සසල රූ නිසල කළ ප්‍රසන්ත

ඔක්තෝබර් 27, 2022

 

මිනිසුන් මරණයට දක්වන්නේ මහත් බියකි. ඊට ඉඳුරාම වෙනස් ප්‍රසන්ත පරණවිදාන නම් සිනමා කලාකරුවා ඔත්පළව එක්තැන් වූ දා සිටම පැතුවේ මරණයයි. තම නිරුපද්‍රිත සිරුර දිනකට වඩා තබා නොගන්නා ලෙසත් ඉල්ලා සිටියේය. ඒ අනුව ඉකුත් 22 වෙනි සෙනසුරාදා අවසන් හුස්ම වාතලයට මුදාහළ ඔහුගේ ආදාහන කටයුතු ඊට පසුදිනම ගල්කිස්සේ පොදු නිදහස් නවාතැනේ ආදාහනාගාරයේදී සිදු කෙරිණ. එවිට 1954 නොවැම්බර් 24 වැනිදා උපන් ඔහුගේ වයස අවුරුදු 68ක් පිරුණා පමණි.

මේ අසාමාන්‍ය සිනමා කලාකරුවා එක පැත්තකින් අප්‍රකට ප්‍රවීණයකි. ඔහුගේ සමස්ත දිවියම නිශ්චල හා චංචල කැමරාව සමඟ බැඳී තිබිණ. ඔහු සිනමාව වෙනුවෙන් සිදු කළ සේවාවන් බොහෝය. ඒවා වැඩි පිරිසක් නොදැන සිටීම අරුමයක් නොවේ. අප කළ යුත්තේ ඔහු පිළිබඳ සත්‍ය තොරතුරු ජනගත කිරීමයි. එය යුතුකමක් නැතිනම් සමාජ මෙහෙවරක් විය හැකිය.

ප්‍රසන්ත පරණවිදාන අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. ඔහු 70 දශකයේ එහි ඡායාරූප හා සිනමා සංගමය ඇරඹීමට පුරෝගාමී විය. එම විදුහලේම ආචාර්යවරයකු ව සිටි කිත්සිරි නිහාල් ජයසිංහගේ මහාහේනේ රීරියකා (1971) චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව උදාකර ගත් ප්‍රසන්ත අධ්‍යාපන නිමාවෙන් පසු ආධුනීක සිනමා කැමරා මෙන්ම රසායනාගාර ශිල්පියකු ලෙස පුහුණුක් ලැබීමට ලංකා චිත්‍රාගාරයේ ද්වාරය විවෘත කර ගත්තේ 1973 පෙබරවාරි මාසයේය. එම පුහුණුව හා අත්දැකීම් පාදක කර ගෙන ගෝඩ් කිං (1976) නම් ජාත්‍යන්තර චිත්‍රපටයේ සහායක කාර්මික ශිල්පීන් පිරිසට එකතුවීමට ලැබිණ.

ගෝඩ් කිං කණ්ඩායමේ සිටි තවත් ආධුනිකයකු වූ ලාල් පියසේනට අධ්‍යක්ෂණය හා සංස්කරණය පවරමින් ප්‍රසන්ත තුන් දෙනෙකුගෙන් (1975) නම් පළමු සුපර් 08 ප්‍රමාණයේ වර්ණ සිංහල කෙටි චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබීය. එහි කැමරා ශිල්පියාත් ඔහුමය. ඔහු කැමරා ගත කළ දෙවන සුපර් 08 කෙටි චිත්‍රපටය රෝහණ කුමාරගේ භාව තරණය (1976) වෙයි. මේ කාලයේ පිහිටුවා ගත් ශ්‍රී ලංකා කලා සංගමය මඟින් ඔත්පළවන තුරුම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළේය. විකසිත පුවත් පත හා සඟරාව ප්‍රකාශයට පත් කිරීම ඉන් එකකි. සිනමා සම්මන්ත්‍රණ, පාඨමාලා පවත්වන අතරේම කවුළු දොරින් නික්ම ගිය සිනමා විද්වතා, ශ්‍රී ලාංකික සිනමාවේ මතක සුවඳ (2008), ශ්‍රී ලාංකේය කලාවේ අබේසේකර සලකුණ (2009) යන කෘතීන් ලියා පළ කළේය. විකල්ප සිනමා පත්‍රිකාවක් වන සිනමා කොලම (2008 සිට) පවත්වාගෙන යාමත් අමතක කළ නොහැකිය. ඊට පරිභාගිරව වෙනස් කතුවරුන්ගේ සසල රූ නිසල වූ, 60වසරක සිනමා ප්‍රකාශන කර්තෘවරු සහ සංස්කාරකවරු (2008), සිනමා සාහිත්‍යයේ පුරෝගාමියා ආරියරත්න කහවිට (2009) යන ග්‍රන්ථයේ මුද්‍රණ ද්වාරයෙන් නිකුත් කොට ඇත.

මෙම කාර්යන් සිදු කිරීමට පෙර මද කාලයක් විදේශ ගතව සිටි ප්‍රසන්ත එහිදී නවසීලන්තයේ පැසිපික් ෆිල්ම්ස් ආයතනයට බැඳී ලෝක ප්‍රකට කැමරා ශිල්පී රෝරි ඕ ශියර්ගේ සහායකයකු ලෙසත් කටයුතු කිරීමට වරම් ලැබීය. ඔහු පෙරළා පැමිණ වැඩි කාලයක් ගතවෙන්නට පෙර ඕෆ්සෙට් මුද්‍රණයෙන් හැඩ වූ තෙවන කලා (1978) සිට සඟරාවේ ප්‍රධාන නිශ්චල ඡායාරූප ශිල්පී තනතුර හෙබවිය. ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයට එකතු වෙමින් මුලින්ම බම්බලපිටියේ ෆෝටෝස්කෝප් ඡායාරූප ශාලාව ඇරඹීය. දෙවනුව ඇරඹී සංදේශ ග්‍රැෆික්ස් ආයතනයෙන් නළු නිළි රූ සහිත ලිපි කඩදාසි වෙළෙඳ පොළට හඳුන්වා දුන්නේය. එපමණක් ද නොව එමඟින් 1987 විරාගය චිත්‍රපටයේ විශේෂ සමරු කලාපය ප්‍රකාශයට පත් කළේය. 2000 ගිනිගත් මධුසමය සඳහා මෙතෙක් චිත්‍රපටයක් වෙනුවෙන් පළ කරන ලද කුඩාම (සාක්කු ප්‍රමාණයේ) චිත්‍රපට සමරුව ඉදිරිපත් කරනු ලැබීය.

ප්‍රසන්ත වෘත්තිමය නිශ්චල ඡායාරූප ශිල්පියකු වශයෙන් ද චිත්‍රපට, වේදිකා හා ටෙලි නාට්‍ය රැසකට දායක විය. ඉන් චිත්‍රපට චන්ද්‍රරත්න මාපිටිගමගේ මලට නොඑන බඹරු (1982) තිස්ස අබේසේකරගේ විරාගය (1987) ෂෙල්ටන් පයාගලගේ ගොළු මුහුදේ කුණාටුව (1991) වන අතර ලෙස්ටර් ජේම්ස පීරිස්ගේ බැද්දේගම (1981) චිත්‍රපටයේ රඟපෑ ආතර් සී. ක්ලාක්ගේ සසල රූ නිසල කළ ආරාධිත නිශ්චල ඡායාරූප ශිල්පියාය. ඒ ළඳ, රළ නැගුම, භාණ්ඩාගාරය හිස්, ජුලියස් සීසර්, වැනිසියේ වෙළෙන්දා, ධව භීෂණ, මකරාක්ෂයා වේදිකා නාට්‍ය කිහිපයකි. ආදරවන්තයෝ, හිරු සොයා, මායා ඇවනිව්, අහසින් වැටුණු ගැහැනියක් ප්‍රසන්තගේ කැමරා ඇසට හසු වූ ටෙලි නාට්‍යවේ. මෙකී සේයා නිර්මාණ ඇතුළත් කොට මෙරට පළමු සිනමා නාට්‍ය ඡායරූප ප්‍රදර්ශනය 2007 සසල රූ නිසල වු නමින් පැවැත්වීමක්, 1978 නදීකා නමින් ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ඡායාරූප කතා පොතේ ඡායාරූප ශිල්පියෙක්වීමත් සැඟව පවතින තවත් ඔහුගේ වගතුග බිඳකි.

ප්‍රසන්ත නිශ්චල ඡායාරූපකරණයෙන් මිදී චලන චිත්‍රපට කැමරාව අතට ගත්තේ අද ඊයේ නොවේ. මිලි මීටර් 08 ප්‍රමාණයෙන් ඇරඹී එම ගමන ප්‍රධාන ධාරාවේ (මිලි මීටර් 35) චිත්‍රපට දක්වා වර්ධනය කර ගත්තේ කවුළුදොර චිත්‍රපටයෙන් 1990 දීය. සියලු නිෂ්පාදන කටයුතු නිමවා ප්‍රසිද්ධ රැඟුම් පාලන සහතිකය පවා ලත් මේ චිත්‍රපටය තවමත් සිනමා හලට පැමිණ නැත. සමස්ත ජාතියේ වැඩි පිරිසක් මිථ්‍යාව මත යැපෙන රටක සිනමාව තුළින් බිහි කරන්නට ගිය පළමු හේතුවාදි සිංහල චිත්‍රපටය කවුළුදොර සිනමා හලට පැමිණයා නම් දේශීය සිනමාවට සහන් එළියක් වීමට ඉඩ තිබුණි.

සක්වළ සිහින නමින් අරඹා කවුළුදොර වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රාධා ද මැල් නිරූපණය කළහ. එහි සෙසු ශිල්පීන්ගෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ චන්දන සිල්වා, වේෂ නිරූපණ ශිල්පි ඊබට් විජේසිංහ, කලා අධ්‍යක්ෂ මොහාන් ඇඩම්ස්, ගීත රචක ගාමිණි විජේතුංග, සංගීත අධ්‍යක්ෂක මාරියස් ප්‍රනාන්දු, ගායක යුවළ මාලිනි බුලත්සිංහල, මොරිස් බානි විජේසිංහ, සංස්කරණ ශිල්පී ස්ටැන්ලි ද අල්විස් මියගොස් කාලයක් ගතව ඇත. තවද රංගනයෙන් දායක වූ දයා අල්විස්, තලතා ගුණසේකර, වින්සන්ට් සේරසිංහ, සුනිල් හෙට්ටිආරච්චි, ජේ.එච්. ජයවර්ධන, ධර්මදාස කුරුප්පු, ලාල් වික්‍රමආරච්චි, පී.බී. මයිල්ලෑව පවා අද ජීවතුන් අතර නැත. මොවුන් යළිත් ජීවමාන කරමින් කවුළුදොර චිත්‍රපටයේ ඩී.වී.ඩී. තැටි වෙළෙඳ පොළට පැමිණ ඇත. තවද ප්‍රසන්ත රූප ගත කළ එරංග සේනාරත්නගේ කඩතුරාව, ෂෙල්ටන් පයාගලගේ දෙපා නොලත් දෙපාදයෝ, සුමේධ කෝරළආරච්චිගේ සූරිය මල් අතරමඟ ඇනහිටි චිත්‍රපට ගොන්නෙන් සොයාගත හැකිය.