අන්තර්ජාතික තලයේ නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීම මගේ බලාපොරොත්තුව

නිෂ්පාදිකා ඇන්ජලා කුරුප්පු
මාර්තු 16, 2023

ප්‍රඥා ඇස දල්වන්නට ආනන්දනීය. රෑ රටා අප දෑස්මානයට ගෙනෙන්නට තිරයෙන් පිටුපස ද සිදුවන්නේ විසල් භූමිකාවකි.

කලා නිර්මාණයක සාර්ථකත්වයට එහි තිරපිටපත, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ඇතුළු බොහෝ දෑ රංගනය සේම වැදගත්ය. ඒ අතර නිෂ්පාදකවරයකුගේ කාර්ය භාරය ඉතා සුවිශේෂීය.

භෞතික නිර්මාණයක් සජීවිභාවයට පත්වෙන්නේ අධ්‍යක්ෂවරයාගේ කලා කෞශ්‍යලයෙනි. කෙටි චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඇන්ජලා කුරුප්පු මේ දිනවල අධ්‍යක්ෂණයට සැරසෙන්නීය. මේ කතා බහ ඒ නිසාවෙනි.

ඔබේ වත්මන් කලා කටයුතු වලින්ම අපේ කතා බහ අරඹමුද?

මේ දිනවල කෙටි චිත්‍රපට නිෂ්පාදන කටයුතු වල නිරතවෙනවා. නව නිර්මාණකරුවන්ට ද මේ සඳහා තමන්ගේ නිර්මාණ එළිදක්වන්න අවස්ථාව සැලසී තිබෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ විදාර්ථීන් පිරිසක් ඔවුන්ගේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කළ ‘මිය සිදුර’ චිත්‍රපටයට මා ද සම නිෂ්පාදනයෙන් දායක වුණා. ඇත්තටම එය සිදුකළේ ඔවුන්ට සහයෝගයක් දැක්වීමේ පරමාර්ථයෙන්.

නිෂ්පාදනයෙන් අධ්‍යක්ෂණයට පිවිසීමටට ඔබ මේ දිනවල සුදානමින් සිටිනවා නේද?

මේ සියලු කලා කටයුතු සිදුකරන්නේ මගේ ආත්ම තෘප්තිය සඳහායි. මම තේරෙන වයසේ පටන් කලා නිර්මාණ රස වින්ඳා. චිත්‍රපට නැරඹීම එදා මෙන්ම අදත් මගේ ප්‍රමුඛතම විනෝදාංශයයි. විෂ්ණු සංක්‍රාන්තිය මාගේ ප්‍රථම නිෂ්පාදනයයි. එදා සිට මේ දක්වා කලා නිර්මාණ සමඟ සිදුකරන මේ සොඳුරු ගනුදෙනුව අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන්න මා තුළම පෙලඹීමක් ඇති කළා.

මේ දිනවල ඒ සඳහා සුදානම් වෙනවා. මේ වසර අවසන් වීමට පෙර නව නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. අන්තර්ජාතික සිනමා උලෙළක් සඳහා ඉදිරිපත් කළ හැකි අයුරින් හොඳ නිර්මාණයක් කිරිමේ බලාපොරොත්තුවක් තිබෙනවා.

කලා නිර්මාණ නිෂ්පාදන, අධ්‍යක්ෂණය වැනි කටයුතු වල බොහෝ විට නිරත වන්නේ පුරුෂ පාර්ශවය. කාන්තාවක ලෙස එය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

මේ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මා සමඟ ඉතා හිතවත්. එම සුහදශිලි බව මාගේ නිර්මාණ කටයුතු හොඳින් කරගැනීමට අභියෝගයක් නොව පහසුවක් බවට පත්වුණා.

නමුත් අභියෝග නැතුවාම නොවෙයි. අපේ ගෞරවය ආරක්ෂා කරගැනීම අපේ වගකීමයි. නිර්මාණකරණය ඉතා සංකීර්ණ කාර්යයක් වුවත්, සැමදෙනාගෙන්ම ලැබුණු සහයෝගය මේ අවස්ථාවේ මා සිහිපත් කරන්නේ ඉතා කෘතවේදිත්වයෙන්. කාන්තාවකට ස්වභාවයෙන්ම මනා කළමනාකරණයකින් කටයුතු කිරිමේ හැකියාව තිබෙනවා. මා විශ්වාස කරනවා ඒ නිසාම නිෂ්පාදන භූමිකාව තුළ ඇති සුවිසල් කාර්ය භාරය හොඳින් ඉටු කිරීමට හේතු වුණු බව.

ඔබට කලාලොව ජයගන්න ආදරණීය පවුලෙන් ලැබෙන සහයෝගය කෙසේද?

මගේ ආදරණීය ස්වාමිපුුරුෂයා පි‍්‍රයන්ත කිතුල්පේ සහ ලොකු දුව දිනෙලි හා පොඩි දුව සෙනෙලි ලොකු සහයෝගයක් ලබාදෙනවා. කලා ක්ෂේත්‍රයේ මා කෙතරම් කාර්යය බහුල වුවත් ගෘහණියකගේ භූමිකාව තුළ මගේ වගකීම් උපරිමයෙන් ඉටු කරනවා. මගේ පවුලේ සැමදෙනාම කලාවට ආදරෙයි. රැයක් දවාලක් නැතිව වැඩකරන්න සිදුවෙන අවස්ථා තිබෙනවා. ඒ හැමවිටම නිවෙසෙන් ලැබෙන ආදරය, කැපවීම, විශ්වාසය බොහොම වටිනවා.

[email protected]