අපට හිතෙන හැටි

නොවැම්බර් 11, 2021

රොබින් ඔබට චිරං ජයතු

සිංහල සිනමාවේ සටන් නළුවකු ලෙසින් රොබින් ප්‍රනාන්දු කළ රංගනයන් ඉතාමත් විශිෂ්ඨයි. එදා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ “ චණ්ඩියා” චිත්‍රපටයේ පිහිනුම් තටාකය මත ඔබ කළ එම සටන් ජවනිකාව අපට කිසිදා අමතක නොවේ. සටන් අධ්‍යක්ෂවරයකු ලෙසින්ද ඔබ සිංහල සිනමාවට කළ සේවය අප්‍රමාණය. දසක ගණනකට වැඩි කාලයක් සිනමාව වෙනුවෙන් සේවය කළ රොබින් ඔබට චිරං ජයතු.

කෙනත් පෙරේරා

ජා ඇල

 

 

නිහඬ බව අපට සාංකාවක්

එකල මෙරට මෙන් ගුවන් විදුලි නාළිකා රාශියක් නොතිබුණි. තිබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු නාළිකා කීපයක් පමණි. ඒ තුළින් වෙළඳ සේවයට තිබුණේ අති විශාල ඉල්ලුමකි. වෙළඳ සේවයේ ප්‍රචාරය වූ විනෝදාස්වාදය සහ දැනුම පෝෂණය වන අනුග්‍රාහක වැඩසටහන් වූ “ විනාඩියක් පමණයි” , “ ඔව් නෑ බෑ” තරගවලට සුවිශේෂී ශ්‍රාවක ප්‍රසාදයක් තිබිණි. එම වැඩසටහන් බොහෝදුරට මෙහෙය වූයේ එදවස ජනපි‍්‍රය තලයේ සිටි දක්ෂ නිවේදකවරයෙකු වූ සීලරත්න සෙනරත් විසිනි. සීලරත්න ගේ මූකරි කමින් යුත් වාග් ශෛලියට තරගකරුවන් අන්ද මන්ද වන හැටි සවන් දීමට එකළ ජනයා ඉතා පි‍්‍රය කළහ. එය අහිංසක වින්දනයකි. තවද ගුවන් විදුලියේ විනාඩි පහලවේ විනාඩි තිහේ අනුග්‍රාහක ප්‍රචාරක වෙළඳවැඩසටහන්වලට ද සීලරත්න ගේ හඬ නිසා ලැබුණු ආලෝකය සුළු පටු නොවේ. සියනෑ කෝරලයේ ප්‍රසංග වේදිකාවට ද නැතිවම බැරි වූ සීලරත්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිවේදක මහත්මයෙකි. ඔබේ නිහඬ බව අපට නම් විශාල අඩුවකි. ජීවිතයේ සැදෑසමය ඔබ ගෙව්වද ඔබ සහ ඔබේ හඬ අපට තරුණය.

ජගත් චන්ද්‍රසිරි / පූජා ජගත්සිරි - පස්යාල

 

 

විජය - ගාමිණී රඟපෑ චිත්‍රපට පෙන්වන්න

සිංහල සිනමාවේ එක්තරා යුගයන් බිහිකළ අතිශය රසිකයන් තුළින් ජනපි‍්‍රය වූ නළුවන් දෙපළක් වන විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා කළ රංගනයන් අමතක වන චරිත බවට පත් වී ඇත. එවන් මොහොතක ඔවුන් හට කරන ලද උපහාරයක් වශයෙන් කුමන හෝ රූපවාහිනි නාළිකාවක් එම දෙපලගේ චිත්‍රපට විකාශය කිරීමට පියවර ගන්නේ නම් ඉතාමත් කාලෝචිතය.

පාලක සමන් පෙරේරා

හැදල රහල්ට මල් මිටක්

රහල් බුලත්සිංහල නාඩගම්කාරයො නාට්‍යයේ බෞද්ධ භික්ෂුවකගේ චරිතයක් තුළින් පේ‍්‍රක්ෂක ආකර්ශනයට පත්ව සිටින්නේ ඔහුගේ රංගනය ඒ තුළින් ඉහළින්ම ඉස්මතු වෙන නිසාවෙන්.

නිමල් කුලසේකර

අගුලාන

 

 

බෙග් ගීත අගයමු

බෙග් මාස්ටර් ලෙස සංගීත ලොවෙහි කවුරුත් දන්නා හඳුණන පමණක් නොව අන්‍යාගමිකයෙකු වුවද, ඉන්දියාවෙහි හයිද්‍රාබාදයෙහි උපත ලැබුව ද බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව වෙත පැමිණ මෙහිදී වැඩිම “ බොදු බැති ගී” ගයනු ලැබූ කලාකරුවා, ගායන ශිල්පියා, සංගීතවේදියා, කලාසූරි අල්හාජ්මොහිදීන් බෙග්ය.

ඔහුගේ අභාවයෙන් 2021.11.03 වෙනි දිනට වසර 30 ක් ගත වුවද එයටත් එහා ගීත ඉතිහාසයෙ මේ දක්වා නිරීක්ෂණය කළ විටදී වසර පනහකටවත් අධික කාලපරාසයක් තුළදී තවමත් එම ගීතයන්හි ජනපි‍්‍රයත්වය නොනැසී පැවැතීමේ රහස නම් එහි පද රචනාවන්හි අන්තර්ගතව තිබෙන වි්‍යුහාත්මක ගුණය අරුත්බරතාවය යැයි අවධාරණය කළ හැකිය. එබැවින් එම ගීතයන් රචනා කරන ලද ගේය පද රචකයින්ද මෙම අවස්ථාවේදී ගෞරව පූර්වකව සිහිපත් කිරීම යුතුකමක් ලෙස සලකමි.

ගීත රසික ජනතාවගේ හදවතෙහි ලැඟුම් ගෙන සදාතනිකවම ස්ථාපිතව තිබෙන බුද්ධං සරණං ගච්ඡාමි , සුවඳේ මට සීතල සුළඟ පවා, බුදුන්ගේ අමා ධර්මේ, මල් සුගන්දේ දම් සුගන්දේ, සකල සතම බුදු බැතියෙන්, තනිවයි උපන්නේ, මායා, සිනහවෙන් හෝ කතාවෙන්, හිම බිම පාලන සුරිඳේ, ගිරිහෙල් මුදුනේ යන ගීත ඇතුළුව චිත්‍රපට පසුබිම් ගීත, ගුවන්විදුලි ගීත, යුග ගායනාවන්, සමුහ ගීත මෙන්ම කැසට් පට සඳහා ද මතකයෙහි රැඳුනු ජනපි‍්‍රය ගීත රැසක් තුළින් ස්වකීය ගී දැහැන සහෘද ගීත ලෝලී ජනතාව වෙත දායද කොට ඇති අතර එළිමහන් ප්‍රසංග වේදිකාව තුළින්ද හෙතෙම ලයාන්විත ගීත ස්වරය ප්‍රකට කළ අයුරු නිබඳවම සිහියට නැඟෙන්නේය.

සරත් ලියනගේ - රන්මුතුගල

 

 

වැලිකතරට පනහයි

පිපාසිතව සැඩ කුණාටු ඉගිලෙන ගිනිගත් මරු කතරේ

අමරදේව ගැයූ ගීතය රුව් දෙයි අප දෙසවන් අතරේ

සේකරගේ හරබර පද මත ඇල්විටිගල තනු වැතිරේ

නම අමිලයි ඩී.බී. නිහාල්සිංහගෙ විස්මිත වැලිකතරේ

 

ගාමිණී ජෝ සුවිනීතා රැඟුමන් දැක හදවත ගැස්සේ

තිස්සගෙ තිර රචනය පරිදිම කිසිවෙකු නැත පසු බැස්සේ

හෙළ සිනමාවේ රජ දැක්මයි මෙය පුළුල් තිරය ඔස්සේ

නැරඹුවෙමු අප අමතක නොකළෙමු අඩ සියවස තිස්සේ

සිරිවීර කොඩිතුවක්කු

ඇතුල්කෝට්ටේ

 

 

කාවින්ද්‍යාගේ රංගනයක් නැවතත් ඕනේ

කාවින්ද්‍යා දුල්ෂානි අලුත් ටෙලිනාට්‍යයකින් නැවතත් ඔබේ රුව දකින්න ආසයි. ඔයා රඟපෑව අහිංසා, නදී වගේ රංගනයන් විශිෂ්ටයි. කියා මම සිතමි. ඔයාට මම සුබ පතමි.

බුවනෙකබාහු පරමානන්ද

කඩුගන්නාව

 

රිදී ටී.වී ගෙනෙන චිත්‍රපට වෙත

සිනමාහල්වලට නොඑන පේ‍්‍රක්ෂකයන්ට පුංචි තිරයේ චිත්‍රපට පෙන්වන නාළිකා අංක 18 රිදී ටී.වී වෙත අපගේ ප්‍රණාමය. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ පෙන්වන චිත්‍රපට නැවත නැවත පෙන්වූ චිත්‍රපට වීමයි. ඒවා අඩු කර හැකිනම් පැරණි හින්දි චිත්‍රපට අමරණීය මතක තුළින් ගෙන එන්න.

ආතර් ජයකොඩි

රාගම

 

lockdown නොවනා හඬ...

එදා වගේමයි,

හිරු පායනවා,

එකට හිටිය අය,

හැරදා යනවා.

එදා වගේමයි,

හිරු බැස යනවා,

සුව විරුවන්,

අප සුරකිනවා,

දිවි දන්දෙනවා.

එදා වගේමයි,

ඒ හඬ ඇසුනා,

උපන්දිනයදා සෙත් කවි ගැයුනා. තධජඬඤධඹද නොවනා,

ඔබේ හඬ ඇසුනා,

හිමිදිරි උදයේ...

සිරි කහවල ලොකු අයියේ...

නාට්‍යවේදී

ඊ.ඩී.ශ්‍රියාපාල

 

පැරණි සිනමා ක්‍රමවේදයට චිත්‍රපට කරමුද?

අද සිනමාවෙන් රසිකයන් ටිකෙන් ටික ඈත් වෙද්දී. එදා සිනමාවට ඔහුන් ළංවෙද්දී අපිට හැඟීයන්නේ පැරණි දේ කවදත් අගය වැඩි බවත්ය. අද එම සිනමා පටයකින් ලැබිය හැකි දේ බොහෝය. එසේ නම් මෙයට හේතුව අලුත් නිපැයුම්කරුවන් වටහා ගත යුතු වේ. පැරණි ක්‍රම වේදයට අනුව සිනමා පට යලි නිපදවන්නේ නම් රසිකයන් නැවත සිනමා හල් වලට ගෙන්වා ගැනීම ඉතා පහසුය. කවුරුන් හෝ දක්ෂ සිනමාකරුවෙක් මේ දේ අත්හදා බලන්නේ නම් එය සාර්ථක උත්සාහයක් බව මගේ හැඟීමයි.

ගාමිණී මහබාලගේ

ස්කයි ලයිට් සිනමා

පිළියන්දල

 

නිදිගන්වන තුරු වෙළඳ දැන්වීම් එපා

මේ වසංගත කාලයේ නාට්‍ය නිෂ්පාදනය අඩු වූ අවදියක පැරණි දේ යළි සිහි ගන්වමින් අතීතයේ අප ආසාවෙන් නැරඹූ අපේ කම රැදුන ලස්සන නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ විකාශනය වීම අපට සතුටට කරුණකි. එහෙත් නාට්‍ය නරඹන අපට ද ලොකු දඬුවමක් දෙමින් නාට්‍යයට වඩා වෙළඳ දැන්වීම් විකාශය කරමින් අපට ද පොඩියට ටොක්කක් අනියි. ආයතනයේ පැවැත්මට වෙළඳ දැන්වීම අවශ්‍ය බව අප පිළිගන්නා නමුත් අප නිදිගන්වන තුරු වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නොකරන්න.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

 

ස්වර්ණවාහිනියට තුති

ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවට රුකුලක් දීම සඳහා ස්වර්ණවාහිනි නාළිකාව මඟින්ගත් පියවරක් ලෙස විදේශීය ටෙලිනාට්‍යයන් මෙරටදී දෙබස් කවා විකාශය කිරීම නවතාලීම ගැන අපගේ ප්‍රණාමය ස්වර්ණවාහිනියට මින් පුද කර සිටින්නෙමු.

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල

කෑගල්ල

 

නාඩගම්කාරයෝ ඕනෙවට වැඩියි

නාඩගම්කාරයෝ ටෙලි සිත්තම පටන් ගත්ත කාලයේ අංක එකට පැමිණයේ ජනතාවගේ රසාස්වාදය උපරිමයෙන් තිබූ නිසයි. දැන් දැන් සරා සහ සගයන්ගේ බලහත්කාරකම් නීතියටත් වඩා උඩින් ගමේ පවතිනවා. ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැ යන කියමනක් තියෙනවා. ඇත්තටම සරාලගේ එම හැසිරීම පිළිගත නොහැකි ලෙස හුවා දැක්වීම රසිකයින් විඩාවට පත් කරන බවයි මගේ හැඟීම. නාටකය අවසන් වන්නේ නම් හොඳයි. එවැනි බොරු හැසිරීම විහිළුවකි.

පියුම් වික්‍රමසිංහ

කඳාන

 

“පි‍්‍රයජනක බැක් ටු ස්කූල්”

ඉරිදා උදේ 10 සිට විනාඩි තිහක කාලයක් පුරා හිරු නාළිකාවේ විකාශය වන බැක් ටු ස්කූල් වැඩසටහන ඉතා පි‍්‍රයජනකය. නීරෝෂා පෙරේරා කලාකාරිය විසින් එම වැඩසටහන මෙහෙයවයි. ගායක, ගායිකාවන්, නළු , නිළියන් කැඳවා ඔවුන්ගේ පාසල් ජීවිතය ගැනද විමසා සාමාන්‍ය දැනුම ප්‍රශ්නද , ගණිතය, යුගල පද එකිනෙකට වෙනස් ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් අපිද දැනුමක් ලබා ගන්නෙමු.

දිනේෂ් ගුණසේකර

මාතර

 

අපට හිතෙන හැටි
සරසවිය, ලේක්හවුස්, කොළඹ 10