වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
රණකාමී රටේ කලාකාමී නායකයා මිකායල් ගොර්බචොව්

රුසියාව යුක්රේනය පමණක් නොව ලෝකය ම යුද බියෙන් අවුළමින් පවතින සමයක අමෙරිකාවත් රුසියාවත් අතර තිබූ න්‍යෂ්ටික යුද්ධයක අවදානම නැති කර සීතල යුද්ධය නිම කළ සාමය රජයන ලොවක් බිහි කිරීමට මුල්වූ රුසියානු නායකයා මිකායල් සර්ජෙයෙවිච් ගොර්බචොෆ් අගෝස්තු තිස් වැනිදා ජීවිතයෙන් සමු ගත්තේ ය. වයස අවුරුදු 91 දී දිගු කාලීනව රෝගීව සිට ඔහු මිය ගිය ද සාමය අගයන ලෝක වාසීන්ට එය දුක්ඛදායක ආරංචියක් විය.
මිකායල් යුගය සිය පාලනයේ අත්තිවාරම කර ගත්තේ විවෘත භාවය (glasnost) සහ ප්රතිසංස්කරණයයි (perestroika).. ඔහු සිය දේශපාලන මාවත ආලෝකවත් කර ගත් තාරකා බවට පත්කර ගත්තේ නිදහස සහ ප්රජාතන්ත්රවාදයයි.
ඔහු එතරම් මානව හිතවාදී චරිතයක් වීමේ රහස තවමත් බොහෝ දෙනකු නොදනියි. ඒ ඔහු තුළ ජීවත්වූ කලාකරුවා ය.
2013 බීබීසී නාළිකාව සමග ගොර්බචොෆ් ගේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණි. සම්මුඛ පරීක්ෂණය අවසානයේ මේ ප්රතාපවත් නායකයා කාමරයේ කෙළවරේ තිබුණු යෝධ පියානෝවක් පෙන්නුවේ ය. " ඔයාලා කාට හරි මේක වාදනය කරන්න පුළුවන්ද ? ඔහු කාර්ය මණ්ඩලයෙන් විමසී ය. ස්ටීව් හිස වැනුවේ ය. එහෙනම් මොකක් හරි වාදනය කරන්න.
ස්ටීව් වාඩිවී රුසියානු කලාත්මක ගීතයක් වන "මොස්කව් නයිට්ස්" වාදනය කළේ ය. ගොර්බචොෆ් මහතා ගීතය ගැයීම ඇරැඹී ය. ඉන් අනතුරුව ඔහු " ඩාක් ඊස් ද නයිට් " සහ " ද මිස්ටි මෝනිං " ගීත ගැයුවේ ය. ගායනය අවසානයේ පැවසුවේ " ද මිස්ටි මෝනිං" ගීය බිරිය ගේ ප්‍රියතම ගීතය බව ය. " රෙයිසා මගේ ගායනයට කැමැතියි. " රුසියානු සමූහාණ්ඩුවේ මහා අධිරාජයා කුඩා දරුවකු මෙන් සිනාසෙමින් පැවසුවේය. මාධ්‍යවේදියා කිසි විටක සාකච්ඡාව ගීත ගායනයකින් අවසන් වේවියි සිතුවේ නැත. එහෙත් සීතල යුද්ධය අවසන් කළ සාම දූතයා කෙතරම් උණුසුම් හදවතක් ඇත්තෙක්දැයි ඔහු සිතුවේ ය. උපන් ලපය මිකායල් ගේ පියකරු මුහුණට ගෙන දුන්නේ ආලෝකයකි.
කඩවසම් රුවක් හිමි මිකායල් ගොර්බචොෆ් නම් පුද්ගලයා කලාව සමඟ අතිනත ගත් සොඳුරු මතක ගණනාවකි. 1998 වසරේදී ඔහු මිනිබිරිය සමඟ රතු චතුරශ්‍රයේ අලුතින් විවෘත කළ අමෙරිකානු ක්ෂණීක ආහාර අලෙවි කරන අවන්හලට යන දසුන අදට ද රුසියානුවන්ට රසබර මතකයකි. මේ දැන්වීම රුසියාවේ කෙතරම් ජනප්‍රිය වූවා ද කිවහොත් ඒ අවන්හල කරා යන්නන් අදට ද ගොර්බචොෆ්ට ස්තුතිවන්ත වෙයි. මේ දැන්වීම රූ ගත කෙරුණේ 1997 වසරේ නොවැම්බරයේදී ය. ඒ වන විට ගොර්බචොෆ්ට පදනම සදහා ඔහුට මුදල් අවශ්‍ය වී තිබිණි. ක්ෂණික ආහාර නිෂ්පාදකයන්ට ජනප්‍රිය නියෝජිතයකු අවශ්‍ය විය. මේ දෙපිරිසගේම අවශ්‍යතාව සපුරමින් තත්පර හැටක සාර්ථක නිර්මාණයක් බිහිවිය. සීතල යුද්ධය අවසන් කිරීම මෙන්ම අන්තවාදී අදහස් දරන රටවැසියන් සිටින රටක එවන් විදෙස් රටක දැන්වීමකට පෙනී සිටීම ද අභියෝගයක් විය. ඒ වන විට ඔහු රට වැසියන් විසින් ද්‍රෝහියකු, අනුවණයකු ලෙස නම්කර 1996 ජනාධිපතිවරණයෙන් සියයට එකක ඡන්ද ලබා දී අන්ත පරාජයකට පත් කර තිබිණි.
1998 ජනවාරියේදී ලොව පුරා පීසා හට් දැන්වීම විකාශය කෙරිණි. එහෙත් ගොර්බචොෆ් ගේ ප්‍රතිරූපය ඒ වන විට හොඳටම පිරිහී තිබුණු බැවින් රුසියාවේ පමණක් දැන්වීම විකාශය වූයේ නැත. දැන්වීමෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියනයක ආදායම ඔහු යෙදවූයේ පර්යේෂණ වෙනුවෙන් ඇරැඹූ ගොර්බචොෆ් පදනමට ය. ඔහු පීසා දැන්වීමට පෙනී සිටිය ද රූගත කිරීම් අතර තුරේ ක්ෂණික ආහාර කෑමට ගෙන නැත.
ලොව පුරා ජනප්‍රිය වුණු පීසා හට් දැන්වීමට පෙර 1994 දී ඔහු ජර්මානු ප්රකාශනයක Apple Power Macintosh computer සමාගමේ දැන්වීමක සම්පූර්ණ පිටුවක ඡායාරූපයක් සඳහා පෙනී සිටියේය. ඔහු දැන්වීම සඳහා පෙනී සිටියේ මුදලට නො වෙයි. ඔහු විසින් පිහිටවූ පාරිසරික සංවිධානයට පරිගණක කිහිපයක් ඒ වෙනුවට ලැබිණි.
2004 දී Best Spoken Word Album for Children සදහා ඔහු ග්‍රැමී සම්මානයට පාත්‍ර වූයේ ඔහු සමඟ හඬ කැවූ රොනල්ඩ් රේගන් සහ සොෆියා ලොරේන් හා එක්ව ය. ඔවුන්ට සම්මාන හිමි වූයේ "Prokofiev: Peter and the Wolf/Beintus: Wolf Tracks" ඇල්බමයට ය. ප්‍රංශයේ සුපිරි විලාසිතා මන්දිරයක් වූ
Louis Vuitton සමාගම මඟින් ප්‍රකාශයට පත් කළ දැන්වීමක ගොර්බචොෆ් Vuitton බෑගයක් අසලින් තබා ගෙන කාරයක බර්ලීන තාප්පය පසුකර ගෙන යන දැන්වීම ද කතා බහට ලක්වූවකි.
රුසියානු සංගීතමය රූපවාහිනී නාළිකාවක් වූ Muz-TV සංගීත විෂයයට පරිබාහිරව වෙනත් විෂයයන්ට ද සම්මාන පිරි නමයි. 2012 දී ඇරැඹුණු මේ සම්මාන උලෙළේදී ගොර්බචොෆ් සමාජයට කළ සේවාව වෙනුවෙන් විශේෂ සම්මානයකට පාත්‍ර විය.
මිකායල් එස්. ගොර්බචොෆ් යනු චරිත එකතුවකි. ලෝකය ඔහු මාධ්‍යවේදියකු ලෙස ද හදුනාගෙන සිටියේ ය. ඔහු මතක සටහන් ඇසුරින් ලියූ ශාස්ත්‍රීය නිබන්ධය 1995 දී රුසියානු බසින් ප්‍රකාශයට පත්විය. 1996 දී එය ඉංග්‍රීසි බසින් පළ කෙරිණි. The coming century of peace, The Earth Charter in Action: Toward a Sustainable World, Gorbachev: Mandate for Peace වැනි ග්රන්ථ ගණනාවක් ම ගොර්බචොෆ් රචනා කළේ ය. රුසියානු බසින් මෙන්ම ඉංග්‍රීසි බසින් ද ඔහු ග්රන්ථ ගණනාවක් ම රචනා කර තිබෙයි. ඔහු මාසිකව The New York Times පුවත්පතට මාසිකව තීරු ලිපියක් සම්පාදනය කළේය.
ලෝකවාසීන් යුද බියෙන් මුදවා ගෙන සාමයේ සැනසුම ලබා දෙන්නට ගොර්බචොෆ් නම් පුද්ගලයා තුළ ජීවත්වූ කලාකරු සාම්ප්‍රදායික සමාජවාදී රැහැන් බිද දැමී ය.එනිසාම ඔහු සදාතනික සොඳුරු මිනිසකි.