වසර17ක් සරසවිය පරිගණක අක්ෂර සංයෝජනයෙන් දායකවීම භාග්‍යයක්

ප්‍රවීණ අක්ෂර සංයෝජන ශිල්පී ගාමිණී පෙරේරා
අගෝස්තු 10, 2023

- එදා ලේක්හවුස් සේවකයන් රංජිත් විජයවර්ධන මහතා දුටුවේ දෙවියකු සේය
- එවක සරසවිය පුවත්පතට වෙන්ව සිටියේ කර්තේලිස් බාස්

මාගේ පියාණන් වුයේ ඇල්බට් පෙරේරාය. ඔහු රැකියාව කරනු ලැබුවේ ලේක්හවුස් ආයතනයේය. මුද්‍රණ අංශයේ එවක තිබු හයිඩල්බර්ග් මැෂිම භාරව ක්‍රියාකරු වශයෙන් සේවය කරනු ලැබුවේ මගේ පියාණන්ය. වැඩිමනක් මෙම යන්ත්‍රයෙන් එවක මුද්‍රණය කරනු ලැබුවේ ආයතනයෙන් මුද්‍රණය කළ කැලැන්ඩර්ය. ඒ නිසාම මේ යන්ත්‍රයෙන් වැඩිමනක් මාගේ පියා අතින් කැලැන්ඩර් මුද්‍රණය කළ නිසාවෙන්ම ආයතනයේ සහෝදර සේවකයන් අතර මගේ පියා හඳුන්වනු ලැබුවේ කැලැන්ඩර් ඇල්බට් කියාය.

එවක කවුරු කවුරුත් එකිනෙකා හඳුනාගත්තේ ඔවුන් කරන රැකියාවේ ස්වභාවය අනුව ඔවුන් විසින්ම දමාගත් ආරුඪ නම්වලින් වීම විශේෂත්වයකි. ඒ යුගයේ ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වුයේ රංජිත් විජයවර්ධන මහතාය. රංජිත් විජයවර්ධනයන්ව එදා ලේක්හවුස් සේවකයන් දුටුවේ දෙවියෙකු සේය. තම පියාණන් වූ ඩී.ආර්. විජයවර්ධනයන් සේම. සේවකයන්ට ආදරය කළ රංජිත් විජයවර්ධනයන්ව එදා සේවකයන් හැඳින්වුයේ රංජිත් හාමු කියාය. රංජිත් හාමු තම ආයතනයේ සේවය කරන සේවකයකුගේ දරුවෙකුට මෙම ආයතනයේම රැකියාවක් ලබාදීමේ පිය පුතු සබඳතා වැඩපිළිවෙළකට මුල පුරා තිබිණි. ඒඅනුව මගේ පියාද රංජිත් හාමුගෙන් ඉල්ලීමක් කර තිබුණේ තම පුතාට ද ආයතනයේ රැකියාවක් ලබාදෙන ලෙසය. පියාගේ ඉල්ලීම පරිදි රංජිත් හාමුගෙන් කැඳවීමක් ලැබුණේ පුතාව රැගෙන විත් හමුවන ලෙසය.

ඒ වන විට මට වයස අවුරුදු දහ අට සපිරී තිබිණි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන විභාගය ද සමත් වී සිටි මාව රංජිත් හාමු වෙත කැඳවාගෙන ගිය මගේ තාත්තා එතුමන්ට මාව හඳුන්වාදෙනු ලැබීය. මගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කර බැලු රංජිත් හාමු මාව රැකියාවට තෝරාගනු ලැබීය. ඒ 1968 වසෙර්ය. මා හට රැකියාව ලෙස වැඩ කිරීමට ලැබුණේ වැඩ දෙපාර්තමේන්තුවේය. මා හට මෙම දෙපාර්තමේන්තුවේ රැකියාව ලැබෙනුයේ වැඩ පුහුණුකරුවකු ලෙසිනි. අද මෙන් කෙළින්ම තනතුරකට බදවා ගැනීමක් එවක සිදු නොවුණු තරම්ය. එන ඕනෙ කෙනෙක් මුල් අදියරයේ සිට පියවරෙන් පියවර පැමිණිය යුතු ක්‍රමවේදයක් එදා දකින්නට ලැබිණි. අබේසේකර ආරච්ච්ගේ ගාමිණී පෙරේරා නම් වූ මා ලේක්හවුස් ආයතනයේ සේවයට එක් වුයේ ඒ.ඒ.ජී. පෙරේරා ලෙසිනි.

මා වැඩපුහුණුවීමේ අයෙක් ලෙස ලේක්හවුස් ආයනයට පැමිණෙන විටත් සරසවිය පත්තරය පටන්ගෙන තිබිණි. එය 1963 අපේ‍්‍රල් 10 වැනිදා පටන් ගත් පත්තරයක් විය. මා ලේක්හවුස් පැමිණෙන විට සරසවිය පත්තරය පටන්ගෙන අවුරුදු පහක් ගත වී ගොස් තිබිණි. ඒ වෙනකොට සරසවිය පත්තරයේ කර්තෘවරයා වුයේ විමලසිරි පෙරේරා මහතාය. පත්තර වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් මුද්‍රණ කටයුතු සඳහා කාර්ය මණ්ඩලයක් නොවිණි. සියලු මුද්‍රණ කටයුතු සඳහා එකම දෙපාර්තමේන්තුවක් විය. එය හැඳින්වුයේ වර්ක් ඩිපාට්මන්ට් (වැඩ දෙපාර්තමේන්තුව) කියාය. පුවත්පතක අකුරු ඇමිණීමේ සිට මුද්‍රණ කටයුත්ත දක්වා සියලු කාර්යන් සිදු වුයේ මෙම වැඩ දෙපාර්තමේන්තුව හරහාය. පුවත්පතේ කුඩා අකුරු මුද්‍රණය කරනු ලැබුවේ ලයිනෝ මැෂින් ඔස්සේය. එහි ලොකු අකුරු මුද්‍රාණය කරනු ලැබුවේ ලඩ්ලෝ මැෂින් ඔස්සේය. මේ දෙයාකාරයෙන් මුද්‍රිත අකුරු වලින් පුවත්පත් කර්තෘවරුන් විසින් ලබාදෙන ඩමියට අනුව පත්තරයේ පිටු සැකසීම සිදුවිය. එවක පිටු සැකසීම සිදුකරන ලද පුද්ගලයන් හැඳින්වුයේ බාස්ලා නමිනි. එක් එක් පුවත්පත් සඳහා බාස්ලා ද සිටියේය. දිනමිණ, සිළුමිණ වැනි ප්‍රධාන පුවත්පත් සඳහා බාස්ලා කීප දෙනෙක් සේවය කළහ. එවක සරසවිය පුවත්පත සඳහා වෙන්ව සිටියේ කර්තේලිස් බාස්ය. සරසවිය පත්තරයේ මුල්ම බාස් වනුයේ ද කර්තේලිස් ය. ඔහු වැඩ දෙපාර්තමේන්තුවේ බාස්ලාගෙත් ප්‍රධානියා විය. මගේ මතකයේ හැටියට එවක සිටි බාස්ලාගේ දෙවැනියා වුයේ ගුණසිරි බාස්ය. වර්ක්ස් ඩිපාට්මන්ට් නම් වූ එක යායට විහිදුණු මුළු දෙපාර්තමේන්තුව තුළින් පත්තරයේ සියලු නිමාවන් සිදුකරනු ලැබීය. ලයිනෝ හා ලඩ්ලෝ මැෂින් අකුරු ඇමිණීමේ කර්මාන්තයේ ප්‍රධාන යන්ත්‍රයන් වු අතර රූලින් මැෂිම, මැන්ගල් මැෂිම ද එහි තවත් වූ කැපී පෙනෙන මැෂින් විය. එවක මුළු වැඩ දෙපාර්තමේන්තුව භාරව සිටියේ සුමනගෝමස්ය. වැඩ දෙපාර්තමේන්තුවේ මැනේජර්වරයා වූ ඔහුව එදා කවුරුන් හැඳින්වුයේ පත්තර පකීර් කියාය. මේ දෙපාර්තමේන්තුවේ විශේෂත්වය වුයේ රෑ එළිවෙන තුරු මෙහි රාජකාරි සිදුවීමය. ලේක්හවුස් ආයතනයේ නොනිදන දෙපාර්තමේන්තුව වුයේ වර්ක්ස් ඩිපාට්මන්ට් එක වීමත් තවත් වූ විශේෂත්වයකි. අප සියලු දෙනා මෙහි රාජකාරී සඳහා පැමිණියේ ෂිෆ්ට් ක්‍රමයටය. කාල ෂිෆ්ට් තුනක් මෙහි ක්‍රියාත්මක විය. උදේ 6 සිට දහවල් 2 දක්වා ද දහවල් 2 සිට රාත්‍රී 10 දක්වා ද රාත්‍රි 10යේ සිට උදේ 6 දක්වා ද එම කාල වේලාවන් වෙන් වී තිබිණි. රාත්‍රී දහයේ සිට රාජකාරි කරන්නන්ට වරප්‍රසාද පවා ආයතනයෙන් ලබා දී තිබුණේ ඔවුන්ගේ උනන්දුව වැඩිකරලන්ටය. තමන් අමුණන අකුරු වල දිග ප්‍රමාණයට (පීස් වර්ක්) මුදල් ගෙවීමක් ද පඩියට අමතරව ලබා දීමක් සිදුකළ නිසාවෙන් ලයිනෝ මැෂින් ඔපරේටස්ලා අකුරු ඇමුණුවේ රාජකීය විලාසයෙන්ය. එයට හේතුව වුයේ ඇමුණු අකුරු ප්‍රමාණයේ පීස් එක දික් වූ තරමටම තමන්ට මුදල් ලැබෙන නිසාය. එදා තමන්ගේ මාසික වේතනයටත් වඩා මුදලක් අකුරු අමුණා වැඩිපුර උපයා ගැනීමට ලයිනෝ මැෂින් ඔපරේටස්ලා දක්ෂ විය. එවැනි සුන්දර කාලයක් ද ගත කරලන්නට මාද එවක වාසනාවන්ත විය.

පත්තරයකට කියා ලයිනෝ මැෂින් ඔපරේටස්ලා නොවීය. කර්තේලිස් බාස් තමන් යටතේ සිටින සියලු ඔපරේටස්ලාට අසාධාරණයක් නොවන ආකාරයෙන් කර්තෘ මණ්ඩලයෙන් එන කොපි ලබාදීම සිදුකරනු ලැබීය. නමුත් බාස්ලා පමණක් පත්තර වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් විය. මා වැඩ පුහුණුකරුවකු ලෙස පැමිණිය ද මට එක්වරම අකුරු අමුණන්නට නොලැබිණි. වැඩ පුහුණු කරුවකු ලෙසින් වසර පහක අත්දැකීම් ලැබිය යුතු විය. ඒ අතරේ වසර කින් පමණ ආයතනයේ ස්ථිර සේවයට එක්කර ගත්ත ද ඔපරේටර්වරයකු වීමේ අවකාශ මා වෙත උදාවුයේ වසර පහකට පසුවය. මැෂින් ඔපරේටස්ලා සමඟ කළ යුතු වැඩ රාජකාරී තවත් බොහොමයක් විය. මැෂින්වලට ඊයම් දැමිම, පෲෆ් ඇදීම නිමවන පිටු ටෙ‍්‍රාලිවලින් ගෙන යාම ආදිය මුලින්ම සිදුකළ යුතුය. ඉන්පසු වසර දෙකක් පමණ ගිය පසු ලයිනෝ මැෂිමේ වාඩි වීමට අවසර ලැබෙනු ඇත.

එහිදි මුලින්ම ලැබෙනුයේ කීබෝඩයේ නැති අකුරු සොයා සැකසීමය. යතුරු පුවරුවේ නැති දීර්ඝ අකුරු භාවිතයෙන් පසු මැෂිමේ නැවත පැමිණීමේදී ඒවා නියමිත ස්ථානයේ ලාච්චු මත ස්ථාන ගත කිරීම ඊළඟ රාජකාරිය විය. එය සිදුකරනුයේ මැෂිම ඔපරේට් කරමින් අකුරු අමුණන කෙනාට පහසුවීම සඳහාය. එය කට පාඩම් කර අපි මතක තබාගත යුතු ක්‍රමයක් වේ. යම් අයුරකින් එවැනි අකුරක අනුපිළිවෙළ මාරු වී ගොස් තිබුණොත් අහන්න වන්නේ ද කුණු බැණුම්ය. මා එසේ පුහුණුව ලබන අවධියේ අනන්තවත් බැණුම් අසනු ලැබුව ද මගෙන් පසු ආ පරම්පරාවට එවැන්නක් අත්කර නොදීමට අපි උත්සාහ ගනිමු. අප වින්ද දුක වේදනාව අපෙන් පසු ආ කිසිදු ආධුනිකයකුට අත් නොවන්නට අපි විසින්ම අමුතු ආකාරයේ බජාර් එකක් මුළු වක්ස් ඩිපාට්මන්ට් එක පුරාවටම හදාගත්තෙමු. ඒ නිසාවෙන් ඒකාධිකාරයක් ගොඩනගාගෙන සිටි අය වලුන් පවා අවසානයේ අපේ වෙනසට හිස නමන්නට වුයේ ඔවුන් විසින් ගොඩ නඟාගෙන තිබු බැමිමායිම් අප විසින් කඩා දැමු නිසාවෙන්ය. මා රැකියාවට ගොස් වසර තුනකදී පමණ මුල්වරට මා හට කොපියක් අකුරු ඇමිණීමට ලැබෙනුයේ ලයිනෝ මැෂින් ඔපරේටර් තේ බොන්නට යන වේලාවටය. ඔය ආකාරයෙන් මා මැෂිමේ අකුරු ඇමිණීමට ඉගෙන ගත්තේය. අකුරු ඇමිණීම ඉගෙන ගත්ත ද වැඩ පුහුණු තනතුරින් ඔපරේටර් තනතුරට එන්නට කිසියම් හෝ ඔපරේටර්වරයකු විශ්‍රාම යා යුතු විය. එසේ නොවන්නට එම තනතුරට හිමිකම් කීමට බැරිවිය.

මාගේ වසර පහක කාලය නිමා වී ඔපරේටර් තනතුරට ඇතුළත්වීමට කාලය පැමිණියේය. නමුත් මට ප්‍රශ්නයක් පැණ නැඟුණේ එවිටය. මාත් සමඟ එකම දවසේ සේවයට ආ මගේ මිතුරෙක් සිටියේය. ඔහු ලක්ෂ්මන් මෙන්ඩිස් විය. අප දෙදෙනාම මෙම තනතුර වෙනුවෙන් සුදුසුකම් ලබා තිබිණි. නමුත් පුරප්පාඩු එකක් පමණක් විය. පාලන අධිකාරිය පරීක්ෂණයක් තබා එයින් සමත්වන්නාට මෙම තනතුර ලබාදීමට දින නියම කළේය. වැඩිම වේගයකින් අකුරු ඇමිණීම හා අඩුම අක්ෂර වැරැදි ඇති කෙනා මේ සඳහා තෝරාගැනීමට ඔවුන් කතිකා කොට ගෙන තිබිණි. මෙවැනි තත්ත්වයක් ආවිට එකට කාගෙන බීගෙන මිත්‍රයෝ සේ සිටි අය පවා විරසක වන කොතෙකුත් අවස්ථා මා දැක තිබිණි. ඒ නිසාවෙන් මා තීන්දුවක් ගනු ලැබුවේ මා පරීක්ෂණයට මුහුණ නොදෙන්නටය.

මගේ අකුරු ඇමිණීමේ වේගය කොහොමත් වැඩිය. එකට කා බී සිටි යාළුවෙක් වුවද මෙම අවස්ථාව ආ විගස එකිනෙකා නොරුස්සන භාවයෙන් තමන්ට සහාය සොයා වෘත්තිය සමිති පවා සොයා යන්නට පෙලඹෙන අවස්ථා මා දැක තිබිණි. උසස් වීමත් සමඟ සල්ලි ලැබෙන බව සත්‍යයකි. ඒත් මෙය යාළුකමට කරන ජරා වැඩක් බව මගේ හිතට කල්පනා විය. ඒ අනුව මා තීන්දුවක් ගනු ලැබුවේ පරීක්ෂණයට මුහුණ නොදෙන්නටය. මම ලක්ෂ්මන්ට කිව්වේ ලකී කියාය. මම ඔහුව හමු වී පවසා සිටියේ ලකී උඹවයි මාවයි ටෙස්ට් එකට දාලයි තියෙන්නේ. හැබැයි මම ටෙස්ට් එකට එන්නේ නැහැ. ඒ ඇයි ද යන්න ලක්ෂ්මන් මගෙන් විමසිමක් කරනු ලැබීය. මම ඔහුට කියා සිටියේ අප දෙදෙනාගේ මිත්‍රකම මා නැති කර ගන්නට කැමැති නැහැ. මමයි උඹයි එකම දවසේ ආවේ. උඹයි මමයි එකට කනවා බොනවා. අප අතර යාළුකමක් තියෙනවා. මට ඒ යාළුකමට පරිත්‍යාගයක් කරන්න පුළුවන්. මම වර්ක්ස් මැනේජර්ට කියනවා මට එපා සර් ඔපරේටර් තනතුර ලකීට දෙන්න. මම ටෙස්ට් එකට ඉඳගන්නේ නැහැ. හැබැයි කවදාහරි ඊළඟට වේකන්සියට මාව දාන්න. මගේ තීරණය ඒවන විට සිටි වර්ක්ස් මැනේජර් ලයිලි පීරිස් වෙත දන්වා සිටිනු ලැබීය.

ඔහුගේ පිළිතුර වුයේ ඔබගේ මනාපය එසේ නම්, ඔබගේ ඉල්ලීම ලක්ෂ්මන්ට මේ තනතුර දීම නම්, තමාගේ විරෝධතාවයක් නොමැති බවය. යම් අයුරකින් ඊළඟට ඔපරේටර් තනතුරට පුරප්පාඩුවක් ආ කළ එය මට ලබාදෙන ලෙස ද මම කියා සිටියෙමි. ඒ ඉල්ලීමට මා වෙනුවෙන් ලකී ද පවසා සිටියේ සර් ඊළඟ එක මෙයාට තියෙන්න ඕනෙ. තරගයක් නැහැ. මෙයා වෙනුවට එහෙන් මෙහෙන් දාන්න බැහැ. ගාමිණී තමයි ඊළඟට අනිවාර්යෙන්ම ඉන්නේ. ලක්ෂ්මන් එසේ කීවු විට වර්ක්ස් මැනේජර් ලයිලි පීරිස් පවසා සිටියේ ඊළඟට අනිවාර්යෙන්ම මම මේ කරන කැපකීරීමට ඊළඟ ඔපරේටර් තනතුර මට පිරිනමන බවයි.

ලක්ෂ්මන්ට ලයිනෝ ඔපරේටර් තනතුර ලැබිණි. කෙසේ හෝ මසකින් පමණ සේවය කළ ඔපරේටර්වරයකු සේවයෙන් අස් වී හදිසියේ විදේශ රටකට යනු ලැබීය. ඔහුගේ හිස් වූ පුරප්පාඩුවට මා පත්කරනු ලැබුවේ මම කළ ක්‍රියාවට කාගේත් පැසසුම් ද ලබමිණි. සල්ලිත් නැතුව වැඩත් වැඩිව පරණ ජොබ් එක කරමින් වැඩි කාලයක් ඉන්න තත්ත්වයක් මට උදා නොවුණේ මම එදා හිත හොඳින් කළ ක්‍රියාව නිසාවෙන් බව මම හොඳාකාරවම දනිමි.

අප විසින් අකුරු අමුණන ලද පිටු සෝදු පත් අංශය වෙත යැවීමෙන් පසු ඒ එන කොපියේ නැවත නිවැරැදි කිරිම් සිදුකිරීමෙන් පසු අපට ඇත්තේ එම පිටු සකසා ඇති රාක්ක මත තැන්පත් කිරීමයි. එසේ තැන්පත් කරන පිටු කර්තේලිස් බාස් ප්‍රධාන අනෙකුත් බාසුන්නැහැලා විසින් කර්තෘ මණ්ඩලයෙන් සපයා ඇති ඩමියට අනුව ඒ ඒ ප්‍රමණවලින් ලඩ්ලෝ මැෂිමෙන් ගන්නා ලොකු අකුරු යෙදූ හෙඩින් යොදමින් පත්තරයේ පිටුව සැකසීම සිදුකරන්නේ කර්තෘ මණ්ඩල උපකර්තෘවරුන්ගේ අධීක්ෂණය මධ්‍යයේය. ජාතික ඇදුමෙන් නිරන්තරයෙන් සැරසී සිටින කර්තේලිස් බාස් තම ගෝල බාස්ලා අතින් නිමවෙන පිටු තමන්ගේ අධීක්ෂණයෙන් පසු මුද්‍රණය සඳහා යැවීමට කටයුතු කරන්නේ ඔහුගේ සියලු වගකීම් අහවර වූ පසුවය.

අසූව දශකය වන විට ලේක්හවුස් ආයතනයේ මුද්‍රණ කටයුතුවල විශාල වෙනසක් සිදුවන්නට විය. ඒ වෙනසත් සමඟ ලයිනෝ මැෂින් වෙනුවට කොම්පියුටර් ටයිප් සෙටින් මැෂින් භාවිතයට එක්විය. මෙහිදී ලයිනෝ මැෂින් ඔපරේටස්ලාට ආයතනය විසින් වන්දි ලබා දී ඔවුනගේ කැමැත්තෙන් සේවයෙන් ඉවත් වන්නට ඉඩකඩ ලබා දුන්නේ ඔවුනගේ වයසත් සමඟ මේ තාක්ෂණයට අනුගත වීමට තිබූ අකැමැත්ත නිසාමය. එසේ නොයන පුද්ගලයන් සඳහා ටයිප් සෙටින් සඳහා ආයතනය මඟින් තම කැමැත්ත පරිදි පුහුණු වීම් ලබාදෙනු ලැබීය. ඒ සඳහා මා ද ඇතුළත් විය. ඒ අයුරින් මා ලයිනෝ ඔපරේටර් තනතුරින් කොම්පියුටර් ටයිප් සෙටින් තනතුර දක්වා අනුගත විය. එහිදී ටයිප් සෙටින් ක්‍රමය තුළ වුව ද කිසිදු පුවත්පතට අනුගත නොවී පොදුවේ යතුරු ලියනය කිරීම සිදුකරනු ලැබීය. මේ අයුරින් රාජකාරිමය කටයුතු කරමින් සිටිනා අතරේ අපිව බෙදා වෙන් කරනු ලැබුවේ එක් එක් පුවත් පත වෙනුවෙනි. ඒ අනුව මාව යොමු කරනු ලැබුවේ සරසවිය පුවත්පතටය. ඒ 2003 වර්ෂයේ එවක සරසවිය කර්තෘවරිය වුයේ දීප්ති ෆොන්සේකා මහත්මියයි. එතැන් පටන් මම සරසවියට පමණක් සීමා වූ කොම්පියුටර් ටයිප් සෙටින් ඔපරේටර්වරයා විය. අප කොම්පියුටර් ටයිප් සෙටින් යුගයට සම්ප්‍රාප්ත වීමත් සමඟ ලයිනෝ මැෂින් භාවිතය අතහැර දමනු ලැබීය. එම මැෂින් එකතුව සහිත වර්ක්ස් ඩිපාට්මන්ට් එක වැසී ගොස් එතැනට වෙනත් දෙපාර්තමේන්තු අනුගත විය. අපි නව තාක්ෂණයට අනුගතව ටයිප් සෙටින් හරහා ලිපි ටයිප් කරනු ලැබුවෙමු. සරසවිය පත්තරයේ පමණක් මාගේ සේවාකාලය වසර 17ක් විය. පුරාවසර 52ක් මම ලේක්හවුස් ආයතනයේ සේවය කළෙමි. එයින් පුරා වසර 17ක් සේවය කරනු ලැබුවේ සරසවිය පුවත්පතට පමණක්ය. එදා මෙදා තුර මා අතින් අකුරු ඇමිණු නළු නිළියන්ගේ නම් කොතෙකුත් ඇත. ඔවුන් පිළිබඳ පළ වූ ලිපි මා අතින් අකුරු කරන්නට වූ ලිපි මෙතෙයැයි කියා කිව නොහැකිය. සරසවිය පත්තරය හැට වසරකට පා තැබූ මොහොතේ මා ජිවන ගමනේ 73 වන වියට පා තබා ඇත. පුරා වසර 52ක් ලේක්හවුස් ආයතනයට අවංක සේවයක් මා හට හැකි උපරීමයෙන් කරන්නට හැකිවීම ගැන මම සතුටුවෙමි. හැටවන වියට පා තැබූ සරසවිය පත්තරයට අඛණ්ඩව වසර 17ක් පරිගණක අක්ෂර සංයෝජනයෙන් දායක වීමට ලැබීම මම භාග්‍යයක් කොට සලකමි. තව තවත් සරසවිය කලාවට සරසවියක්ම වේවා! පත්තර කලාවේ මහගෙදර වූ ලේක්හවුස් නාමය චිරාත් කාලයක් මේ දේශයේත් ලෝ තලයේත් බැබළේවා. එය මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.

සේයාරූ - ශාන් රූපස්සර