වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
වර්තමාන සිනමාවේ පැරැණිතම නිළිය චාන්දනී සෙනෙවිරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වතු අධිකාරිවරයා වූ එච්.සී.එච්. ගුණතිලක දරුවන් සය දෙනෙකි. මහනුවර අම්පිටිය නිජබිම කරගත් ගුණතිලක වතු අධිකාරිවරයාගේ පවුල් පසුබිම නුවර පැළැන්තියට අනුගත වී තිබූ නිසාදෝ ඔවුන්ගේ හත්මුතු පරම්පරාවම එවන් පවුල් පසුබිමක් තිබුණ ද ශ්‍රී ලංකාවේ ප්‍රහසන කලාවේ රජෙකු මෙන්ම, ජනපි‍්‍රය රංගන ශිල්පිනියක සහ ගුවන්විදුලි ශිල්පිනියක බිහි වූයේ ගුණතිලක වතු අධිකරිවරයාට පිය උරුමය ලබා දෙමිනි.
ඔහුගේ දෙවැනි පුතා පසුගිය දා අප අතරින් වියෝ වූ ප්‍රහසන කලාවේ රජු ලෙස විරුදාවලිය ලද බර්ටි ගුණතිලකය. ඇය චිත්‍රපට නිළියක මෙන්ම ගුවන් විදුලි ශිල්පිනියක වූ අයිලින් ගුණතිලකයි. නමුත් සිනමා ලෝකයේ ඇය බැබැළුණේ චාන්දනී සෙනෙවිරත්න නමිනි. ඇය පවුලේ පස්වැන්නාය.
අසූනව වැනි වියේ පසුවන චාන්දනී සෙනෙවිරත්න ඇගේ සැඳෑ සමය ගත කරණුයේ ඇගේ පුතු ජයන්ත සෙනෙවිරත්න සමඟය. කඩවත පහළ කරගහමුණ ප්‍රදේශයේය.
ඉතිං කොහොමද සැප සනීප?
සතුටින් ඉන්නවා. දැන් ඉතිං අපි වල පයයි ගොඩ පයයි නේ.
‘හිතන්න එපා. සෙන්චරිය ගහනවාමයි. මේ ඉන්නේ අපුරුවට.’
චාන්දනී සෙනෙවිරත්නගේ මුවඟට නැගුණේ සිනාවකි. වියපත් වූවද ඇගේ ජවසම්පන්න බව මුහුණෙන් දිස්විය.
‘මම උදේ 6.00ට නැගිටලා දත කට මැදලා තේ එකක් බීලා, මල් කඩාගෙන ඇවිත් බුදුන් වඳිනවා. වැඩිපුර කාලය ගත කරන්නේ ඊඍ එක ළඟ. හැම වැඩසටහනක්ම වාගේ බලනවා. අපේ පුතා මට බණ දාලා දෙනවා. මම හැමදාම බණ අහලයි නිදාගන්නේ. ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවීමට ලැබීම සත්තකින්ම වාසනාවකි. පෙර පින් බලෙන් දෝ ඇයට ඒ වාසනාව හිමි වී ඇත.
‘තරුණ කාලේ ලස්සනට ඉන්න ඇති. ඒ බව මට දැනුත් පේනවා’
“ඔව් ඉතිං තරුණ කාලේ, කෙල්ල කාලේ මම ජවසම්පන්නයි. ඉස්කෝලේ යනකොට දඟ මල්ල. මම ගියේ අම්පිටියේ ශාන්තමරියා පාසලට පාසලේ හරියට දඟ වැඩ කරලා ගුරුවරුන්ගෙන් ඇති තරම් බැණුම් අහලා තියනවා. ඒත් ගුරුවරු මට ආදරෙයි. මට කුඩා කල පටන් සිංදු කියන්න. රඟපාන්න දක්ෂතාවයක් තිබුණ පාසලේ ‘මල් කුමාරි’ කියන නාට්‍යයේ රඟපෑවා.
කොහොමද කලාවට සම්බන්ධ වුණේ?
මට පුංචි කාලේ සින්දු කියන්න රඟපාන්නට දක්ෂ නිසා මගේ අයියා බර්ටි ගුණතිලක මාව ගුවන් විදුලියට එක්කරගෙන ගියා. එතැනයි මගේ කලා ලොවේ අඩිතාලම. අපේ තාත්තා අම්මා නෑදෑ කුටුම්බයම අකමැති වුණා. මම රඟපනවාට. රඟපෑම අපහාසයක් ලෙසයි මේ අය දුටුවේ. නමුත් බර්ටි අයියා මට විශාල ශක්තියක් සහයෝගයක් ලබා දුන්නා. කලාවට අවතීර්ණය වන්නට. 1949 - 1950 කාලවකවානුවේ තමයි මම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.
උප්පැන්නේ නම අයිලින් ගුණතිලක. කොහොමද චාන්දනී සෙනෙවිරත්න වුණේ?
සරත් කලුගම්පිටිය තමයි චාන්දනී කියලා නම් නම වෙනස් කළේ. අයිලින් නම කලාවට නොගැළපෙන බව පවසා නම වෙනස් කළා. මගේ සැමියා ජෝසප් සෙනෙවිරත්න ඔහුත් ගුවන් විදුලි ශිල්පියෙක් වගේම සිනමා නළුවෙක්. විවාහයෙන් පස්සේ ගුණතිලක සෙනෙවිරත්න වුණා. ගුවන් විදුලියේ අපේ සම කාලීනයෝ තමයි සරත් විමලවීර, තේවිස් ගුරුගේ, චිත්‍රානන්ද අබේසේකර, ආරියදාස පීරිස් යන අය.
ඔබ නර්තනය ප්‍රගුණ කළ නිළියක් නේද?
නර්තනය හැදැරුවේ ඉන්දීය නර්තනාචාර්යවරුන් දොපොළක් වන ශාන්ත කුමාර සහ ශාන්ත විරාජ්ගෙන්. ශාන්ති ලේඛා, ශ්‍රීමති රසාදරී, ෆ්ලොරීඩා ජයලත්, සරත් කළුගම්පිටිය යන ශිල්පීන් අපේ නර්තන කණ්ඩායමේ සිටියා. අපේ මේ නර්තන කණ්ඩායම ලංකාවේ ප්‍රධාන නගරවල නර්ථන ප්‍රසංග ඉදිරිපත් කළා. ඉන්දියාවේ මදුරාසියේ පවා අපේ කණ්ඩායම නර්ථන ප්‍රසංග ඉදිරිපත් කළා.
එවකට ගුවන් විදුලියේ විකට නැන්දා ලෙස ප්‍රසිද්ධියක් ඉසිළුවා නේද?
ඔව් ගුවන් විදුලි වැඩසටහන්වල මම මගේ සැමියා ජොසප් සෙනෙවිරත්න සමඟ එක් වී විකට වැඩසටහන් ඉදිරිපත් කළා. ඒ යුගයේ අපි දෙන්නව ගුවන් විදුලි ශ්‍රාවකයන් හැඳින්වුයේ විකට මමා සහ විකට නැන්දා කියලා.
ගුවන් විදුලි ශිල්පියකු මෙන්ම එවකට ජනපි‍්‍රය රංගන ශිල්පියකු වූ ජෝසප් සෙනවිරත්න සමඟ විවාහ වූ චාන්දනීට දරුවන් තිදෙනෙකි. වැඩිමලා සමදරාය. ඇය ගුවන් විදුලියේ සහන නිවේදිකාවකි. දෙවැනි දියණිය කුමුදුය. ඇය ගුවන් විදුලියේ ස්ථීර නිවේදිකාවකි. කුමුදු සෙනෙවිරත්න වන ඇය රජරට ගුවන් විදුලි සේවයේ ආරම්භක නිවේදකවරියයි. බාල පුතු ජයන්ත සෙනෙවිරත්න මහවැලි ගුවන් විදුලි සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු ඒතත ධ්දඤඪච අචඤඪධ හී භාෂා පරිවර්තකවරයකු සහ නිෂ්පාදකවරයකු ලෙස ද රැකියාවේ නිරත අයෙකි.
නගර සෝබනී සහ දොම්පේ ආයා යන වේදිකා නාට්‍යවල රඟ පෑ චාන්දනී සෙනෙවිරත්න හා පුරා කියා සිනමාවට පිවිසියේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ චිත්‍රාගාරයක රූගත කළ 1952 තිරගත වූ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයෙනි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඇගේ සැමියා ජෝසප් සෙනෙවිරත්නය. ඇය රඟපෑවේ උප ප්‍රධාන චරිතයයි. බර්ටි ගුණතිලක ද සිනමාවට පිවිසියේද බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයෙනි. පසුව 1953 එදා රෑ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් ද රඟ පෑ ඇය 1956 ඩිංගිරි මැණිකා, 1975 තරංගා, 1977 දීපාංජලී, 1979 ගැහැනියක්, මොනරතැන්න 1980 ටක් ටික් ටුක් යානාදි චිත්‍රපට කිහිපයකම රඟපෑවාය.
ඔබ හඬ කැවීම් ශිල්පිනියක් නේද?
ඔව් ගුවන් විදුලියේ හඬකැමේ ශිල්පිනියක් ලෙස කටයුතු කළා. මට චිත්‍රපට කිහිපයකට හඬ කැවීම් සඳහා ආරාධනා ලැබුණා. සමහර චිත්‍රපටවල ප්‍රධාන නිළිය හඬ කැවීම්වලට සහභාගි නොවුණ අවස්ථාවල දී බොහෝ විට අධ්‍යක්ෂවරු මාව යොදවලා තමයි ඒ කටයුත්ත සිදු කරන්නේ. ඒකට ප්‍රධාන හේතුව මම ඒ දවස්වල පදිංචි වෙලා හිටියේ කැලණියේ. දළුගම සරසවි චිත්‍රගාරයේ තමයි බොහෝ හඬ කැවීම් සිදු කළේ. අදාල ශිල්පිනිය නොමැති වූ විට මම ළඟ පාත සිටින නිසා අපේ ගෙදරට ඇවිත් මාව එක්කගෙන ගිහින් හඬ කැවීම් කරනවා. හඬ කැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කරන්නට මට පන්නරය ලැබුණේ ගුවන් විදුලියෙන්, ඇත්තටම ගුවන් විදුලිය අපේ පවුලේ මහ ගෙදර කිව්වොත් නිවැරදියි. විශේෂයෙන් පර්සි ජයමාන්න, රුක්මණී දේවිය ආදරයෙන් මතක කළ යුතුයි. හඬ කැවීම් මෙන්ම චිත්‍රපට රංගනයට ඔවුන් දොපොළ මට බොහෝ අවස්ථා සලසා දුන්නා.
‘ඒ දවස්වල චිත්‍රපට රූගත කිරීම් බොහෝමයක් සිදුකළේ ඉන්දියාවේ. කොහොමද ඔබේ ඒ ඇත්දැකීම්?
හරිම විනෝදජනකයි. අපේ නළු නිළියෝ කාර්මික ශිල්පීන් අධ්‍යක්ෂවරු බොහොම සමගියෙන් කටයුතු කළා. මා රඟ පෑ චිත්‍රපටවල සියලුම අධ්‍යක්ෂවරුන් අපට ගෞරවනීයත්වයක් ලබා දුන්නා. අපව අගය කළා. ඉන්දියාවේ යද්දී සිදු වූ සුන්දර අත්දැකීමක් තිබෙනවා. අපි ඉන්දියාවට යද්දී මදුරාසියේ ගුවන් තොටුපොළේදී භාරතයේ මහා නළු දීලිප් කුමාර් මුණ ගැසුණා. මට අදහාගන්නටත් බැහැ. හරිම සුවිශේෂ අවස්ථාවක්. දීලිප් කුමාර් මාව දැකලා කිව්වා මම හිතුවේ නැහැ ලංකාවේ මේ තරම් ලස්සන අය ඉන්නවා කියලා. මටත් පොඩී ආඩම්බරයක් ඇතිවුණා. ඒ අවස්ථාවේ. මම නුවර පළාතේ නිසා සුදට පෙනුමට හිටියා. ඒ නිසා වෙන්නට ඇති.
චාන්දනීගේ මුහුණේ දිස්වුයේ සුන්දර සිනාවකි. ජීවිතයේ මිහිරි මතකයක් ඇගේ සිතට ගෙන දුන්නේ සොම්නසකි. මට ‘පුංචි සන්ධියේ පටන් ලස්සනට සිංදු කියන්න පුළුවන්. සිංහල සිංදු විතරක් නොවෙයි. හින්දි සිංදු පවා කියන්න පුළුවන්. මගේ පුතා ඉන්දියාවේ ඉන්න කාලේ පොඩි උත්සවයකදී මම හින්දි සින්දු කිව්වා. ඒ අයට පුදුම හිතුණ මෙච්චර වයසට ගිහිල්ලත් මට සින්දු කියන්න පුළුවන් වීම ගැන. අතීතය මතක් වෙද්දී හිතට දැනෙන්නේ සතුටක් පී‍්‍රතියක්.’
දැන් මගේ කන ඇසීම දුර්වලයි. සමහර වෙලාවට මතකයත් නැහැ. දැන් මට 89ක්. ඒත් මට තනියම මගේ වැඩ ටික කරගෙන ඉන්නවා. මගේ දරුවෝ මාව බලනවා. දැන් ඉන්නේ පුතා ළඟ. මගේ ජීවිතයේ පහන් වැට මගේ අයියා බර්ටි ගුණතිලක. අයියා නොහිටින්න මම නිළියක් වෙන්නේ නැහැ. දෙමව්පිය නැදෑ හිතවතුන්ගේ විරෝධය මැද අයියා මාව නිළියක් කළා. අයියාට මම සදා ණය ගැතියි.
චාන්දනී සෙනෙවිරත්න නැමැති ජීවිතයේ සැදෑ සමය ගත කරන මේ ජ්‍යෙෂ්ඨ නිළිය කලා ලොවේ ඇගේ අතීත සැමරුම්, මිහිරි මතකයෙන් ආවර්ජනය කරමින් සතුටින් කල්ගෙවන බව ඇගේ මුහුණේ දිස්වුණ සුන්දර සිනහව තුළ මනාව සනිටුහන් වී ඇත.
සේයාරූ - නිශ්ශංක විජේරත්න