අපට හිතෙන හැටි

නොවැම්බර් 25, 2021

මානව හිතවාදී ධර්මසිරි ගමගේ

ක්ෂේත්‍ර කිහිපයකම කීර්තිමත් නමක් දිනා සිටි ධර්මසිරි ගමගේ මහතා සාහිත්‍යධරයකු. ගීත රචකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, මාධ්‍යවේදියකු ලෙස සමාජ තලයේ ගෞරවාන්විත මට්ටමක් ලබා සිටි මානව හිතවාදියකු විය. ඔබ වැනි පුද්ගලයන් අද සමාජයට අවැසි මොහොතක ඔබ අප අතහැර ගොස් වසර ගණනකි. ඒත් ලෝකේ ජීවත්වන්නට වගේම ලස්සන වන්නට ඔබ වැනි පුද්ගලයන් අවශ්‍ය බව මගේ හැඟීමයි.

නිමල් කුලසේකර - අඟුලාන

 

 

ඉක්මනින් ගියේ ඇයිද ඔබ

අදුර උනා මධුර මනෝහර මියුරු හඬින් අපේ හදවතට කිදා බසින්නට ගී ගායනා එක් කළ ලක්ෂ්මන් විජේසේකරයන් ඇයිද? අප දමා මෙතරම් ඉක්මනට ගියේ... ඔබට නිවන් සුව.

ශාන්ති බන්දුනාථ - මහනුවර

 

හෂිනිකා කරලියැද්දට

හිරු නාළිකාවේ විකාශය වන රූමා විදේශීය ටෙලිනාට්‍යයේ රූමාගේ මවට හඬ කවන ඔයාගේ කටහඬ හරිම අපූරුයි. තව තවත් මෙවැනි නාටකවලට ඔබේ, හඬ කවා රසිකයින්ගේ ආදරය දිනාගන්න. ඔබට ජය තවද ඔබේ ටෙලිනාට්‍ය චරිත ද ඉතා හොඳයි.

පියුම් වික්‍රමසිංහ - කඳාන

 

 

 

නිහඬතාවය බිඳිමු

වසන්ති

සිනමාව, පුංචි තිරය ජයගත් අපේ කාලයේ දක්ෂ නිළියක් වශයෙන් වසන්ති චතුරානි රසික හදවත්වල හැමදාමත් ජීවත් වෙයි. රංගනයෙන් මඳක් ඈත්ව සිටියත් පෑ පෙළහර කිසිදා රසික අපට අමතක නොවෙයි. දශක ගණනාවක් ක්ෂේත්‍රය පෝෂණ කිරීමට කැපවූ වසන්ති ඉතිහාසයට යමක් දායාද කර තිබේ.

නිෂ්පාදිකාවක් වශයෙන්ද ක්ෂේත්‍රයට යමක් එක් කළ ඔබගේ නිහැඬියාව බිඳ දැමීමට කාලයයි.

ඩබ්.කේ.මොහාන් මහවැලි සී කලාපය

 

අමරණීයයි මිල්ටන් නාමය

නිල්ල නගන ස්වර්ණ කිංකිනි රාවේ නදින්
සඳෙන් එහා මුදු නිශා තලාවේ සිහින මැදින්
ගඟ අද්දර දී උපුල් නුවන් විදහා ලමින්
කැන්දන් යන්නම් රන්මල් මාලා පලන් දමින්

 

රන්මසු නැතත් ඇරයුම් මත නිති ආවා
මේ මැයි ගහ යටත් රස පදවැල් ගැයුවා
මරු කතරේ මිනිස් පුරේ කොතැනක හෝවේවා
මතුමතු හැම භවයකදී අප අතරේ ඉපදේවා

සරත් රණසිංහ - මාළිද

 

 

 

කීර්තිට ස්තූතියි

අපේ ජනපි‍්‍රය ගායක කීර්ති පැස්කුවල් මැදිහත් වීමෙන් කොතලාවල රෝහලට පරිත්‍යාග කළ තෙරපි යන්ත්‍රය පිළිකා රෝගීන්ට මහඟු සම්පතකි.

මෙවැනි උදාර පිංකමකට මූලික වූ ඔබට අපි සැමගේ ස්තූතිය පිරි නමමු.

සෝමා එච්. පතිරණ - කහවත්ත

 

 

කැලුම් ශ්‍රීට සුබපැතුම්

මේ දිනවල හිරු රූපවාහිනියෙන් විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ දක්ෂ රංගනයක යෙදෙන කැලුම් ශ්‍රීට මගේ උණුසුම් සුබ පැතුම්.

යූ.ජී. පාලිත කුමාරසිංහ - ගඩලාදෙණිය

 

 

කාංචනා ආපහු එන්න

චිත්‍රපට ටෙලිනාට්‍ය බහුතරයක ප්‍රධාන නිළිය ලෙසින් රඟපාමින් ජනපි‍්‍රය තලයේ වැජඹුණු කාංචනා මෙන්ඩිස් දැන් තිරයේ දකින්න නැත්තේ ඇයි? කාංචනා ඔබ නිහඬ වෙලාද? නිහඬව නොසිට රඟපාන්න එන්නකෝ ඔබගේ රුව වගේම නවක රඟපෑම් දකින්න අපි ආසාවෙන් බලා සිටිමු.

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල - කෑගල්ල

 

 

 

රිචඩ් ඉදිරියට

ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරමින් ටෙලිනාට්‍යයන්හි දක්ෂ ලෙස රංගනයේ නියැළෙන රිචඩ් අබේවර්ධන කවදත් හරවත් ටෙලි නිර්මාණ වෙනුවෙන් වෙහෙසෙන පුද්ගලයෙකි. වැඩිහිටි චරිත හරි අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීමේ සහජ හැකියාවෙන් පිරිපුන් රිචඩ් දක්ෂ ලෙස එවැනි චරිතවලට අවතීර්ණ වෙයි. රිචඩ් අබේවර්ධනයන්ගේ ඉදිරි ගමනට සුබ පැතුම්.

ඩඩ්ලි ගෝමස් - මොරටුව

 

 

කල් ඉකුත් නොවන හද බැඳි ගීත

ගායන ශිල්පි විජේසිරිවර්ධන පොලොන්ඕවිට ගායනා කරන විශාඛාව ඔබ දුටු බුදු සිරිතේ... හා උණ පැදුරක මල් පිපිලා.... යන ගීත ගායනා කොට වසර හතළිහක් ඉක්ම ගොස් ඇතත් එම ගීතවල රසඥතාව කිසිදු අයුරකින් අඩු වීමක් අද ද දක්නට නොමැත. කිසියම් හෝ ගීතයක් ශ්‍රාවක සිත්මනසෙහි ධාරණය වී තිබේ නම් එය ගායකයාත් ශ්‍රාවකයාත් ලත් ද්විපාර්ශවික භාග්‍යයකි. කල් ඉකුත් නොවන මෙවැනි ගීත යුග යුග බැඳී ගීත ලෙසින් අපට නිර්වචනය කළ හැකිය.

සරත් ලියනගේ - රන්මුතුගල

 

සිනමාවෙන් ටෙලියට

දැන් දැන් ටෙලිනාට්‍ය සිනමාවේ තිබූ සිංදු , සටන්, නැටුම්වලින් පිරි පවතින බැව් හැඟේ සිනමාව නැතිනම් ටෙලියට හරි ඒවා යෙදීම අගනේය. එහෙත් වැටුණු සිනමාව ගොඩ ගැනීම පේ‍්‍රක්ෂකයන්ට භාරයි.

ආතර් ජයකොඩි - රාගම

 

නාළිකා අතහරියිද?

අසීමිත ලෙස වෙළෙඳ දැන්වීම් නිරන්තරයෙන්ම රූපවාහිනි නාළිකා තුළින් ප්‍රචාරය වන හෙයින් සමස්ත රූපවාහිනි නාළිකා පද්ධතියට වෙළෙඳ දැන්වීම් ආක්‍රමණය වී හමාරය. සමස්ත රූපවාහිනි නාළිකා සියල්ලම සෑම වැඩසටහනක් සඳහාම වෙළෙඳ දැන්වීම් විකාශය කරති. ඒවා එම වැඩසටහනට බාධාවක් නොවන ආකාරයෙන් විකාශය කරන්නේ නම් එය ඵලදායි ක්‍රියාවකි. නමුත් සිදුවන්නේ වෙනස් ක්‍රියාවලියක්. අතොරක් නොමැති දැන්වීම් නිරන්තරයෙන්ම ප්‍රචාරය වන හෙයින්. එම වැඩසටහනට අඩු කාලයක් යොදවා දැන්වීම්වලට මුල් තැනක් දීමයි. අද සිදුවන්නේ සමස්ත රූපවාහිනි නාළිකා මේ ආකාරයට වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළහොත් නරඹන්ගෙන් තොර රූපවාහිනි නාළිකා ඉදිරියට දැකබලා ගැනීමට හැකි වනු නොඅනුමානය.

එච්. ඉන්ද්‍රපාල - මුංහේන

 

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10