වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ජීවිතය වෙනස් කළ සවාරියක් බන්ධනා

ආදරියේ, කලු දළ රළ, හතර වරම්, යන ටෙලි නාට්‍යයන් ප්‍රෙක්ෂක මතක අතර රැන්දු තිසුල දීප තඹවිටගේ නවතම ටෙලි සිතුවම් අධ්‍යක්ෂණය බන්ධනායි. මේ දිනවල ස්වර්ණවාහිණි නාලිකාවේ රාත්‍රි නවයට විකාශනය වන මෙහි අලුත්ම තොරතුරු මෙවර සරසවියට ගෙන එන්නෙමු.
දේවේන්ද්‍ර ඉද්දමල්ගොඩ තරුණ ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහු අවුරුදු 7ක පමණ සුරතල් දියණියකගේ පියෙකි. දේවේන්ද්‍රගේ බිරිඳ දරු ප්‍රසූතියේදී මියගොසිනි. සංවේදී ආදරබර ද්වේන්ද්‍ර තම බිරිඳ ලක්මිගේ මරණයෙන් පසු වෙනස්ම පුද්ගලයෙකු බවට පත්වේ. තම හැඟුම්බර බව ඔහු යටපත් කරගෙන, දැඩි නීති රීති සමුදායක් මත තම ව්‍යාපාරික කටයුතු කරගෙන යයි. දේවේන්ද්‍රගේ මව ලක්ෂ්මී දේවේන්ද්‍රගේ දියණියට පණ මෙන් ආදරය කරමින් ඇයව ඇති දැඩි කරයි. කුඩා දියණිය බන්ධනා ද තම මිත්තණියට බොහෝ සෙයින් ළෙන්ගතුය.
වසරක් පාසා දේවේන්ද්‍ර තම ආයතනයේ සියලු සේවකයන් සමඟ විනෝද චාරිකාවක් යයි.
මෙවර ද ඒ සඳහා සූදානම් වන ලෙස ඔහු තම සේවකයන්ට පවසයි. එම ගමනට දේවේන්ද්‍ර තම මව සහ දියණිය ද කැටුව යෑමට තීරණය කරයි. විනෝද චාරිකාවට සේවක සේවිකාවන් තම පවුලේ අය ද කැටුව එන්නේ පෙර වසරවල පරිදිමය. දේවේන්ද්‍රගේ ආයතනයේ උසස් කළමනාකරුවෙකු වන ශෙහාන් රාමනායක ද පැමිණෙන්නේ තමා විවාහ ගිවිසගත් යුවතිය ද සමඟය. විනෝද චාරිකාව දින කුඩා බන්ධනා නිදහසේ පියාසරන කුරුලු පැටවෙකු මෙන් සතුටින් සැරසරයි. එක් ඇසිල්ලක ඈ ඈතකට දිව යද්දී දේවේන්ද්‍ර ඇයට ‘බන්ධනා’ යැයි කෑ ගසයි. එහිදී කුඩා බන්ධනා මෙන්ම ශෙහාන්ගේ පෙම්වතිය ද තිගැස්සී බලයි. ඒ ඇගේ නම ද බන්ධනා නිසාවෙනි. පුංචි බන්ධනා, ෂෙහාන්ගේ පෙම්වතිය දැඩි ලෙස ප්‍රිය වේ.
බන්ධනා, ශෙහාන් හා විවාහ ගිවිසගත්තේ කැමැත්තෙන් නොවේ. ඈ උසස් පෙළ කරද්දී ඇගේ
දෙමාපියන් රිය අනතුරකින් මිය යයි. එතැන් පටන් බන්ධනාට මව් වන්නේ ඇගේ වැඩිමල් සොයුරිය රන්දනාය. පෞද්ගලික ආයතනයක රැකියාව කළ රන්දනා ඉක්මන් විවාහයකට පෙළඹෙන්නේ ඈ ආදරය කරන මහේෂ් සමඟය. මහේෂ් බන්ධනාට සලකන්නේ තමාගේම සොයුරියක ලෙස සිතමිනි.
ශෙහාන් මහේෂ්ගේ මිතුරෙකුගේ සොහොයුරුයි. පිටරට අධ්‍යාපනයෙන් පසු මෙරට පැමිණෙන ශෙහාන් තම අධ්‍යාපන සුදුසුකම් අනුව රැකියාවකට යන්නේ දේවේන්ද්‍ර ළඟමයි. ඒ අතර බන්ධනාව දකින ඔහු ඈ විවාහ කරගන්නට කැමති බව පවසන්නේ ඇගේ රුවට වශී වීය. රන්දනා සහ මහේෂ් මේ යෝජනාවට එකපයින් කැමති වන්නේ බන්ධනාගෙන් පවා නොඅසමිනි.
දැඩි සංවේදී, සරල, හැඟුම්බර යුවතියක වන බන්ධනා, ශෙහාන්ට අකමැති වද්දී රන්දනා පවසන්නේ බන්ධනාගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ පූර්ණ අයිතිය තමා සතු බවයි.
බන්ධනාගේ ජීවිතය කෙසේ විසදේයිද? දේවේන්ද්‍ර ඉද්දමල්ගොඩ මොනවගේ තිරණයක් ගනිද? යන වග ඉදිරියේ ස්වර්ණවාහිණි විකාශනය වන කොටස්වලින් ඔබට නැරඹිය හැකිවේ.
