය ගායනා කොට සරසවියට රැගෙන ආවේය. ඔහු නමින් සුබ්‍රමනියම් ශන්මුගම්ය. ශාන් ස්ටුඩියෝ නමින් කලකට ඉහත ප්‍රකටව තිබූ හඬ ශබ්දාගාරයේ හිමිකරු ඔහුය. වසර 36 ක් ඩෙන්මාර්කයේ පදිංචිව සිටි ඔහු යළිත් ලංකාවට පැමිණ ඇත්තේ ඔහුගේ අයිතියට ඇති ගීත කිහිපයක් මෙසේ පටිගත කිරීමේ අරමුණ ද ඇතිව.

අපි ඔහුගේ ආගිය තොරතුරු පමණක් නොව මෙතෙක් කතාවම අසා දැන ගත්තේමු. 

මම ඉපදුණේ 1942 ජුනි 02 වැනිදා යාපනයේ කරෙයි නගර් ප්‍රදේශයේ. මගේ තාත්තා ඇපෝතිකරි කෙනෙක්. ඔහු දකුණේ පවා සේවය කළා.

මම ඉගෙන ගත්තේ යාපනයේ කෝපායි ගමේ නාවලර් මධ්‍යමහා විද්‍යාලයේ ඊට පසුව ක්‍රිස්තියානි පාසලටත් ශාන්ත පැට්‍රික් විද්‍යාලයටත් ආදී වශයෙන් මාරු වෙවී අධ්‍යාපනය ලැබුවා. 1964 මම බොරුල්ලේ ඇක්වයිනාස් කොලිජියට ආවා. මගේ පන්තියේමයි පසුව ජනාධිපතිනි වුණු එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනවිය හිටියේ. පසුව මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට තේරුණා. ඒත් මගේ හදවත ඇතුළෙන් කියන්නේ කලාවට යොමු වන්න කියලාමයි.

හොඳම උදාහරණයක් කියන්නම්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී දේශන ශාලාවට යන්නේ සින්දුවක් මුමුනමින්. දවසක් හින්දි ගීතයක් එහෙම මුමුනමින් ගිහින් මට අදාළ ආසනේ ඉඳගත්තාම මුළු දේශන ශාලාවම මීයට පිම්බා වගේ නිහඬව ඒ ගීය අහගෙන හිටියා. මහාචාර්යවරයාත් වෙනදා වගේ කලබලෙන් එන්නේ නැතිව හීමිට - හීමිට ඇවිදගෙන ඇවිත් ඔහුගේ පොත්පත් සටහන් ටික පවා කිසිදු ශබ්දයක් නොනැගෙන විදිහට මේසය මතින් තිබ්බා. ඒ මොහොතෙම මම ගීතය අවසන් කළා. නැත්තම් ඒක දේශකයාට කරන අගෞරවයක් වගේ වන නිසා. ඉන්පසු නිතර දේශකයකු එනතුරු මට එවැනි ගී ගැයීමට මිතුරන් උනන්දු කළා. එවිට මගේ කලාවට තිබුණු උනන්දුව තව තවත් වැඩි වුණා. ඒ නිසා මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරලා දාන්න තීරණය කළා. මට හිතුණා තවදුරටත් කෘෂි කර්මය කළොත් මට ජීවිතයක් නැති වෙයි. ඒ නිසා මම කැමැති දේ කරනවා. කලාකරුවකු වීමේ අභියෝගය බාරගන්නවා කියලා.

ඔහු සිලෝන් තියටර්ස් ආයතනයට බැඳෙන්නේ ඒ සිතිවිල්ලෙනි. ඒ යුගයේ විජය කුමාරතුංග, ගාමිණි ෆොන්සේකා, අමරනාත් ජයතිලක වැනි පිරිස් ඇසුරට ශාන්ට අවස්ථාව ලැබෙන්නේ ඒ අනුවය. ඔහු ඒ යුගය සිහි කරයි.

විජය කුමරතුංග නවකයෙක් නිසා සිලොන් තියටර්ස් ඇවිත් පැත්තකට වෙලා ඉන්නවා ඔහේ බලාගෙන. වික්ටර් රත්නායකත් ඒ කාලේ නවකයෙක්. මම තමයි ගිහින් ඔවුන්ට කතා කරන්නේ. ඒ යුගයේ ලෙස්ටර් පීරිස්, කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා,පේ‍්‍රමසිරි කේමදාස, එච්.ආර්. ජෝතිපාල එහෙමත් එහි එනවා. ඒ කාලේ ප්‍රසිද්ධ විජය ස්ටුඩියෝ එකයි සිලෝන් ස්ටුඩියෝ එකයි තමයි. මම එහි සිටියේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වගේම සංගීත අධ්‍යක්ෂවරයකු වීමේ බලාපොරොත්තුවෙන්. ඒත් එහි සිටි ප්‍රවීණ අය මට හරියට විහිළු තහළු වගේම අපහාස උපහාසක් කළා. හැබැයි මගේ අරමුණට යන්න ඕනෙ නිසා මම පුදුම විදිහට ඒ සියල්ල ඉවසගෙන හිටියා.

මම එහෙම හැදුණේ වැඩුණේ මගේ පවුල් පසුබිම නිසා. මට අක්කලාම තුන් දෙනයි. මනෝන්මනී, සිවපාකසම්, කට්පහම්, ඊට වැඩිමල් අයියා කෙනෙක් ඉඳලා කුඩා කාලෙම නැතිවෙලා තිබෙනවා. මගේ තාත්තාත් මට අවුරුදු 12 දි විතර නැති වුණා. ඉතින් අපේ අම්මා වල්ලි අම්මෙයි සුබ්‍රමනියම් තමයි අපිව ලොකු මහත් කළේ. මට අවුරුදු 5 - 6 කාලේ ඉඳන් මම දේශපාලන මීටින් වල පවා ඒවා අරඹන තුරු ගීත ගැයුවා. අමුතුම සංස්කෘතියක් නේ 50 දශකයේ අපට තිබුණේ. මම ඉස්කොලෙදිත් සින්දු කීවා. සමහර අවස්ථාවල රඟපෑවා. මම හිතන්නේ මම ඉපදිලා තියෙන්නෙම අනෙක් අයට විනෝදාස්වාදයක් සපයන්න.

මෙසේ සිය කුඩා අවධිය සිහි කළ ඔහු යළි සිය වෘත්තිය ජීවිතයේ කඩ ඉමක් වෙත ගියේය.

සිලෝන් තියටර්ස් වලින් පසු මම ඉම්පීරියල් ටෝකීස් එකේ බුකිං ක්ලාර්ක් තනතුරට ගියා. හැබැයි ඉතින් මැනේජර් වැඩේ කළෙත් මම ම තමයි. කුරූණැගල, මඩකලපුව වගේ රටේ සෑම තැනකට වැඩ කරලා පානදුර ඉම්පීරියල් එකේ ඉන්චාර්ජ් බවට උසස්වීම ලැබුණා. ඒ 1971 වසරේ. ඒත් අපේ‍්‍ර්ල් මාසේ වෙද්දි චේ ගුවේරා ප්‍රශ්න එන්න ගත්තා. චිත්‍රපට බලන්න කවුරුත් නෑ. මම ඔහේ ඉඳගෙන ඉන්නවා. ඒ ගමන් මම කල්පනා කළා මේ තමයි මට සංගීතය කරන්න හොඳම කාලේ කියලා. ඒ වෙනුවෙන් මට දිගු කාලීන සැලැස්මකුත් තිබුණා. මම ඊ.පී. රෙකෝඩ් තැටිවලට සංගීත නිර්මාණය කරන්න තීරණය කළා. 

මගේ හිතට නැඟෙන තනු සමඟ මම ගිහින් කරුණාරත්න අබේසේකර හමුවුණා. මම මිමිණු තනුවකට ඔහු ලීවා. නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා - කියලා. ඊට පස්සේ මිමිනු තනුවට අද අමුතුම රැයකි - හොඳ සීතල පැයකී ලීවා. තුන්වැනි එක තමයි මල්සර මල් දුන්නේ.

මම කීවා මේ ගීතවලට මට ඕනේ එච්. ආර්. ජෝතිපාලගේ හඬ කියලා. මම ඔහු හමු වුණා. ඔහු මට හැම තිස්සේම කතා කළේ මිස්ට ශාන් කියලා, ගෞරවයෙන් යුතුව. ජෝති හොඳ මනුස්සයෙක්. අපි මර්වින් රොද්‍රිගුගේ ශබ්දගාරයේ මේ ගීත පටිගත කළා. මගේ තනුවලට සංගීත සංයෝජනය කළේ සරත් දසනායක. ඒ කාලේ ඔහු කේමදාස මාස්ටර් ළඟ ගුරුවරයකු ලෙස කටයුතු කළේ. මට සරත් දසනායක හමුවෙන්න කීවේ ප්‍රවීණ සැක්සෆෝන් වාදක මිස්කින් පපායි. ටික දවසක් මම කේමදාස මාස්ටර්ගෙන් සංගීතය හදාරන්නත් ගියා. ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර් ළඟටත් ගියා. කොහොම හරි පොඩි තැටිවල දෙපැත්තේ ගීත දෙක බැගින් පටිගත කරලා සිංගප්පුරුවට යවලා තමයි ඒ තැටි නිමාවක් සහිතව ගෙන්වා ගත්තේ. එහිදී සංගීත සංයෝජනයට නම යොදා තිබෙනනේ සරත් කියා පමණයි. ඉතිරි කොටස දිග වැඩියි කියා ඔවුන් දසනායක නම යොදලා නෑ.

ඔංචිලි චිලි චිල්ල මලේයා ගීතයත් මගේ තනුවක්. එය සික්ස් එයිට් තාලෙට හැදුවේ බර්තෝලමියුස් කියන සංගීත සංයෝජකයා. එහි පදවැල ලීවෙත් කරුණරත්න අබේසේකරමයි. මේ ගීත පෙළ මගේ දෙවැනි නිෂ්පාදනයයි.

ඔහු වරින් වර තමන්ගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන වෙත යොමුවෙයි. ඒ මඟෙහි ටිකක් දුර ගොස් යළිත් වෙනත් සන්ධිස්ථානයකට එළැඹෙයි.

මර්වින් රොද්‍රිගු දවසක් මට කීවා ලස්සන ගීතයක් තියෙනවා මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරලා ඒත් ඒක අනෙක් අයගේ අවධානයට යොමු වෙලා නෑ කියලා. මම මහ රෑම මල්ලවආරච්චිගේ ගෙදරට හොයාගෙන ගියා ටැක්සියකින්. ඔහුට පුදුමයි මම ඒ ගීතය ගන්න කැමැතියි කීවාම. ඔහුගේ පිටුපසින් බිරියත් හිටියා. මම දැක්කා ඇගේ මුහුණත් පිබිදිලා එන හැටි ඒ ගීතය මම ඉල්ලුවාම. එදාම අත්තිකාරමක් දීලා පහුවෙනිදා අපේ ගනුදෙනුව නිමා කළා. දැන් ඒ ගීතයේ අයිතියත් මගේ. එය අතිශයින් ජනපි‍්‍රය වුණා.

ඔහු එය ගයා පෙන්වයි. දෙමළ භාෂාව සහ ඉංගී‍්‍රසි බස පමණක් භාවිත කරන්නට හුරු වී ඇති නිසා ඔහු ඒ සිංහල වචන කියන විට යම් නුහුරක් තිබුණ ද එය ඔහුටම අනන්‍ය ආකාරයකින් ගයා පෙන්වීමට ශාන් මහත්මා සමත් විය.

ඉවුරු තලා - ගංගා බැස යනවා 
මහද සලා - ඔබ ඉවතට යනවා

මර්වින් මට කීවේ මේ ගීතයේ මැජික් එකක් තිබෙනවා කියලයි. ඇත්තටම ඒ ගීතය මැජික් එකක් වගේ ජනපි‍්‍රය වුණා. මම 1971 කොළඹ මේන් ස්ට්‍රීට් එකේ පටන් ගත්ත ශන් රෙකෝඩ් බාර් ඒ කාලේ හරි ජනපි‍්‍රයයි. ඒ වගේම මම එක පිට එක රසිකයන්ට දුන්නේ හොඳට හිට් වුණු ගීත. ඒ යුගයේ බොහෝදෙනකුට මම බොහෝ අතහිත දුන්නා. කොහොම හරි මගේ සංගීත අධ්‍යක්ෂ සිහිනය සැබෑ වුණා. ටී. අර්ජුන අධ්‍යක්ෂණය කළ කලියුග කාලේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටයේ ඕ.... පී‍්‍රති ජිවිතේ සහ හෙමින් හෙමින් ගීත සැහෙන ජනපි‍්‍රය වුණා. ඒ වගේම මගේ සංගීතයට ඩී.ආර්. නානායක්කාරත් ගීතයක් ගැයුවා.

මගේ දෙවැනි සිහිනය චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරිම ඒ සඳහා මට උදව් කළේ පසුව සිනමා සක්විති විරුදාවිලිය ලද ගාමිණි ෆොන්සේකා. ඉන්දියානු සිනමා නළු නිළියන් වන ත්‍යාගරාජන්, දීපා, ස්වප්නා වගේ අය සම්බන්ධ කරගෙන මම කළ චිත්‍රපටය තමයි ‘ඉලය නීලා’ ශාන් මහතා දිගු සුසුමක් සමඟ හිතේ තිබුණු බරකින් සැහැල්ලු වුවා සේ පී‍්‍රතිමත් සිනාවක් නැගුවේය.

මම තමයි ලංකාවට පළමුවෙනි වතාවට හොඳම හින්දි ගායක ගායිකාවන් ගෙන්වා ගීත ගායනා කරවා ගත්තේ. 1982 එස් පී බාලසුබ්‍රමනියම් වගේම සයිලජා ගෙන්වා ගත්තේ මම.

ශාන් මහතා මෙතෙක් සිටි දීප්තිමත් ස්වභාවය තරමක් මැකී යන්නට විය. ඔහුගේ වචන ගලා යාමේ වේගය අඩු වී ගොස් හඬ සිහින්ව ගියේය.

ඒ දවස්වල සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි ඔක්කොම එකට හිටියා. ඒත් 1983 ජුලි වෙද්දී අපට ප්‍රශ්න ඇති වුණා. මට විශ්වාසයක් තිබුණා. අපේ ගෙදරට නම් මුකුත් නොවන බව. ඒත් ඒ ළඟ තිබුණේ රත්තරන් බඩු කඩයක්. එතැනට පහර දෙයි කියන සැකය මට ඇති වුණා.

මගේ බිරිඳ ගයාත්‍රි දේවි. දුව බුවනපි‍්‍රයා සහ පුතාලා දෙන්නා ජදුකුලන් සහ ජාවදන් සමඟ අපි ඩෙන්මාර්කයට ගියේ ඒ සමයේ. ජදුකුලන් පුතා 2004 නැති වුණා. අනෙක් පුතා දැන් ඒ රටේ ගණකාධිකාරිවරයෙක්. බුවනපි‍්‍රයා දුව තමයි ඩෙන්මාර්කයේ ජැට්ලන්ඩ් ප්‍රදේශයේ පදිංචි දෙමළ ප්‍රජාවගෙන් පළමු වතාවට වෛද්‍යවරියක් බවට පත් වුණේ. දැන් ඇය අක්ෂි ශල්‍ය වෛද්‍යවරික් ලෙස සේවය කරන්නේ.

මම ඔබත් සමඟ කතා කරද්දී මට ඒ අතීත සිදුවීම් මතක් වෙනවා. අපි හැමෝම එකට හිටියේ හරි සහෝදරත්වයෙන්. 

ඔහුගේ මුවින් වදන් නොඑන තරමට හඬ ගොළු වී ගොසිනි. උපැස් යුවළ අතට ගෙන ඔහු දෑස් පිස දමමින් මොහොතක් දෙකක් ගෙවා දමයි. සිතට දිරිය ගෙන යළි කතා කරයි.

ආයෙත් ඒ වගේ කාලයක් එනවා නම් හොඳයි. මම ලංකාවට ආවේ මට අයිති ගීත කීපයක් පටිගත කරන්න.

ඒ කාලෙ සංගීතය පටිගත කළේ සජීවීව ඒ නිසා ඒවා හරිම රසවත් ගීත බවට පත් වුණා. වාද්‍ය වෘන්දයේ කෙනකුට හෝ වැරදීමක් වුණොත් මුල ඉඳන් ආයේ පටිගත කරන්න ඕනේ. සංගීත භාණ්ඩ එවෙලේම වාදනය කරලා යොදන සංගීතය හරිම ලස්සනයි. දැන් තාක්ෂණය දියුණු වෙලා. වැරැද්දක් වුණොත් එය යාන්ත්‍රිකව නිවැරැදි කරන්න පුළුවන්. හැබැයි එදා තරම් සංගීතය රසවත් ද කියන්න නම් අපහසුයි.

මම ඩෙන්මාර්කයේදී කෙටි චිත්‍රපට කීපයක් නිර්මාණය කළා. කල්‍යාණ කැනවුහල්, තොණ්ඩන්, මනිසායා, අහන්ති, නෙරුංජි මුල් ඒ කෙටි චිත්‍රපටයි. මම චිත්‍රපටයටක වුණත් සජීවි කරණ දර්ශන භාවිත කරන්නේ වෙන ක්‍රමයක් ඇත්තෙම නැත්තම් පමණයි. තාක්ෂණය දියුණු වුණාට අපි එයට වහල් විය යුතු නැහැ.

මගේ අයිතිය ඇති ගීත කීපයක් මම ගායනා කර රූප රචන යොදා රසිකයන්ට ලබා දෙන්න තීරණය කළා. පැරදීලා පලා ගියේ නෑ. ඉවුරු තලා, නීල දෑස පුරා, සැවැන්දරා සුගන්ධයෙන්, ඔන්චිලි චිලි එල්ල මලේයා වැනි ගීත මගේ හඬින් රසිකයන්ට ළඟදීම අහන්න පුළුවන්.

තව චිත්‍රපටයක් කරන්න නම් මට ටිකක් අමාරු වුණත් උත්සාහයක් දරන්නත් ඉඩ තිබෙනවා. මම ඩෙන්මාර්කයට ගිය ගමන්ම වගේ කළ කෙටි චිත්‍රපටය බර්ලින් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ ප්‍රදර්ශනය කළා. ඒ 1986 වසරේ.

ඉතින් සරසවියට බොහෝ කාලයකට පසු කතා කරන්න ලැබීමත් මට සතුටක්. 2016 විතර ඉඳන් මම ලංකාවට වරින් වර ආවත් මේ කලා කටයුතු වල නිතර වුණේ මේ වසරෙයි.

එසේ කියමින් ශන්මුගම් සුබ්‍රමනියම් මහතා අපෙන් සමුගන්නට මත්තෙන් සිය ජීවන ගමනේ විශාලම අපේක්ෂාව අපට හෙළි කළේය.

“මට ඕනේ මම දන්න සියලු දෙනා සතුටින් තියන්න. මම ඉපදිලා ඉන්නේ ජනතාව සතුටු කරන්න. ඉතින් මම හුස්ම තියෙන තුරු මට පුළුවන් හැමදේම කරන්නේ සෑම කෙනෙකුගේම මුවට සිනහවක් සිතට සතුටක් ගෙනෙන්න. ඒ තමයි කලාකරුවකු ලෙස මගේ එකම සතුට.

ඉතින් ඔබට ඒ සතුට ලැබෙන සුබ උපන්දිනක් වේවා කියා සරසවිය සුබ පැතුම් එක් කරනවා!

සේයාරූ - සාලිය රූපසිංහ