රඟපාන විට පොඩි බයක් දැනෙනවා

නාඩගම්කාරයෝ සුරංග, අංග රචනා ශිල්පී වාසනා බණ්ඩාර
දෙසැම්බර් 23, 2021

නාඩගම්කාරයෝ ටෙලි සිතුවමේ සියලු නළුනිළියන් හැඩකරන්නෙ ඔහුය. ඔවුන් සියලු දෙනා කැමරාව ඉදිරියට පැමිණෙන්නේ ඔහුගේ අංගරචනයෙන් සම්පූර්ණ වෙමිනි. කෙසේවෙතත් ඔබ මේ තැනැත්තාව හදුනන්නේ අංගරචනා ශිල්පියෙකු හැටියට නොවේ. නාඩගම්කාරයෝ නරඹන ඔබට ඔහු එහි රංගනයෙන් දායක වන නළුවෙකි. මාස්ටර්ගේ ගෝලයා හෙවත් සුරංගගේ චරිතය ඔහු විසින් පණ පොවනු ලබයි. වාසනා බණ්ඩාර විජේකෝන් ලෙස මම ඔහු හඳුන්වා දෙමි. ඉතා දිගු කලක් අංගරචනා ශිල්පියෙකු ලෙස වැඩකටයුතු කළ ඔහු නළුවෙක් වූ හැටියට ද වරින් වර අප හමුවට ආවේය. වාසනාගේ මුල් බලාපොරොත්තුව වූයේද රංගන ශිල්පියෙකුවීමය. නමුත් දෛවය ඔහුට හිමිකර දුන්නේ අංගරචනා ශිල්පියෙකු කියන ස්ථානයයි. ඔහුගේ වෘත්තිය හරියාකාරව ඉටු කළ බැවින් දිගින් දිගටම ඒ තුළ ස්ථාවර වන්නට වාසනාවට හැකියාව ලැබිණ. වාසනා සමඟ කළ මේ කතාවේදී ඔහු පළමුව කතා කළේ තමන් ගැන නොව සරසවිය පිළිබඳවය. 

සරසවිය පුවත්පත මම බලන්නේ දෙක වසරෙ ඉඳල. අපේ ගෙදරට සරසවිය ගේනවා. එහෙම ගෙනාපු සමහර දවස්වලදී මම පත්තරේ හංගනවා. හංගලා පස්සේ වෙලාවක ඒක බලනවා. මට කලින් වෙන අය බලලා පත්තරේ පිටු පොඩි කරයි කියලායි එහෙම කරන්නෙ. එච්චරට සරසවියට ආදරෙයි. මගේ ලොකු හීනයක් තිබුණා කලාවට ආවට පස්සේ එතරම්ම ආදරය කරපු සරසවිය පත්තරේ ලිපියක් පළ කර ගන්න. මෙච්චර කල් ඒ වාසනාව උදා වුණේ නැහැ.මේ තමයි මගේ සරසවියේ පළ වන ප්‍රථම පුවත්පත් ලිපිය.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ නළුවෙකු වීමේ බලාපොරොත්තුවෙන්. එහෙත් ඔබ පසුකාලීනව අංග රචනයට යොමු වෙනවා..

ඇත්තටම මම වේදිකාවට එන්නේ දෙදහ වසරේ විතර. එතකොට මම පාසි කියලා වේදිකා නාට්‍යයක රඟපෑවා. ඊට පස්සේ වයඹ කලා සංගමයට සම්බන්ධ වෙලා නාට්‍යවලට දිගින් දිගටම සම්බන්ධ වුණා. ටවර් හෝල් පදනමට සම්බන්ධ වෙලා නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමා එක කළා. ඊට පස්සේ විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී නාට්‍ය හා රංග කලාව කියන උපාධියත් හැදෑරුවා. ඔය අතරතුරදීත් නාට්‍යවල රඟපෑවා. මේ අතරේ මට කල්පනාවට ආවා මෙහෙම ඉඳලා හරියන්නෑ, අතට කීයක් හරි එන්න වැඩක් කරන්න ඕනේ කියලා. එහෙම හිතලා තමයි මම අංගරචනා පැත්තට යොමුවුණේ.

අංග රචනා ශිල්පීයකු විදිහට ප්‍රථමයෙන් ඔබ දායකත්වය දක්වන නාට්‍ය මොකක්ද?

රුවන් මාලිගා නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඒ දෙදහස් එකොළහ වර්ෂයේ විතර. මම එහි සහය අංගරචනා ශිල්පීයා. ප්‍රථම වතාවට ප්‍රධාන අංග රචනා ශිල්පියා විදියට දායකත්වය ලබාදෙන්නේ තරුමලී නාට්‍යයට. ඊට පසුව නාලන් මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණ අධ්‍යක්ෂවරු යටතේ මම අංගරචනා ශිල්පියකු විදියට වැඩ කරනවා. අග්නි පියාපත්, හාරකෝටිය, කෝටිපතියෝ සිල්ලර සමනල්ලු, ලංසුපතිනියෝ, හුස්ම වැටෙන මල්, අමුතු රසිකයා, දුවිලි අහස වැනි නාට්‍ය නම් වශයෙන් ගන්න පුළුවන්. මේ අතරින් මම මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේදී දුවිලි අහස නාට්‍යයේ අංගරචනය වෙනුවෙන් හොඳම අංගරචනයට හිමි සම්මානයට නිර්දේශ වෙනවා. චාමර සමරවික්‍රම, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර යන ත්‍රිපුද්ගල එකමුතුවෙන් සෑදුනු නිර්මාණ ගණනාවක අංගරචනා ශිල්පියකු විදිහට මම දායකත්වය දැක්වූවා. නඩගම්කාරයෝ නිර්මාණය වන්නේත් ඒ තුන්දෙනාගේ එකතුවකින්.

අංගරචනා ශිල්පියකු විදිහට නාඩගම්කාරයෝ සඳහා දායකත්වය ලබාදෙන අතරතුරදී ඔබ නළුවෙකු ලෙසද ප්‍රේක්ෂකයන් හමුවෙනවා.

ඒක අභියෝගාත්මක කාරණයක්. ගමේ ජීවත්වන සුරංග නමැති චරිතයයි මම රඟපාන්නේ. මාස්ටර්ගේ ගෝලයා විදිහට තමයි හැමෝම හඳුන්වන්නේ. මම මේ නාට්‍යයේ රඟපාන්න හිටියේ නැහැ. හදිසියේම සහය අධ්‍යක්ෂවරයා මට දැන්නුවා වාසනා උඹට චරිතයක් තියෙනවා කරන්න කියලා. මම එතකොට දෙවතාවක් හිතුවා. මොකද ඒ චරිතය රඟපාන්න තියෙන්නේ මාස්ටර්ගේ ලොකේෂන් එකේ. මාස්ටර්ගේ පන්තිය තියෙන දවස්වල විසිපස් දෙනෙකු විතර ඉන්නවා මේකප් කරන්න. අධ්‍යක්ෂවරයා හතහමාරට විතර රූපගත කිරීම් ආරම්භ කරනවා. මම ඒ වෙනකොට ඒ සියල්ලන්ව මේකප් කරල තියෙන්නෙ ඕනේ.ඊට පස්සෙ මගෙ චරිතෙට ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. මම ඒ අභියෝගය බාර ගත්තා. පළමු දවස් දෙක තුන මට ඇත්තම කිව්වොත් චරිතය ටිකක් ග්‍රහණය කරගන්න බැරි වුණා. නමුත් කාලය ගතවෙද්දී මම ඒ සියලු කාර්යයන්ට අනුගත වෙලා සුරංග ගේ චරිතය හොඳීන් නිරූපණය කෙරුවා. 

දැන් ඔබ දිගින් දිගටම නළුවෙක් විදිහට දායකත්වය ලබා දෙනවාද?

මෙහෙමයි මට නිර්මාණ කිහිපයකට රඟපාන්න එන්න කියලා ආරාධනාව ලැබුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. චාමර ජනරාජ් පීරිස් මහත්මයාව. ඔහු මටම චරිතයක් ලියලා එක රඟපාන්න කිව්වා. නමුත් මට තියෙන ප්‍රශ්ණේ මගේ වෘත්තිය අංග රචනයනෙ. මම රඟපාන්න ගියොත් මට හිතෙනවා මගෙ වෘත්තීය හරියට කරගන්න බැරි වෙයි කියලා. මම අංගරචනයෙන් දායක වන නිර්මාණයක චරිතයක් තිබුණානම් මම ඒ ලොකේෂන් එකේම ඉන්න නිසා මට බය නැතුව රඟපාන්න පුළුවන් වෙයි. නමුත් මම වෙනමම නළුවෙක් විදිහට රඟපාන්න පටන් ගත්තොත් ඇතැම්විට අධ්‍යක්ෂවරු මාව අංගරචකයකු විදිහට දායකත්වය ලබාගන්න කරන ආරාධනා ප්‍රමාණය අඩුවේවි කියලා මට බයයි. නමුත් මම අර විදිහට ඒ කිව්වේ මම අංගරචනයෙන් දායක වන ටෙලිනාට්‍යක චරිතයක් තිබුනොත් මම රඟපානවා කියන තැන මම ඉන්නේ.

ඔබේ පවුලේ විස්තර සඳහන් කළොත්?

මම විවාහකයි. බිරිය ඔශානි තෙන්නකෝන්, ලොකු පුතා වාදිත, පොඩි පුතා පෝෂිත.