කවරයේ කතාව

පෙබරවාරි 17, 2022

 

මෙවර සරසවිය කවරය හැඩ කරන්නේ 80 දශකයේදී සිනමාවට පිවිසි යෙහෙළියන් තිදෙනෙකි. ඒ ගෝතමී පතිරාජ, මැණික් කුරුකුලසූරිය සහ නදීකා ගුණසේකරයි. වසර ගණනාවක් ඉපැරැණි මේ යහළුකම නැවත කැමරාකාචයට හසුකරගත්තේ ඡායාරූප ශිල්පී දයාන් විතාරණයි.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී ගෝතමී පතිරාජ කලක් විදෙස්ගතව සිට මෑතකදී මෙරටට පැමිණ සරසවිය කර්තෘවරයාට ඇමතුමක් ගත්තේ තමාගේ ඡායාරූප පෙළක් ගැනීමට ඡායාරූප ශිල්පී දයාන් විතාරණගේ දුරකතන අංකය දැනගැනීමේ අරමුණෙනි. කර්තෘවරයාගෙන් දුරකතන අංකය රැගෙන දයාන් විතාරණව සම්බන්ධ කරගත් ගෝතමී පතිරාජ ඡායාරූප ගැනීම සඳහා දිනයක් කතිකා කරගෙන ඇත. ඒ අතරවාරයේ දයාන් විතාරණට අපූරු අදහසක් පැමිණ ඇත. ගෝතමී පතිරාජගේ සමීපතම යෙහෙළියන් දෙදෙනෙකු වන මැණික් කුරුකුලසූරිය සහ නදීකා ගුණසේකර ඇයට නොදන්වා එදිනට දයාන්ගේ නිවසට ගෙන්වාගෙන ඇත. මෙවර කවරය හැඩවන්නේ වසර ගණනාවකින් හමුවුණු මේ යෙහෙළියන් තිදෙනාගේ සිනහවලිනි.

මේ තිදෙනාම සරසවිය සම්මානලාභීන් වීම විශේෂත්වයකි.