සරසවියේ ලොකු නෑනා සිබිල්

ජූලි 16, 2020

 ‘සරසවිය’ සිනමා පුවත්පත බිහි වුණේ 1963 අප්‍රේල් 10 වෙනිදාය. සිංහල අලුත් අවුරුද්්දට දින හතරකට පෙරය. මුල් කලාපයේ සිටම ‘සරසවියට‘ චිත්‍රයක් සහිත ළමා කතාවක් ලියූ සිබිල් වෙත්තසිංහ නැන්දාගෙන් ළමා පරපුර ඊළඟ සතියේ එවැනිම කතාවක් හා චිත්‍රයක් බලාපොරොත්තුවෙන් සිටි බව මම හොඳාකාර දනිමි. එදා ‘සරසවියේ’ පළ වූයේ සිනමා ලිපි පමණක් නොවේ. සිනමා ප්‍රවෘත්ති, විශේෂාංග වැඩිපුර තිබූ බව ඇත්තය.

එහෙත් ඒ සමඟම සාහිත්‍යය, පුරා විද්‍යාව, චිත්‍ර කලාව, මූර්ති කලාව, චරිත කතා, ජ්‍යෝතිෂය, කාන්තා හා ළමා පිටු ද දක්නට ලැබිණ.

 ‘සරසවිය’ හා සිබිල් නැන්දාගේ අතර ඇති අවියෝ්ජනීය සම්බන්ධතාව ගහට පොත්ත මෙන් තිබූ බව පැරණි ‘සරසවිය’ පත්‍ර පෙරළා බලන ඕනෑම කෙනෙකුට දක්නට ලැබෙයි. ‘සරසවිය’ පත්‍රයට සිබිල් මෙන්ම ඇගේ දයාබර සැමියා වූ ධර්මපාල වෙත්තසිංහ මහතා ද 1964 මුල්ම සරසවිය චිත්‍රපට උලෙළට සෘජුවම නෑකම් පැවැත් වූ බව එම උලෙළ වෙනුවෙන් පසුව නිකුත් කළ සරසවිය කර්තෘ මණ්ඩලික ඩයස් ගුණරත්න (පසුව මහාචාර්ය ආර්. ඩී. ගුණරත්න) සංස්කරණය කළ ‘සරසවිය සිනමා’ සිංහල සිනමා වාර්ෂික සංග්‍රහය (1964) මංගල කලාපය සාක්කි දරයි. එය සාරගර්භ ලිපි ඡායාරූප හා සරල විශේෂාංගවලින් සුසැදි වේ. වාර්ෂික සංග්‍රහයේ සියලු චිත්‍ර ඇඳ තිබුණේ සිබිල්ය. සිරස්තල අක්ෂර රූප එස්. ආර්. හේමපාලගෙනි.

මේ සංග්‍රහයේ එන සිනහ රසය දනවන විශේෂාංගයක් ජෝ අබේවික්‍රම විසින් ලියා තිබුණි. එය කියවන්නාගේ සිතෙහි අපූරු චිත්ත රූප මවන චිත්‍ර ඇඳ තිබණේ සිබිල්ය.  ‘තල් ගස් පොල් ගස්’ නම් ඒ කතාව කොතරම් අපූරුදැයි එහි සිබිල් අඳින ලද මෙහි පළවන මේ චිත්‍රවලින් මොනවට පැහැදිලි වේ. එදා ජෝ කතාව ඇරඹූ හැටි මේ මුල් ඡේදයෙන් පැහැදිලි වනු ඇති.

 ‘අහස ගොරවයි. මොර සූරන්නා වගේ වහියි. වහලේ සීලිම දිගේ කාන්දු වෙන වතුර බින්දුවක් නිවසේ බලු කුක්කාගේ කනට වැටී බිය වුණු කුක්කා උඩ පැන සට පට ගගා කන් ගසනවා දුටු මට සිනහ පහළ විය. ඇර තිබෙන ජනේලයෙන් කාමරයට පින්න එන නිසා එය වැසීමට ජනේලය ළඟට ගිය විට මා දුටුවේ තරබාරු බෙන්ස් කාර් එකක ලයිට් එළියකි”.

කතාවේ හැටියට ජෝ හමුවන්න පැමිණි අගනුවර වෙළඳ ව්‍යාපාරිකයෙකි. ඔහු ජෝට කියන්නේ ‘නැගල යන සින්දු 10 කුයි, ඩාන්ස් දෙකකුයි, ෆයිට් පුළුවන් තරමකුයි, කෙල්ල රේල් පාරේ බැඳ තබා කෝච්චිය එන විට කොල්ලා විසින් බේරා ගැනීමේ ජවනිකාවකුයි, ෆයිටුයි කොමිට් ඩාන්ස්, කොමිට් සින්දු, කොමිට් කෑලි යනාදි වට්ටෝරුව සහිත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර දෙන ලෙසය.

මේ ලිපිය ජෝ අවසන් කර ඇත්තේ මෙසේය.

 ‘පරණ අවුරුද්ද ගෙවී අලුත් අවුරුද්දක් ලබයි. දෙසැම්බර් 31 වෙනි දින මහ රෑ අසල ගෙවල්වල රතිඤ්ඤා පිපිරෙයි. මම හදිසියේ අවිදි වීමි. ප්‍රථම දින මුළු රාත්‍රිය චිත්‍රාගාරයක වැඩ කළ නිසා මර නින්දේ සිටි මා මෙතෙක් වේලා සිහිනෙන් නිපද වූ චිත්‍රපටය සිහිනෙන්වත් බලන්නට තිබුණා නම් කොච්චර හොඳද?’

 ‘සරසවිය සිනමා’ සංග්‍රහයට තවත් රසවත් විශේෂාංගයකට සිබිල් අපූරු චිත්‍ර දෙකක් ඇඳ තිබුණි. ඒ සිනමා රසිකයන් නළු නිළියන්ට යැවූ පෙම් හසුන් ඇසුරෙනි. ඒ ලිපියේ මාතෘකාව වූයේ මෙයයි.

 ‘පැහැර පැහැර මුහුදු - දළ රළ අතින් මඳ මඳ

නඟා ලී එව් පුන්සඳ - සුනිල් විමල’ඔරෝරට

ලිපිය ඇරඹෙන්නේ මෙසේය. ලිපිය ලියන්නේ අන්දෙර්ය.

දවසකට සිය ගණනක් ලියුම් සිනමා ලෝලයින්ගෙන් අපේ නළු නිළියන්ට ලැබෙනවා. ඉතින් . . . .  හැම නළුවෙකු නිළියකටම මොනවද ලෝලයන් මෙතරම් ලියන්නේ?

ලියා එවන ඒවාට සිනා නොවී ඉන්නත් අමාරුයි. එකක් දෙකක් කියවා ගෙන යන කොට  . . . මගේ හිතට ආවා උත්තර . . . ඔබටත් හිනැහෙන්න. මගේ පිළිතුර කළු පාටින්.

දෙහිවල චාන්දනී සිල්වා . . . විජිත මල්ලිකාට.

ඔබ මගේ සමරු පොතෙහි අත්සන් කර තිබුණා -

 ‘ඔබ මංගල දින ටී පාටි

මමත් එනව කාර් එකෙන් ඒ පොටි’

පිළිතුර

දෙහිවල සත්තු වත්තේ ඉන්නවා කොටි

විජිත නොදන්නව වාගෙයි උන්ගෙ හැටි

මාතලේ හුලංගමුව පාරෙන් . . . ගාමිණි ෆොන්සේකාට

ඔබේ රැඟුම්වලින් වශී වුණු කෙල්ලකි මා. රිදී තිරයෙන් ඔබව දැක ගෙදර ආවාම රෑ බත් කන්න බැහැ. මට රාත්‍රියට ඔබව පෙනෙනවා. 

පිළිතුර - සමහර විට රිදී තිරෙන් ගාමිණී දැක්ක මට විතරක් නොවෙයි අපේ බල්ලන්ටත් බත් කන්න බෑ. අර ‘ධීවරයෝ’ චිත්‍රපටයේ වෙරි වුණු තැන එහෙම . . .

ගංගොඩවිල පැපිලියාන පාරේ නිග්‍රොධ විද්‍යාලයේ කුමාරතුංග . . . සන්ධ්‍යා කුමාරිට.

කහඹිලියා ගා ගත්තු මෙනි ඇය එන්නේ

දවස දෙකේ නෑ සන්ධ්‍යා ගෙදර එන්නේ 

තවමත් අම්මට බයෙනුයි ඇය පසු වන්නේ

කවදා ද ඇය මනමාලියක වන්නේ 

පිළිතුර -

කහඹිලියා ගත්තත් නැතත් මොකෝ

කී දවසක් ගෙදරට නාවාම මොකෝ

අම්මට බයෙන් හැසිරෙන එකෙ වරද මොකෝ

ඈ මනමාලි වෙන  දවසක් ඔහෙට මොකෝ 

ගල්කිස්සේ මේදිස් පුණ්‍යා හීන්දෙනියට

පැහැර පැහැර මුහුදු - සරල අතින් මඳ මඳ

නාගලී එව් පුන්සඳ - සුනිල් විමල්’ඔරෝරව

(මුවදෙව් දා වත)

පිළිතුර -

සොමි සිසි ලේහි දු - ගහනෝතර රා

සුරිඳු මෙන්

ලොහො කතට ලොහො කඩේව් ව - දැවැ කළ

වැලඳී  කුස රජ

(කවි සිළුමිණ)

මේ ලිපියට රසිකයකු කමිසයේ ජීවරාණි, විජිතා, පුණ්‍යා, රුක්මණී, ක්ලැරිස්, සන්ධ්‍යාගේ නම්වල අකුරු කොට ඇති සිබිල්, රසිකයා අත් පිටුපසට බැඳි අතර ඔවුනගේ ඡායාරූප එල්ලා ගෙන මනමාල සිනාවක් පාමින් සිටී. රසිකාවියක් කඳුළු සලමින් නළුවකුගේ රූපයක් සිඹින අතර ඇගේ බ්ලවුස් එකේ හාට් එකක් තුළ ගාමිණී  හා ආනන්ද ජයරත්නගේ නම කොටා ගෙන සිටින්නීය. ඩී. ආර්. නානායක්කාරගේ නම ද එහි  කොටා ඇති අතර ගාමිණීගේ පෙම් හසුනක් අනික් අතේ වෙයි. මේ අවස්ථාව සිබිල් අපූරුවට හාස්‍ය දනවන ලෙස ඇඳ තිබුණාය. මෙහි ඒ චිත්‍ර දෙකම පළ වෙයි.

1928 ඔක්කෝබර් 31 වෙනිදා ගාල්ලේ ගිංතොට උපන් සිබිල් ද සිල්වා පාසල් වියේ අඳින ලද චිත්‍ර ප්‍රදර්ශනයක් දුටු රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති එච්. ඩී. සුගතපාල මහතා ඇයට අත හිත දුන්නේය. ඉතා තුරුණු වියේදී ලංකාදීපයට බැඳෙන මේ යෞවනියගේ නිපුණතා  දුටු ජුලියස් ලැනරෝල්  හා ඩී. බී. ධනපාල යන මහ පත්‍රවේදීන් ඇයගේ ළමා චිත්‍ර ඉරිදා ලංකාදීපයේ ළපටි පෙළින් රටටම හඳුන්වා දුන්නේය. ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රයෙන් ඇය හැකියාව වඩා ගත්තාය. 

සිබිල්ට තම අනාගත  සහකාරයා හමු වන්නේ ලංකාදීපයෙනි. ඒ ධර්මපාල වෙත්තසිංහයන්ය. ඔහු පේරාදෙණියේ උපාධිය ලැබීමෙන් පසු කර්තෘ මණ්ඩලයේ සේවය කළේය. මේ දෙදෙනා ලංකාදීපයෙන් ලේක්හවුසියට යන තෙක් පෙම්වතුන් නොවීය. ලේක්හවුසියේ සිබිල් චිත්‍ර ඇඳි ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයට නිතර ගියේ එස්. සුබසිංහ, නිමල් පෙරේරා අභයවර්ධන (පසුව ඡායාරූප ශිල්පියකු ලෙස ‘සරසවිය’ පුවත්පතේ පිට කවර සැපයූ ඔහු  සරසවිය කලා  සංස්කාරකවරයා ද විය) ඩෙන්සිල් පීරිස් (සිළුමිණ කර්තෘ), මීමන ප්‍රේමතිලක ආදීන් සමඟය. එහෙත් වෙත්තසිංහ තරුණයාට සිබිල් තරුණිය ගැන පිළිබඳ සිතක් ඇති විය. එය කෙළවර  වූයේ 1955 මැයි මස 08 වෙනිදා  සිදු වූ විවාහයෙනි.  

මේ තොරතුරු සිබිල් මහත්මිය දුරකතනයෙන් පැවසුවේ මගේ මතකය හරි නම් 2019 ජූනි 20 වෙනිදාය. මේ කරුණු ඇසුරෙන් ධර්මපාල වෙත්තසිංහ මහතා ගැන විශේෂාංගයක් ජූනි 30 වෙනිදා සිළුමිණ පත්‍රයේ පුන්කලස අතිරේකයට ලීවෙමි. මේ ලිපියෙන් එදා සිබිල් මැතිනිය කිසිදා හෙළි නොකළ සිද්ධියක් ද සඳහන් කිරීමට අමතක නොකළාය.

 ‘දවසක් වෙත්තසිංහ මහත්තයා මෙහෙම කිව්වා. එතකොට අපිට දරුවන් හතර දෙනෙක් හිටියා.  ‘සිබිල් මම ඇත්තක් කියන්නම්. මම ඔයාට වැඩිය ආදරය කළේ ඔයාගේ චිත්‍රවලට‘

 ‘ඔයා ඒ බව මට මුලින්ම කිව්ව නං කිසිදාක ඔයා දිහා බලන්නේ නෑ. මම ඔයාව බඳින්නෙත් නැහැ’

එදා සිබිල් මහත්මිය මට ටෙලිෆෝනයෙන් කියා සිනාසුණාය.

1969 වසරේ විශේෂාංග රචකයකු ලෙස ලේක්හවුසියට බැඳී ‘සරසවිය’ පත්‍රයේ වැඩ කරන කාලයේ සිබිල් මහත්මිය සිටියේ අප කර්තෘ මණ්ඩලයේ පිටුපස හොඳට හිරු එළිය වැටෙන ජනේලයක්  අසලය. ඉතා ළාබාල වියේ සිටි මා ඇය චිත්‍ර අඳින හැටි බලා  සතුටුවීමි. කාරුණික කාන්තාවක වූ ඇය මා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිනාසුණ හැටි මැවී පෙනෙයි. එකල පොත් කවර චිත්‍ර බහුලව අඳිමින් සිටි මම ඒ කවර කතුවරයාට පෙන්වීමට පෙර සිබිල් මහත්මියට පෙන්නීමට අමතක නොකළෙමි. වරක් මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘බවතරණය’ කවරය හා අප සහෝදර කර්තෘ මාණ්ඩලික රාජා ටී. බස්නායක ගේ ‘සුදු මොනරු’ කවරය පෙන්නූ විට ඇය තමා කැමති මගේ පොත් කවරයක් ලෙස අගය කළ හැටි මට මතකය.

 ‘මටත් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත්වල චිත්‍ර හා පිට කවර අඳින්න ලැබුණා. රන්ජිත්ට මතකද ‘අපේ ගම‘ පොත?

 ‘නැතිව අර සුන්දර තරුණියන්ට සරදම් කරන වෙස් මුහුණුකාරයා, බිලිබාන්නා පරාටියා කුඩා ළමුන්ට පෙන්වන චිත්‍රය, කිරි බබා දැල් සහිත හබල කරින් ගෙන චිත්‍රය, වැලිපිල්ලේ අකුරු ලියූ සැටි, නොතාරිස් අප්පු රූකඩ කපන චිත්‍රය, මට ඒවා හිතින් හිතල අඳින්නත් පුළුවන්’ ඒවා අපේ ඉස්කෝල පොත් නේ?’ මම මහදැනමුත්තෙකු සේ කියමි.

 ‘රන්ජිත්ට ඒවා හොඳට මතකයිද?’ සිබිල් මහත්මිය කණ්ණාඩි කුට්ටම ගලවා මා දෙස බැලුවාය. 

 ‘ඒවා බලලා මම චිත්‍ර අඳින්න ඉගෙන ගත්තා. එක අතකින් මිසිස් වෙත්තසිංහ මගේ චිත්‍ර ගුරුවරියක්’ මම කීවෙමි.

සිබිල් මැතිනිය ගැන ඕනෑ තරම් දේ ලිය වී ඇත. ඒවා ගණනය කළොත් කිලෝ ගණනකි.

සිබිල් මැතිනිය ‘සරසවිය’ චිත්‍රපට උලෙළ සඳහා 1968 නිකුත් වූ සමරු කලාපයේ පිට කවරය ද නිර්මාණය කර තිබුණි. 1968 අප්‍රේල් 25 වෙනිදා කොළඹ කාන්තා විද්‍යාලයීය ශාලාවේදී ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සරසවි සම්මාන රාත්‍රිය වෙනුවෙන් බෙදා හරින ලද මේ සමරුව මට ලැබුණේ මගේ මාමා සමඟ එය නැරඹීමට ගිය නිසාය. මෙහි පළ වන්නේ ඒ සමරුවේ සිබිල්ගේ පිට කවරයයි.  1968 සරසවිය උළෙලේ සංවිධායක මණ්ඩලය එම සමරුවේ මෙසේ සඳහන්ව තිබුණි. විමලසිරි පෙරේරා, රෝලන්ඩ් අබේසිංහ, රණපාල බෝධිනාගොඩ, ඩග්ලස් ගුණරත්න එච්. පී. අමරතුංග, එස්. සුබසිංහ, ඩී. සී. රණතුංග, නිමල් පෙරේරා අභයවර්ධන  හා සි්බිල් වෙත්තසිංහය. 

1964 පැවති මුල් සරසවිය සම්මාන උලෙළේ සංවිධායක මණ්ඩලයට එවකට ‘ජනතා’ කර්තෘව සිටි ධර්මපාල වෙත්තසිංහ මහතා ද ඇතුළත්ව ඇත. එපමණක් නොව උලෙළට දෙසතියකට පමණ පසු නිකුත් වූ ‘සරසවි සිනමා’ සමරු සංග්‍රහයට වෙත්තසිංහ මහතා විසින් ‘දෙගංබඩ උතුරා’ නම් ලිපිය ආරම්භ කර තිබුණේ මෙසේය.

 ‘මහවැලි කඳුකරයේ කොතැනක හෝ දිය පාරකින් ගමන පටන් ගනී. ඒ දිය පාරට නමක් නැත. හඳුනන්නෙකු ද නැත.

සිංහල චිත්‍රපට උලෙළ ද ඇරඹුණේ කිසිවකුගේ සිතට වැටුණු පොඩි කල්පනාවකිනි. ඒ කල්පනාව සරසවි වරමින් පහළ වූවක් වැන්න.

අර කුඩා දිය පාර, කුඩා වුවත් ඇරඹූ ගමන අත්හලේ නැත. චිත්‍රපට උලෙළ පිළිබඳ කිසිවකුගේ සිඟිති සිතිවිල්ල ද අතු - ඉති එක් වී මහා ගඟක්ව මුහුදින් කෙළවන වන මහවැලිය මෙන්  සිය ගණනකගේ උදව්වෙන් හා ලක්ෂයකගේ ආසිරි මැද්දෙන් මහා චිත්‍රපට උලෙළකින් අවසාන විය.’

ඒ ලිපිය වෙත්තසිංහයෝ අවසන් කර තිබුණාහ. ‘මහවැලි තරව, දෙගම්බඩ උතුරා ගලන ජල දහරින් රජරට පොහොර වෙයි. එය සංවිධාන ශක්තියෙන් කළ යුත්තකි. සිංහල සිනමා රසිකයන් අතර පවතින කලා කුසලතාව සිනමාවේ දියුණුව පිණිස යෙදවිය හැකි පොහොරයි. ඒ චිත්‍රපට   උලෙළින් සංවිධානය වන්නකි.’

සිබිල් හා ධර්මපාල වෙත්තසිංහ සරසවිය චිත්‍රපට උලෙළ ඉතිහාසයේ පුරෝගාමියෝ වූහ. ඔවුන් ඒ සඳහා දුන් දායකත්වය සුළු පටු නොවේ. කොළඹ අසෝකා සිනමාහලේ දිනපතා පැවැති  සරසවි චිත්‍රපට සතියට පාඨක ඡන්දයෙන් තේරුණු ගම්පෙරළිය, සිකුරු තරුව, රන්මුතු දූව, සුහද සොහොයුරෝ, සුවිනීත ලාලනී චිත්‍රපට පෙන්වනවා. අවසානයේ සිනමාහලින් බැහැරවත්ම සැම දෙනා අතට පත් වූයේ ඒ මොහොතේම සරසවිය සම්මාන පිරිනැමීමේ විස්තර කරන පින්තූර ද  සහිත  ‘ජනතා’ පත්‍රයයි. අද මෙන්  නොව මේ එදා සිනමාව කලාවත් පුවත් පත් කලාවත් එක්  කළ දුර්ලභ මොහොත  උදා කරදීම ‘ජනතා’ කර්තෘ ධර්මපාල වෙත්තසිංහයන්ගේ විස්මිත විශ්වකර්ම වැඩකි. මේ නිසා වෙත්තසිංහ යුවළ සරසවියට ආභරණයකි.  කෞතුක වස්තුන්ය. කෘතහස්ත කතුවර ධර්මපාල වෙත්තසිංහ මහතා 1989 සැප්තැම්බර් 19 වැනිදා මියගියේය. 

සිබිල් වෙත්තසිංහ මහත්මිය තම කලා කටයුතු දිගටම ගෙන ගියා. ළමා සිත්තරුන් දහස් ගණනක් බිහි කළාය.

වෙත්තසිංහ මහත්මිය අතින් ළමා පොත් පිට කවර මෙන්ම වෙනත් පිටකවර ද නිම වී ඇත. මේ අතරින් සුනිල් සාන්තගේ ‘කෝකිල නාදේ’ හා සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘අලි කතාව‘ චිත්‍රපටයේ සමරු කලාපයට ඇඳි චිත්‍ර දෙක මේ අතර කැපී පෙනෙයි.