අපට හිතෙන හැටි

දෙසැම්බර් 16, 2021

සුනිල් එදිරිසිංහ ගායකයාණන්ට

 

මගෙ අමල් බිසෝ, ලෙන්චිනා මගෙ නංගියේ වැනි ගීත සමඟ ඉතාමත් අර්ථවත් ගීත රාශියක් ඔබ කලා ලොවට දායාද කර ඇත. තව තවත් එවැනි ලස්සන අර්ථවත් අලුත් ගීත ගායනා කරන්න. වර්තමානයේ නවක ගායකයින් ගීයක් ගයනවාට වඩා යටිගිරියෙන් කෑගැසීමක් ලෙසයි මට නම් හැඟෙන්නේ. ඒවායේ එකම වචනයක්වත් රසිකයින්ට තේරුම් යනවාදැයි නොදනිමි.

පියුම් වික්‍රමසිංහ

කඳාන

---------------------

 

 

විමලදාස පෙරේරා සදා අගයමු

 

සැණකෙළිය චිත්‍රපටය සිහිවනවිට අපට නිතැනින්ම සිහිවන්නේ විමලදාස පෙරේරා සිනමා වේදියාය. ඔහු පිටපත් රචකයෙකි, දෙබස් රචකයෙකි, එමෙන්ම ප්‍රවීණ ගීත රචකයකු ද වේ. ඔහු ලියූ ගීත ඉතාම ජනපි‍්‍රය විය. ඔහු ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය “ සමනළ කුමරියෝ” චිත්‍රපටයයි. 70 දශකයේ ඉතා ජනපි‍්‍රය වූ චිත්‍රපටය වූයේ “සැණකෙළිය” එය හර්බට් රංජිත් පීරිස් මහතා සමඟ අධ්‍යක්ෂණය කළේය. විමලදාස පෙරේරා මහතා වියෝ වුවත් ඔහුගේ නිර්මාණ සදාකාලිකව පවතී.

ආනන්ද වික්‍රමආරච්චි - ඉහළ තල්දුව

-----------------------

 

 

 

දැරිය නොහැකි පාඩුවක්

 

වේදිකාව, සිනමාව, පුංචි තිරය යන කලා ක්ෂේත්‍ර ත්‍රිත්වයටම අතිවිශිෂ්ට රංගන ප්‍රතිභාවක් එක්කළ ප්‍රවීණ රංගන ශිල්පී දෙපළක්වන සම්පත් තෙන්නකෝන් සරත්චන්ද්‍රසිරි දෙපළ දිවි රඟ මඬලෙන් සමුගැන්ම කලා ක්ෂේත්‍රයට දැරිය නොහැකි පාඩුවකි.

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

-----------------------

 

විකාර ජවනිකා එපා

 

හිරු ටී. වී. ඔස්සේ විකාශය වන සිහින ගෙනා කුමාරියේ ටෙලි නාට්‍යයට අලුතින් ආ විකාර ජවනිකාවක් වූ ටීනා ෂනෙල්ගේ අඩනිරුවත් කොට ගවුම් විලාසිතාව රසවඳීමට අප්‍රසන්න වී ඇත.

කිසිදු හැඩතලයක් නොමැති විකෘති විලාසිතාව තුළින් තම ශරීරය ප්‍රදර්ශනය කිරීමේදී රූපවාහිනිය ආසන්නයේ රැඳී සිටින කුඩා ළමුන් සමඟ ටෙලිනාට්‍යය නරඹන්නේ කෙසේද?

ටීනා ෂනෙල්ගේ විකාර කොට ගවුම් විලාසිතාව ඉවත් කරනු.

නිවන්ත ප්‍රසාර, කසුන් තරින්දු අධ්‍යක්ෂකතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

පාලක සමන් පෙරේරා

හැඳල