ප්‍රචාරක පුවරු සිත්තම් කළ යුගයේ නළු නිළි රුව හැඩකළ සිත්තරා...

ප්‍රවීණ චිත්‍ර ශිල්පී තිලක් ගුණතිලක
ඔක්තෝබර් 26, 2023

පුංචි තිලක්ගේ නිවස පිහිටා තිබුණේ කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරය සමීපයෙහිය. ළදරුවිය ඉක්මවා පාසල් අවධියට පැමිණෙත්ම මෙම කොලු පැංචාගේ දෑස් යොමු වී තිබුණේම මෙම චිත්‍රාගාරය දෙසටයි. එහි අවට ගසා තිබූ දැවැන්ත චිත්‍රපටි ප්‍රචාරක පුවරු දෙසටයි. තිලක් පාසල නිමවී ගෙදර පැමිණි විගස කරන්නේ ඒ දෙස නිතරම බලා ඒවා රස විදීමටය. එවිට තිලක් ඉගෙන් ගනිමින් සිටියේ මහර කුමාර විද්‍යාලයේය. නිදහසේ සිටින සෑම වේලාවේම ඔහුගේ අවධානය තිබුනේම නව ජීවන චිත්‍රාගාරය වෙතය. එහි නිතර නිතර යන එන නළුනිළි යන් දෙසය. අටවන ශ්‍රේණිය දක්වා මහර කුමාර විදුහලෙ අධ්‍යාපනය ලැබූ තිලක් ද්වීතීක අධ්‍යාපනය කටයුතු සදහා ඇතුළත් වන්නේ කඩවත මහා විද්‍යාලයටය. එහිදී තිලක්ට බොහෝ ආර්ථික දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවිය. ඔහුගේ පියා (ඩී. ඩබ්ලිව් අප්පුහාමි) මහතා වරායේ රැකියාවක නිරත වූවෙකි. තිලක්ද ඇතුළුව ඔහුගේ පවුලේ සහොදර සහෝදරියන් හත් දෙනෙකි.මව ඩබ්ලිව් කරුණාවතී අල්විස් වන අතර ඔවුන්ට තම දරුවන් පෝෂණය කිරීම එතරම් පහසු වී නැත. එනිසා තිලක් උසස් පෙළ තෙක් ඉගෙන ගෙන රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුවිය. කොතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් තිලක්ගේ ආසාව වූයේම චිත්‍රපටි නැරඹීමටය. කෙසේ හෝ මුදල් සොයාගෙන යහළුවන් සමඟ චිත්‍රපටි බලන්නට යාමට තිලක් පුරුදු වී සිටියේය . ඒ චිත්‍රපටි බැලීමටත් වඩා අවට ගසා ඇති ඛ්භබධභබඵ බැලීමේ ආසාව නිසාවෙනි. වරු ගණන් මහත් ආසාවෙන්, මහත් ඕනෑකමින් ඒ දෙස බලාසිටි තිලක් කවදා හෝ රැකියාව වශයෙන් චිත්‍රපටි ප්‍රචාරක පුවරු ඇදීමේ කලාව බව තරයේම හිතට ගත්තේය. ඒ දැවැන්ත පුවරු දෙස බලා සිටි තිලක් "අනේ මටත් කවදා හරි මෙහෙම අදින්න පුළුවන් උණොත් " යන සිතිවිල්ල තිලක්ගේ තරුණ සිතට තදින්ම කා වැදී තිබුනි.

මෙතෙක් දිග හැරුණු තම වෘත්තීය ආරම්භය දක්වා වූ ගමන් මගෙහි කතානායකයා වන්නේ, ශ්‍රී ලාංකික සිනමාවේ චිත්‍රපටි පුවරු සිත්තම් කිරීමෙහිලා සැබෑම දක්ෂයෙකු වන චිත්‍ර ශිල්පී තිලක් ගුණතිලකය. තම වෘත්තීයේ ඉතිරි කොටසද එතුමා මා සමඟ පැවසුවේ ඉමහත් ප්‍රීතියකින් යුතුවය.

"ඔය විදිහට මගේ සිතේ පැළපදියම් වූ සිතිවිල්ල කෙසේ හෝ ජය ගන්නට මට ඕන උණා." "ප්‍රවීණ සිනමා රංගවේදියෙක් වගේම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් උණ ප්‍රේම් ජයන්ත් මහතා යටතේ තමයි මම මුලින්ම චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළේ".

"එතුමා යටතේ චිත්‍ර විෂය ඉගෙන ගනිද්දී මම ගොඩාක් අත්දැකීම් ලබා ගත්තා. " ඒ ආභසය, ඒ අත්දැකීම් නිසා තමයි මට මේ තරම් දුරක් එන්න පුළුවන් උණේ". තිලක් මහතා මා හා එසේ පැවසුවේ තමාගේ මුල්ම ගුරුවරයා වූ ප්‍රේම් ජයන්ත් මහතාට තම හදබැති ප්‍රණාමය පුද කරමිනි .

" ඔය අතරතුරේ මට කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා මහතාව මුණගැසුණා". "ඒ මගේ මාමා හරහා. මාමා එතුමා සමඟ චිත්‍රපටිවලට සම්බන්ධ වෙලා වැඩ කෙරුව. මගේ මාමා හොඳ කලාකරුවෙක්. එච්. පී. විල්සන්, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතා හඳුනාගැනීමෙන් පසුව මම ඒ මහතා ගාව ජභබධභබඵ අඳින්න අවස්තාව ලැබුණා". " මම ඒ රාජකාරිය භාරගත්තේ ඉතාමත් සතුටින් ." මොකද ඒකනේ මගේ එකම හීනේ වෙලා තිබුණේ. " ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට චිත්‍රපටි දැන්වීම් පුවරු අඳින්න අවස්ථාව ලැබුණේ."

වසරක පමණ කාලයක් පුවරු ඇදීමට කාලය ගතකළ තමාට මනා පුහුණුවක් ඒ තුලින් ලබා ගැනීමට හැකිවූ බව තිලක් මහතා පැවසුවේය.

" ඔය අතරතුරේ මට හිතුණා මගේ හැකියාවට යම් වටිනාකමක් ලැබෙනවානම් හොඳයි කියල. මොකද අපි ඒ කාලේ තරුණ වයසෙනේ". " වියදම් කරන්න අපිටම කියල කීයක් හරි තියෙනවා නම් කියල හිතුණා ."

ඊට පස්සේ මගේ මාමා (එච්.පී. විල්සන්) මාව දෙමටගොඩ පදිංචි වෙලා හිටපු ගුණරත්න මහතා ගාවට එක්ක ගියා". " ගුණරත්න මහතා කියන්නෙ අපේ රටේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීයෙක් වන කලක් සරසවිය පුවත්පතේ මුල් පුටුවේ හිටපු සිනමාවට බොහෝ ආදරය කරපු ඒ. ඩී. රංජිත් කුමාර මහතාගේ මාමා". " ඒකාලේ එතුමා මාතර ආච්චි චිත්‍රපටයට සම්බන්ධ වෙලා හිටියා . ඉතින් ඒකේ ජභබධභබඵ ඇදපු අය ඒව අතරමග නවත්වල ගිහින් තිබුණා". ඊට පස්සේ ඒ ජභබධභබඵ ඉවර කරන්න මට අවස්ථාව හම්බ උනා.

එය ඔබේ ජීවිතයේ විශේෂ සිද්දියක් ද? මම තිලක් මහතාගෙන් ඇසුවෙමි." ඔව් ඒක මගේ නිර්මාණ ජීවිතයේ විශේෂ දෙයක් " " ඊට පසුව බොහෝ චිත්‍රපටි වලට ජභබධභබඵ අදින්න මට අවස්ථාව හම්බ උණා. ඒ සියල්ලටම වාගේ සම්බන්ධ කරල දුන්නේ ඒ. ඩී. රංජිත් කුමාර මහත්මයායි.

තිලක් මහතා ඒ බව පැවසුවේ තම හදවතින්ම නැඟෙන්නා වූ ගෞරවනීය හඬකිනි.

සේන සමරසිංහයන්ගේ කස්තුරි සුවද ජෝ මයිකල් ගේ සිරිල් මල්ලී ඇතුළු චිත්‍රපටි 10ක 15ක පමණ ප්‍රචාරක පුවරු සහ නාමාවලි තමා අතින් හැඩගැන්වීමට හැකිවීම ගැන ඔහු කතා කළේ මහත් ආඩම්බරයකිනි.

"ඔය විදිහට වැඩ කරගෙන යද්දී චිත්‍රපටි පුවරු ඇදීමේ කලාවට පූර්ණ කාලීනවම නිරත වෙන්න මට හිතුණා. මාත් සමඟ තව යාළුවො කීපදෙනෙක් ම හිටියා. අපි හරි ආසාවෙන් සුහදව වැඩ කළා".

" පුවරු ඇදල අපිට දවසකට රුපියල් එක්දහස් පන්සීයක් පමණ හම්බ උණා".

"ඒක ඒ කාලේ හැටියට සැලකිය යුතු මුදලක්."

" අපි ඒ කාලේ දවස් දෙකකින් විතර ලොකු බෝඩ් එකක් ඇදල ඉවර කලා.බෝඩ් එක ලොකු වෙන තරමට අඳින්න ලේසියි. ඔය විදිහට එක චිත්‍රපටියකට බෝඩ් සැලකිය යුතු ප්‍රමාණයක් අඳින්න ලැබෙනවා. රට පුරා සිනමා ශාලා ඉදිරිපිට බෝඩ්ස් තියෙන්න ඕනනේ." "පුවරුවක් ඇදල ඉවර උණාට පස්සේ හිතට එන සතුට කියල නිමකරන්න බෑ".

එසේ පවසන විට තිලක් මහතාගේ මුහුනේ මතුවූයේ සුන්දර සිනහවකි.

නැවතත් තිලක් මහතා තමාගේ හඬ අවදි කළේය.

" කාලයක් ගත වෙනකොට විශාල අත්දැකීම් ප්‍රමාණයක් අපිට ලැබුණා . තමන්ගේම ව්‍යාපාරයක් විදිහට මෙම චිත්‍රපටි දැන්වීම් පුවරු නිර්මාණය කරන්න ඕන කියන සිතිවිල්ල මගේ හිතට ආව".

"ඔන්න ඔය විදිහට තමයි තිලක් ආට්ස් නමින් මගේම ආයතනයක් ආරම්භ උණේ".

" එයින් පසුව මගේ මුල්ම චිත්‍රපටි දැන්වීම් පුවරුව උණේ ජෝ මයිකල් මහත්මයා අධ්‍යක්ෂණය කරපු " අජාසත්ත" චිත්‍රපටිය."

"පුවරු නිර්මාණය විතරක් නෙවෙයි ඒකේ කලා අධ්‍යක්ෂණය කළෙත් මමයි. ඒ 1981 දී"

ඔහු කීවේ මහත් ආඩම්බරයකින් සහ මුවගේ සිනහවක් රදවා ගෙනය.

ඉන්පසු දායකත්වය සැපයූ නිර්මාණ මොනවාදැයි මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ " ඉන් පස්සේ, ඉන්දුට මල් මිටක්, සතර දිගන්තය, බයිසිකලේ, ආයාචනා, කැලෑමල් වැනි චිත්‍රපටිවල දැන්වීම් පුවරු කළා."

" ඒ සඳහා මම අයකළේ සාමාන්‍ය මිලක්"

" ඒ වගේම තමයි ඒ කාලේ දැවැන්ත නිෂ්පාදකයින් උණ තිලක් අතපත්තු මහතාගේ පෙරළිකාරයෝ චිත්‍රපටිය ඇතුළු තවත් චිත්‍රපටිවලත් දිනේෂ් ප්‍රියසාද් මහතාගේ චිත්‍රපටිවලත් වැඩකලා".

නොනවත්වා කළ කතා බහ කොතරම් නම් අපූරුදැයි මට සිතුණේ ඔහුගේ චිත්‍රපටි දැන්වීම් පුවරු කලාව පිටුපස ඇති රසබර කතාද ඇති නිසාය. මම එවැනි කතා ගැන ඔහුගෙන් ඇසීමට අමතක නොකළෙමි. එවිට ඔහු කතාබහ යළි මෙසේ ආරම්භ කළේය.

"මම ඒ කාලේ ඇන්ද විජය කුමාරණතුංග මහතාගේ අඩි 50ක ජභබධභබ එකක්. ඒ පෙරළිකාරයෝ චිත්‍රපටිය සදහා. ඒ චිත්‍රපටියේ රගපාන අනෙක් නළුනළියන් විජේගේ ඇගේ එල්ලිලා ඉන්න විදිහට තමයි මම ඒක ඇන්දේ . මරදාන හන්දියෙ තමයි ඒක සවිකළේ." පෙරළිකාරයෝ චිත්‍රපටිය ඒකාලේ ගොඩාක් ජනප්‍රිය උණා . ඒ ජභබධභබ එකත් ඒකට හේතු උණා කියල තමයි මට හිතෙන්නේ ".

එවිට ඔහුගේ මුහුණෙහි දිස්වූයේ ආඩම්බර ලීලාවකි. එහෙත් එයින් තමා උද්දාමයට පත්නොවී ඉතාමත් නිරහංකාරව තමාගේ කටයුතු කරගෙන ගිය බව ඔහු මා හා පැවසීය.

මම ඔහුගේ මේ රසබර කතාව දිගටම කරගෙන යාමට ඉඩහසර සලසා දුන්නෙමි

" ඉන්පස්සේ මට ටිකක් වැඩ වැඩිඋණා".

රෝයි ද සිල්වා, ධර්මසිරි ගමගේ, වසන්ත ඔබේසේකර, මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, ප්‍රසන්න විතානගේ, ජැක්සන් ඇන්තනී වගේ ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයින් මගේ ළඟට ඇවිත් ඔවුන්ගේ චිත්‍රපටිවල දැන්වීම් පුවරු නිර්මාණ මට භාර දුන්නා .

මම ඔහුගේ කතාවට මදකට පුංචි බාධාවක් කරමින් ඇසිය යුතු අවශ්‍යම පැනයක් ඔහුගෙන් ඇසුවෙමි.

" ඔබ කොපමණ දැන්වීම් පුවරු ප්‍රමාණයක් ඇදල තියෙනවා ද?

" 150 ට වැඩි ප්‍රමාණයක් " ඔහු කීවේ ඉතාමත් සතුටිනි.

ඇත්තටම ඔහු දක්ෂයෙක් යැයි මට සිතුනේ කෙනෙකුගේ රුවක් ඒ හා සමානවම අමුරෙද්දක් මත සිත්තම් කිරීමට හැකිවීම කොතරම් නම් දක්ෂතාවක්දැයි සිතුණු නිසාය. විශේෂයෙන් චිත්‍ර කලාව ගැන හැකියාවන් තිබුණද සෑම කෙනෙකුටම ඒ දක්ෂතාවය පිහිටන්නේ නැති නිසාය.

ප්‍රසන්න විතානගේ සිනමා අධ්‍යක්ෂකවරයාගේ " පුරහද කළුවර " ප්‍රියන්ත කොළඹගේ මහතාගේ අධ්‍යක්ෂණයක් වන අරුමෝසම් වැසි , අමරනාත් ජයතිලකගේ භීෂණයේ අතුරු කතාවක්, තිලක් ගුණතිලක අතින් නිමවූ අවසන් දැන්වීම් පුවරු බව සදහන් කළ යුතුය.

" ඔන්න ඕවා තමයි මම අන්තිමටම කළේ". ඔහුගේ මුහුණෙහි යම් ශෝකී බවක් ඇතැයි මට සිතුණි.

"ඇත්තටම ඇයි ඒ කලාව දැන් දුරස් වෙලා තියෙන්නේ ? මම ඔහුගෙන් ඇසුවෙමි.

ඔහු හඩ අවදි කළේ මෙලෙසිනි.

"ලෝකය දියුණු වෙනකොට, වෙනස් වෙනකොට, ඒ අනුව අපි කරන කියන හැමදේම වෙනස් වෙනව. ඒකයි ස්වභාවය." තාක්ෂණික දියුණුවත් සමඟ ඩිජිටල් කලාව හදුන්වා දුන් නිසා අපිට වැඩ නැති උණා".

"අපිට බෝඩ් එකක් අදින්න දින කීපයක් ගත වෙනව. ඒ වගේම ඉස්සර චිත්‍රපටියේ කතාව දැනගෙන තමයි අපි අඳින්න පටන් ගන්නේ. ඒත් ඩිජිටල් ක්‍රමය නිසා පැය ගානකින් උණත් පුවරුවක් ඉවර කරන්න පුළුවන් ".

" අනික් කාරණය තමයි ඒවට අවශ්‍ය වන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම. ඒ වියදම් සියල්ලම ඇතුළත් උනාම බෝඩ් එකක් අදින්න වැයවන මිල ඉහළයි. ඩිජිටල් සාමාන්‍ය ප්‍රමාණයේ බෝඩ් එකක් ඊට අඩුවෙන් කරගන්න පුළුවන් . අනික බෝඩ් එක අදින්න ඉස්සර වගේ චිත්‍රපටි කතාව දැනගන්නම ඕන නැහැ. ෆොටෝ එකක් දුන්නම සියල්ල පහසුයි .

ඔය කාරණා නිසා තමයි දැන්වීම් පුවරු අදින එක දැන් නතර වෙලා තියෙන්නේ".

ඔහු චිත්‍රපටි දැන්වීම් පුවරු නිර්මාණයට තිත තැබුවත්, නිර්මාණ කලාව නතර කර නැත. එයට කදිම නිදසුනක් ලෙස පසුගිය දා ඔහු පැවැත්වූ චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනය පෙන්වා දිය හැකිය.

අතිශයින් සුන්දර, විශිෂ්ට නිර්මාණ, ඔහුගේ පින්සලෙන් සිත්තම් වී තිබීම ඇත්තෙන්ම සුන්දරය. මා එසේ පවසන්නේ එම නිර්මාණ සියැසින් දැකගැනීමට මා හටද අවස්ථාවක් සලසා දුන් නිසාවෙනි. එම අගනා සිතුවම් දැක්ම සාර්ථක කර ගැනීමට සහ සංවිධාන ශක්තිය ලබාදුන් , ඔහු පදිංචිව සිටින රද්දොලුගම නිවාස සංකීර්ණයේ හිතවතුන් සියලුම දෙනා සිහිපත් කලේ හදපිරි ගෞරවයෙනි.

" මම බෞද්ධ විහාරස්ථාන වගේම කතෝලික දේවස්ථානවලත් චිත්‍ර ඇදීමේ කටයුතු සිදුකළා". ඇත්තෙන්ම එය එතුමා තුළ ඇති ආගමික භක්තිය, ගෞරවය දනවන කාරණයක් බව කිව යුතුයි.

වර්තමානයේ ඔහු විශේෂ කටයුත්තකට මුල පුරා ඇති නිසාම ඒ ගැනද දැනුම්වත් කිරීමට අමතක කළේ නැත.

" මම හිතුව මගේ හැකියාව පාසල් දරුවන්ටත් ලබාදිය යුතුයි කියල. ඒ වෙනුවෙන් මේ දිනවල මම කටයුතු කරගෙන යනව. පාසැල්වලට ගොස් නොමිලේම චිත්‍ර කලාව පිළිබඳව පුහුණුවක් දරුවන්ට ලබා දෙන්න".

එය මහත් උතුම්, වටිනා කටයුතුත්තක් ලෙස සැලකිය යුතුය. මන්ද මුදල් පසුපසම හමා යන යුගයක මෙවන් අපූරු හිත් ඇති මිනිසුන් මේ මහපොළව මත ජීවත් වන එක කෙතරම් භාග්‍යයක් ද?

මේ කතාබහ යන අතරේ ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන විමසීමටද මම අමතක නොකළෙමි.

" මගේ බිරිඳ කුසුම් රුද්‍රිගු. මට දරුවන් තිදෙනෙක් ඉන්නවා. දුව මේනකා ගුණතිලක. පුතාල නිශාන් ගුණතිලක සහ ගිහාන් ගුණතිලක. එයාලගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනව මේ කටයුතු වලට." මම ඇත්තටම වාසනාවන්තයි. තරුණ කාලේ හොඳට වැඩ කළා. දැනුත් මම නිර්මාණ කටයුතු නතර කරල නැහැ .පුළුවන් හැම වෙලාවකම චිත්‍රයක් අඳිනව. ඒක මගේ මනසට සහනයක්.

අප අතරේ වූ සුහද කතාබහ අවසන් කිරීමට කාලය පැමිණ ඇති බැවින් අවසන් වශයෙන් විශේෂ කිහිපදෙනෙක් වෙනුවෙන් ස්තුතිය සහ ප්‍රණාමය පුදකිරීමට අවස්ථාවක් ලබාදිය යුතුයැයි මට හැගුණි. "ඉතාමත් ගෞරවයෙන් මතක් කරන්න ඕන පිරිසක් ඉන්නවා. ඒ තමයි ප්‍රේම් ජයන්ත් මහත්මයා, ගුණරත්න රත්නායක මහත්මයා සහ සරසවිය පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ඩී රංජිත් කුමාර මහතාව. ඒ වගේම මාත් එක්ක එකටම සිටි මගේ යාළුවො පිරිස, සුදත්, සැම්සන් කුමාර, ආනන්ද , ගාමිණි සහ රජීව් යන අයවත් ආදරෙන් සිහිපත් කරන්න ඕන.

තිලක් ගුණතිලකයන් යනු සාමාන්‍ය සිත්තරෙකු නොවේ. ශී‍්‍ර ලංකාවෙ බිහිවූ ප්‍රතිභාපූර්ණ සිතුවම් නිර්මාණ ශිල්පියෙක් බව පැහැදිලිය. එමනිසා මෙවන් වූ කලාකරුවන් ඇගයීම, ඔවුන් පිළිබඳව මතකය අවදි කිරීම අප සතු යුතුකමකි.

අවසන් වශයෙන් ඔහු කියා සිටියේ "ඇත්තටම සන්තෝසයි අපි වගේ කලාකරුවන් සරසවිය පුවත්පත මඟින් ඇගයීමකට ලක් කිරීම ගැන. සුබ පතනව මම සරසවිය පුවත්පතට.

එසේනම් තිලක් ගුණතිලක නම් අපූරු සිත්තරාණේනි , ඔබගේ ජීවිතයද වඩ වඩාත් යහපත් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

 

[email protected]