කොහොමද ? ලේකම් මහත්තයා

අගෝස්තු 5, 2021

සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයක තියෙන සෑම චරිතයක්ම ජනප්‍රිය වන්නේ නැහැ. හැබැයි ඒ සම්ප්‍රදායෙන් මිදුණු නාඩගම්කාරයෝ නාට්‍යය විකාශය වන්නේ එහි සියලු චරිත පාහේ ඉහළ ජනාදරයට පාත්‍ර වෙමින්. නාඩගම්කාරයෝ කියන්නේ ටෙලිනාට්‍යයක් කියන කාරණාවද බොහෝ රසික රසිකාවන්ට අමතකයි. සමහරු හිතන්නේ මේ ටෙලිනාට්‍යයක් විදිහට යන්නේ ඇත්ත කතාවක් කියලා. එතරම්ම තාත්වික අන්දමින් ඒ නාට්‍යය නිර්මාණය වනවා. මේ ටෙලිනාට්‍යයේ ඉන්නවා ටිකක් අනාදරයට පාත්‍ර වන චරිතයක්. චරිතයේ ස්වභාවයටයි එහෙම වෙන්නේ. ලේකම් මහත්තයා තමයි ඒ චරිතය. එයට පණ පොවන්නේ සිල්වෙස්ටර් පියල් කියන නළුවා. සිල්වෙස්ටර් රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි. ඔහු ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්. හැබැයි අපි අද වැඩිපුර කතා කරන්නේ නාඩගම්කාරයෝ නාට්‍යයේ ලේකම් මහත්තයා ගැනයි.

 

ඔබ රඟපාන ලේකම්වරයාගේ චරිතය ඉතාම ජනප්‍රියයි?

අනේ ඔව්. දිගු කාලයක් මම විවිධ චරිත කළා. හැබැයි මේ විදිහේ අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණේ නාඩගම්කාරයෝ චරියෙන් තමයි.

 

කලින් රඟපෑ නිර්මාණ මතක් කළොත්?

ටෙලිනාට්‍ය රැසක මම රඟපාලා තියෙනවා. මම ගොඩක් ජනප්‍රිය වුණේ කෝටිපතියෝ නාට්‍යයේ රෝසගේ චරිතයෙන්. ගැහැණු ළමයි, පාන් බට්ටා, ආදරේ අහස තරම්, සුදු ගින්දර, හිරු ඇවිදින්, වගේ නාට්‍යවල උප ප්‍රධාන චරිත මම රඟපෑවා කෝටිපතියෝ සහ නාඩගම්කාරයෝ නාට්‍යවලින් තමයි ගොඩක් ජනප්‍රිය වුණේ.

 

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයක් වුණාට සමහර පිරිස් ආගමක් වගේ එය සලකනවා කියලා ඇතැම් අය කියනවා?

ඔව්. ඒක අපිටත් දැනිලා තියෙනවා. ඇත්තටම ඒක නිර්මාණයක් පමණයි. සමහරු හිතනවා මේ ඇත්ත ජීවිතයක් තමයි අපි මේ ගත කරන්නේ කියලා. ඇත්තටම ප්‍රේක්ෂකයෝ අසීමිත අන්දමින් නාඩගම්කාරයෝ නාට්‍යයට ආදරේ කරනවා. හැබැයි ඒක තමන්ගෙ ජීවිතේම කරගන්න නරකයි. මේ වන විට කියාගන්න බැරි තරම් පිරිසක් ටෙලිනාට්‍ය දර්ශනතලයට ඇවිල්ලා නාට්‍ය රූපගත කිරීම් බලාගෙන ඉන්නවා. සමහරුන්ට මේක නාට්‍යයක් කියලා අමතක වෙලා ෂූටිං වෙලාවෙත් අපිත් එක්ක ෆොටෝ ගන්න එනවා. මේ වෙලාවේ බොහොම කරුණාවෙන් පැහැදිලි කරන්න වෙනවා. විශේෂයෙන්ම ගමේ අය හරිම ආදරෙයි අපිට. ඒ ආදරේ හින්දා කන්න බොන්න එහෙමත් අරගෙන එනවා.

 

ඒත් ඔබේ චරිතයට මිනිස්සු වෛර කරනවා නේද?

චරිත ස්වභාවයට එහෙම තමයි. මිනිස්සු මගේ චරිතයට කැමැති නෑ. එක් අවස්ථාවකදී සරාගෙයි මගෙයි ෆයිට් එකක් තියෙනවා. මම ඔහුගෙන් ගුටිකයි කියලයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ.

 

ඔබ නළුවෙක් පමණක් නෙමෙයි. නිෂ්පාදකවරයෙක් ලෙසත් ටෙලි නිර්මාණයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ?

ඔව් ඒ නාට්‍යයේ නම මනුසත් විමන. මම නිෂ්පාදනය කරපු එය ළඟදීම විකාශය වන්නට නියමිතයි. ඒ නාට්‍යය මම කළේ මගේ රංගන ජීවිතයේ නව මානයක් සොයාගෙන යන්න. මම එහි රඟපානවා භද්‍රජීවන් කියලා ගුරුකම්වලින් කෝටිපතියෙක් වුණු ව්‍යාපාරික චරිතයක්. මට වැඩිපුරම රඟපාන්න තිබුණේ නිළි රැජන මාලිනී ෆොන්සේකා එක්ක. ඒක ඇත්තටම සුවිශේෂී අත්දැකීමක්. මේ නාට්‍ය පිටපත ලබා දෙද්දී මාලනි මහත්මිය අහල තිබුණා භද්‍රජීවන්ගේ චරිතය රඟපාන්නෙ කවුද කියලා. ඊට පස්සේ චරිතය රඟපාන්නේ මම කියලා දැනගත්තට පස්සෙ ඇය මට කිව්වා සුදුසුම කෙනාට තමයි මේ චරිතය ලැබිලා තියෙන්නෙ කියලා. ඒකම කොච්චර ලොකු ආශිර්වාදයක්ද.

 

මේ දවස්වල නිෂ්පාදකවරු නිර්මාණවලට අතගහන්නට පෙර දෙවතාවක් හිතනවා?

ඒක ඇත්ත. මම අර කිව්ව වගේ මගේ රංගනයේ වෙනස් හැඩයක් පෙන්වන්න මගේම නිර්මාණයක් කරන්න ඕනේ කියලා මං කාලයක් තිස්සෙ හිතාගෙන හිටියා. ඒ වගේම හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දායාද කරන්නත් අදහස් කළා. ඒ නිසා මං ඒ වෙනුවෙන්ම යම්කිසි මුදලක් වෙන් කළා. මට හිතුණා ඒක ලාභයක් ඇතත් නැතත් මං ඒ මුදල ටෙලිනාට්‍යය වෙනුවෙන් වෙන් කරනවා කියලා. ඒ නිසා මගේ හිතේ තිබුණු හීනයක් සැබෑ කරගත්තා පමණයි. ලාභය දෙවනුව හිතනවා.

 

නළුවෙක් නිෂ්පාදකවරයෙක් ලෙසට වැඩ කටයුතු කරන්නට පටන් ගත්තට පස්සේ බොහෝ විට රංගන ශිල්පීන්ට වැඩ නැති වෙනවා කියලා මතයක් තියෙනවා?

අවංකවම මට නම් එහෙම දෙයක් වුණේ නෑ. මේ ඉදිරි නිර්මාණවලටත් මට දැනට කතා කරලා තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ නාඩගම්කාරයෝ අධ්‍යක්ෂ සිවගුරුනාදන් මහත්මයා. ඒ වගේම නිෂ්පාදක චාමර සමරවික්‍රම සහ පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර කියන තුන්දෙනාව. ඔවුන්ගේ නිර්දේශය මත තමයි මට මේ චරිතය ලැබුණේ.