වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
බෝගල සවුන්දිරිස් දෙවැනි කොටස ළඟදීම එනවා

මඩොල් දූව සිනමාපටයෙන් කුඩා දරුවකු ලෙස හා හා පුරා කියා රංගනයට එකතු වුණු ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියකි. කන්ද උඩරට දළදා හමුදුරුවන්ගේ අනුහස් ලබා අනාගතයේ යම් තැනකට පැමිණෙනවා ඇතැයි ඔහු පාසල් කාලයේදී ම සිතන්නට ඇත. පවුලේ කිසිවකු කලාවට සම්බන්ධ නොවුණත් සහජ හැකියාව නිසාම ඔහුගේ සිත කලාවට නැඹුරු විය. බාහිර ස්වරූපයෙන් නළුවකුට අවශ්‍ය පසුබිම නොපිහිටි නිසා ඔහු කලා ක්ෂේත්‍රයේ වෙනත් ඉසව්වකට යොමු වූයේය. ඉන් අනතුරුව “ගැහැනු ළමයි” සිනමාපටයේ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී හිල්ටන් මෙන්ඩිස්, “තවලම” සිනමා පටයේ ඊබට් විජේසිංහ යනාදීන්ගේ සහාය ඇතිව වේශ නිරූපණ ශිල්පියකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසුණේය. මේ ආදී ආකාරයට සිනමාපට ගණනාවකම සහාය වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු පසුව අධ්‍යක්ෂවරයෙක් බවට පත්විය.
ඔහු දයාරත්න රටගෙදරයි.
1970 වර්ෂයේ හොඳම වේශ නිරූපණ ශිල්පියා ලෙස ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලැබූ පළමු සම්මාන උළෙලේදීම සම්මානයෙන් ද පිදුම් ලැබීය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගේ පළමු වේදිකා නාට්‍යය සහ තුසිත ද සිල්වාගේ වේදිකා නාට්‍ය ගණනාවකම වේශ නිරූපණ ශිල්පියා ද වීමේ අවස්ථාව හිමි කර ගත්තේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සහය අධ්‍යක්ෂකවරයා වූ උපාලි පෙරේරා ඊට අඩිතාලම සපයා දුන්නේය.
ලිවීමට රුචිකත්වයක් දැක්වූ දයාරත්න රටගෙදර 1987 වසරේදී අතුල ධර්මසිරි සමඟ “සුරතුර” පුවත්පත සමඟ පුවත්පත් මාධ්‍ය කලාවට එකතු විය. ඉන්පසු “සත්සර, කුමරි, සත්දින,” යනාදී වශයෙන් පුවත්පත් කිහිපයකම වසර ගණනාවක්ම මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය. මාර්ටින් වික්‍රමසිංහ, ටී. බී ඉලංගරත්න, ඩබ්ලිව්. පී නවරත්න, බන්දුල පද්මකුමාර, සෑම් පෙරේරා, රොඩ්නි විදානපතිරණ, ගුණසිරි ලියනගේ යන අය මාධ්‍ය කලාවේ ළඟම හිතවත්තු වූහ. අනතුරුව එකම තැනක දිගු කාලයක් රැඳී නොසිටි ඔහු පත්තර කලාවෙන්ද සමු ගත්තේය.
වේදිකා නාට්‍ය කලාවට ඇල්මක් දැක්වූ රට ගෙදරයන් “ගරු ලැසී” වේදිකා නාට්‍යය ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක්ම අධ්‍යක්ෂණය කළේය. එහි සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ක්ලැරන්ස් විජේවර්ධනයි. මර්සි එදිරිසිංහ, සම්පත් තෙන්නකෝන්, ගාමිණි හෙට්ටිආරච්චි, දයා දහනායක රංගනයෙන් දායක වූහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සෑම විටම රටගෙදර අගය කළේය. එකල වේදිකා නාට්‍ය කලාවට හොඳ කාල වකවානුවකි. මේ කාල සීමාව තුළ වේදිකා නාට්‍ය බැලීමට ප්‍රේක්ෂකාගාරය වෙත වැල නොකැඩී ප්‍රේක්ෂකයන් ඇදී ආහ. ගාමිණී හත්තෙට්ටුවේගමගේ “ආදර චාරිකා” සිනමාපටයට සෝමවීර සේනානායකයන් හා සම්බන්ධ විය. ඔහු සිනමා පට හා නාට්‍ය ගණනාවකම සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය. ඉන් අනතුරුව ඔහු ආචාර්ය සුමිත්‍රා පීරිස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආනන්ද හෙවගේ, තිස්ස අබේසේකර යනාදීන්ගේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි විය. තිස්ස අබේසේකරගේ චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා විය.
සිනමාපට 15 කට වැඩි සංඛ්‍යාවක සහාය අධ්‍යක්ෂකවරයා වුවත් ඔහුට වේදිකා නාට්‍යය කලාව අත හැර ගැනීමට නොහැකිය. ලූෂන් බුලත්සිංහලගේ “තාරා දේවි”, තිලක් ගුණවර්ධනගේ “කුමාරිහාමි”, නාට්‍යයේ ද සහාය අධ්‍යක්ෂක වරයා වන්නේ ද දයාරත්න රටගෙදරයි. ඔහුගේ ප්‍රථම ටෙලි නාට්‍යය “එක වහලක් යට” ටෙලි නාට්‍යයයි. එය සිංහල අංශයේ හොඳම ටෙලි නාට්‍යය ලෙස ඕ, සී, අයි, සී සම්මානයෙන් හා හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ද ඔහු මේ උදෙසා හිමි කර ගැනීමට සමත් විය.
නිර්මාණශීලී හැකියාව නිසාම දයාරත්න රටගෙදර හට විවිධ නිෂ්පාදකවරුන්ගෙන් නාට්‍ය අධ්‍යක්ෂණයට අවස්ථාව හිමි විය. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක රංගවේදී ජැක්සන් ඇන්තනී ලියූ “මහමෙර පාමුල” ඔහුහේ දිර්ඝතම ටෙලි නාට්‍යයි. කපිල කුමාර කාලිංග ලියු “දෑකැති මුවහත” ටෙලිනාට්‍ය ද ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ඇද බැඳ ගත් නාට්‍යයකි. ප්‍රේක්ෂකයන් අතර එය බොහෝ ජනප්‍රියත්වයට පත්විය.
ජීවන අරගලය ඔහුගේ නිර්මාණවලට යම් අරුතක් එක් කළ ද එය ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ ඇද බැඳ ගත්තේ පුදුමාකාර විදිහටය. “ඉර හඳ පායන ලෝකේ” රටගෙදරගේ ටෙලි නාට්‍යයකි. එය අජිත් මෙන්ඩිස්ගේ සහ වජිර කස්තුරු ගේ නිෂ්පාදනයකි. “ඉර හඳ පායන ලෝකෙන්” පසු අධ්‍යක්ෂණය කළ “කැලෑ හඳ” ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් තදින්ම ඇද බැඳ ගත් එකකි.
නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙකු වූ දයාරත්න රටගෙදර එදා ප්‍රේක්ෂකයා සෙවූ රසවින්දනය උපරිමයෙන්ම දීමට හැකි වූ අධ්‍යක්ෂකවරයෙකි. පෝහොය දිනට නව අරුතක් ගෙන එමින් “සිත නිවන කතා” යන නමින් පොහොය නාට්‍ය විවිධ තේමාවන් ඔස්සේ වසර 17ක් පුරාවටම ගෙන ඒමට ඔහු සමත් විය. ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ සහ ධම්ම ජාගොඩ වැනි ප්‍රවීණයන්ගේ ආභාසය ලැබීමෙන් රූපවාහිනී නාට්‍ය නිෂ්පාදන අංශයට දක්ෂ අධ්‍යක්ෂවරයෙකු බිහි විය.
නිර්මාණශීලී හැකියාව නිසාම ඔහුට වර්තමානයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ ලේක්හවුස් ආයතනයේ සභාපතිත්වය දරන අනූෂ පැල්පිට මහතාගේ ආරාධනයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂක ධුරය හිමි වේ. වසර තුනක කාලයක් පමණ එහි සේවයේ නියුතු වීමෙන් පසු නැවතත් නාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව් කරා ඔහු නිර්මාණශීලී හැකියාවන් ගෙනහැර දැක්වීය.
ප්‍රවීණයන්ගේ ආභාසය ලබමින් දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු වර්තමාන අධ්‍යක්ෂක හා නිෂ්පාදක පරපුර ගැන දක්වන්නෙ වෙනත්ම අදහසකි.
“බහුතරයක් අතීත පරම්පරාවේ කිසිවකුවත් දන්නෙත් නෑ. ඔවුන්ගේ නිර්මාණ බලන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි, ඒ අය හෑල්ලුවට ලක් කරනවා. බහුතරක් ඒ ආකාරයට හැසිරුණත් සුළුතර පිරිසක් ප්‍රවීණයන්ගේ ආභාසය ගන්න අයත් ඉන්නවා. ඒ අය නම් ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් ප්‍රගුණ කර ගන්නේ ඉතාම කැප කිරීමෙන්. ඒත්, බහුතරය නිර්මාණශීලීත්වයක් තියෙන අය නෙවෙයි. මේ අයගේ එකම අරමුණ අරගල ස්ථාපිත කර නිර්මාණශීලීත්වයක් ගොඩනැගීම පමණයි. තවත් පිරිසක් සිටිනවා, අධ්‍යක්ෂකවරුන් යැයි කියාගන්නා. මේ අය නිර්මාණ කරලා විදේශීය රටවල පවත්වන සම්මාන උළෙලවල් පමණක් නියෝජනය කරන තැනට වැටිලා. ඒ අයගේ අරමුණ සම්මාන ලබා ගැනීම පමණයි. ඔවුන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයට කිසිම නිර්මාණශීලිත්වයක් ගොඩනැගීමේ හැකියාවක් ස්ථාපිත කර නෑ.
වර්තමානයේ පවතින රැල්ල අනුව නිර්මාණය කරන ටෙලිනාට්‍යය හරිම කසිකබල්. මේ වන විට නාලිකාවලත් ඒවා විකාශය කරන්නේ නාලිකාද පහළ තත්ත්වයට වැටිල නිසයි. ප්‍රේක්ෂකයාට හොඳ සහ නරක කියන දෙකම එක නිර්මාණයකින් දෙන හින්දා ප්‍රේක්ෂකයාට ටෙලිනාට්‍ය කලාවම එපා වෙලා. අද සමහරක් නිර්මාණකරුවන් ටෙලි නාට්‍ය කලාව “බයිස්කෝප්” නිර්මාණ කලාවට හරවාගෙන තියෙන හින්දා සියල්ලම අච්චාරුවක්.
ඒ වගේම බහුතරයක් පොතෙන් පතෙන් සහ පුවත්පතින් දුරස්. කුඩා පෙට්ටියක ට හිර වුණු ජීවිතයි තියෙන්නේ. පොදු ප්‍රවාහනයේදීත් පෞද්ගලික ප්‍රවාහනයේදීත් සියලු දෙනාගෙම මනස ජංගම දුරකථනයට පමණක් සිමා වෙලා. ඒකයි අද පවතින වාතාරණය. මේ වන විටත් නිර්මාණශීලීත්වය ගිලිහුණු මොට පරම්පරාවක් බිහි වෙලා හමාරයි. අනාගත පරම්පරාව වෙනුවෙන් බිහිවන නව පරම්පරාව නිර්මාණශීලීත්වය තිබෙන පරම්පරාවක් බවට පත් කළ යුතුයි.
අද රූපවාහිනී මාධ්‍ය කලාව ඉලෙක්ට්‍රොනික පැත්තෙන්, විද්‍යුත් කරණයෙන් හා ඩිජිටල්කරණයෙන් නවීනයි. කාලෝචිත අයුරින් නිර්මාණ බිහි නොවෙනවා නම් සුදුස්සාට සුදුසු තැන නැති හින්දා බොහෝ දෙනා රැකියාවට සමු දෙනවා. මෙවැනි තත්ත්වයක් රටකට සුදුසු නෑ. ඕනෑම දෙයක් කරන්නට කලින් ඔවුන් මුලින්ම සොයන්නේ මුදලයි. අද නිර්මාණයක් කරලා ජීවත්වෙන්න බෑ. ක්ෂේත්‍රය පුරාම නිර්මාණයකට ශිල්පියකු හෝ ශිල්පිනියන් තෝරා ගන්න කොට ඔවුන් කලින්ම අහන්නේ ගෙවන ගාන කීයද කියලයි. මේ වන විට ඒ සියලු දෙනාම එතැනට වැටිලා හමාරයි.”
දයාරත්න රටගෙදරගේ ආත්මීය බැදීම රඳාපවතින්නේ නාට්‍ය කලාව තුළය. එම නිසා මේ කලා ක්ෂේත්‍රය ගොඩ ගැනීම ඔහුගේ එකම අභිප්‍රායයි.
“සිනමාව, රූපවාහිනී නාලිකා, ටෙලි නාට්‍ය කලාව අද බල්ලො පොරකන තත්ත්වයට පත් වෙලා. මේක හරියට නිර්මාණ මිලදී ගැනීම හා ප්‍රදර්ශනය කිරීමේ අයිතිය ලබාගැනීම කියන්නේ දෙවියන්ට සහ යකුන්ට කියා වරම් ඉල්ලනවා වගේ වැඩක්. Digital Platform කරණය ඉදිරියට ස්ථාපිත වීමත් සමඟ ප්‍රේක්ෂකයාට Digital Platform එකේ නිර්මාණ රස විඳීමට සිදු වේ. බොහෝ නිර්මාණ රූපවාහිනියෙන් ඈත් වී යන නිසා Digital Platform එකෙන් ඒවා රස විඳීන පිරිස හැරුණාම Digital Platform කරණයට යාමට නොහැකිව අතරමං වන පිරිසකුත් ඉන්නවා. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයට හොඳ නිර්මාණයක් බිහි වෙනවා නම්, ඔවුන් හැම වෙලේම ආලින්දය මත වාඩි වෙනවා.”
“බෝගල සවුන්දිරිස්” අදත් ප්‍රේක්ෂකයන් නැවත නැවත බැලීමට ඇලුම් කරන නිර්මාණයකි. එහි ඇති අපේ වීරයන්ට අපේ ප්‍රේක්ෂකාගාරය දැඩි ලෙස ඇලුම් කිරීම ඊට හේතුවයි. ඒත් Platform කරණයේ නිර්මාණකරණයකින් ඉදිරියට යෑමට ඔහු සිතනවා ඇත. “බෝගල සවුන්දිරිස්” දෙවැනි කොටස ඒ අයුරින් නිර්මාණය කළ හැකිදැයි යන්න ඔහු දහස් වාරයක් නැවත නැවතත් සිතනවා ඇත. ඒ ඔහුගේ අභිමත නිර්මාණයට අපි සුබ පතමු.