N.M සහ N.R

අගෝස්තු 27, 2020

රාජකීය වික්‍රමය චිත්‍රපටය තැනෙන්නේ  සිනමාවේ නිහඬ යුගයේය. දෙබස් රහිත නිහඬ චිත්‍රපට පිළිබඳ තරුණ ඇන්.ඇම්.පෙරේරාගේ සිතේ සතුටක් තිබුණේ නැත. පසුව ඔහු හෙළිදරවු කරන අන්දමට මෙරට  මුල්ම චිත්‍රපටය වුවත් එකී අත්දැකීම ආශ්චර්යවත් අත්දැකීමක් නොවිණ. එමෙන්ම කාලගුණය චිත්‍රපටයට නිතරම හිරිහැර කරන්නට පටන් ගත්තේය.

රූප ගත කිරීම සඳහා අවශ්‍ය ආලෝකය ලැබෙන තුරු  බොහෝ වේලා කල් මරන්නට පිරිසට සිදුවිය. ඒ වනතුරු සම්පූර්ණ වෙස් ගැන්වීමෙන් සැරසී සිටින්නට සිදුවීම තරුණ ඇන්.ඇම්ට වස කරදරයක්ව තිබිණ.මේ 1925 වසරේ දී ඔහු ආනන්ද විද්‍යාලයයයේ ක්‍රිකට් නායකයා ලෙස සහභාගිවූ සියලු තරග ජයග්‍රහණය කරමින් වාර්තාවක් තබා තිබුණ අලුතමය. එසේ වුවත් වෙස් ගන්වා සිටින අතරතුර  ඇන්.ඇම් නිකම් නොඉඳ වෙස් ගැන්වීමේ ශිල්පය ගැන ද හුරුවක් ලබා ගත්තේය. එහෙත් කාලය ගතවත්ම වෙස් ගැන්වීම සමඟ ද ඔහුට කෝපයක් ඇතිවිණ.

ආචාර්ය එන්.එම්.පෙරේරා විසින් සිහිපත් කරන ලද මේ කරුණු අනුව චිත්‍රපටය රූප ගත කරන්නට ඇත්තේ එළිමහන් පසුතල ඇතිව බව පෙනී යන කරුණකි. දහවල් කාලයේ ආලෝකය වැටෙනතුරු බලා සිටින්නට සිදුවීමෙන්   ච්ත්‍රපටය සඳහා කෘත්‍රිම ආලෝකය භාවිත නොකළ බව පෙනි යයි. තරුණ එන්.එම්ට වෙස් ගැන්වීමේ වදය සහ සිනමාකරණයේ වදය බෙහෙවින් දැනිණ. ඔහු කියන පරිද්දෙන් සිනමාවේ කෘත්‍රිම හැඩය ගැන ඔහුට ඇතිවුණේ වෛරයකි. එයට සාපේක්ෂව සමකාලින වේදිකාව ඔහුගේ අගය කිරීමට ලක්විය.

සිනමාවට එරෙහිව වේදිකාව කෙරෙහි ඇතිවුණ පක්ෂපාතිත්වය ඔහුගේ සිතේ මිය යනතුරුම පැවැතිණ. චිත්‍රපටයේ හැටියට කුමාරයකු වුණ ඇන්.ඇම්. අන්තිම ජවනිකාවේදී විරුද්ධවාදින්ට හසුවෙයි. අත  පය බැඳ යන්ත්‍රානුසාරයෙන් වැඩ කරණ උපකරණයක් මගින් හිස ගසා  මරා දමන්නට තැත් කරද්දී ඔහුගේ පිරිස එහි පැමිණ සතුරන් පරාජය කොට කුමාරයා බේරා ගනු ලැබිණ. මේ ජවනිකා පෙළ එනම් යුද්ධ ජවනිකා රූප ගත කරන ලද්දේ දියවන්නා ඔය අසබඩ කැලෑ රොදකය.

ඇන්.ඇම් කිසි දිනෙක තමා රඟපෑ ජවනිකාවක් හෝ දුටුවේ නැත.එකලස් කරන ලද රූපරාමු අධ්‍යක්ෂ ගුප්තා විසින්  ඉන්දියාවට ගෙනයන්නට ඇතැයි ඔහු සිය මතක පොත පෙරළමින් සිහිපත් කරයි. චිත්‍රපටයේ අවසන් සංස්කරණ කටයුතු නැත්නම් කෑලි පුරුද්දා සකස් කරන්නේ එහිය. රූප ගත කිරීම් හමාර වනවාත් සමඟම සිනමාකරණය පිළිබඳ  ඇන්.ඇම් ගේ තිබුණු උනන්දුව ද අවසන්ව ගියේය. මේ සමඟම විශ්වවිද්‍යාලය ආරම්භවීමත් සමඟ එය අලුත් සතුටක් ගෙන දෙන සිදුවීමක් විය. ඔහු කෙමෙන් උසස් අධ්‍යාපනයට අනුගත විය.

තවත් ටික කලකදී වැඩි දුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යන ආචාර්ය ඇන්.ඇම් ගේ චිත්‍රපට රඟපෑමේ සිදුවීම ඔහුගේ ජීවිතයේ වැදගත් සිදුවීම් අතරින්  හෙමිහිට මතක පොතින් ගිලිහි ගියේය. වසර තිහකට පමණ පසු හැමදේටම හොම්බ දමන්නෙකු  විසින් සිය මතකය හාරා අවුස්සනු නොලබන්නට මෙරට සිනමාවේ මුල්ම කතානායකයා පමණක් නොව චිත්‍රපටය ද  සදහටම වැළලෙන්නට ඉඩ තිබිණ. ආචාර්ය එන්.එම් විසින් සඳහන් කරනු ලබන හොම්බ දමා හෝ මෙම අතීතය ගොඩ ගැන්මේ  ගෞරවය නිතැතින් හිමි විය යුත්තේ ඩී.වී.සෙනෙවිරත්නටය.

කෙසේ වෙතත් මුල්ම සිනමා කෘතියේ ප්‍රධාන නළුවා ලද ආදායම කාලයට සාපේක්ෂව ගත් කළ ඉහළ එකකි. ඒ රුපියල් සියයකි. 1925 තරම් ඈතක කිසිදු අත්දැකීමක් නැති තරුණ නළුවකුට රුපියල් සියයක් වැනි මිලක් ගෙවීම අද මට්ටමින් බලන විට ද සැසඳීය නොහැකි තරම් ඉහළ එකකි. ඔහු තම ජීවිතයේ උපයන ලද මුල්ම ආදායම එයයි. මේ විශාල මුදල ඔහු මුළුමනින්ම සිය මෑණියන්ට ගෙන ගොස් දුන්නේය. තම පුතු ලද මුල්ම ආදායම දුටු අම්මාගේ එනම් රන්වලගේ ජොහානා පෙරේරා මාතාවගේ ඇස්වල කදුළු පිරුණි.

චිත්‍රපටයට දායක වූ සෙසු නළු නිළියන් අතර  එන්.පී.ඩී.ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා, ග්‍රේෂන් පෙරේරා, එරික් වීරසේකර, ඩේවිඩ් මැනුවෙල්, සහ එන්.ආර්.ඩයස් ද සිටිති. මේ අතරින් සමහරුන් පසුකාලිනව මෙරට වේදිකාවේ දැක ගත හැකිවෙයි. එහෙත් රාජකීය වික්‍රමය චිත්‍රපටයට තෝරා ගන්නා සමය වන විට මේ කිසිවකු හෝ වෘත්තිය රංගනයේ නිරතවූයේ ද යන්න සැක සහිතය. එසේ නොවිණි නම් අපේ මුල්ම සිනමා කෘතිය අලුත් නළු පරපුරක් සිනමාවට කැදවා ගෙන ඒමේ ගෞරවය ද හිමි කර ගනියි. 

මේ අතරින්. එන්.ආර්.ඩයස් අපේ  නිහඬ සිනමාවත් කථානාද සිනමාවත් එක් කළ එකම නළුවා වෙයි. ඩයස් ඩබ්ලිව්.ඩී.එඩ්වඩ් නිර්මාණය කරන ලද පළිගැනීම නිහඬ චිත්‍රපටයේ ද රඟපෑවේය. එමෙන්ම පළිගැනීම චිත්‍රපටයට රංගනයෙන් දායක වන සියල්ලෝම පාහේ 1936 වන විට වේදිකාවේ නම් දිනූ පිරිසකි. ඩයස් කථානාද  සිනමාවට පිවිසෙන්නේ සිරිසේන විමලවීරයන්ගේ මුල්ම චිත්‍රපටය වූ අම්මා චිත්‍රපටයේ ජුවානිස් ලෙස රඟපෑමෙනි. චිත්‍රපටයේ එන  ගාල කඩාගෙන හරකා දුවනව යන ජනප්‍රිය ගිතය ගායනා කරන්නේ ද එන්.ආර්.ඩයස්ය. ඩයස් ගායකයකු ලෙස මෙන්ම වාදකයකු ලෙස ද පතළ ව සිටියේය.

1902 වසරේ මරදානේ දී උපන්  නාවලගේ රිචඩ් ඩයස් වෘත්තියෙන් මෙරට පැරැණිතම ප්‍රවාහන සමාගම ලෙස සැලකිය හැකි බවුස්ටඩ් සමාගමේ කාර්මිකයකු  විය. රාජකීය වික්‍රමය චිත්‍රපටයට ඔහු තෝරා ගන්නා සමය වන විට එවකට සිටි සෙසු නළු නිළියන් අතර ඩයස් කැපී පෙනෙන චරිතයක් නොවේ. එහෙත් පසුකාලිනව ඔහු කැපි පෙනෙන නළුවකු විය. සමහරවිට ඩයස් මුල්වරට රංගනය පිවිසෙන්නට ඇත්තේ සිනමා කෘතියෙන් විය හැකිය. ඔහු ජනප්‍රිය නළුවකු වේදිකා නළුවකු ලෙස කැපි පෙනෙනුයේ මේ සමයෙන් පසුවය. ඔහු විශේෂයෙන්  සිරිසේන විමලවීරයන් විසින් වේදිකා ගත කරන ලද බොහෝ නාට්‍යවලට  රංගනයෙන් දායකව ඇත්තේය.

එමෙන්ම ඔහු විමලවීරයන්ගේ බොහෝ  චිත්‍රපටවලට රංගනයෙන් දායක විය. ඇතැම් නාට්‍යයක ගායනයෙන් ද ඔහු දායකව ඇත්තේය.  සීදේවි,මා ආලය කළ තරුණිය, පිටිසර කෙල්ල , සරදියෙල්, අසෝකා, සිරකරුවා, එකමත් එකරටක, සංදේශය ,සුනිලා, චණ්ඩියා  සීගිරි කාශ්‍යප හා සේයාවක් පසුපස ඔහු රඟපෑ සෙසු චිත්‍රපට අතරවෙයි. පළිගැනීම නිර්මාණය කරනු ලබන දොන් එඩ්වඩ් ද අයත්වනුයේ ටවර් හෝල් ශිල්පි ගණයටය. පළිගැනීම චිත්‍රපටය නිපදවන සමය වන විට ටවර් හෝල් යුගයේ  ස්වර්ණමය යුගය අවසන්ය. ඒ වන විට එය සිනමා ශාලාවක් ලෙස පරිවර්තනයව අවසන්ය.

එහෙත් පොදුවේ මෙම යුගය ටවර් හෝල් යුගය ලෙස හඳුන්වනු ලබයි. ඒ වන විට වෘත්තිය නාට්‍යකරුවෝ බහුලවූහ. දේශිය සිනමාකෘති නොවුන එකල තාරකා පහළව සිටියේ වේදිකාවෙනි. ඩයස් ජනප්‍රිය තාරකා ගොන්නෙහි කියැවෙන නමක් නොවුණත් ඔහු විමලවීරයන්ට නැතිවම බැරි නළුවකු ව සිටි බව නම් පෙනෙන කරුණකි.   ඔහු කථානාද සිනමාවට කැඳවා ගෙන එනු ලබනුයේ ද  විමලවීරයන්  විසිනි.  විමලවීරයන් මුල් චිත්‍රපට කිහිපයෙහි ගායනය සඳහා සිය රංගන ශිල්පින් ම යොදා ගත්ත ද පසුව අලුත් පසුබිම් ගායක පරපුරක් සිනමාවට ගෙනාවෙන් ඩයස් හෝ විමලවීරයන්ගේ සෙසු නළු නිළියන්ගේ පසුබිම් ගායනා පසුකාලින චිත්‍රපට වල දක්නට නොලැබෙන කරුණකි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්  විසින් රේඛාව සඳහා තෝරා ගනු ලබන ඩයස් මෙන්ම ඩී.ආර් නානායක්කාර ද ආනන්ද වීරකෝන් ද  ඒ වන විට  විමලවීරයන්ගේ රංගන ශිල්පින් හැටියට නමක් දිනුවෝ වෙති. මේ අතරින් ඩයස් හා ඩී.ආර්.නානයක්කාර විමලවීරයන් හා දායක වනුයේ වේදිකා නාට්‍ය යුගයේ පටන්ය. සිනමා ඉතිහාසයේ ඩයස්ගේ රංගනය සදහා අද ඉතිරිව ඇති ප්‍රබලතම සාක්ෂිය රේඛාව චිත්‍රපටයේ පොඩි මහත්තයා ලෙස කරන රඟපෑමය. චිත්‍රපටයේ හැටියට  සිරියාල සයිකල් වර්ක්ස් ආයතනයේ හිමිකරුවනුයේ ඩයස්ය. චිත්‍රපටයේ කැපී පෙනෙන රංගනයක යෙදෙන්නට තමන්ට ලැබුණු මහඟු අවස්ථාවෙන් වග බලා ගන්නට ඩයස් සමත්වෙයි.

1965 වසරේ  මිය යනවිට එන්.ආර්. ඩයස් වැඩිපුරම රඟපා තිබුණේ ආචාර්ය ලෙස්ටර්ගේ හා විමලවීරයන්ගේ චිත්‍රපටවලය. ඒ හැරුණු විට ඔහු තෝරා ගත් අනෙක් කැපී පෙනෙන  සිනමාකරු ටයිටස් තොටවත්තයන්ය. ඒ චණ්ඩියා චිත්‍රපටය සඳහාය. මේ හැරණු විට ඩයස් රඟපෑ චිත්‍රපට තිබුණේ තුනකි. ඒ සුනිලා,සේයාවක් පසුපස හා සීගිරි කාශ්‍යප යන චිත්‍රපට  ත්‍රිත්වයයි. මේ අතරින් සුනිලා සහ සේයාවක් පසුපස මිලි මීටර් 16 ප්‍රමාණයෙන් තැනුණු ප්‍රධාන සිනමා ශාලාවල තිරගත නොවුණු චිත්‍රපට ද්විත්වයකි.