මේ තමයි සිනමා භාෂාව ජනගත කරන ක්‍රමය

භවතරණ හැදූ දේවින්ද කෝන්ගහගේ
දෙසැම්බර් 9, 2021

 

භවතරණ චිත්‍රපටය හැදෙන්නෙ මීට අවුරුදු හතකට කලින්. ඒ සඳහා පර්යේෂණය ඇරඹෙන්නේ ඊටත් අවුරුදු හතරකට කලින් මහාචාර්ය ලෝනා දේවරාජාගේ 'ද කැන්ඩියන් කිංඩම්' කියන ග්‍රන්ථය පාදක කරගෙන. මගේ 'භවතරණ' මහනුවර රාජධානියේ මුල් වකවානුව පිළිබඳවත් 'ගිරිවැසිපුර' එහි අවසන් භාගය පිළිබඳවත් කතා වෙන චිත්‍රපට දෙකක්. භවතරණ මඟින් නායක්කාර් වාංශිකයන්ට මේ රට අයත් වුණේ කොහොමද එහි දේශපාලන ව්‍යසනය අද කාලයට ගැළපෙන්නේ කෙසේද යන්න කතා වෙනවා. ලංකාවේ විවිධ රජවරු ගැන චිත්‍රපට හැදුණත් විචාරාත්මක හා පර්යේෂණාත්මක ලෙසින් නායක්කාර් රජවරු ගැන කිසිම සිනමා කෘතියක් හැදිලා නෑ. ඒ නිසා මෙය බොහෝ සිනමා කෘති මෙන් තවත් 'කතන්දර සිනමාවක්' නෙවෙයි. ඉන් ඔබ්බට ගිය 'සංකල්පීය සිනමාවක්'.

මේ වන විට ප්‍රදර්ශනය අරඹා ඇති සිය කුලුඳුල් වෘත්තාන්ත සිනමා කෘතිය පිළිබඳ අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ අපට හඳුන්වා දුන්නේ එලෙසය. රූපවාහිනයෙන් ඔහුගේ නිර්මාණ දුටු ඔබට පළමුවරට රිදී තිරයේ ඔහුගේ නිර්මාණශීලීභාවය දැක ගැනීමට හැකි වූයේ වසර ගණනාවක පරිශ්‍රමයකින් පසුවය. මේ සරසවියට භවතරණ පිළිබඳ ඔහු හෙළි කළ තවත් තොරතුරු ගෙන එන මොහොතයි...

ඉතිහාස කතාවක් සංකල්පීය සිනමාවට ගෙන ඒම පහසුයිද?

අපහසුයි. මොකද තොරතුරු විශ්ලේෂණ සංසිද්ධීන් රැසක් තිබෙන නිසා. ඒත් අර පොතෙන් වගේම මම පන්සල්වල බොහෝ කල් රැඳීලා, සොයා ගන්න අමාරු තොරතුරු රැස් කරලා, ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු තවත් කෘති අධ්‍යයනය කරලා, පොදු ජනවහරේ හෝ මහාවංශයේ හෝ නොලියැවුණු තරම් කරුණු එකතු කළා. 1760 කැරැල්ල පිළිබඳ මහාවංශයේ සොයාගන්නත් නෑ. ඒ නිසා මෙය ප්‍රේක්ෂකයන්ටත් වෙනස් අත්දැකීමක් වෙයි කියලා හිතෙනවා.

 

මෙය ඔබේ පළමු සිනමා නිර්මාණය?

ඔවු. ටෙලිවිෂන් මාධ්‍යයේ සිට සිනමාවට විත් මෙවැනි මාතෘකාවකට අතගැසුවේ ඒ වෙද්දි ඉතිහාස චිත්‍රපට රැල්ලක් හැදී තිබීම නිසා. ඒ චිත්‍රපට අතර සමාජ, දේශපාලනික, ආර්ථික පසුබිම සහ බෞද්ධ දර්ශනය පදනම් කරගත් වෙනස් යමක් කිරීමයි සංකල්පීය සිනමා ආඛ්‍යානයක් තෝරා ගැනීමේ අරමුණ වුණේ.

 

එයට නායක්කාර් වංශයම තෝරාගත්තේ?

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව හංවඩු ගැසූ චිත්‍රපට කීපයක් හැදුණත් කවමදාවත් ශ්‍රී විජය සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජවරුන් ගැන සඳහනක් වුණේ නැහැ. භවතරණය තමයි පළමු චිත්‍රපටය කීර්ති ශ්‍රී රාජසිංහ රජු ගැන කතාකරන. ලාංකීය දේශපාලනයේ සංකීර්ණම වකවානුවක් අපි දකින්නේ මහනුවර රාජධානි සමයේ. හේතුව එක දිගටම විදේශ ආක්‍රමණ තුනකට මුහුණ දෙන්න සිදුවීම. ඒ නිසා ඇති වුණ දේශපාලන ගැටුම්, ගැටලු බොහෝයි. ලාංකේය රජවරු පත්කර ගැනීමට පසුබිම තිබියදීත් අපේම අය විදේශීයයන් අයාලේ රජකමට පත් කරගත් ජරාජීර්ණ දේශපාලනයක් තිබුණු කාලයක් එය. අද වන විට කවුරුත් හිතන්නේ දෙමළ රජවරු හතරදෙනෙක් අපිව පාගා දැම්මා කියලා. ඒත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු සැබෑ බෞද්ධයෙක් ලෙස ජීවත්වෙලා ලංකාවට වැඩිපුරම බෞද්ධ සේවයක් කළ බව ලියැවෙන්නේ ඉතාම අඩුවෙන්. ඔවුන් දෙමළ නොවේ මදුරවලින් පැමිණි අන්ද්‍රා සහ දෙමළ කතා කළ, කුඩා කල සිටම ලංකාවේ හැදී වැඩී සරණංකර හිමියන්ගෙන් බුදුදහම ඉගෙනගෙන සිටි බෞද්ධ පිරිසක්. සියම් නිකාය ලංකාවට ගේන්නේත්, සරණංකර හිමියන් සංඝරාජ පදවියට පත් කරන්නේත් මේ රජු. ඒත් පසුකාලීනව ඇති වූ බල අරගලය තුළ හින්දු රජා, දෙමළා යන හංවඩුවෙන් ඒ රජුව මරවා බලය අල්ලන්න පිරිස එකතු වෙනවා. ඒ දේශපාලනය සහ බුදු දහම ගැටෙන විට සැබෑ නිර්මල බුදුදහම රටක පවතින්නේ කෙසේද යන සංකල්පය තමයි අතීතයෙන් වර්තමාන කාලයට ගෙනෙමින් භවතරණයේ කතා වෙන්නේ. චිත්‍රපටය බලද්දි සමහරුන්‌ට තේරෙන්න ඇති අපි අද මේ ගෙවන කාල පරිච්ඡේදයට ඉතාම සමාන කාලයක් නේද මීට අවුරුදු 325ටත් එහා යුගයේ මහනුවර රාජධානියේ පැවතුණේ කියලා. ඒ අඳුරු ඉතිහාසය විසින් තැනුණු වර්තමානයක තමයි අපි ජීවත් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා නවසීලන්තය වගේ රටක් වෙයි කවදා හරි කියලා. තව අවුරුදු විස්සකින් තිහකින් සිංගප්පූරුවක් වෙයි කියලා. එහෙම විස්මයන් සිදුවන්න විදිහක් නෑ. අතීතය විසින් නිර්මාණය කරන ලද මඟක තමයි අද අප ගමන් කරන්නේ කියන යථාර්ථය සිනමා ආඛ්‍යානයකින් පැහැදිලි කර දීමටයි නායක්කාර් වංශිකයන්ගේ කතාව තෝරාගත් 'භවතරණ' අරමුණ වුණේ.

එහි දෙවැනි කොටස බඳු 'ගිරිවැසිපුර' චිත්‍රපටයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇසුරෙන් කතා වන්නේ මේ බලය ඇති කරන ක්‍රමය වෙනස් කරන තුරු බලය අතට ගත් කෙනාගේ හැසිරීම වෙනස් නොවන බවයි.

 

චිත්‍රපටය මුදාහැරීමට අවුරුදු හතක් ගත වුණා?

ඔවු. 2015 දිල්ලි අන්තර්ජාතික සිනමා උලෙළෙන් පසුව ෂැංහයි ගෝල්ඩන් චයිම්ස් අන්තර්ජාතික සම්මාන උලෙළ සහ ඒෂියා ටුවරිස්ම් ඉන්ඩියුස් චීන සිනමා උලෙළ කියන අන්තර්ජාතික උලෙළ තුනෙන්ම හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ චිත්‍රපටයක් භවතරණ. චීන මධ්‍යම රජය විසින් සංවිධානය කළ උලෙළ දෙකේම සම්මාන ලබා ගත්තේත් අපේ චීන තානාපතිතුමිය විසින්. එහෙම ඇගයීම් ලැබිලත් චිත්‍රපටය නිදහස් වීම පමා වීමට විවිධ දේශපාලනික හේතු සහ න්‍යාය පත්‍ර බලපෑවා. අපි කවදාවත් ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ඉවත් වුණේ නෑ. එය මඟින් සාමාන්‍ය ක්‍රමවේදයට අපට ලබා දුන් දිනයට තමයි අපි චිත්‍රපටය මුදාහැරියේ. හැබැයි භවතරණයට පසු නිෂ්පාදනය වූ චිත්‍රපට විවිධ අවස්ථාවල ප්‍රදර්ශනය වුණා. එයට හේතුව ලෙස මම දකින්නේ රටතුළ නිසි ක්‍රමවේදයක් මේ සඳහා සැකසී නොතිබීම. එවන් විවිධ බාධක මැද නිහඬව සිට මේ වන විට රිද්මා ඇතුළු සිනමාහල් 25ක, පීවීආර් ද ඇතුළත්ව මෙය ප්‍රදර්ශනය වෙනවා. විශේෂත්වය කැන්ඩි සිටි සෙන්ටර්හි මෙතෙක් ප්‍රදර්ශනය වුණේ විදේශීය චිත්‍රපට පමණයි. එහි පළමු සිංහල චිත්‍රපටය ලෙස හෙට (10) භවතරණ ප්‍රදර්ශනයට එක් වෙනවා.

 

එතෙක් කල් ගෙවිලත් කොවිඩ් අර්බුදය අතර නිදහස් කරන්නේ?

කොවිඩ් සමයේ සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කිරීමේ මඟ විවෘත කරන සිනමා කෘතියක් හැටියටයි භවතරණ අපි නිදහස් කළේ. මේ කාලය තුළ අප දුටු විදේශ සිනමා කෘති අතර තවත් ගීත, සටන් ආදිය ඇති චිත්‍රපටයක් තිරගත වනවාට වඩා මෙතෙක් ප්‍රේක්ෂකයන් නොඇසූ, නොදුටු ඉතිහාසය සම්බන්ධ කෘතියක් රසික ආකර්ෂණය දිනා ගනී කියන සිතිවිල්ලෙනුයි කිසිවෙකු ඉදිරිපත් නොවන මොහොතක අපි ප්‍රදර්ශනය ඇරඹුවේ. මෙය පවුලේ සැමට නැරැඹිය හැකි චිත්‍රපටයක්.

 

ඒ කාලය තුළ තාක්ෂණය වේගයෙන් වෙනස් වුණා?

ඇත්ත. අපි රූගත කිරීම් කළ කාලේ ඇරී ඇලෙක්සා, රෙඩ් එපික් කැමරා නෑ. අපි ඉතාම දුෂ්කර ක්‍රමවේදයකට රූගැන්වීම් කළේ. තවත් පර්යේෂණාත්මක දෙයක් නම් මෙතෙක් අප දැක්කේ විදුලි බලය ඇතිව ආලෝකමත් වූ ඉතිහාසයක්. ඒත් මෙහි එහෙම නෑ. ආලෝකකරණයේ සිට ඇඳුම් ආයිත්තම්, කලා අධ්‍යක්ෂණය ආදි සියලු දේ පර්යේෂණයට අනුකූලවයි කෙරුණේ. 1747 මහනුවර රාජධානියේ මල්වත්තේ රජමහ විහාරයේ ඇතුළු කුටිය පන්දම්, පහන් එළියෙන් කොහොමද තිබුණේ කියලා ප්‍රේක්ෂකයාට පෙන්වද්දි අපට අවශ්‍ය වුණා සිනමාවේ අඳුරු කාමර සංකල්පය භාවිත කරන්න. එවිට දැඩි ආලෝකය යටතේ ඉතිහාස කතා බැලූ අයට 'අපෝ එළිය මදිනේ!' කියලා හිතෙන්නත් පුළුවන්. ඒ වගේම දුරකථන, ලැප්ටොප්වලින් නොවේ සිනමා ශාලාවක කරුවලේ නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙසයි මෙය නිර්මාණය වෙන්නේ. එය තමයි සිනමාවේ භාෂාව ජනගත කළ යුතු විදිහ.

 

අද නිර්මාණ කළ යුත්තේ රටට නොව ලෝකයට බවයි කියන්නේ?

ලෝකයේ විශාල ඉතිහාස සහ ඒ ඇසුරින් තැනුණු නිර්මාණ දෙස බලද්දි අපේ මේ පුංචි දූපතේ සිදුවීමක් දිහා ලෝකයේ ප්‍රේක්ෂකයන් කටඇරගෙන බලන් ඉඳීයි කියලා හිතන්න බැහැ. හැබැයි භවතරණ මඟින් අප උත්සාහ කළේ මේ පුංචි දූපතේ පුංචි ඉතිහාසය සිනමාව නම් භාෂාව තුළ සංකල්පයක් ලෙස ගෙනයන්න. වර්තමානයත් පවතින නිසා මෙහි මතු වන්නේ ඉතිහාස කතාව නොවේ, දේශපාලනය හා මනෝභාවය සමඟ බෞද්ධ දර්ශනයයි. එනිසයි ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ ඓතිහාසික කතාවකට අන්තර්ජාතිකව හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිවන්නේ.

 

ඔබේ නිර්මාණයට දායක වූ පිරිස ගැනත් කතා කරමු?

මේ සියලු බාධක ඉවසා සිටි නිෂ්පාදකවරුන් වන්නේ ක්ෂත්‍රීය රාජපුත්‍ර වීරසිංහ සහ ශිරාණි කැප්පෙටිපොළ දෙපළයි.

මාලිනී ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, රොෂාන් රවීන්ද්‍ර, උදයන්ති කුලතුංග, දර්ශන් ධර්මරාජ්, ශ්‍රීමාල් වෙඩිසිංහ සහ අප අතරින් වෙන් වූ අසේල ජයකොඩි යන ප්‍රවීණයන් සමඟ ජගත් වික්‍රමසිංහ ගීතනු නිර්මාණයට අමතරව රංගනයෙන් දායක වෙනවා. නවකයකු වන සජීව් රාජපුත්‍ර වීරසිංහ මනා පුහුණුවකින් පසු ප්‍රධාන භූමිකාවකින් රිදී තිරයට හඳුන්වා දෙනවා. ඒ වගේම උදයන්තිගේ ළමා වියට ගනේන්ද්‍රි කෝන්ගහගේ තිරයට හඳුන්වා දෙනවා. නිශාන්ත ප්‍රදීප්ගේ පළමු සිනමා කැමරාකරණයත් මෙයයි. සංස්කරණය ඇතුළු සියලු පසු නිෂ්පාදන සහ නිර්මාණ කටයුතු ප්‍රවීන් ජයරත්නගෙන්. සංගීත නිර්මාණය නවරත්න ගමගේ.

 

අපි ඔබේ ඉදිරි කටයුතු ගැන දැනගන්න කැමැතියි?

මෙහි දෙවැනි කොටස වැනි 'ගිරිවැසිපුර' චිත්‍රපටයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කොහොමද රජ වුණේ යන්න පිළිබඳ මෙතෙක් කල් අප ඇසූ බොරුවලින් මිදී සත්‍ය දැනගන්න ලබන වසරේ මාර්තු අප්‍රේල් පමණ හැකිවෙයි කියා හිතනවා. මගේ තෙවැනි නිර්මාණයේදී ඉතිහාසයෙන් ඉවත් වී, අප පරිභෝජනය කරන සියයට අනූනවයක් දේවල බර කරින් අදින, කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් නැති නාට්ටාමිලා සේනාව පිළිබඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් ඇසුරින් කළ 'නාට්ටාමි ආමි' දැන් රූගත කෙරෙමින් පවතිනවා. ඒ වගේම තව නිර්මාණ දෙකක් සූදානමින් තිබෙනවා. රට තවදුරටත් විවෘත වෙනතුරු වැඩ අරඹන්න. 'නාට්ටාමි ආමි' අපි පුළුල් තිරයට ගෙනාවත් එය වෙනම යාන්ත්‍රණයක් ඔස්සේ මෙරට ලක්ෂ හැටක බහුතරයක් දන්න, දැක්ක, දකින, පරිහරණය කරන චිත්‍රපටයක් බවට පත් කිරීමේ ක්‍රමවේදයකින් ඉදිරිපත් කරන්නයි සූදානම. එය සිනමාව ගමට ගිය බව සත්‍ය වශයෙන්ම කියන්නත්, නව සිනමාකරුවන් ක්ෂේත්‍රයට ආකර්ෂණය කිරීමටත්, නව පරපුර භාවිත කරන නව සිනමාව ඔස්සේ මෙරට සිනමා සංස්කෘතියක් බිහි කරන්නත් මඟ පෑදීම අරමුණු කරගෙනම වෙනස් මානයකින් හදන චිත්‍රපටයක්.