වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
චිත්‍රපටවල රඟපාන්න අසාවෙන් ඉන්නවා

ඇය ස්ව උත්සහයෙන් ම කලා ලොව ජයගත් රුවැත්තියක් ලෙස හැදින්විය හැකිය. පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් අනතුරුව ක්ෂේත්රයට පිවිසීමට සැලසුම් සකසා ගෙනම සිටියදී එයට ගෙදරින් යම් විරෝධතාවක් මතු වූවාය. පසුව කරුණු කාරණා පෙන්වා දීමත් සමඟින් එය සමනය වී පවුලේ අයගේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ඇයට අදටත් හිමි වන්නේය. මීට කෙටි කලකට ඉහත සිය පියාගේ වියෝව නිරන්තරයෙන් ඇය හද කම්පා කරවයි. පියා කොහේ හෝ සිට තමාව මෙහෙයවන බවත් ඔහුගේ ආශිර්වාදය නිරන්තරයෙන් තමාට ලැබෙන බවයි. තම පියා මිය යාමට කලකට පෙරාතුව කියූ දේ ඇය සංවේදීව සිහිපත් කරන්නේ මෙලෙසයි. මගේ කෙල්ලො මේ ලොව බබළන්න ඕනේ කියූ බව ඇය කියා සිටියේ නම් කඳුළු පිරි දෙනෙතින් යුතුවයි. මේ දිනවල (සිරස ඊ.ඍ) රාත්‍රී 7.30 ට යන හිත ළග හිනැහුණා ටෙලි නාට්‍යයේ උදානා ලෙසත් දෙරණ රූපවාහිනියෙන් සතියේ දින පහේම රාත්‍රී 9.30 ට විකාශය වන ලොක්කිගේ කතාවේ තරූ චරිතයෙන් ද ඈ අප පිනවන්නීය. ජනප්‍රිය යොවුන් නිළි සවිනි යකුපිටිය නම් ඇය සමග කළ කතා බහ මෙසේය.
සවිනි ඉන්නේ කොහේද?
පානදුරේ
එතකොට අධ්‍යාපනය ලැබුවේ ?
පානදුර සෙන්ට් ඇන්තනිස් ගර්ල් ස්කූල් එකෙන් ඒ ලෙවල් (A/L) නිම කරලා දැන් KIU යුනිවර්සිටි එකේ උපාධිය හදාරනවා.
සවිනිගේ අනාගත වෘත්තිය රංගනයමද එහෙමත් නැතිනම් ඒ උපාධියට අනුව රැකියාවක් ලබා ගන්නවද?
කලාවයි ජොබ් එකයි සමබරව කරගෙන යන්න තමා හිතාගෙන ඉන්නේ.
අපි කලාවේ ඔබේ මේ ආරම්භය ගැනත් අපි මතක් කරමු?
චූටී කාලේ ඒ කියන්නේ මම මොන්ටිසෝරී යන දවස්වල ඉඳලා තමයි සින්දු කියන්නයි, ඩාන්ස් කරන්නයි පටන් ගත්තේ, තව පාසලේදී විෂයක් ලෙස නර්තනය හැදෑරුවා. ඒ කාලේ ටීවී එකේ යන දේවල් බලනකොට මටත් ඒවා කරන්න පුළුවන්නම් කියලා ආසාවක් ඇති වුණා ඒත් මං ඒ කාලේ හරිම ලැජ්ජාශීලී අයෙක්. මං කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් කාටවත් ගෙදර අයට පේන්නේ නැති වෙන්න ඒ ටී.වී. එකේ යන දේවල් කරන්න පුරුදු වුණා.ගෙදර අය පස්සෙ ඒක දැක්කා. ඉගෙන ගන්න කාලේ අධ්‍යාපන වැඩවලට මුල් තැන දීලා වෙහෙස මහන්සි වුණා.
එතකොට ඔබේ ප්‍රථම රංගනය ?
ස්නැප් (Snap)) කියලා ස්වර්ණවාහිනියේ ගියපු ටෙලි නාට්‍යයක.
මේ දවස්වල ඔබව අපිට දකින්න ලැබෙන්නේ
සිරසේ යන (සිරස TV) හිත ළග හිනැහුණා ටෙලි නාට්‍යයේ උදානා ලෙසත් දෙරණ නාලිකාවෙන් සතියේ දිනවල යන ලොක්කිගේ කතාවේ තරුගේ චරිතයෙනුත් මේ දවස් වල මාව දැක ගන්න පුළුවන්.
සවිනිට ඒ ටෙලි නාට්‍යවල රගපාන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
හිතළග හිනැහුණා ටෙලි නාට්‍යයට ධනුෂ්ක අයියා (හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ අධ්යක්ෂ ධනුෂ්ක රත්නායක) තමා කතා කරන්නේ දැන් ඒ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රදීප් අයියා(අධ්යක්ෂ ප්‍රදීප් රසාංග) මේ හිත ළග හිනැහුණා ටෙලි නාට්‍ය මගේ ටර්නින් පොයින්ට් (හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් හරි මුලින්ම ධනුෂ්ක අයියා දැන් අධ්යක්ෂ ප්‍රදීප් අයියත් මට සෙට් එකේදී කරන්න ඕන දේවල් ඒවා කරන විදිය ගැන විවිධ දේවල් කියලා දෙනවා). මේකේ වැඩ කරගෙන යන අතරතුර තමා මට ලොක්කී ටෙලි නාට්‍යයට කතා කරන්නේ හර්ෂ අයියා.(ලොක්කී ටෙලි නාට්‍ය අධ්යක්ෂ හර්ෂ උඩකන්ද මහතා) ඔහු මට මෙම ටෙලි නාට්‍යයේ වැඩ වලදී ගොඩාක් දේවල් කියලා දෙනවා. ඒ වගේම මෙහි රගපාන මට වඩා ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ අයගෙනුත් එහෙමයි විවිධ දේවල් ගැන කියා දෙමින් මට හැම විටම උදව් කරනවා.
චිත්‍රපටවලත් රගපාන්න අවස්ථා ලැබිලා තියෙනවාද?
දැනට නෑ චිත්‍රපටවල නම් රගපාන්න ලොකු ආසවක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තුළින් ලොකු දෙයක් කරන්නත් පුළුවන් අපි බලමු ඉස්සරහට.
සවිනි පෙම්වතියක්ද ?
නෑ. මට තවම එහෙම කෙනෙක් නෑ. මං ඒ වචනයටත් හරි බයයි. එහෙම වුණාම අපි හිර වෙනවත් වැඩියි. අපේ ජීවිතේට වන බලපෑම් පවා වැඩියි. මේ කාලය තුළ කලා කටයුතුවලට උපරිම දායකත්වය ලබාදෙමින් ඒවා ගැන විතරක්ම හිතමින් කටයුතු කරනවා දැන්ම ඒ වගේ කෙනෙක් නොවී.
විවාහයක් වෙනවා නම් ඒ කොයි කාලේ වගේද ?
එහෙම අදහසකුත් තවම නෑ කොයි කාලේ වගේද කියලා.
රංගනය ගැන හැදෑරීමක් කරන්න අදහසක් නැද්ද?
දැනට මම මේ කලාවේ වැඩවලට දායක වෙමින් ඒ තුළින් මෙන්ම ප්‍රවීණයන්ගෙනුත් යම් යම් දේවල් ඉගෙන ගනිමින් තමා කටයුතු කරන්නේ. තව ඉස්සරහට රංගනය ගැන හැදෑරීමක් කරන්නත් අදහස් කරගෙන ඉන්නවා. අන්තර්ජාලය හරහාත් මීට අදාළ විවිධ දේවල් ගැන සොයා බලා ඉගෙන ගැනීම් කටයුත්තකත් මම දැනට නිරත වෙනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවාද?
මට මේ ගමන එන්න උදව් කරපු මගේ දෙමව්පියන්, සහෝදරියත් මතක් කරනවා.මට මතක් වෙන්නෙම මගේ අප්පච්චි මුලින් මං මේ කලාවට එනවට එයා එතරම් කැමත්තක් තිබුණේ නැතත් පස්සේ ඒ ගැන පැහැදිලා මට ඒකට ඉඩ දුන්නා.දැන් අප්පච්චි නැති වෙලා පොඩි කාලයක් වෙනවා අප්පච්චි ජීවත්ව සිටියදී කලකට පෙර කිව්ව දේ තමා මට නිතර මතක් වෙන්නේ. (ඇය පියා ගැන කියමින් ඉතාම සංවේදීව හඬයි)මගේ කෙල්ලො කවදා හරි මේ ලොව බැබලෙන්න ඕනේ කීවා. ඇත්තටම මම අප්පච්චිගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරනවා. මගේ අප්පච්චි දැනටත් මං දිහා කොහේ හරි ඉදන් බලන් ඉන්නවා වගේ මට දැනෙනවා. අපේ මේ යකුපිටිය පරම්පරාවේ නමත් රැකගෙන ඉස්සරහට යමින් අප්පච්චිගේ ඒ බලාපොරොත්තුව මං අනිවාර්යයෙන්ම ඉටු කරනවා යකුපිටිය කිව්වාම යකින්නද කියනවා වගේ අදහසක්ද සමහර අය අපි ගැන කතා වෙනවා. මම ලොකු රික්ස් එකක් (අවදානමක්) අරගෙන තමා මේ ගමන මේ විදිහට ආවේ. මම කැමති මං මේ ආවා වගේ තවත් අයට කලාවට එන්න උදව් කරන්න මං ඊට අදාළව යම් යම් දේවලුත් විවිධ අයට උදව් වශයෙන් කරලා දීලත් තියෙනවා.දැනටත් සමහර අය මගෙන් අහනවා අක්කා අපිටත් නාට්‍යයක පොඩි කෑල්ලක් හරි රගපාන්න අවස්ථාවක් ලබා දෙන්න උදව් කරන්න බැරිද කියලා මං ඒ වගේ අය වෙනුවෙන් උදව් කරන්නත් කැමතියි. අර මං මුලින් කිව්වා වගේ යකුපිටිය හොඳ පරම්පරාවක් ඒ පරම්පරාවේ නම මම රැක ගන්නවා අප්පච්චි ගේ බලාපොරොත්තුව ඒ විදියට ඉටු කරන්නත්, මං මේ කලාව තුළින් මීට වඩා ලොකු දෙයක් කරන්නත්, බලාපොරොත්තු වෙනවා.
මට සවිනි එහෙම කිව්වාම නැවතත් අහන්න හිතුණා මොකක්ද ඔබ ඒ කියන්න අදහස් කරන ලොකු දේ.
මෙතෙක් මාව මේ රට ඇතුළේ අය විතරනේ දන්නේ මං මේ කලාවේ ඉන්නවා කියලා. මම කැමතියි ඒ කලාව තුළින් ලෝකයට එහෙමත් නැතිනම් අන්තර්ජාතික තලය දක්වා ඒ ගමන යන්න. ඒ සදහා වෙනස්ම දෙයක් මේ රංගනය තුළින් කරන්න කාගෙත් අවධානය මා වෙත යොමු වෙන විදිහට වැඩක් කරන්න මොකද මේ අපේ යකුපිටිය පරම්පරාවේ රංගන කලාවේ ඉන්නේ මං විතරයි. සංගීතය පැත්තෙන් අපේ පරම්පරාවේ අයෙක් ඉන්නවා නමුත් රංගනයෙන් ඉන්නේ මං විතරයි. ඉතින් මම ඒ දේ කරනවා මේ රංගන කලාව තුළින්.
හොදයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සවිනිගේ ඒ බලාපොරොත්තුව ඒ විදියටම ඉටු වෙන්න ඒ වෙනස ඒ දේ ඒ විදියටම කරන්න ඔයාට ශක්තිය දයිරිය ලැබෙන්න කියලා.
ගොඩාක් ස්තූතියි අයියේ ඔයාගේ ඒ වචන ටිකම මට ඇති එයත් මට ලොකු ශක්තියක් ධෛර්යයක් වෙනවා. නැවතත් ස්තූතියි කියලා කියනවා.
සේයාරූ - තිලක් පෙරේරා