මේ වගේ පියෙක් ලබන්න පින් කරලා තිබුණා

නිහාල් නෙල්සන්ගේ පුතු තරංග නෙල්සන් කියයි
ඔක්තෝබර් 26, 2023

"මේ මිහිපිට මම දකින හොඳම අම්මායි තාත්තායි කියන්නෙ මගේ අම්මයි තාත්තායි කියා මං විස්වාස කරන්නෙ...අම්මාගෙ තාත්තාගෙ එකම පුතා හැටියට උපදින්නත් මං සංසාරේ කෙතරම් පින් කරන්න ඇතිද කියලත් මට දහස්වර හිතෙනවා..ඇත්තමයි මගෙ තාත්තා අපරාජිත චරිතයක් කීවොත් එය ඇත්තමයි "

ඔහුගේ කටහඬ බිඳුණු ස්වරයකි..නිවැරදිව කිවහොත් ඒ හඬ හැඬුම්බරය ..තම මවුපිය දෙපළ ගැන මහත් අභිමානයකින් හා ගෞරවයකින් යුතුව උදම් ස්වරයකින් කතා කරන ඔහු තවත් බොහෝ දේ කියා යන්නේය..

සරසවිය වෙනුවෙන් මෙවර අප සුහද පිළිසඳරට නිමිත්ත වන්නේ සුවහසක් ගීත ශ්‍රාවකයන්ගේ ආදරයටම පාත්‍ර වූ සුප්‍රකට ගායන ශිල්පියෙකි..සිරුරින් දැවැන්තයකු නොවූවද හෙතෙම අපූර්වතම පෞරුෂත්වයකින් යුතු අයකු යැයි මට හැඟේ...එතුමා අන් කවරකු හෝ නොව අපේ සොඳුරුතම නිහාල් නෙල්සන් නම් ආදරණීය ගායන ශිල්පියා ය...

එතුමාගේ එකම පුත්‍රරත්නය වන තරංග නෙල්සන් තරුණයා දැන් මා සමීපයේය...පියාණන්ගෙන් තම ජීවිතයට උකහාගත් වටිනාකම් ගැන පුතු තරංග කියන්නේ සිතෙහි නිදන් වූ වන්දනීය හැඟීමකිනි..

"මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න මං ගොඩක් පින් කරල ඇති..අපේ තාත්තා ප්‍රතිපත්ති ගරුකයි..යමක් කරන්නෙ නැහැ කියා යම් තීන්දුවක් ගත්තොත් තමන්ට මොන තරම් අවාසි පාඩු සිදුවුණත් ඒ මතය වෙනස් කරනවා නම් බොරු..අපේ තාත්තාටම ආවේණික දර්ශනයක් තිබුණා ...මනුෂ්‍ය ගුණධර්ම හා බැඳුණු ඒ දර්ශනයට මං අදත් හදවතින්ම ගෞරව කරනවා..."

නිහාල් නෙල්සන් නම් සුපතල ගායකයාගේ පතු තරංග එසේ කියන්නේය..

මම ඔහුට සවන් දී පසුවෙමි.

අපේ ආදරණීය නිහාල් නෙල්සන් නම් සොඳුරු කතා නායකයාගේ උප්පැන්නයේ නමද නිහාල් නෙල්සන්මය..එහි පෙළපත් නම් කිසිවක්ම නැති .1946ක්වූ ජනවාරි මස 09 වන දින මෙලොව එළිය දුටු ඔහුගේ මවුපියන් වූයේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ සී.හෙන්ද්‍රික් මහතා සහ ඉංග්‍රීසි ගුරුවරියක වූ ප්‍රේමවතී වීරවර්ධන මහත්මිය ය..මොරටුවේ උපන් මේ මවුපිය යුවළගේ එකම පුතු නිහාල් මූලික අධ්‍යාපනයට ගියේ ගමේ රෝමානු කතෝලික විදුහලටය..වැඩිදුර ඉගෙනුමට මොරටුව මහා විදුහලට ගියේය..ඉන්පසුව හෙතෙම වැල්ලවත්තේ පොලිටෙක්නික් නම් අධ්‍යාපන ආයතනයට යමින් සිංහල හා ඉංග්‍රීසි යතුරු ලියනය මනාව හැදෑරුවේය..

"අපේ තාත්තා පුංචි කාලෙ ඉඳන්ම ඉගෙනුමට උනන්දුවෙන් වැඩ කළේ..දහම් පාසලටත් ගියා. එහි කවිධජ හිමිගේ භාවනා මධ්‍යස්ථානයේ භාවනාවට ගියා..පස්සෙ ඒ හිමියන් එක්කම මහමෙව්නා භාවනා අසපුවේ භාවනාවට ගියා. ආගම දහමට තාත්තා හරිම භක්තිමත්..

අපෙ තාත්තා ට සංස්කෘත පාලි කතා කරන්නට වගේම ලියන්නත් දන්නවා.."

පුතු තරංග කියන්නේය..

අපේ ආදරණීය කතා නායකයා ගමේ විහාරස්ථානයේ දොරකඩ අස්න පින්කමේදීද ඉදිරියෙන්ම සිටියේය..පිරිවෙන් අධ්‍යාපනයද ලද හෙතෙම හැමදාම කළේ ඉගෙනීම යැයි තරංග පුතු කීවේය.

පාසල් සමයේදී සාහිත්‍යය සංගම් හා විවිධ සමිතිවලටද බැඳී සිටිමින් එහි කැපී පෙනෙන චරිතයක්ම විය..කුඩාවියේ සිටම ගායනයට උපන් දක්ෂතාවයෙන් පසුවූ ඔහුට පාසලේ විවිධ සමිතිවලදී ගීත ගයන්නට ද මිතුරෝ ඇවිටිලි කළහ...

"අපෙ තාත්තා ඒ පාසල් කාලයෙදිත් ගායනා කළේ අනුන්ගේ සින්දු නෙවි. තාත්තාම පද රචනය කරපු ගීත. සංගීතයත් හදාරමින් එහි තනු නිර්මාණය කළෙත් අපෙ තාත්තාමයි.

ගුරු භවතුනටද කීකරු සිසුවකු වූ අපේ ආදරණීය නිහාල්ගෙන් දිනෙක පියා විමසුවේ පුතා අනාගතයේදී කවුරු වෙන්නද කල්පනාව කියාය..ගත්කටටම ඔහුගේ පිළිතුර වූයේ මං ලොකු වුණාම හොඳ ගායකයකු වෙනවාමයි යනුවෙනි..ඉන් පියාගේද මවගේද මුහුණු ඇඹුල්ව ගියාක් මෙනි..එහෙත් කිසිවකට පුතුට බලකර කියන්නකු නොවන පියා නිහඩව සිටියදී මව ද කරබා ගන්නට වූවාය..ඉලක්කයක් වෙනුවෙන් හේ ඉදිරියටම යන්නේය...

"අපෙ තාත්තා ට ජීවිතය පිළිබඳව දැක්මක් තිබුණා ..හිතේ යම් සැලැස්මක් තිබුණා කියා මම හිතන්නෙ..තාත්තා හිතන විදිහ..වැඩ කරන විදිහ හරිම පිළිවෙළයි...මට වුණත් මේ දේම කරන්න කියා කවදාවත් බලකරල නැහැ..මේ දේ කළොත් වෙන්නෙ මේ දෙයයි කියා නම් නිතර කියනවා..එහෙම තේරුම් කරද්දි මට වැටහෙනව මෙය මා කරනවාද නැද්ද කියලා..සමහර අවස්ථාවලදි නම් එහෙම තාත්තාගෙ වචනය අහන්නෙ නැතිව කරල සවුත්තු වෙච්ච අවස්ථාද නැත්තෙ නැහැ..ඒ වෙලාවට තාත්තා කියනව පේනව නේද වුණදේ කියලා..හැමදේකදිම තාත්තා මගෙ පස්සෙන්ම ඉඳන් හැමදේම කියා දුන් හැටි මට මතක් වෙනවා.."

තරංග බිම බලාගත්වනම ය..තාත්තා සමග ගෙවූ අතීතයේ රැඳී මතකයන් අතරේ පසුවන බවක් මට පෙනෙයි..

යමක් මතක්වූවාක් මෙන් තරංග මදෙස බලයි..සිනාසෙයි..

"අපෙ තාත්තා ඉතිං සංගීතයටමනෙ කැමැත්ත ..ඉතිං මිතුරන් එක්ක එක එක සාද වලට යනවා සින්දු කියන්න..ඔහොම දවසක තාත්තා සින්දු කියන හැටි බලා ඉඳපු කෙනෙක් තාත්තා ළඟට ඇවිදින් කතා කරල තියෙනවා..තාත්තාගෙ ගායනය ගැන එතුමා පැහැදිලා .."

එදා සාදයේ ගී ගැයූ අපේ ආදරණීය කතා නායකයා වෙත පැමිණියේ එවක ප්‍රකට ගායකයකු ද වූ සංගීතවේදී ඒ.ජේ.කරීමි මහතාය..කරීම් මහතා මුව නොසෑහෙනසේ වර්ණනා කොට පසුදාම බම්බලපිටියේ කිසියම් තැනක් සඳහන් කොට එතැනට එන්නැයි පවසා සිටියේය...

අපේ නිහාල් පසුදාම එතැනට ගියේය..ඔහු දෑස් මහත් විණි..එහි සිටි පිරිස දුටු හේ තමන් පැමිණ ඇත්තේ සංගීතයෙහි සපන්කම් පානා අය අතරට නොවේදැයි මවිතව සිටියේය..කරීම් මහතා ඔහුට ගයන්නට කීවේය..ඔහු ගැයුවේය..එහිදී ප්‍රකට සංගීතඥයකු වන ආර්.ඒ චන්ද්‍රසේනයන් ඔහුගේ ගායනයට පැහැදී මරදානේ පිහිටි එතුමාගේ නිවසට කැඳවා ගියේය..

පසුකලෙක පැවිදි බිමට පත් සරත් මුණසිංහයන් ගීතයක් ලියා දුන්නේය..ආර්.ඒ. චන්ද්‍රසේනයන් එය සංගීතවත් කළේය...ආර්.ඒ චන්ද්‍රසේනයන්ගේ අ.ඒ.ඛ් තැටියේ පළමු ගීතය ලෙසින් ගුවන් විදුලියේ වෙළඳ සේවය ඔස්සේ ඔහුගේ මුල්ම ගීතය වන "ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල්.." ගීතය එදා ශ්‍රාවකයා අදරින් වැලඳ ගත්තේය..ඒ 1963 ක්වූ මාර්තු මස 31 වනදා පෙරවරුවේ 11.20 ටය..තම ජීවන වෘත්තීය ගායනය යැයි තරයේ සිත තබා හුන් හෙතෙම නොනැවතී ඉදිරියටම ගියේය..

තරංග මා සමඟ පිළිසඳෙර්ය..

"අපෙ තාත්තාගෙ ජීවිතයම කියන්නේ හැමදෙයක්ම රසවත් සිදුවීම් තමයි..අපේ තාත්තා හැම දෙයක්ම බාරගන්නේ සුභවාදී මනසකින්..ඇත්තමයි තාත්තා සැලෙන චරිතයකුත් නෙමේ..යම් දෙයක් නැවැත්තුවා කියා තීරණයක් ගත්තාය කියා හිතමු..ඒ තීරණය එහෙමමයි..කෙතරම් පාඩු අවාසි සිදුවුණත් තාත්තාගෙ ඒ තීරණය වෙනස් කරන්නෙ නැහැ..තාත්තා ඉස්සර සිගරට්..මත්පැන් එක්කම ඉඳල තියෙනවා..තාත්තා පොතපතට හරිම කැමතියි ..පොත් කියැවීමත් තාත්තාගෙ පුරුද්දක්..ඒ පුරුද්දෙන් ම තාත්තා දුම්වැටි..මත්පැනින් ඉවත් වෙන්න ගත්ත තීරණය හැමදාමත් එහෙමමයි..ඒ එයාගෙ හැටි...ප්‍රතිපත්ති මත ජීවිතය ගෙනගියේ..භාවනාවට කැප කළ කාලය නැතිව ගියා සංගීත කටයුතු එක්කලම.."

හැමදා උදේ හවා බුදුන් නමදින සිරිතෙන් පිරිපුන් අපේ ආදරණීය කතා නායකයා තමන් වෙතින් උදව්වක් ඇවැසි තැන දෙවරක් නොසිතා එය ඉටු කළේය...පිළියන්දල ..මාකන්දන විහාරස්ථානයට හේ නිතර යන්නේය..දේව රූපවලට යාතිකා කොට යනෙන බැතිමතුන් දුටු හෙතෙම එහි සතර මහා දේවාලයක් තනවා දුන්නේය..පන්සලට සේම කෝවිලටද..පල්ලියට ද යාමේ සිරිතකින් පසුවූ අපේ ආදරණීය කතා නායකයා තුළ ආගම දහම හා දේව සංකල්පනා පිළිබඳව අන්ධ භක්තියක් නොවූ බවද පුතු තරංග කියන්නේය..

කිවයුත්ත මුහුණටම කියනා ඔහු සිතෙහි කිසිවිටෙක අනිකකු කෙරෙහි තරහක් නූපදී..

"ළමයෙක් හරි නිහාල් අන්කල් මේක හොඳ නැහැ..හරි නැහැ.."කියා කීවත් එයත් හොඳ හිතින් බාරගන්න සිරිතක් තාත්තාට තිබුණා ..ඒ දරුවා මට මෙහෙම කිව්වනෙ..කතාව ඇත්තනෙ..කියා ගෙදරදිත් මතක් කර කර තාත්තා කියනවා මට මතකයි.."

මිතුරකු තම පෙම්වතිය බලන්නට යන ගමනට අපේ ආදරණීය නිහාල්ද කැටුව ගියේය...දැන් එම නිවසේ පසුවෙද්දී ඔහු නෙත ගැටුණේ මිතුරාගේ පෙම්වතියගේ වැඩිමල් සොහොයුරියය..රුවැත්තියක වන ඕ දුටු සැණින් ඔහු සිත නැවතුණේ ඈ වෙතමය..එසැණින් අපේ කතා නායකයා ඇයගේ මවුපියන් විචාළේය..

"මං එයාව විවාහ කරගන්න කැමතියි.."

ඇයගේ මවුපියන් එකවරම ඇසූ කාරණයෙන් පුදුමයටද පත්වෙමින් විරුද්ධත්වයක් නොපෑවේය..එහෙත් පසුකලෙක ඇසුණේ.."නිහාල් ඒක අහපු විදිහට විරුද්ධ වන්නට නොහැකිම වූ කතාවෙකි..සෘජු කතා සිරිතෙහිද ප්‍රකට හෙතෙම ඇය හා අතිනත ගත්තේය..ඔහුගේ ජීවන සහකාරිය වූ ඕ තොමෝ මාලි නෙල්සන් මෙනවියය. සිය හිමිට විසල් රුකක් බඳු වූ ඕ අපේ කතා නායකයාට දැක්වූයේ නොමඳ ගෞරවයකි. ඉහවහා ගිය ආදරයකි..

විවාහයෙන් පසු ලද එකම පුත්‍ර සම්පත ඔහුට ලොවම දිනුවා වැන්න...තම පුතු නමින් ගීතයක් ලියා ගායනා කළයුතුම බව සිතා එම ගීතය රචනා කළේ තම සංසාරගත කලණ මිතුරා වන වර්නන් පෙරේරා නම් ගායන සංගීතවේදියා සමඟය..

"කිරට හඬන පුංචි පුතේ මවට තුරුලු වී...ඉන්න දඟ නොවී .."

එකම පුත් තරංග නමින් එදා ලියැවුණු ගීතය එයය..ඔහුගේ ගීත බොහොමයකදී වර්නන් මිතුරාගේ එකමුතුවද තිබිණි ...

අපේ ආදරණීය කතා නායකයා මංගල උත්සවයකට..ප්‍රිය සාදයකට ගියද කිසිවක් නොකා නොබී ගෙදරටම ඇවිදින් ප්‍රිය බිරිඳ සමඟින් අහර ගන්නේය..ඇයද ඔහු එනතුරු පැය ගණනක් වුවද නිරාහාරව මග බලා හිඳී..

"අපෙ තාත්තාට ඔය අලුත් හෝ පරණ කියා බේදයක් නම් නැහැ..ගීතයක හරය වටී නම් තාත්තා එය ඉහළින්ම වර්ණනා කරනවා..තාත්තා පන්සල් පල්ලි කෝවිල් වලට උදව් කරද්දි ඒ හැම දෙයකදිම ඒවා අම්මාගෙ යෝජනා...අම්මාට හොඳීන් සවන් දෙන සිරිතක් තාත්තා ළඟ තිබුණා ..කවදාවත් අපේ ගෙදර සැර වචන..අඬදබර..මුකුත්ම ඇහිලා නැහැ..ඒ තරම් අම්මයි තාත්තායි හරිම සමගියි..ගෙදරින් පිටව ගිහින් ආවාම තාත්තා ආ ගිය විස්තර හැමදේම අම්මා එක්ක කියනවා..අම්මාත් එහෙමමයි..

ම්..ම්..නැහැ..තාත්තා ලොකුවට මුකුත්ම ඇඟට ගන්නෙ නැහැ..බෞද්ධ දර්ශනය මත පිහිටා තමයි තීරණ ගන්න බලන්නේ..ඇත්තමයි ..අපෙ තාත්තා අපට ආදර්ශවත් පියෙක්මයි..දන්නවද මන්දා ඔයා...

මගෙ තාත්තා මට එක දවසක්වත් පහරක් ගහල නැහැ..එයා හිතන ..වැඩ කරන..ජිවිතේ දිහා දකින විදිහෙන් අපට බොහෝ දේ ඉගෙන ගන්න දේවල් තිබුණා ..විහිළුවක් කළත් එයිනුත් වටිනා දෙයක් ගන්න තිබුණා .."

පුතු තරංග කියන්නේය..

දැන් අපේ කතා නායකයා ගී ලොව හිණිපෙත්තේය...වර්නන් පෙරේරා හිතමිතුරාසේම එච් ආර්. ජෝතිපාලයන්ද නිතර ගෙදරට එයි..තම හිතාදර ජෝතිට සතරවටින් කෙණහිලිකම් එද්දී...ජෝති වෙනුවෙන් ඔහු හඬ නැගුවේය...එච්..ආර්. යනු හදවත රත්තරන් ...යැයි හේ හඬ ගා කීවේය..නිවසට ජෝති එන්නේ පුතු තරංග අසාගෙනය...

අපේ සොඳුරු කතා නායකයාගේ ප්‍රේමණීය බිරිඳ වියෝ වූවාය..පුතු තරංග කම්පිතව හඬා වැටෙන්නේය..පුතු තම සමීපයට ගත් තාත්තා මෙසේ කීවේය.

"පුතා..අපි අඬනකොට අම්මට පව් සිදුවෙනවා..අපි අඬන්න හැපෙන්න ඕනෙ අපෙන් අම්මාට යන්තමින් හරි වරදක්..අඩුවක් හෝ වුණා නම්..අපි අම්මාව හැමදාම සතුටින් තිබ්බා..අම්මා විඳවන ජීවිතයක් ගත කළේ නැහැනේ.."

ඔහු පුතු සැනසුවේ එලෙසිනි...

"කවදාවත් තාත්තා මානසිකව වැටී උන්නු දවසක්වත්..හඬාපු දවසක්වත් මං දැකලා නැහැ..ඒත් ..එදා අපෙ අම්මා නැතිවූ දවසේ තමයි තාත්තා දුකින් ඉන්න බව මං දෑහින් දැක්කෙ."

"අපේ තාත්තා ගීත කැසට් පට 112 ක් කළානෙ...ඒ කාලෙ තිබුණෙ කැසට් . තාත්තා ගීත ඇල්බමයක් කළානෙ.

කොහොම හරි කැසට් විසි වුණා සී.ඩී ආවට පස්සෙ ..තාත්තා ගයපු ගීත වලින් 95%ක්ම තාත්තාගෙම තනු නිර්මාණ ...ගීතවලින් 75%ක් පමණ තාත්තාම ලියපු ඒවා...තාත්තා හිතන්න වගේම ලියන්නත් දක්ෂයිනෙ..

තාත්තා රටපුරා ප්‍රසංගවලට යනවා..මාවත් බලාගෙන අම්මා ගෙදරටම වී උන්නා..කවදාවත් තාත්තා කිසිම දෙයකට බාධා කරන්නෙ නැහැ. පුතා ඔයා මගෙ ගීතත් ගයන්න..ඒ වගේම ඔයාගෙම කියල ගීතත් ඔයා ගයන්නම ඕනා..ඔහොමයි තාත්තා මට එදා නිතර කිව්වෙ.."

පුතු තරංගගේ හඬ දුක්බර යැයි මට සිතේ..ඒ අපේ කතාබහ නිසාවෙන් යැයිද හැඟේ..

අපේ ආදරණීය තරංග පිළිබඳව ද කිවයුතුය..තරංගද සංගීත අඩවියට මේ වනවිට පා තබා ඇත්තේය..ප්‍රසංග වේදිකාවේ යම් අගැයුමකටද පාත්‍ර වී ඇත්තේය..

"මං ගුවන් විදුලියේ වැඩ කළේ..සංගීත කටයුතු නිසා ඉන් ඉවත් වුණා..ජනවාරියේදී මගේම කියා ගීත ගයා එළිදක්වන්නයි දැන් සිටම සූදානම් වන්නේ..කලබලේ ගමනට වඩා සෙමින් ගමන් වටිනවනේ..

තාත්තාගෙ ගීත වෙන අය ගයනවට විරුද්ධ නැහැ..ඒත් අපේ රටේ වෙන්නෙ ගයනවාට වඩා එය විකෘති කරලා..තමන්ගේ නමකුත් දමාගෙන ලොකු හානියක් කරන එකටයි මම විරුද්ධ .. අද සල්ලි තියේනම් ගායකයෙක් වේවි.. ජනප්‍රිය වෙන්නත් පාරවල් හැදිල තියෙන්නෙ..මොකද..අපෙ තාත්තා වගේ ඒ කාලෙ අය බොහොම දුක් විඳල කරපු නිර්මාණ නිසා මම තාත්තා වෙනුවෙන් පෙනී සිටිනවා..මෙතැන මම නැතිව සිටියොත් තාත්තාගෙ නිර්මාණවලට කුමන විදිහේ ඉරණමක් අත් වේද කියා මම හිතන්නෙ.."

තරංගගේ ඒ කතාව ඇත්තමය...

තරංග ගේ බිරිඳ ගයනි කංචනාය..තරංගගේ මව 72වන වියේදී වියෝවනවිට ඔහුගේ එකම දෝණියට මාස 9කි. ඒ 2022 වසරේදීය.

සිය බිරිඳ මියයාමෙන් පසු අපේ ආදරණීය නිහාල්ගේ සිත පාළුව මකාගත්තේ තම පුතුගේ දියණිය උකුළේම තබා කල්ගත කිරීමෙනි..දැන් අපේ නිහාල්ද වියපත්ය..එදා ප්‍රසංග වේදිකා මත ගී ගයා මහ රෑ ජාමේ ගෙදරට ආවද පාන්දර 4 වනවිට අවදිවන සිරිත තවමත් ඔහුට තියේ.

සිරිතක් ලෙසින් මාස තුනකට වරක් පවුලේ වෛද්‍යවරයා හමුවී සෞඛ්‍ය තත්ත්වය දැන මැන එයි. එහෙමටය කියා අසනීපයක් තමන්ට නොමැති වීමද ඔහුට අස්වැසිල්ලක්මය..

එවක කතාවක්ද මෙසේයැ. ආර්.ප්‍රේමදාස මහතා අපේ කතා නායකයාට දැක්වූයේ සමීපබවකි..ඔහුගේ විවිධ උත්සව වලදී ඔහු ගී ගැයුවේය..

දිනෙක නිවසටම පැමිණියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළම නිලධාරියෙකි..

අපේ ජනාධිපතිතුමා කිව්ව බණ්ඩාරනායක සමරු රඟහල ළඟම තියෙන ලොකු ඉඩම නිහාල් මහත්තයාට දෙන්න කියලා..ඒ වැඩේටයි මම ආවේ.."

අපේ කතා නායකයා අදීන බව යළිත් පසක් කළේය.

"මට එපා..මම එපා කිව්ව කියන්න.."

"එහෙම ගිහින් කිව්වාම ලොක්කාගෙන් මට ලෙඩක් වැටෙනවනෙ" නිලධාරියා කීවේය.

"එහෙම වෙන්නෙ කොහොමද..ඔයා එතුමාට කියන්න නිහාල් ඉඩම එපා කිව්ව කියලා..හරිනේ"

නිලධාරියා නිහාල්ගේ බිරිඳ දෙසට හැරුණේය..

"ඔබතුමියවත් නිහාල් මහත්තයාට තේරුම් කරල දෙන්නකො.. ඉන්න එකම දරුවා වෙනුවෙන්වත් මේක ගන්න කියලා...ඉඩම එපා නම් කලාපුරයෙ නිවාස දෙකක් තියෙනව..ඒක ගන්නවද.?

එතැනදී අපේ කතා නායකයා ගත්කටටම කීයේ මට මුකුත්ම එපා..මහත්තයෝ..මම හම්බ කරල තියෙන්නෙ මගේ පවුලේ අයට...වේදිකාවට ඇවිත් සින්දුවක් කීවාම මට ගෙවීමක් කළාම ඇති..වෙන මුකුත්ම මට එපා කිව්ව කියලා ගිහින් එතුමා ට කියන්න"

නිලධාරියා පිටව ගියේය..

පසුකලෙක කලාකරුවන් රැස්වූ උත්සවයකදී ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා අපේ කතා නායක නිහාල් නෙල්සන් කලාකරුවා පෙන්වා සැමටම කීයේ "මේ අපේ නිහාල් වගේ අදීන චරිතයක් වෙන්න..කාගෙන්වත් වරප්‍රසාද බලාගෙන නොසිට තම දෙපයින් අදීනව සිටින ආදර්ශවත් මනුස්සයෙක් හැටියටයි මම නිහාල්ව දකින්නේ.."

තාත්තාගේ උපන් දවසට පසුදා එනම් 10දා යෙදෙන්නේ තරංග පුතුගේ උපන් දවසය.. ගමේද කාගේත් ආදරය දිනූ නිසාදෝ නිවසට යන පාර ගමේ අයගේ එකමුතුවෙන් නිහාල් නෙල්සන් මාවත නමින් නම් කෙරිණි ..ඒ ඔහුගේ උපන් දිනය නිමිත්තෙනි. එදිනම අපේ කතා නායකයාට උපහාර පිණිස ගුවන් විදුලි සංස්ථාවේ කොරිඩෝවේ ඔහුගේ සේයාරුවක් ද විවෘත කෙරිණි ..

උදෑසන අවදි වූ පුතු තරංග තාත්තා නිවස තුළ නොපෙනුණු නිසා තාත්තා කොතැනකදැයි සොයන්නට විය...

"තාත්තා වොෂ් රූම් එකේ අපහසුවෙන් වගේ බිත්තියට හේත්තු වී නිහඩව හිටියා..මම තව අයියා කෙනෙක් එක්ක උස්සගෙන ආවා.."

ඔහු කිසිවක් කීවේද නැති.ඇසුවේද නැති...

"වෛද්‍යවරුන් කීවෙ සයිලන්ට් හාර්ට් කේස් එකක් තාත්තා ට ඇවිත් කියලා..අපෙ අම්මාටත් එහෙමමයි වුණේ..අම්මයි තාත්තයි දෙන්නාම මොහොතක්වත් විඳෙව්වෙ නැහැ..."

පුතු තරංගගේ දෑස තෙමී ඇතැයි මට හැඟේ..

සුවහසක් ගීත ලෝලීන්ගේ ආදරයටම බඳුන් වූ...කිසිවකුගෙන් රොස් පරොස් දොස් නොඇසූ...මනුස්සකම දෝතින් පිදූ අපේ සොඳුරු කතා නායකයා මෙලොව හැරපියා කා හට වත් නොකියා..නොදන්වා කොහේදෝ නික්ම යන්නට වූයේ 2022 ක්වූ දෙසැම්බරයේ 13 වනදාය..

 

 

සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල