වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ඉලන්දාරිකමටත් තලත්තැනීකමටත් ඔට්ටු ලක්හඬට 25යි

එතෙක් ශ්‍රාවක බුද්ධියට ආමන්ත්‍රණය කළ ගුවන් විදුලිය වෙනුවට බුද්ධියට මෙන්ම විනෝදාස්වාදයද මූලික කොට ගනිමින් 1996 වසරේ ආරම්භ වන ලක්හඬ ගුවන්විදුලිය පසුගිය දා සිය රිදී ජුබිලිය නැතිනම් විසි පස්වැනි උපන්දිනය සැමරුවා. ලක්හඬ, වසර විසිපහක පැමිණි ගමන් මඟ පිළිබඳ කතා කරන්නට සරසවිය අපි සිතුවා. වර්තමානයේ ලක්හඩ නාළිකා ප්‍රධානි කපිල තිලකසිරි අදහස් එකතු කළේ මෙලෙසින්...
ලක්හඬ උපන්දිනයේ උණුසුම තවමත් එලෙසම තියෙද්දි පසුගිය දා ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළේදී ලක්හඬ සාමාජිකයන් නිර්දේශයට හා සම්මානයට පාත්‍රවුණා. මුලින්ම ඒ සියලු දෙනාටම සරසවිය අපේ සුබපැතුම් එක්කරන්න කැමැතියි.
ඔබත් ලක්හඬ ආරම්භක සාමාජිකයෙක්. අපි ඒ අතීතය මතක් කරගමු?
ඈත ගම් දනව්වලට පණිවුඩ සම්ප්‍රේෂණය කිරීම, ජනවාර්ගික ගැටලුවලට සාමකාමී වාතාවරණයක් ඇති කිරීම වැනි කාරණා ජනගත කිරීමට එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ අලුත් ආණ්ඩුවට අවශ්‍ය වුණා. එහිදී ලාබදායීම සහ පහසුම මාධ්‍යක් වන ගුවන්විදුලිය යොදාගැනීම අවධානයට ලක් වීමේ ප්‍රතිථලයක් ලෙසයි ලක්හඬ බිහිවෙන්නේ. ඒත් එක්කම එතෙක් පැවති ගුවන්විදුලිය ආකෘතිය වෙනුවට අලුත් නාළිකාවක් නිර්මාණය කිරීමේ යෝජනාව නිව්ටන් ගුණරත්න මහතා ඉදිරිපත් කරනවා. ඒ යෝජනාවට ලැබෙන ප්‍රතිචාරයක් ලෙස එවකට ජන මාධ්‍ය අමාත්‍ය ධර්මතිලක සේනානායක හා එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා විශේෂයෙන්ම සනත් ගුණතිලක මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් ලක්හඬ ගුවන්විදුලි සංස්ථාවට අනුබද්ධව ආරම්භ කරනවා. එහිදී අපිට ටපඥඳභඥදජර දෙකක් එක්ක ස්ටූඩියෝ දෙකක් හා පුංචි ඔෆිස් කමරයක් ලැබෙනවා. ඔය ආකාරයෙනුයි ලක්හඬ් ආරම්භ වෙන්නේ. එතැනදි නිව්ටන් ගුණරත්නගේ තිබුණා ඉල්ලීමක් ලක්හඬ නිවේදක නිවේදිකාවන් අලුතින්ම බඳවා ගැනීමට අවශ්‍යයි කියලා. අලුත් හඬක් අවශ්‍යයි කියලා. ඔබේ ලේක්හවුස් පත්තරේ ඒ දැන්වීම පලවුණා. කිසිදු දේශපාලන බලපෑමක් නැතුවයි මේ කටයුතු සියල්ල සිදුවුණේ. ඒ අයව පුහුණු කළේ එවකට ගුවන්විදුලියේ සිටි ප්‍රවීණයන් වන අශෝක තිලකරත්න, චන්දන තිලකරත්න, ස්වර්ණ ගුණවර්ධන, සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ, අශෝක ධර්මානායක වැන්නවුන්. මේ අය අලුත් ලක්හඬේ යම් යම් තනතුරු හෙබවුවත් එයට පරිබාහිරවයි මේ කටයුත්ත සිදු කළේ. ඒ නිවේදක නිවේදිකාවන් අතර මොහාන් රාජ් මඬවල, කපිල ගාමිණි ජයසිංහ, මයුරි ලියනගේ, නුවන් උදාර කරුණාරත්න, නුවන් ජූඩ් ලියනගේ, යතේජා කටුගම්පල, චමිලා මංගලගමගේ, ප්‍රියංගිකා ලියනගේ සහ මමත් ඇතුළුව එවැනි පිරිසක් සිටියා.
ගුවන්විදුලියට අනුබද්ධ වුවත් ලක්හඬ ආකෘතිය ගුවන්විදුලි සංස්ථාවේ අනෙක් නාළිකාවන්ට සාපේක්ෂව වෙනස්?
ඔව්. හැඩයෙන් පෞද්ගලික නාළිකාවක් වගේ. ලිඛිත සහ තෝරාගත් වචන සමඟ කතා කළ ගුවන් විදුලි නාළිකාවන්ට වඩා ලක්හඬ භාෂාව සරලයි. ඉදිරිපත් කිරීමේ රටාව ඉතාම සරලයි. මුල සිටම ජනප්‍රියම ගීතවලට අපි අවධානයක් යොමුකළා. අවුරුදු විසිපහක් ගෙවිලත් අදත් එහෙමයි. අලුත් ගීවලත් පරණ ගී වලත් ජනප්‍රියම ගීත අපි ප්‍රචාරය කළා. එහිදී බොහෝ සෙයින් ශ්‍රාවක අවධානය අප වෙතට යොමුවුණා. රජය සතු මාධ්‍යයක් වුණත් ගුවන්විදුලියට නැති ස්වාධීනත්වයක් නිදහසක් අපට තිබුණා. දේශපාලනය විවේචනයට දේශපාලන වැඩසටහන් කිරීමට අවකාශය සැලසුණා. එයට අලුත් පරණ සියලු දෙනාම කැපවුණා. එය අදටත් එහෙමයි. ලක්හඬට ආවට පස්සේ එයට හැඩ ගැහෙනවා.
මුල් කාලයේ ශ්‍රාවකයා අතිශය ආදරයෙන් වැළඳගත් වැඩසටහන් ආකෘතියෙන් මිදිලා අදවන විට ලක්හඬත් රැල්ලට යනවා කියන චෝදනාවට මොකද්ද තියෙන පිළිතුර ඔබට?
පවතින්න බෑ වෙනස් නොවී. පිටතින් කෙනෙකුට එහෙම පේන්න පුළුවන්. නමුත් අපි අනන්‍යතාව රැකගෙනයි මේ හැමදේම කරන්නේ. හුදු විනෝදාස්වාදයට එහා ගිය සමාජ වගකීමක් අපි ඉටු කරනවා. පැය විසි හතරක ගුවන් කාලය තුළ ඒ ඒ කාලයට ගැළපෙන වැඩසටහන් අපි ඉදිරිපත් කරනවා.
මුල් කාලයේ වැඩසටහන්වල නම් නොතිබුණත් ඒ ආකෘතින් අපි අදටත් ඒ ඒ වැඩසටහන්වලට යොදාගන්නවා. පවතින තරඟකාරීත්වය තුළ ඇතැම් වැඩසටහන් අදට ගැළපෙන ආකාරයට නිර්මාණය කරලා තියෙනවා.
අද වනවිට දුරකතනයේම රේඩියෝව තිබුණත් එයත් අතික්‍රමණය කරමින් සමාජ මාධ්‍ය පෙරමුණ අරන්. මේ තත්ත්වයට ඔබේ නාළිකාව කොහොමද මුහුණ දෙන්නෙ?
මුල සිටම ඒ පිළිබඳ වැඩි අවධානයකිනුයි අප පසු වුණේ. අසූව දශකයේ රූපවාහිනිය ආවම ගුවන්විදුලිය යම් පසු බෑමකට ලක් වුණා. අනූව දශකය වන විට නැවත එෆ් එම් එක්ක රේඩියෝව අලුත් වුණා. සමාජ මාධ්‍ය රේඩියෝවට පමණක් නොවෙයි ප්‍රධාන ධාරාවේ සියලුම මාධ්‍යවලට බලපෑවා. එක විනාඩියක් ඇතුළත තමන් කැමැති ඕනෑම දෙයක් බලන්න අහන්න සමාජ මාධ්‍ය තුළින් හැකියාව තිබෙනවා. සමාජයම හරිම කාර්යබහුල තැනක ඉන්නවිට ඒක හොඳ අස්වැසිල්ලක්. අනෙක් අතට ඉල්ලන දේම දීම ජාතික මාධ්‍යක් වුණ අපේ වගකීම නොවෙයි. අපි මෙතැනදි සමාජ මාධ්‍යයට ගැළපෙන ආකෘතියක වැඩසටහන් කිහිපයක් දැනටමත් කරනවා. සමාජ මාධ්‍ය තුළ සියලු දෙනාටම ඉඩ වෙන් වුණත් ජන මාධ්‍ය තුළ ඉඩ වෙන් වන්නේ සුදුසුකම් සපිරි පිරිසට පමණයි. සමාජ මාධ්‍ය උපයෝගී කොට ගනිමින් මේ සුදුසුකම් ඇති පිරිස යොදාගෙන උසස් රසවින්දනයට සහ ප්‍රමිතිගත මාධ්‍ය ක්‍රියාකාරිත්වයට මුල පිරිය යුතුයි. ඒ වෙනුවෙන් අප ඕනෑම වෙලාවක ඉදිරියට එන්නට, කටයුතු කරන්නට සූදානම්.
අනෙක් අතට ලක්හඬ ආරම්භයේ සිටි ශ්‍රාවක පිරිසට වඩා අද ශ්‍රාවකයා වෙනස්. හුදෙක්ම ඔවුන් සමාජ මාධ්‍ය වැලඳගෙන. එසේ ගිය ශ්‍රාවකයා නැවත ලක්හඬ සුසර කරන තැනට ගෙන ඒම ඔබට ඇති වගකීමක්?
ලක්හඬ තමයි ලංකාවේ වැඩිම පිරිසකට, හතර වටින්ම අහන්න පුළුවන් ශ්‍රවණ තත්ත්වයේ තිබෙන එකම රේඩියෝ නාළිකාව. අදටත් එය එලෙසමයි. අයි ටී එන් හොඳට පේනවා වගේම ලක්හඬ හොඳට ඇහෙනවා. ප්‍රමිතිගතව රේඩියෝ අහන්න අවශ්‍ය නම් ඉලන්දාරිකම් වලටත් ඔට්ටු තලත්තෑනීකම් වලටත් ඔට්ටු ලක්හඬ අහන්න කියලා (සිනාසෙමින්).ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉදිරියේදී වැඩසටහන් පෙළගස්වන්නට බලාපොරොත්තු වෙනවා. ළමා මනස පිළිබඳ දැනුම හා අවබෝධය ඇති පිරිසක් එකතු කරගෙනයි ඒ කාර්යය සිදු කළ යුතු වන්නේ.
ඔබත් ආරම්භක සාමාජිකයෙක්. අද වනවිට ලක්හඬ ප්‍රධානියා වන්නේ ඔබ. වසර විසි පහක දිගහැරුම ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?
සහන සන්නිවේදක ලෙස ඉතාම පුංචි තැනක සිට පටන්ගෙනයි මෙතැනට ඇවිත් ඉන්නේ. ඒ කාලේ වැඩිහිටි ශිල්පීන් නිවේදනය කරන දෙස අපි බලාගෙන සිටියා. ඉන්පසුව අපිත් වැඩසටහන් කළා. ඒවා විවිධ පරාස ඔස්සේ ගියා. හැම දේකම ඉගෙන ගන්න යමක් තිබුණා. බය නැති වුණා. අවුරුදු විසිපහක කාලයක් මාධ්‍ය තුළ ඉන්නවිට කරපු දේට වඩා ඉගෙනගත් දේ විශාලයි. මුල්ම කණ්ඩායමේ දොළොස් දෙනෙක් පමණ තාමත් ඉන්නවා. හඳුනා ගත් තැන් එක්ක ඉදිරි කටයුතු කිරීම ඉතා පහසුයි. ඉස්සර වැටුපක් අරන් යන මට දැන් පාලනය කරන්න ගත්තම ආයතනය මෙහෙයවීම හා පවත්වාගෙන යාම කියන දේ පිළිබඳ ලොකු පීඩනයක් තිබෙනවා. ඒ පීඩනයට මං කැමැතියි.
වසර විසිපහක කාලයේදී විවිධ අවස්ථා පසු කර ආ ලක්හඬ පසුගිය කාලයේ අයි ටී එන් එෆ් එම් ලෙස නම් කෙරුණා. මේ ගැන ඔබේ මතය මොකද්ද?
එහෙම කළේ ලක්හඬට තිබුණ ආදරයකට කියා මා සිතන්නේ නෑ. මොකද ඔවුන්ට එහෙම කිරීමේ අරමුණක් තිබුණා නම් ලක්හඬ ඒ විදිහටම තියලා අයි ටී එන් එෆ් එම් අලුතින් පටන් ගන්න තිබුණා. ලක්හඬ කියන්නේ මේ රටේ උසස් රසවින්දනයක් අපේක්ෂා කරන එහෙම නැතිනම් ඒ තැනට ගෙනියන්න පුළුවන් සෑම වයස් කාණ්ඩයකම ශ්‍රාවකයාට එක් තැන් විය හැකි තැනක්. අයි ටී එන් එෆ් එම් කියන්නේ පෞද්ගලික නාළිකා හා තරඟකරන වෙළඳපොළක් නිර්මාණය කළ හැකි එකක්. මෙය හරිම ලස්සන දෙයක් වෙන්න තිබුණා මේ දෙකම කරගෙන ගියානම්. එෆ් එම් කළාට ලක්හඬ ශ්‍රාවකයාට එතරම් ගැළපුණේ නෑ.
සමාජීය වගකීම කියන කාරණය ජාතික නාළිකාවක් විදිහට ඔබේ කරමතට අරගෙන තිබෙන්නේ කොහොමද?
සමාජීය වගකීම් සමාජ මාධ්‍යයේ පැමිණීම එක්ක හුදකලාවෙලා විසදන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒකට තිබෙන ශක්තිමත්ම ප්‍රවේශය නම් විද්‍යුත් විකාශකයින්ගේ ඒකාබද්ධ සංවිධානය. මේ තුළින් අපත් ඇතුළුව සියලුම විද්‍යුත් මාධ්‍ය සමාජීය වගකීම උපරිමයෙන් සිදු කරනවා. මේ වසංගත තත්ත්වයේදී වුවත් විශාල වැඩ කොටසක් මේ එක්ක කරන්න ලැබුණා.
ඉදිරියේදී මොනවගේ වෙනස්කම් එක්කද ලක්හඬ ජනතාව අතරට ගේන්නේ? මොනවද ඉදිරි සැලසුම්?
වෙනස්කම අප නිරන්තරයෙන් කරන දෙයක්. බාහිරවත් අභ්‍යන්තරවත් කාලානුරූපීව ඒ වෙනස්කම් සිදු කරනවා. කාලීන තත්ත්වයන් අනූවත් වෙන්න පුළුවන්. නමුත් අප අනුගමනය කරන ආකෘතිය වෙනස් කරමින් ලොකු වෙනසකට යාමට තරම් වුවමනාවක් අපට නෑ. සැලසුම් පිළිබඳ කතා කළොත් උතුර සහ නැගෙනහිර ජනතාවගේ ජනජීවිතය ගලායන ආකාරය පිළිබඳ පැහැඳීලි අවබෝධයක් දැන් අපට නෑ. යුද්ධය ඉවරවෙලා අවුරුදු දශකයකුත් ඉවරයි. එවකට සිටි දරුවන් දැන් තරුණයෝ වෙලා. ඔවුන්ට දැන් යුද්ධය ගැන මතයකුත් නෑ. උතුර දකුණ සම්බන්ධ කරලා යම් වැඩක් කරන්න කැමැත්තක් තියෙනවා. එයට අපේ සහෝදර නාළිකාව වසන්තම් එෆ් එම් අපත් සමඟ සිටිනවා. ඒත් එක්කම විසි පස්වැනි සංවත්සරයට සමගාමීව ලබන 27 වැනිදා සේනානායක වේරලියද්ද, අමරසිරි පීරිස්, නිරෝෂා විරාජිණි, අතුල අධිකාරි එක්ක නාද සංගීත කණ්ඩායම එක්ක නාද මියැසිය පවත්වනවා.