අපට හිතෙන හැටි

නොවැම්බර් 18, 2021

 

ගීත කෝකිලාවට දීගායු

 

සරල ගීත ගායනයේදීත් චිත්‍රපට පසුබිම් ගායනයේදීත් ඇය දැක්වූ විශිෂ්ට දස්කම් නිසාම ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වූ ලතා වල්පොලයන් දැනට 88 වෙනි වියෙහි පසුවන්නීය. දශක හතකට ආසන්න කාලයක් මෙරට ගායන ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ඇය විසින් අපේ කලා ක්ෂේත්‍රයට සිදු කරන ලද මෙහෙවර සුවිශාලය. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විශාල ගීත සංඛ්‍යාවක් ගායනා කර ඇති ඇය වර්තමානයේ මෙරට ගායන ලොවේ ගීත කෝකිලාව වන්නීය. එමෙන්ම දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම ගායිකාවද ඇය වන්නීය. වියපත් වුවත් ඇය තවමත් අපේ ගායන ලොවේ රැඳී සිටීම අපේ ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන්ටත් නව පරපුරේ ගායක ගායිකාවන්ටත් විශාල ශක්තියක් සපයයි. මෙතරම් දුර ගමනක් යන්නට ඇයට ශක්තිය දුන්නේ කවුරුන්ද? ඇගේ ජීවිතයේ සෙවණැල්ල මෙන් ඇය ළඟ සිටි ඇගේ දයාබර ස්වාමි පුරුෂයා වූ දිවංගත ප්‍රවීණ ගායන ශිල්පි ධර්මදාස වල්පොලයන්ය. ඇයට සංගීතය, ගායනය ඉගැන්වූ ඇගේ ආචාර්යවරුන්ය. ඒ වගේම ඇගේ ගමනට දිරි දෙමින් ඇයට උදව් උපකාර කළ ඇගේ සමීපතමයන්ය. සිය ගායන දිවිය තුළ අමරණීය මතක සටහන් රාශියක්ම ඉතිරි කළ ඇය සම්මාන රැසකින්ම පිදුම් ලැබුවාය. ඇගේ ගායන දිවිය තුළින් උගත හැකි පාඩම් බොහෝය. ඇය ගායනා කළ ජනපි‍්‍රය ගීත අතර ඉතාමත් ජනපි‍්‍රය වූ ගීත කිහිපයකි. පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර සිරිලංකා, රන්වන් රන් කරලින් පැසිලා නැමිලා බරවීලා, පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි, ඇත්තටම මේ ගීත සදාකාලික ගීත ලෙස හැඳින්විය හැකිය. ජීවන ගමනේ අටවැනි දශකය ගත කරමින් සිටින අපේ ගායන ලොවේ මාතාවට නිදුක් නීරෝගි සුවය සැලසේවා. සියක් අවුරුදු ආයු සම්පත් විඳින්නට ඔබට හේතු වාසනා සම්පත්තිය සැලසේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

රඹුක්කන අනුරුද්ධ හිමි

සුනන්දාරාම රජමහ විහාරය

තෝලංගමුව - වරකාපොල

 

 

 

 

රංගි රාජපක්ෂට

සිදු ටෙලිනාට්‍යයේ රංගි ඔයාගෙ රඟපෑමට අපි ආසා කරමු. තව තවත් ශක්තිය ධෛර්ය අපි ප්‍රාර්ථනා කරමු.

වික්‍රමසුන්දර දයාරත්න,

රෝහිණී දයාරත්න,

දිවුලපිටිය.

 

 

 

ජෝතිට උපහාරයක් වේවා

සොඳුරු අතීතයක මිහිරි මතකය වී

ඔබ මේ සසරේ ඉන්න ඇතී

අපමණ මිනිසුන් කළ බව පෙම්

ඔබ දැන් දන්නවා ඇතී

කෙලෙසක කීවත් ඔබ ඇමතුවත්

දෑසට පෙනෙනා තැනක නැති

ඔබේ හඬ පමණයි සවනට රැදුණේ

මන්දැයි සිතට දැනේ

පවකට පින නැත මා උපදින්නට

පෙර ඔබ යන්න ගිහින්

මතු භවයක උපදින තුරු

අප හමු වෙන ලෙසින්

යළි මතු භවයක දෑසින් දකිනා තුරුම ලොවේ

අසනෙමි ඔබෙ හඬ ගී ලොව සක්විති රජුනේ

මිනෝලි ගුණවර්ධන - කෑගල්ල

 

 

 

ජාතික නාළිකාවට තුති

ජනපි‍්‍රය නළුවකු වූ රොජර් සෙනෙවිරත්නයන් සහ විකට නළු ඇන්ටන් ජූඩ් සමඟ නළු නිළියන් රැසක් රඟපාන “සකිසඳ එලියස්” හාස්‍යමය රසයක් ගෙන එන ටෙලිනාට්‍යය නැවත ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීම ගැන අපි ස්තූතිවන්ත වෙමු.

කෑගල්ලේ තටාකය පාරේ

තිලකරන්ත විල්වල සමඟ මැණිකේ විල්වල

 

පළිඟු මැණිකක් වූ මැණිකේ අත්තනායක

විශේෂයෙන් වේදිකාවේ රංගනය ගායනය තුළින් සුවිශේෂ දක්ෂතාවයන් පළ කළ මැණිකේ අත්තනායක ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙ පළිඟු මැණිකක් විය. සිනමාවෙන් දස්කම් දැක්වූ ප්‍රතිභාපූර්ණ සම්මානනීය ශිල්පනියක් වන ඇයට ඇයගේ දක්ෂතාවයෙන් තවත් පළ කළ හැකි විවිධ චරිත ලැබේවා.

නිමල් කුලසේකර - අගුලාන

 

 

 

ගී පවස නිවාලන්න

ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ දක්ෂ ගායන ශිල්පිනියක වන චන්ද්‍රලේඛා පෙරේරා ඒ ඔස්සේ ගායනයෙන් නිර්භීත වේගවත් ගමනක් ආවා. බෙල්වුඩ් රූපවාහිනි ගම්මානයට පෑයූ පුන් සඳක් මෙන් එයින් ලද පන්නරයෙන් ගායනා කරන ලද සෑම ගීතයක්ම රසික හදේ ලැඟුම් ගත්තේය. අපේ සදාදරණීය කලාකරු විජය කුමාරතුංගයන් සමඟ කළ “ මංගල නැකත” කැසට් පටයෙන් ද ඇය එකල ගී ලොව විප්ලවයක් ඇති කළේය. සංගීතමය ටෙලිනාට්‍යයක් වූ “ රේඛා” නාට්‍යයෙන් පුංචි තිරයේද “ වැඩබැරි නම් වැඩක් නෑ” සිනමා පටයෙන් සිනමාවේ ද රංගනය කළ චන්ද්‍රලේඛා රංගනයට ද හැකියාව ඇති බව පෙන්වීය. වැඩිය මාධ්‍යවලට මුහු නොවන චන්ද්‍රලේඛා ඔබගේ නව නිර්මාණ රස විඳීමේ පිපාසයෙන් තවමත් අප පෙළෙමු. ඒ පවස නිවාලන්න....

ජගත් චන්ද්‍රසිරි / පූජා ජගත්සිරි - පස්යාල

 

 

වෙළෙඳ දැන්වීම් අඩු කරමු

දැනට සියලුම නාලිකාවල ටෙලිනාට්‍යවලට වඩා ප්‍රදර්ශනය වන්නේ වෙළඳ දැන්වීම්ය. ටෙලියෙන් නැවත වරක් සිනමාවට ගොඩ ඒමක් නැත. එම නිසා ටෙලිනාට්‍ය වෙත පේ‍්‍රක්ෂකයන් රඳවා ගැනීම සඳහා සියලුම නාළිකාවල වෙළෙඳ දැන්වීම් අඩු කොට නාට්‍යවලට මුල්තැන දෙන්න.

ස්තූතියි.

ආතර් ජයකොඩි - රාගම

 

මතකයෙන් ඈත් නොවූ ඇන්ටන්

අසූව දශකයේ බෙහෙවින් ජනප්‍රිය වූ පාවීලා මුදු පින්නේ. දුරක පාවී ගියා, මුහුදු කරේ හැන්දෑවේ, ඇගේ නූරා සිනාවේ (ටී.එම්.ජයරත්න සමඟ) මගේ සිතේ ඔබ රුව සැඟවීලා (ත්‍යාගාඑන් එඩ්වඩ් සමඟ) යන ගීතයන් ගායනා කළ ඇන්ටන් සේනානායක තවමත් රසික සිත් සතන් තුළින් අමතක වී ගොස් නොමැත.

සරත් ලියනගේ - රන්මුතුගල

සමුගත් සියලු කලාකරුවන්ට

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තිබූ කාලසීමාවේදී කලාව උදෙසා අනුපමේය සේවයක් සිදු කොට දැයෙන් සමුගත් සියලුම කලාකරුවන්ට සහ කලාකාරිනීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

දයාරත්න ගනේගොඩ - කැලණිය

 

ගයන්නේ කවුරුද?

 

තොටුපළ අයිනේ

පෙරළුණි ඔරුවක්

නවරැල්ලේ වැදිලා

සවනට නැත දැන්

කිසි සැනසීමක්

සේකර කරු සහ

ප්‍රේමකීර්ති ද

නැති හින්දා

සරිගම පදනිස

තාලය මුසු කොට

සුභාවිතවූ ගී

ගයන්නෙ කවුරුද

වික්ටර් ටීඑම්

සුනිල් සර්ලා

නැතිවුණ දා....

දයානන්ද පොන්නම්පෙරුම

 

 

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10