වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
‘ෆනී බෝයි’ - අතීත කියැවීමක වර්තමාන හරය

අජී , සිය ඥාතිවරියක වන යුවතියගේ පෙම් සබඳතාවට උපකාර කරන්නා ය. අජීගේ දිවි සැරිය නිරවද්‍ය ලෙස වටහා ගන්නේ ද ඇය පමණි. දීපා මෙ කරුණ නිරූපණයේදී පිහිටන පිළිවෙත ප්‍රේක්ෂකයා තිගස්සව යි. ජූලි ප්‍රචණ්ඩත්වයෙන් දිවි බේරා ගන්නා අජීගේ පවුල රැකවරණය පතා යන්නේ දැන් කැනඩා දේශයේ වෙසෙන ඇය වෙත ය. වසර ගණනාවකට පසු උද්වේගකරව අජී වැලඳ ගන්නා ඇය කියා දෙන්නේ ආදරය පිළිබඳ සංවේදී පාඩමකි. එය සුලබ ස්ත්‍රී - පුරුෂ ආදරයකට වඩා වෙනස් ය.
අදින් තිස් අට වසරකට පෙරාතුව ආ ජූලි මස තුළදී දකුණු ලක පුරා ඇවිල ගියේ අතිශය බිහිසුණු වාර්ගික ප්‍රචණ්ඩත්වයකි. මෙය මෑත කාලීන ලාංකේය දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ය යන්න බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. ඒ, අනතුරුව උත්සන්න වූ දිවයින ම ගොදුරු කර ගත් යුද්ධය නිසාවෙනි. 2009 වසරේදී යුද්ධයේ නිමාව සනිටුහන් කෙරුණේ ජීවිත හා දේපළ මිල කළ නො හැකි තරමින් බිලිගත් පසුබිමකය. ලාංකික අපි තවමත් මෙ සමය ආවර්ජනය කරන්නෙමු. නා නා විධ නිර්මාණ කාර්යයන් ඊට තුඩු දෙන ප්‍රමුඛතම අවකාශය කි.
යථෝක්ත ජූලි සිදුවීම් ද විෂය වූ නිර්මාණ කාර්යයන් මේ අතරවාරයේදී හඳුනා ගත හැකි ය. කෙසේ වතුදු ලාංකේය නිර්මාණ කරුවන් ජූලි සිදුවීම් ආදියට වඩා යුද්ධයේ නොයෙක් ඉසව් විෂය කර ගන්නට උත්සුක වූ වග පෙනේ. විශේෂයෙන් ම ලාංකේය සිනමාව වෙතින් දත හැක්කේ මේ කරුණ පිළිබිඹු කරලන නිදර්ශන ය.
කීර්තිමත් ඉන්දියානු සිනමාකාරිනී දීපා මෙහ්තා සිය නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි’ සඳහා ප්‍රස්තුත කර ගන්නා එක් කාරණාවක් වන්නේ උක්ත ජූලි සිදුවීම් පෙළ යි. ගෙවුණු සමය පුරාම ඇය ලාංකේය පසුබිම කෙරෙහි දැක්වුයේ ඉමහත් සැලකිල්ලකි 2005 වසරේදී මුල්වරට ප්‍රදර්ශිත ඇගේ ‘වෝටර්’ සිනමාපටය රූ ගත කළේ මෙරට තුළ ය. එසේම 2012 වසරේදී මුල් වරට ප්‍රදර්ශිත ‘මිඩ්නයිට් චිල්රන්’ නැමැති ඈ අතින් නිර්මිත වඩාත් විවාදාත්මක සිනමාපටය ද මෙරටදී රූ ගත කෙරිණ. මේ හැම විටෙකදීම මෙරට කෘතහස්ත සිනමා ශිල්පීන්ගේ සහාය හා දායකත්වය ඇය නො මඳව ලබා ගත්තා ය. එරල් කෙලී වැනි සිනමා කලා අධ්‍යක්ෂවරයකුගේ ප්‍රතිභාව අන්තර්ජාතික තලයට රැගෙන යාමට ඇය සිය සිනමාපට වෙතින් සපයා දුන් අවස්ථා මෙතැනදී අමතක නො කළ යුත්තක් වේ. ‘ෆනී බෝයි’ හි නිෂ්පාදන සැලසුම්කරණය එරල් කෙලීගෙනි.
දීපා මෙහ්තා ලාංකේය රංගන ශිල්පීන් එක් කර ගැනීමට නොපැකිළුණු බව ද සඳහන් කළ යුතු ය. ‘වෝටර්’ එක් උදාහරණයක් පමණි.’ෆනී බෝයි’ නවතම අවස්ථාව යි.
දීපා මෙහ්තාගේ ‘ෆනී බෝයි’ ට පාදක වන්නේ විදෙස් ගත ලාංකේය නවකතාකරුවකු වන ශ්‍යාම් සෙල්වදොරෙයි එනමින් ම ලියු නවකතාව ය යන්න සුවිශේෂ ය. ඒ ශ්‍යාම් ජූලි ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ මෙරටින් කැනඩා දේශය බලා නික්ම ගිය අයකු වන හෙයිනි. ජූලි මස ඔහු ලද අත්දැකීම් සතු නිර්ව්‍යාජත්වය සිනමාපටය කරා ගෙන එන්නට දීපා වෙහෙසුණේ ද සුවිශේෂ තත්ත්වයක් යටතේ ය.ඒ සිනමාපටයේ තිරනාටක රචනයට ඈ සමඟ ශ්‍යාම් ද එක්වූ නිසාවෙනි. දීපා සිදු කොට ඇත්තේ ශ්‍යාම්ගේ නවකතාව සිනමාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම ය. ශ්‍යාම් සිදු කොට ඇත්තේ සිය නවකතාවට සිනමා සාධාරණත්වයක් ලබා ගැනීම ය. ප්‍රතිඵලය විශිෂ්ට හා සිත් කාවදින සුලු සිනමාපටයකි. කෝවිඩ් 19 වෛරසයේ බලපෑම ද හේතුවක් කොට ගෙන ප්‍රචලිත වෙමින් පවත්නා අන්තර්ජාල සිනමා ප්‍රදර්ශන වේදිකාවක් අබියස සිට ‘ෆනී බෝයි’ නැරඹීමේ පහසුව විද්වත් ප්‍රේක්ෂකයනට විවෘත ය. එහෙත් මෙබඳු විවාදාත්මක සිනමාපට නැරඹීමේ හොඳම ස්ථානය වන්නේ සිනමා ශාලාව යි.
‘ෆනී බෝයි’ ඇරඹෙන්නේ දැරියක සේ සරන්නට මනාප දරුවකු ඉලක්ක කොට ගෙන යි. මේ 1970 දශකයේ මැද භාගය බව කියැවේ. දර්ශනීය මුහුදු වෙරළක කෙළි දෙලෙන් පසුව ළමුන් පිරිසකි. අර දරුවා - අජී , මනාලියක සේ වෙස් ගන්වා ඇත. ඒ ඔහුගේ අනාගතය හඟවන ප්‍රබල ඉඟියකි. දීපා සිනමාපටය අහවර කර දමන්නේ ජූලි ප්‍රචණ්ඩත්වය ඔස්සේ ය. එතෙක් ඇගේ පිවිසුම විෂයෙහි දිස්වන්නේ අගනුවර ප්‍රභූ දමිළ සමාජය පිළිබඳ කියැවීමකි. අජී කෙමෙන් වැඩෙ යි. ප්‍රචණ්ඩත්වය ඇවිල යන මොහොත වන විට ඔහු පාසල් මිතුරකු සමඟ උණුසුම් හා ආදරණීය සමරිසි ඇසුරක ය. පවුලේ තරුණ යුවතියකගේ පෙම් සබඳතාව සමඟ දේශපාලන කියැවීමකට දීපා එන්නේ මෙයට සමගාමීව යි. සිංහල තරුණයකු හා දිවෙන ඇගේ පෙම් සබඳතාවට වැඩිහිටියන් ප්‍රතිපක්ෂ වන්නේ ප්‍රභූ දමිළ අනන්‍යතාව දෙස ස්ථිතිකව බලමිනි. ප්‍රතිචාර ද එසේම ය. ඇයව දමිළ තරුණයකුට විවාහ කර දෙයි. එහෙත් අවසන ඇයව හමුවන්නේ භෞතිකව සුරක්ෂිත විප්‍රවාසී දිවි සැරියකිනි. දීපා මෙතැනදී මතු කරන උත්ප්‍රාසය සිනමාපටයේ දේශපාලනික කියැවීමට මහෝපකාරී වේ. නමුත් සිනමාපටය දේශපාලනික වූවකැ යි ඉඳුරා ම පැවසිය හැකි නොවේ. සෘජු දේශපාලනික සිදුවීම් විෂය වූ පමණින් යම් සිනමාපටයක් නිතැතින් ම දේශපාලනික නො වන බවට ‘ෆනී බෝයි’ ද නිදර්ශනයකි. දීපාගේ වෑයම අජී හරහා මිනිස් සබඳතා දෙස දයාබරිතව බැලීම ය. එහෙත් ඒ විකල්ප දැක්මකින් නොවේ. සුපුරුදු දැක්මකිනි. නමුත් ඊට අපූර්වත්වයක් එක් කරලීමෙන් ඉනික්බිතිව ය.
අජී , සිය ඥාතිවරියක වන යුවතියගේ පෙම් සබඳතාවට උපකාර කරන්නා ය. අජීගේ දිවි සැරිය නිරවද්‍ය ලෙස වටහා ගන්නේ ද ඇය පමණි. දීපා මෙ කරුණ නිරූපණයේදී පිහිටන පිළිවෙත ප්‍රේක්ෂකයා තිගස්සව යි. ජූලි ප්‍රචණ්ඩත්වයෙන් දිවි බේරා ගන්නා අජීගේ පවුල රැකවරණය පතා යන්නේ දැන් කැනඩා දේශයේ වෙසෙන ඇය වෙත ය. වසර ගණනාවකට පසු උද්වේගකරව අජී වැලඳ ගන්නා ඇය කියා දෙන්නේ ආදරය පිළිබඳ සංවේදී පාඩමකි. එය සුලබ ස්ත්‍රී - පුරුෂ ආදරයකට වඩා වෙනස් ය. සමරිසි සබඳතාවකට වඩා වෙනස් ය. වැඩිහිටියන් හා බාලයන් අතර ආදරයකට ද වඩා වෙනස් ය. ඇත්තෙන්ම මේ නො සිඳෙන ආදරය හිම කැට වැටෙන දුරු රටකදී තවත් වටයකින් මෝරන්නේ ජූලි ප්‍රචණ්ඩත්වයේ අතුරු ප්‍රතිඵලයක් වශයෙනි.
දීපා, ජූලි ප්‍රචණ්ඩත්වය දිග හරින්නේ ලාංකේය සමාජය ඒ අරභයා දන්නා කරුණු ම මුල් කොට ගෙන ය. ප්‍රචණ්ඩකාරීන් ඉපදෙන්නේ උතුරේදී ශ්‍රී ලංකා යුද හමුදා පිරිසක් ඉලක්ක කර ගෙන සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයක් සමඟිනි. ප්‍රචණ්ඩත්වය මර්දනය කළ අයුරු ද, මර්දනය නො කළ අයුරු ද පැවසීමේදී දීපා වාචික ප්‍රකාශ මත නො රැඳෙන්නේ හිතාමතාම ය. ඇය මේ සිනමාපටය ඉදිරිපත් කරන්නේ අන්තර්ජාතික සිනමා ප්‍රේක්ෂකාගාරයට යි. එහිලා සත්‍යය යටපත් නො කිරීමෙන් ඇය සිය කීර්තියට අතිරේක වටිනාකමක් ද එක් කර ගන්නී ය.එක් නිමේෂයකදී ඇය අපට පෙන්වන්නේ මේ ප්‍රභූ දමිළ පවුල සුරකින්නට නො බියව ආ සිංහල පවුලක අවබෝධය යි. ප්‍රචණ්ඩකාරීන් පවසන්නේ පොලීසිය යනු තමන් බව ය.
සිනමාපටය පුරාම මධ්‍යම සමීප රූප භාවිතයට දීපා දක්වන කැමැත්ත ඇගැයීමට පමා නො විය යුතු ය. චරිත සමඟ ඔවුන් පසුපස ඇති සමාජයීය කාරණා දකින්නට ඉන් ලැබෙන්නේ අනගි පිටිවහලකි. විටෙක ඇය සමීප රූප සතු සූක්ෂමතා ද භාවිතයට ගනී. ප්‍රධාන චරිත නිරූපණයට එක්වන බ්‍රෑන්ඩන් ඉන්ග්‍රම් හා නිම්මි හරස්ගම ලාංකේය සිනමාව පොහොසත් කරන්නට ද පැමිණිය යුතු බව හඟව යි. නිම්මි නම් දැනටමත් ලාංකේය සිනමාව පෝෂණය කළ විශිෂ්ට රංගන ශිල්පිනියකි.
දීපා, ශ්‍යාම් සමඟ රචනා කළ තිරනාටකයට අනුව නිර්මිත රූප පෙළ ව්‍යාකුල නො වන මාදිලියේ ප්‍රවේශයකින් සිනමා තිරය මත පතිත කරලීමේදී සංස්කරණ ශිල්පී තෙරේසා ෆොන්ට් දක්වන අවධානය අතිමහත් ය. සිනමාපටය එකම රිද්මයකින් ම ගලා යා යුතු නැතැයි සංස්කරණ පාර්ශ්වය කල්පනා කරන්නේ තාර්කිකව යි. නමුත් හැම විටම රිද්මයේ වෙනස්වීම් අතර සන්නිවේදනයක් පැවතිය යුතු ය. දරුවන්ගේ කෙළි සෙල්ලම්, වැඩිහිටියන්ගේ සාකච්ඡා, අජීගේ පාසල් සමය, සමරිසි හුදෙකලාව, ප්‍රචණ්ඩත්වයේ ප්‍රවේගකාරී බව,සරණාගත කඳවුරේ නිහැඬියාව හා විප්‍රවාසී තීන්දුව දත හැක්කේ එක් අතකට එසේ වෙනස් වූ , එහෙත් ඒකමිතියක් ප්‍රකට කළ සංකීර්ණ රිද්මයකිනි. අජී හා වැඩිහිටි ඥාතිවරියගේ බැඳීම හා වාර්ගික නො එකඟතාව දීපා එකම තලයකට ගෙන එන්නේ මේ සංකීර්ණ රිද්මය නො නසමිනි.
‘ෆනී බෝයි’ බඳු සිනමාපට එක් අතකින් දුලබ නොවේ. ලාංකේය සිනමා කලාපයට ‘ෆනී බෝයි’ වඩා සමීප වන්නේ ඊට ලාංකේය අත්දැකීම් විෂය වූ හෙයිනි. ප්‍රචණ්ඩත්වයෙන් දිවි බේරා ගෙන සුරක්ෂිත ඉසව්වකට නික්මෙන්නවුන් නිරූපණය ප්‍රේක්ෂකයා හිරිවැට්ටවීමක් නො විය යුතු ය. සැනසුම් සුසුම් හෙළිය යුත්තේ චරිත කේන්ද්‍රීයව ම නොවේ. ප්‍රශස්ත හා සමස්ත පරිවර්තන මධ්‍යයේ ය. යුද බියෙන් තොරව වෙසෙන වර්තමාන ලාංකිකයාට හැගීම්බර නොවී ගෙවුණු යුද සමය හා ජූලි ප්‍රචණ්ඩත්වය අවලෝකනය පිණිස ‘ෆනී බෝයි’ පාදක කර ගන්නට පුළුවන. එක අතකින් දීපා ‘ෆනී බෝයි’ නරඹන ලාංකිකයන් වෙතින් අපේක්ෂා කරන්නේ එබන්දකි. අන්තර්ජාතික තලයේදී දීපාගේ අපේක්ෂාව වන්නේ සමරිසි සබඳතා නො ඉවසන, වාර්ගික ප්‍රචණ්ඩත්වයට නො පැකිළෙන, අවැසි නම් අවි ගැටුමකට වුව නො පසුබට ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු අත්දැකීම් පිළිබඳ සංකථන කුළු ගන්වන්නට යි. එහෙත් ඒ දේශපාලනික අවතීර්ණ වීමකින් නොවේ. ඒ හා බැඳුණු මිනිස් සබඳතා මුල් කර ගත් දැක්මක් මහෝපකාරී කොට ගෙන ය.