ආහාර පාන කලාවෙන් ගීත රචනයට ආ ගලදාරියේ තුෂාන්ත කාරියවසම්

දෙසැම්බර් 30, 2021

 

තරු හෝටල් ක්ෂේත්‍රය වෘත්තීය ජීවිතය කර ගත් ඔහු, සිය ආත්මීය සතුට උදෙසා තෝරා ගෙන ඇත්තේ, ගීත රචනය යි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිතර ඇසෙන, ලෙලුම් රත්නායක ගයන, 'පිනි මල් පිබිදෙන අරුණැල්ලේ...,ගයාත්‍රි ඒකනායක ගයන, සීතල රෑ මැදියමේ... , මා සොයා විත් හොරෙන් රහසින්...සහ මගේ පැටික්කි...' යන ජනප්‍රිය ගීත කීපයේ රචකයා ඔහු ය.

වෘත්තියෙන් ගලදාරි හෝටලයේ ආහාරපාන අංශයේ අධ්‍යක්ෂවරයා වන තුෂාන්ත කාරියවසම් ගේ ගීත රචනයේ හෙවත්, කලාවේ ප්‍රවිෂ්ටය කවියකි. එය සැබැවින්ම අහම්බෙන් ලියැවුණු කව් දෙපදයකි.

ඒ ආරම්භයත් සමග ඔහු දිගින් දිගට ම කාව්‍ය රචනාවේ නියැළුණු අතර, දිනෙක එය ගීත රචනාවක් බවට පත් විය.

එතැන් පටන් හෝටල් ජීවිතයේ කාර්යබහුල බව සහ අවිවේකී පීඩනය ඔහුට ආශිර්වාදයක් ම විය. කලාවට ඇදී ගිය සිතට තෘප්තිය රැගෙන රැගෙන එන මාවත, ගීත රචනය බවට ඔහු පත් කර ගත්තේ ය.

ඔහු අතින් ලියැවෙන පදවැල්, බොහෝ විට ගීතයක් බවට පත් වූයේ සිය කල්‍යාණ මිත්‍ර, සංගීතඥ සහ ගායන ශිල්පි ලෙලුම් රත්නායක අතිනි. එහෙයින් මේ වන විට ඔහු වැඩිපුරම ගීත රචනා කර ඇත්තේ ද, සිය මිත්‍ර ලෙලුම් වෙනුවෙනි.

මේ වන විට, තුෂාන්ත කාරියවසම් නමින් ඇති youtube  චැනලය ඔස්සේ, එසේ රස විඳීය හැකි ඔහුගේ අතින් නිර්මාණය වූ ගීත රචනා සංඛ්‍යාව දාහතරකි.

" මම ගීත රස විදින්න බොහෝ ප්‍රිය කෙනෙක්. ඒත්, 2019 වෙනකල් මම කවදාවත් කවියක් වත් ලියා තිබුණේ නැහැ. පළමු වතාවට අහම්බයකින් මගේ මිතුරියකට ලියැවුණු කවියක් නිසා, මට ලිවීමේ ආසාව ඇති වුණා. ඒත්, ගීත රචනය පිළිබඳ මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින්, ඒ ගැන දැනුම අවබෝධය තියෙන මිත්‍රයන්ගෙන් මම උපදෙස් ගත්තා. අඩුපාඩු හදා ගෙන තව තවත් ලියන්න උනන්දුවක් සහ ආසාවක් ඇති වුණා. දැන් මම, ගීතයකට සුදුසු වචන ඔළුවට ගලාගෙන එන විට කොතැනක හෝ හිඳ ඒ පද පේළී සටහන් කර ගන්නවා.

මේක බොහොම සුන්දර කලාවක්. මං ඒ කලාව ඉතාමත් ආසාවෙන් ස්පර්ශ කරමින්, විඳීමින් සහ තව තවත් අධ්‍යයනය කරමින් ඒ තුළ නිර්මාණකරණයේ යෙදෙනවා.

මම ලෙලුම් එක්ක පළමු වතාවට ගීතයක් නිර්මාණය කළේ පසු ගිය වසරේ ජුනි මාසයේ. ගීත නිර්මාණකරණයේ දී ඔහු ලබාදෙන සහාය කියා නිම කරන්නට බැහැ. ඔහු වගේ දක්ෂ සංගීතවේදියෙකු ගේ අදහස් මගේ නිර්මාණකරණයේ හැඩගැස්මට විශාල ශක්තියක්. ඉදිරියේ දී ලෙලුම් සහ මම ව්‍යාපෘතියක් විදියට ම ගීත කිහිපයක් එක වර එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරියට එන්න තිබෙන ගීත නිර්මාණ අතරින් මං වඩාත් කැමැති, අපේ රටේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ ගායිකාවක් සමඟ ලෙලුම් ගායනා කරන, මා ලියූ යුග ගීතයට. තව නොබෝ දිනකින් එය ශ්‍රී ලාංකේය රසවතුන් අතට පත් වේවි.

හෝටල් ක්ෂේත්‍රයේ මොන තරම් කාර්යබහුල වුණත්, ලිවීම මට දැන් සතුටක්. දවස මොන තරම් අවිවේකී වුණත්, රාත්‍රී නින්දට පෙර මං අතින් පද පේළි කිහිපයක් හෝ ලියැවෙනවා.

මම හෝටල් ක්ෂේත්‍රයේ වැඩ කරන්න අරන් දැන් අවුරුදු තිහක්. ආදායම් වියදම් කළමනාකරණය කිරීම, පිරිස් කළමනාකරණය, ආහාර පානවල තත්ත්වය, නඩත්තු කටයුතු, නව නිර්මාණ හඳුන්වාදීම... මේ සියල්ල මගේ රාජකාරි ජීවිතයේ කොටස්. හමුවීම්, රැස්වීම්, තීන්දු තීරණ ගැනීම්, ක්‍රියාත්මක වීම්.... වැනි රාජකාරිමය කටයුතුවල කොටුවී සිටි මම, ඒ සියල්ල මැද ලබන අස්වැසිල්ල තමයි ගීත රචනය.

කොහොම වුණත්, හෝටල් ක්ෂේත්‍රය කියන්නෙ ම කලාව එක්තැන් වූ තෝතැන්නක්. දැන් මම මේ සියලු දෑ විඳීමින් වෘත්තීය ජීවිතයේ නියැළෙනවා. හෝටල් ක්ෂේත්‍රයට කැප වූ දක්ෂ සේවක පිරිසක් ගලදාරි හෝටලයේ සිටින නිසා, කලාවත් වෘත්තියත් සමබරව කරගෙන යන්න මට ඔවුන්ගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ඔවුන් මගේ ගීතවල ගුණදොස් පවසනවා. එය මගේ ඉදිරි ගමනට විශාල ශක්තියක්..."