මැදියම් රැයේ නවාතැන්පොළට ආ එල්ලී මැරුණ ගැහැනිය

යොං හෑලි
ඔක්තෝබර් 14, 2021
ඊබට්  විජේසිංහ

 

 

අපේ සිනමාවේ දැවැන්ත නම් දෙකක් තමයි වේශ නිරූපණ ශිල්පි ඊබට් විජේසිංහ සහ කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න. වේශ නිරූපණය කියන්නේ නිකම්ම හැඩ ගැන්වීම නොව එය වෙනම විෂයයක් හැටියට සැලකූ ඊබට් අය්යා අද අප අතර නැතත් ඔහු අන්තිම මොහොත දක්වාම සිය විෂය පරතෙරට ඉගෙන ගන්නට මහත් වෙහෙසක් දැරූ කෙනෙක්. ඒ වගේම අද ඉන්න බොහෝ වේශ නිරූපණ ශිල්පින් ඊබට් විජේසිංහ වෙතින් අත්පොත් තැබූ අය. ඒ වගේම සිනමා කාර්මිකයන්ගේ අයිතිවාසිකම් ගැන ඊබට් අයියා මහත් වෙහෙසුණු කෙනෙක්. අද එතෙරක වෙසෙන ඩොනල්ඩ් කරුණාරත්න කියන්නේ මෙරට සිනමා කැමරාවට පනදුන් දැවැන්තයෙක්. ඩොනල්ඩ් අය්යා ගේ විශිෂ්ටත්වය ගැන අද සිටින ජ්‍යෙෂ්ඨයන් බොහො දෙනා කතා කරන්නේ ඔහු ගුරු තනතුරෙහි ලා සලකමින්. එයට බඹරු ඇවිත්, ගඟ අද්දර, දඩයම යන චිත්‍රපට ත්‍රිත්වයම වුව ප්‍රමාණවත්. මේ දෙදෙනාම එකම කාලෙක සිනමාවට ආවේ. ඒ කියන්නේ 1960 වසරේ බිහු වූ මෙරට වෘත්තිය සිනමා සමාගමක් වූ සෙරන්ඩිබ් සමාගම ඔස්සේ. ගැටවරයෝ චිත්‍රපටයේ එන නාරද දිසාසේකර ගයන 'ආරිච්චි බෝරිච්චි' ගීතයට මේ දෙන්නාම සම්බන්ධ වෙලා තියෙන්නේ වේශ නිරූපණයෙන්වත් කැමරා අධ්‍යක්ෂණයෙන්වත් නොවෙයි රංගනයෙන්. ඒ වන විටත් මේ දෙදෙනාම එහි සහාය ශිල්පීන්. මේ දෙදෙනා එක්වුණ චිත්‍රපටවල අලුත් නිර්මාණාත්මක යමක් කරන්නට ඔවුන් උත්සුක වුණ වග ගෞරවයක් ලෙස සටහන් කළ යුතුයි. සිනමාව යනු අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය වුවත් එය සාමුහික ප්‍රයත්නයක් නිසා. ඔවුන් එකතුව කළ චිත්‍රපටවල විශේෂ වැදගත්කම් තිබුණා.

හොඳම උදාහරණය ගඟ අද්දර හා බැද්දේගම. අර චිත්‍රපටවල ගුණ යහපත් කමට වගේම දෙන්නා එකතු වෙනවා කියන්නේ ළගින් ගියොත් ඇහැක් නැහැ ජාතියේ වැඩත් සිද්ධ වෙනවා. මෙයට අවුරුදු ගණනාවකට කලින් ඩොනල්ඩ් සහ ඊබට් එකට එක්වුණ චිත්‍රපටයක් රූපගත කෙරුණේ රත්නපුරේ සිට සැතැපුම් ගණනාවක් ඈත විශාල වතුයායක. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ අප අතර නැති අපේ සිනමාවේ මැද මාවතේ සිනමාකරු එච්.ඩී. ප්‍රේමරත්න. මේ පිරිස අතරින් සමහරු රත්නපුරේ නවාතැන්ගෙන සිටිය දී ඩොනල්ඩ් හා ඊබට් නැවතුණේ වතුයායේ තිබුණ පැරැණි බංගලාවේ . වතුපාලක සිනමාවට කොතරම් අළුම් කළා ද කිවහොත් චිත්‍රපටය සඳහා මේ බංගලාව අලුත්වැඩියා කර දුන්නා. ඔහුගේ නිවහන එයට නුදුරින් වූ අලුත් නිවහනක්. චිත්‍රපටයට දර්ශන තලයකටත් මේ පැරැණි නිවහන අවශ්‍ය වෙලා තිබුණ නිසා සමහරු මෙහි නවාතැන් ගෙන සිටියා. සාමාන්‍යයෙන් ඊබට් හා ඩොනල්ඩ් එකම චිත්‍රපටයක වැඩ කරද්දී ඔවුන් දෙදෙනා නවතින්නේ එකම කාමරයක. ඉතින් මේ චිත්‍රපටය රූපගත කරන්නටත් පැමිණි විට මේ දෙමිතුරන්ට එකම කාමරයක් ලැබුණා.

ඇත්තටම රත්නපුරයේ වඩා පහසු හෝටලයකට වඩා වැඩි නිස්කලංක එමෙන්ම රූපගත කිරිම්වලින් පසු නවාතැනට දුරක් ගෙවන්නට අවශ්‍ය නැති මේ නවාතැන ඔවුන් ඉල්ලා ගත්තා. මේ නිවහනේ චිත්‍රපටයට සම්බන්ධ කිහිප දෙනෙක් සිටියා. මිතුරන් දෙදෙනාට ලැබුණේ තරමක් ඉඩ කඩ තිබුණ කාමරයක්. ඇඳන් තුනක් තිබුණා. ඒ ගොඩනැගිල්ලේ එක් කෙලවරක වන්නටයි මේ කාමරය තිබුණේ. ඒ අසල දැවැන්ත අඹ ගහකුත් තිබුණා. මේ අඹ ගහේ හෙවණ හැම විටම කාමරයට වැටුණ නිසා එහි අමුතු මූසලකමකුත් තිබුණා. මේ කාමරයට ඇතුළු වුණාට පසු එහි පුස් ගඳක් තිබුණ නිසා මේ දෙමිතුරන් චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ ලවා කාමරය යළි පිරිසුදු කර ගත්තා. ඉතින් දැන් දෙන්නා කාමරය සිය රජදහන කොට ගෙන ඉන්නවා. හරියට අපට සැදුණ අපේ ලෝකය වගේ. ඔහොම ඉන්න කොට එක් දවසක චිත්‍රපට‌යේ නිෂ්පාදන කළමනාකරු දුවගෙන ආවේ අපේ සිනමාවේ සිටි දක්ෂ චරිතාංග නළුවෙක් එක්ක. ඔහුත් මේ වනවිට අප අතර නැහැ. සිනමාවේ ආරම්භක සමයේ එයට එක්වී දුෂ්ඨ චරිත රඟපෑවත් ඔහු පළ කළ ප්‍රතිභාව විශිෂ්ටයි. ඒ වගේම ඩොනල්ඩ්, ඊබට් වගේම ඔහුත් සරසවිය සම්මාන දිනාගත් රංගවේදියෙක්.

ඉතින් ඔය නිෂ්පාදන කළමනාකරුත් කොහොම හරි ගැටගහන ජාතියේ කෙනෙක්. ඒ වගේ අයට අපේ නැසීගිය ටයිටස් තොටවත්ත මහත්තයා කියන්නේ ක්‍රිස්තුන්වහන්සේට ඇණ ගහන්න ගෙන ගිය පරම්පරාවේ අය කියලා. ඒ කියන්නේ එතුමන්ට ඇණ ගසන්න යන විට මේ පිරිස අතින් එක් ඇණයක් බිම වැටෙනවා. ඊට පස්සේ කරන්නේ උන් වහන්සේගේ දෙපා එකට තියලා ඇණ ගහනවා. ටයි මහත්තයාගේ කතාවේ අදහස කොහොම හරි ලාබෙට වැඩේ කරනවා කියන එක. ඉතින් කොහොම හරි මේ නිෂ්පාදන කළමනාකරුත් ඒ ජාතියේ පොරක්. ඒ නිසාම ඔහු අර අපේ සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගවේදියා මේ කාමරයට පංගනාත්තු කළා. නිකම්ම නොවෙයි මෙහෙම කියමින්.

'අය්යේ මෙහෙමයි. ඉතින් අපේ මේ අය්යා රත්නපුරේ ඉදන් ඩේලි ට්‍රැවල් කරන්න බැරි හින්දා මෙහෙ නවාතැන් ගන්න කියලා ඉල්ලුවා. ඉතින් කියන්නේම ඊබට් අය්යාලාත් එක්ක ඉන්ඩ දෙන්ඩ කියලා.'

මේ කළමනාකරුත් ලෝකේ තියෙන හොඳම බටර් තැවරුවා. කොහොමටත් හැම නිෂ්පාදන කළමනාකරුවෙකුගේම පැවැත්ම තියෙන්නේ මේ බටර් මත තමා. නිෂ්පාදන කළමනාකරු නිෂ්පාදකට හොඳ වුණොත් වැඩ කරන එවුන්ට හොඳ නෑ. වැඩ කරන එවුන්ට හොඳ නම් නිෂ්පාදකට හොඳ නෑ කියලා තමයි ඒ කාලේ සිනමාවේ කිවුවේ.

දැන් මිතුරන් දෙන්නාට කන්ඩ ‌ කේන්තියි. ඇයි දෙයියනේ මේ තමන්ගේ පාඩුවේ හිටපු කාමරේට මේ ආගන්තුකයෙක් රිංගා ගත්තාම. ඊටත් වඩා වැඩිමහල්ලෙක්. ඔය අයට ආවේණික පුරුදු තියෙනවා. එතකොට මේ රස සාගර කාමරය අපායක් වෙනවා. අනික මේ මහා මන්දිරයේ තව ඕනෑ තරම් කාමර තියෙන්නේ. එහෙම නැතුව මේ කාමරේටම පංගනාත්තු කළ එක ගැන කේන්ති යන්නේ නැත්තේ මොන එකාටද? මොනව වුණත් මේ ජ්‍යෙෂ්ඨ රංගවේදියාට මේ දෙදෙනාම ගෞරව කළා. ඒ හින්දා මුහුණට මුකුත් කිව්වේ නැහැ. .

දැන් මේ රංගවේදියා කාමරයට ඇවිත් එහි ඇති අනිත් ඇඳට ගොඩ වුණා.

'මොකෝ බං මේකේ පුස් ගඳ? ඔය ජනේලයක්වත් ඇරලා දාපල්ලකෝ'

ඔහු ගෝරනාඩුවකුත් දැම්මා. කොහොමටත් මේ වන විට ඩොනල්ඩ් හා ඊබට් සිනමාවේ දැවැන්තයන්ව සිටියත් මේ ජ්‍යෙෂ්ඨ රංගවේදියාට ඔවුන් තවම සිනමාවට පැමිණි දවස්වල දැකපු පොඩි ළමයි වගේ.

'අපෝ සීතලයි අය්යේ'

ඩොනල්ඩ් පැවසුවා. ඇත්තටම හතර වටේ කඳු වළල්ලක් සහිත මෙතැන සීතලයි.

'ඇත්තටම මොකද බං මේ පුස් ගඳ?'

ආපහු අපේ රංගවේදියා ඇහුවේ සරමක් ඇඳගන්නා ගමන්.

'අය්යේ අපිත් මේ චිත්‍රපටවල ඉන්න හින්දා ඇවිත් ලගිනවා. මේ කාමරේ විතරක් නෙවේ ගෙදර මහ හොල්මන් ගතියක් තියෙනවා. මම නම් රෑට පන්සිල් අරන් තමයි නිදියන්නේ'

ඊබට් පැවසුවේ ඇඟට පතට නොදැනී. ඩොනල්ඩ් ගාණට ඒ කතාවට සෙට් වුණා.

'ඔව්... බලංඩකෝ මේ අඹ ගහේ ඉස්සර ගෑනියෙක් එල්ලල මරලා තිබුණලු. මේ එදා ෂූට් එක වෙලාවේ වත්තේ මනුස්යෙක් කිව්වේ. අය්යා ආපු එක ගැන අපට සන්තෝශයි. මේ පාළුව හරි යනවා. මොකද මටත් යන්තම් එක එක සද්ද වැඩ ටිකක් දැනුණා.'

දැන් වතුවල ඇති පැරැණි බංගලාවල සිටන හා සිටිය හොල්මන් ගැන දිග කතාවක් ඩොනල්ඩ් පටන් ගත්තා. ටිකක් වෙලා මේ කතාවට එක්වුණ රංගවේදියා මෙහෙම කිව්වා.

'තූ නොදකිං උඹලාගේ ඉළන්දාරිකම්. හොල්මන්වලට බයේ ඉන්නේ. කොහෙද බං ඔය හොල්මන් තියෙන්නේ.'

රංගවේදියා අපේ දෙන්නාට බනින්න ගත්තා.

'භූතයොත් එක්ක අපි වැඩ කළේ ඉන්දියාවේදී. අර ස්ටුඩියෝ එකක ඒ කාලේ ඉන්දියන් කාරයෝ වැඩ කරන්නෙත් නෑ අපි වැඩ කළා. පස්සේ අපෙන් අහනවා ඒ සෙට් එකේ හොල්මන් තියෙනවා නේද කියලා.'

ඔහු තමන්ගේ තරුණ කාලේ හොල්මන් සමඟ කළ ගනුදෙනු රැසක් ගැන පැවසුවා.

ටිකකින් රංගවේදියා ඇඳේ දිග ඇරුණා. ඒ විතරක් නෙවේ. අර පැත්ත හැරිලා මේ පැත්ත බලන කොට උන්නැහේ දැවැන්ත ලී කොටයක් ඉරන්න ගත්තා. මේ ලී ඉරන සද්දේ එක්ක නිදා ගන්න බැරුව ඊබට් අන්තිමට කොට්ටේ අරගෙන කන්දෙක වහ ගත්තා.

හැබැයි තව පැය භාගයක් ගියේ නැහැ. ඊබට්ට රංගවේදියාට එහා යන ලී කොටයක් අහුවුණා.

වේලාව මැදියම දොළහ පසුවුණා. මුළු පළාතම නිහඬයි. එකවරම මුළු නිවෙසේ සිටි සෙසු පිරිස උඩ ගියේ මරළතෝනියකින්. ඒ ළතෝනිය ඇහුණේ ඊබට් අය්යාලාගේ කාමරයෙන්. එකවරම ඊබට් විජේසිංහයන් උඩ ගොස් බිම වැටී ඇහැරුණත් සිදුවුණ දේ ගැන නිනව්වක් නැති වුණා. ටික වේලාවකින් ඔහු මේ විලාපය තම කාමරයෙන් බව වටහා ගෙන වහා විදුලි පහන දැල්වූවා. රංගවේදියාණන් ඇඳ මත සිට විලාප දෙනවා.

'කවුද යකෝ හොල්මන . මාව බය කරන්න. මේ ප්‍රඩක්ෂන් මැනේජරයා. මුං අපට ලාබෙට ලොජින් දෙන්නේ ‌මේ වගේ හොල්මන් කාමර වලද?

දැන් ඩොනල්ඩ් හා ඊබට් දෙදෙනා මේ රංගවේදියා අස්වසනවා.

එහෙත් මොන විදියකටවත් හරියන්නේ නෑ. මිනිහා පරල වුණ ගාණයි.

'මල්ලි උඹලා කිව්ව කතාව ඇත්ත. මේ දැන් වැලි ගැහුවා. මේවා හොල්මන් ගෙවල් භූත බංගලා'

මේ වන විට නිෂ්පාදන කළමනාකරු ඇතුළු සියල්ලෝම මේ කාමරයේ. මේ හොල්මන් කාමරටයේ සිටිය දී අපේ ජ්‍යෙෂ්ඨ රංගවේදියාට කවුදෝ වැලි ගහලා. ඔහුගේ ඇඳ තිබෙන තැන හැටියට එහෙම වැලි ගහන්න බෑ. ඒත් වැලි ගහලා. එසේ වැලි ගැහිය හැක්කේ හොල්මනකට පමණයි. එතැනට පැමිණි නිෂ්පාදන කළමනාකරුගේ මව් ගුණත් සිහි කර දැන් අපේ රංගවේදියා කෑ ගැහුවා.

'මාව දැන් මෙතැනි අරං පළයං. මට මේ හොල්මන් ගුහාවේ ඉන්න බෑ , උඹලත් මේ කාමරේ ඉන්ඩ එපා'

ඔහු මිතුරන්ට ද අවවාද කළා..

අන්තිමට ඒ රාති‍්‍රයේම මේ රංගවේදියා රැගෙන රත්නපුරේ වඩා පහසු නවාතැනකට යන්නට නිෂ්පාදන කළමනාකරුට සිදුවුණා.

කොහොම වුණත් මිතුරන් දෙන්නා මේ කාමරේම නතර වුණා. හැබැයි ඊබට්ට ටිකක් බයකුත් ඇතිවුණා. මොනවා වුණත් තව පැයක් විතර යනකොට ඊබට්ට ආපහු සද්දයක් ඇහුණා. ඒක නිකම් අමුතු සද්දයක්. දඩිබිඩි ගාලා ඇඳෙන් පැන්න ඊබට් ලයිට් එක දැම්මා. මෙන්න හීන් සීරුවේ අඳුරේම ඩොනල්ඩ් කරුණාරත්නයන් කාමරේ අතුගානවා. හොල්මන ගැසූ වැලි අයින් කරන්න.

දැන් ඉතින් ඊබට් අය්යාටත් හිතට හොඳයි. ආක්‍රමණිකයකු පැන්නුවා වගේ හැඟීමක් දෙන්නටම තිබුණේ. හැබැයි පහුවදා උදේ වෙනකොට මේ දෙන්නාගේ කල්පනාවත් අඩුම ගණනේ මේ තැනින් කොයි හැටි වෙතත් වෙනත් කාමරයකට හරි මාරු වෙන්න. මහ රෑ වැලි හොල්මනට බය නොවුණ දෙන්නා මේ කාමරයෙන් දනිපනියේ වෙනත් තැනකට යන්න සූදානම් වුණේ රෑ කලබලය ගැන දැන ගෙන උදේ පාන්දර පැරැණි බංගලාවට දුවගෙන ආ වතු පාලකයා පැවසූ කතාවක් නිසා.

'මම හිතුවේ නෑ. ආයෙත් මෙහෙම වෙයි කියලා.'

ඔහු පැවසුවේ දෙමිතුරන්ට පමණක් ඇසෙන විලාසයෙන්. පශචත්තාප වන ආකාරයෙන්.

'ඇයි ?'

'මේ බංගලාවේ හිටපු සුද්දෙක්ගේ වයි‌ෆ් එල්ලිලා මැරිලා තියෙනව බොහොම ඉස්සර. ඒ මනුස්සයාගේ හොල්මන නිසා මෙතැන කාටවත් ඉන්ඩ බැරි වුණා. සමහරුන්ට නොසෑහෙන්ඩ කරදර කළා කියලා ආරංචියි. හැබැයි මම පිරිත් කියලා දානයක් දුන්නාට පස්සේ ඒක නැතිවුණා. මගේ යාළුවොත් පස්සේ මෙහෙ ඇවිත් නැවතිලා යනවා. මට පේන්නේ අර ගෑනිගේ අවතාරේ ආපහු ඇවිදින්. ආයෙත් පිරිතක් කියවන්න බලනවා.'

ඔහු පැවසුවේ පැරැණි රහසක් එළිදරව් කරමින්.

'කොහෙද අර අඹ ගහේද ගෑනි එල්ලුනේ?'

ඊබට් ඇසුවේ පෙරදා හොල්මන ගැන දන්නා නිසා.

'නෑ ඔය දෙන්නා නිදා ගන්නා ඇඳ උඩින් තියෙන බාල්කේ!'