වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
කෘතහස්ත සිනමාවේදියකුගේ සුවදුක් බැලීමට ගියදා

දිනය හරියටම පසුගිය ජූලි මාසයේ තිස් එක් වෙනිදා ය. මේ දිනය වෙන් කර තබා ගන්නා මෙන් මට මුලින්ම දැනුම් දුන්නේ අපේ ප්‍රවීණ ජේ්‍යෂ්ඨ නිළි ශ්‍රියාණි අමරසේන ය. ඇගේ ඉල්ලීම පරිදි වෙන්කරගත් තිස් එක් වෙනිදා සවස යාමේ අරුත්බර සුන්දර සන්ධ්‍යාවක් වූයේ හේතු ගණනාවක් නිසා ය.
මේ සන්ධ්‍යා භාගය අප වෙන්කළේ මෙරට ප්‍රවීණතම ජේ්‍යෂ්ඨතම සිනමා අධ්‍යක්ෂකවරයකු වන, දැනට අසනීප තත්ත්වයේ සිටින සුගතපාල සෙනරත් යාපා මැතිදුන්ගේ සුවදුක් බැලීමට ගිය ගමන වෙනුවෙන් ය. සම්පූර්ණයෙන්ම මෙම ගමන සංවිධානය වූයේ කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් කරනු ලබන සමාජ සත්කාරයන් හි තවත් එක් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමිනි. කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් අතරින් ආර්ථික ප්‍රතිපාදන අරමුදල යටතේ ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු ලබාදීම හා රෝහල් සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමේ ව්‍යාපෘතිය මේ අතර සුවිශේෂී වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රවීණ කලා ශිල්පීන් ශිල්පිනියන් රාශියක් ද කලක පටන් ඔවුන් හා අත්වැල් බැඳගෙන සිටී. ඒ අනුව මින් ඉහත ඔවුන් සමඟ එක්ව නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එසේම ඉදිරියේදී යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන් කලා ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද ඔවුහු බලාපොරොත්තු වෙති.
එසේම මෙරට තරුණ කලාකරුවන් දිරි ගැන්වීමේ අදහසින් කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රීඩී කාටූන් නිර්මාණය වන ගජමෑන් කාටුන් චිත්‍රපටිය සඳහා ඇගැයීම් සම්මාන උලෙළ ද ඔවුන් විසින් පවත්වන ලදී. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජේ්‍යෂ්ඨ කලා ශිල්පීන් අගය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද ඔවුහු බලාපොරොත්තු වෙති. කලා ශිල්පීන් ප්‍රමුඛ කොට ගනිමින් කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් දියත් කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වශයෙන් පසුගිය තිස් එක් වෙනිදා ඔවුන් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපාගේ සුවදුක් බැලීමට ගිය ගමන ද සංවිධානය විය.
අප සියලු දෙනා එදින පස්වරු හතරට පමණ එක් රැස් වුයේ බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාව වෙත ය. අප පැමිණෙන විටත් ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේන, වසන්ති චතුරාණි සහ සමන්ති ලැනරෝල් යන කලා ශිල්පිනියන් ද කලාවට කවදත් හිතැති චිත්‍රපට නිෂ්පාදිකා අජානි පෙරේරාද මෙතනට පැමිණ සිටියහ. සිනමා පුවත්පත් කලාවේ ජේ්‍යෂ්ඨතමයා වන ආතර් යූ.අමරසේනයන්ද මෙම අවස්ථාවට සහභාගි වීම සුවිශේෂී කාරණාවක් විය. අප සියලු දෙනා සුගතපාල සෙනරත් යාපා මහතාගේ නිවස පිහිටි රාගම නාරංගොඩපාළුව ට ළඟා වන විට සවස 6 ට ආසන්න වී තිබිණ. පෙර දැනුම් දී තිබූ පරිදි අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් එතුමා වේලාසනින්ම ආලින්දයේ අසුන් ගෙන බලා සිටි බව පැවසුවේ එතුමන්ගේ පවුලේ උදවිය ය.
විශේෂයෙන්ම මේ අවස්ථාව අතිශය සංවේදී මොහොතක් වූයේ තම සිනමා ජීවිතයේ කාර්යක්ෂම යුගයේදී ඔවුන් කළ කී දෑ පිළිබඳ සිදුකළ අතීතාවර්ජනයක් මේ දෙපාර්ශ්වයටම මතක් වීමෙන් ලද සතුට ප්‍රණාමය, හෘදයාංගම බව, ආදරය ගෞරවය සියල්ල මොහොතින් මොහොත කදුළකට පරිවර්තනය කිරීමෙනි. මෙම ගමන පිළිබඳ මෙන්ම සුගතපාල සෙනරත් යාපා පිළිබඳ අතීත මතක ගෙනහැර දක්වන්නට ප්‍රථමයෙන් අප සමඟ එක් වූයේ ප්‍රවීණ නිළි ශ්‍රියාණි අමරසේන ය.
“අද මෙම සන්ධ්‍යා භාගය අපි ගත කරන්නේ පුදුම තරම් සතුටකින්. ආදරේකින්. මොකද අද අපි සුවදුක් බලන්න ආවෙ අපේ සිනමාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් කරපු ජේ්‍යෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයකු වෙත. ඒ කාලේ ඉඳන්ම සුගත්ට අපි ආදරයට අමතන්නේ ‘සුගතේ’ කියල. සුගත් එක්ක චිත්‍රපටයක වැඩ කරන්න මට අවස්ථාව ලැබිලා නැති වුණාට අපි ඔහුව බොහෝම සමීපව ආශ්‍රය කළා. අද ඔහු විශ්‍රාම සුවයෙන් නිවසේ රැඳී සිටින වෙලාවේ අපිට හිතුණා ඔහු බලන්න එන්න. මේ ගමන සඳහා අපට සම්පූර්ණ දායකත්වය පිරිනමන්න කටයුතු කළේ කොළඹ තරුණ බෞද්ධ සංගමය. විශේෂයෙන් මේ සොඳුරු සන්ධ්‍යාව ගත කරන්න අපිට අවස්ථාව සලසා දුන් ඔවුන්ට අපේ ස්තූතිය හිමිවෙන්න ඕන.
සැබැවින්ම මේ අප මේ බලන්නට පැමිණ සිටින්නේ දේශීය සිනමා ඉතිහාසය තුළ තම නාමය රන් අකුරින් සනිටුහන් කළ සුන්දර මිනිසෙක්. වත්මනෙහි අප ලාංකේය සිනමාව ජාත්‍යන්තරයේ ලබන්නා වූ ජයග්‍රහණ පිළිබඳ මහත් අභිමානයෙන් අපි කතා කරන්නෙමු.ලාංකේය සිනමාවට එම මාවතේ ගමන් කිරීමට මුල් අඩිතාලම දැමූ පුද්ගලයකු වශයෙන් සුගතපාල සෙනරත් යාපා අපේ සිනමා ඉතිහාසය තුළ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නේය. ඒ ඔහු නිර්මාණය කළ මිනිසා සහ කපුටා පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටය 1969 වසරේදී නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබීමෙනි. සැබැවින්ම ඔහු අපේ රටේ නව සිනමා පරපුරක් බිහි කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ කලාකරුවෙකි. ඔහු සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් නිර්මාණය කළ අධ්‍යක්ෂවරයකු වුවද, එකී අතළොස්සක් තුළින් මෙරට සිනමාවට ඉටුකළ මෙහෙය හා නව සිනමා දැක්මකින් ඉදිරිපත් කළ එකී නිර්මාණ අදටත් අප සිනමාව අලංකාර කරන්නේය. ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූයේ හන්තානේ කතාව ය. හන්තානේ කතාව තුළින් ඔහු මෙරට සිනමාවට විජය කුමාරතුංග නම් ප්‍රේමණීය රංගන පෞරුෂය හඳුන්වා දුන්නේය. සිංහල සිනමාවේ ජනප්‍රියතම ප්‍රේමවන්තයා ලෙසින් යුගයක් එකලු කළ ඔහු වැනි නළුවෙකු සිනමාවට හඳුන්වා දීම පමණක් ම මෙරට සිනමාව වෙනුවෙන් ඔහු කළ මෙහෙවර අගයන්නට ප්‍රමාණවත්ය. එපමණක්ද නොව ඔහු තම චිත්‍රපටය හරහා ආධුනිකයින් රැසක් සිනමාවට හඳුන්වා දුන්නේය. අමරසිරි කලංසූරිය, විජය කුමාරතුංග, සමන්ති ලැනරෝල්, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි ඇතුළු පිරිසක් ඒ අතර වෙති. මෙම සුවිශේෂී මොහොතේ ඔහුව බලන්නට ඔහු විසින් සිනමාවට හඳුන්වාදුන් ප්‍රවීණ නිළි සමන්ති ලැනරෝල් ද එකතු වීම සුවිශේෂී කාරණාවක් විය. ඇගේ මතක ගබඩාව බෙහෙවින්ම පොහොසත් විය. ඇයට එදා හන්තානේ කතාවට එක් වූ ආකාරය, දර්ශන ගත කිරීම්වලදී කළ කතාබහ ඇතුළු සුළු සිදුවීම් පවා හොඳීන් මතක තිබුණි. ඒ අතීත මතක යළි ස්මරණය කරමින් ඈ සුගතපාල සෙනරත් යාපා බොහෝ ඈත අතීතයකට ගෙන ගියාය.
“ඇත්තටම මගේ සිනමා ජීවිතයේ ගුරුදේවයාණන් තමයි මේ ඉන්නේ. මම අද නිළියක් විදියට යම් තැනක ඉන්නවා නම් ඒ ඉන්නේ මේ සුගත් අයියා නිසයි මට අද වගේ මතකයි සුගත් අයියා චිත්‍රපටයක් කරනවා ඒකට අලුත් නළු නිළියන් ඕන කියන දැන්වීම පළ කරලා තිබුණේ සරසවිය පුවත්පතේ.
නළු නිළියෝ - කොල්ලන්ගේ කතාව කෙල්ලන්ගෙ කතාව හන්තානේ කතාව ඔබට රඟපාන්නට හැකිනම් අවස්ථාවක් දෙන්නට අධ්‍යාපන සුදුසුකම් සහිතව විමසන්න සීමාසහිත සමකාලීන චිත්‍රපට අංක 40, හේග් පාර, කොළඹ 4 කියලා තමයි එදා පත්තරේ දැන්වීම පළ කරලා තිබුණේ. ඇත්තටම ඔහු මාව මේ චිත්‍රපටයට තෝරා ගත්තේ විශ්වවිද්‍යාල සිසුවෙක් විදියට පොත් ටිකක් අරගෙන එහාට මෙහාට යන්න. නමුත් වෙනත් චරිතයක් කරන්න හිටපු කෙනෙක් ඒ චරිතයට ගැළපුණේ නැති නිසා අහම්බෙන් වගේ මට ඒ අවස්ථාව ලැබුණා. අද මට එතුමා උඹ බලන්න එන්න අවස්ථාව ලබා දුන්නේ ඇත්තටම ශ්‍රියාණි අමරසේන මහත්මිය එතුමිය ට මගේ ස්තුතිය මේ මොහොතේ පිරිනමන්න ඕන.
සුගතපාල සෙනරත් යාපා සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන යුගයේ සිටම ඔහුට පුවත්පත් මාධ්‍යයෙන් උපරිම සහයෝගය දැක් වූ මාධ්‍යවේදියා වූයේ ආතර් යූ අමරසේනයන්ය. මේ දෙදෙනාට එදා පටන් මේ මොහොත දක්වාම ගජ මිතුමිතුරන්ය. බොහෝ කලකට පසු මිතුරන් දෙදෙනාගේ හමු වීමේ සතුට දෙදෙනාටම දරාගැනීමට නොහැකි තරම්ය. මම විසිතුර පත්තරේ ඉන්න කාලේ ඉඳන් සුගත් ට සහයෝගයක් දුන්න. ඔහුය මායි අතර ඒ කාලේ ඉඳන්ම තිබුණු විශේෂ යාළුකමක්. අද ඔහු බලන්න එන මොහොත ගැන ආරංචි වුණාම මම විශේෂයෙන්ම කිව්වා මටත් සුගත් බලන්න යන්න ඕන කියලා. ඇත්තටම සුගත් කියන්නේ මේ රටේ සිනමාව සුවිශිෂ්ට සුවිශේෂී සේවයක් කරපු සිනමා අධ්‍යක්ෂකවරයෙක්. අපි ඔහුට නිරෝගී සුවය සමඟ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
මේ ගමනට අපත් සමඟ එක් වූ ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති චතුරාණි ඇගේ ඇගේ ආදරය, කරුණාව සහ ගෞරවය සුගතපාල සෙනරත් යාපා වෙත පුද කළේ මහත් වූ භක්තියකිනි. ඇත්තටම සුගත් අයියා බලන්න යනවා කියලා කිව්වම මටත් ඒ ගමනට සහභාගී වෙන්න ඕන කියන හැඟීම මේ ගැන කියපු ගමන්ම මට ඇතිවුණා. සුගතපාල සෙනරත් යාපා කියන්නෙම ගොඩක් ගෞරව කරන ආදරය කරන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. අවාසනාවට මට එතුමා සමඟ චිත්‍රපටයක වැඩ කරන්න අවස්ථාවක් සැලසුණේ නෑ. ඒ ගැන මම අදටත් කනගාටු වෙනවා. ඒත් ඉස්සර රජයේ චිත්‍රපට අංශයේ එතුමා සේවය කරන අවදියේ අපි නිතර මුණ ගැහෙනවා. කතාබහ කරනවා. ඔහු සිනමාව පිළිබඳ මහා දැනුමක් පරිචයක් තිබුණු අධ්‍යක්ෂවරයෙක්. එතුමා සමඟ කතාබස් කිරීමත් අපේ දැනුම පෝෂණය කරන අවස්ථාවක් බවට පත් වුණා. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕන එතුමා අපේ සිනමා ක්ශේත්‍රයට සුවිශාල ගෞරවයක් රැගෙන ආපු කෙනෙක්. මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටය නිර්මාණය කරලා අපේ රටට අන්තර්ජාතික සම්මාන රැගෙන ආවා.හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල් මිටක් වැනි චිත්‍රපට නිර්මාණය කළා. අපේ සිනමා ඉතිහාසයට ඔහු වැනි පුද්ගලයන් මහා සම්පතක්. අපේ ආදරය ගෞරවය ඔබ වෙනුවෙන් හැම මොහොතේම තිබෙනවා. ඔහුට අපි නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
හෝරා දෙක තුනක් මැද ගෙවුණු මේ සොඳුරු කාල පරිපරිච්ඡේදය ගෙවී යනවා අප දෙපාර්ශ්වයටම නොදැනුන සේය. මේ අතරතුර සුගතපාලයන් ගේ ආදරණීය බිරිඳ, දියණිය සුබා සහ ඇගේ සැමියාගෙන් ලැබුණු ආගන්තුක සත්කාරයන් ද අතිමහත්ය. මෙරට සිනමාවට මහත් වූ මෙහෙවරක් කළ මේ අපූරු මිනිසා අද විශ්‍රාම සුවයෙන් පසුවත්දී ඔහු ඉතා ආදරයෙන් බලා කියා ගන්නේ ඔහුගේ දියණිය බෑනා ඇතුළු පවුලේ උදවිය රටකට මහත් වූ වටිනාකමක් දුන් මෙවන් මිනිසෙකු ආදරණීය බලාගන්නා ඔබ සැමට ද අපේ ප්‍රණාමය හිමිවිය යුතුය. ඔහුට සමු දී ආපසු හැරෙද්දී ම මට මතක් වූයේ හන්තානේ කතාවට ඔහු විසින් මහගමසේකර සමඟ ලියන ලද මේ අපූරු ගීතයය.
සරා සොඳුරු මල් පැටලී
ලිහී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී
සිහිල සදන ජීවිතයයි
කැකුළු සිනා මුතු එළියෙ
අඳුරු ලෙනේ දොර මතුවේ
සැලේ මහද සැලේ සැලේ
වනේ මලට හද විමනේ
බඹරු වඩින ජීවිතයයි
පිපාසිත වු මරු කතරේ
පොකුරු වසින ජීවිතයයි
ගලාහැලෙන තරු එළියේ
නිවී මහදේ නිවී නිවී
කුණාටු මැද බොල් අහසේ
එබී බලන සඳ පළුවයි
පුරා හඳට ඉඩ සලසන
අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ සැලේ
ඔබට නිරෝගී සුව සමඟ දීර්ඝායුෂ
සේයාරූ - නිශ්ශංක විජේරත්න