දැහැන් සුව බිඳ එන සංඛ

ඔක්තෝබර් 21, 2021

 

සංගීතය නම් විශ්ව භාෂාවේ රසඥතාව විඳීමට බොහෝ පිරිස් ඇලුම් කරති. ශාස්ත්‍රීය සංගීතය මිනිසා සුවපත් කරන ඔසුවක් බව ‍වෛද්‍ය විද්‍යවේද පිළිගන්නා මතයකි. එවන් ශාස්ත්‍රීය සංගීතයට ඇලුම් කළ තරුණයකු විය. හේ නමින් සංඛ අසේල මල්ලවාරච්චිය. පාසල් සංගීත ගුරුවරියක වූ තම මවගේ මඟපෙන්වීමෙන් මූලික ශාස්ත්‍රීය සංගීතයට අත්පොත් තැබූ සංඛ ඉතා ආශාවෙන් හා කැපවීමෙන් සංගීත විෂයය හැදැරූ තරුණයෙකි. ඇල්පිටිය ශාන්ත තෙරේසා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු ඔහු පසුව කොළඹ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අ.පො.ස (සා /පෙළ) දක්වා අධ්‍යාපන කටයුතු කළ අතර උසස් පෙළ කලා විෂයයන් ප්‍රගුණ කිරීම සඳහා කොළඹ ආන්නද විද්‍යාලයට ඇතුළත් විය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව වැඩිදුර ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතාගේ සෙවණට පිවිසි ඔහු එහිදී ශාස්ත්‍රපති සංගීත් නිපුන් අසිත් අතපත්තු නම් සංගීත ආචාර්යවරුන්ගේ ද සංගීත් ඥානය නොමඳව ලබා ගන්නේය.

ඉන්පසු තම උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩේ සංගීත විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී පළමු පෙළ සාමාර්ථ්‍යයක් සමඟ සංගීත ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත්තේය. එහිදී පණ්ඩිත් ගනේෂ් ප්‍රසාද් මිශ්‍රා නම් ප්‍රවීණ ඉන්දීය සංගීතවේදියාණන් යටතේ සිව් වසරක් පුරා තම ශාස්ත්‍රීය ඥානය ප්‍රගුණ කළ සංඛ නොනැවතී තවත් පියවරක් ඉදිරියට පා නැගුවේ ඔහුගේ ශාස්ත්‍රපති උපාධිය ලබාගනු වස්ය. එහිදී ආචාර්ය ග්‍යනේෂ් චන්ද්‍රපාණ්ඩේ සහ පණ්ඩිත් චිත්තරංජන් ජෝතිෂ්‍ය ගුරුපියාණන් යටතේ දෙවසරක් සම්පුර්ණ වූ සංගීත ශාස්ත්‍රපති උපාධිය ද පළමු පෙළ සාමාර්ථ්‍යයක් සහිතව ඉහළින් සමත් විය.

මේ වනවිට කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සංගීත ආචාර්යවරයෙකු වන ඔහුගේ සංගීත දිවියේ ප්‍රථම ගීතයේ කල එළි දැක්ම නුදුරේදීම ඔබ අතට පත්වන සුභ ආරංචිය දැනුම් දීමට ඔහු අප සමඟ එක්විය. ‘දැහැන් සුව බිඳ‘ නම් ඔහුගේ ගීතයේ තනු නිර්මාණයෙන් කෝවිද වෛද්‍යරත්න හා පද සංකල්පනාවෙන් කාවින්ද්‍යා කරුණනායක දායකත්වය ලබාදෙති.

නුදුරේදීම ප්‍රේක්ෂකයා අතට ඉතා හරවත් නිර්මාණයක් ලබාදීමට සියලු කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ඔහු අපට පැවසීය.