වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
හිනැහෙමි එසඳෙහි කඳුළු මුදා හැර ඔබගේ උණුසුම් ළය මඩලේ...

හිම කඳු යහනේ වලා සැඳැල්ලේ...
සදාහරිත තුරු සෙවණැල්ලේ
මොහොතක් සැඟවෙමු
ලොවෙන් මුවා වී අපේ සිහින උයනේ ...
දෙසිතක බැඳී රැකවල් ගිලි හී යයි
තනි වූ සිත් අද නොතනි වෙලා...
ඒ හසරැල් විල මාසිත පිබිදී
ඔබට පිදෙන්නට මලක් වෙලා...
කඳුළක් නැඟි මොහොතක ඔබ නෙතඟින්
ළංවෙමි සිටිය ද කොතැන ලොවේ...
හිනැහෙමි එසඳෙහි කඳුළු මුදා හැර
ඔබගේ උණුසුම් ළය මඩලේ...
ගී පද - කුලරත්න ආරියවංශ
ගී නද - සරත් දසනායක
ගී හඩ - ග්‍රේෂන් ආනන්ද / නිරංජලා සරෝජනී
චිත්‍රපටය - සසර චේතනා
සිංහල සිනමා වංශකතාවේ රන් අකුරින් ලියැවුණු තවත් එක් සිනමාපටයක් ලෙස “සසර චේතනා“ හැඳීන්විය හැකිය. සිනමා කර්මාන්තය බොහෝ සේ කඩාවැටී තිබූ මොහොතක නැවතත් සිනමාව නගා සිටුවීමේ අරමුණින්, සිනමා ක්ෂේත්‍රයටම සම්බන්ධ පිරිස අතුරින්, හැකියාව ඇති දක්ෂයින් ඒ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ යුගයක මෙම සිනමාපටය නිර්මාණය විය.
ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනි ෆොන්සේකා අධ්‍යක්ෂකවරියක ලෙස සිය ප්‍රථම සිනමාපටය ලෙස මෙය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරමින් 1984 -05- 30 දින හෙළ සිනමාවට තිළිණ කළාය. කඩා වැටුණු සිනමා කර්මාන්තයට එමගින් නව ජවයක් හා නව ජීවයක් උදා විය. එසේම ආදායම් වාර්තා තබමින් ඉතා ම සාර්ථක ලෙස මෙය ප්‍රදර්ශනය විය.
1985 වසරේ දී පැවති 13 වන සරසවිය සම්මාන උලෙළේ දී ප්‍රථමවරට හොඳම ක්‍රියාදාම චිත්‍රපටය ලෙස මෙම සිනමාපටය සම්මානයට පාත්‍ර විය. එසේම එම සම්මාන උලෙළේ දී ම හොඳම ගායන ශිල්පියාට හිමි සම්මානය මෙහි ඇතුළත් වූ “බුදුනේ බුදු පියාණනේ ....“ ගීතය ගායනා කළ ප්‍රවීන ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරාට හිමි විය.
හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස සරත් දසනායකත්, ‘බුදුනේ’ ගීතය ලියූ මහාචාර්ය සුනිල් ආරියරත්න හොඳම ගීත රචක ලෙසත් සරසවිය සම්මාන ලැබූහ.
එවකට විශාල පිරිවැයක් දරමින් ඉන්දියාවේ ඉතා ම සුන්දර හා ප්‍රසිද්ධ ස්ථාන මෙන්ම, දඹදිව පූජනීය සිද්ධස්ථානවල මෙහි රූගත කිරීම් සිදුකර ඇති අතර, එය චිත්‍රපටයේ ජනප්‍රියත්වයට බොහෝ සේ ඉවහල් විය.
මාලිනි ෆොන්සේකා සහ සනත් ගුණතිලක මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ශාන්ති ලේඛා, විශාකා සිරිවර්ධන, ක්ලිටස් මෙන්ඩිස්, විල්සන් කරුණාරත්න, විමල් කුමාර ද කොස්තා, ටෙඩී විද්‍යාලංකාර ඇතුළු නළු නිළියෝ රැසක් මේ සඳහා රංගනයෙන් දායක වූහ.
සොරකම් කරන ලද රන් බුදු පිළිමයක් සොයා යන කතා තේමාවක් ඔස්සේ ප්‍රේමය, ත්‍රාසය, කුතුහලය, සටන් ජවනිකා මෙන්ම මියුරු ගීත ද ඇතුළත්කොට නිර්මාණය වූ මෙය ක්‍රියාදාම චිත්‍රපටයකි. නීනා සහ සුමේධ කුඩා කල සිටම හොඳීන් දැන හඳුනයි. ඔවුන් ඥාති පවුල් දෙකක දරුවන් ය. රන් බුදුපිළිමයක් සොරකම් කිරීම පිළිබඳ ගැටලුවක් මත මෙම පවුල් දෙක අතර විරසකයක් ඇති වී ඔවුන් දුරස් වේ. කාලය ගත වී ගොස් නෑනා හා මස්සිනා වූ ඔවුන් යොවුන් වියේ දී නැවතත් මුණගැසී ඔවුහු පෙම්වතුන් බවට පත් වේ. ඒ ප්‍රේමයට පරණ විරසකය හේතුවෙන් විවිධ බාධක, කම්කටුලුවලට මුහුණ දීමට සිදු වේ.කුමන බාධක ඇති වුව ද,ඒ සියල්ල විඳගනිමින් ඔවුන් ආදරයෙන් තව තවත් බැඳෙති. මෙය, ඒ බැඳීම මත ගලායන ඔවුන්ගේ ආදර කතාවේ එක් සොඳුරු මොහොතක ගැයෙන ආදර ගීතයකි. ඉන්දියාවේ කාෂ්මිර් ප්‍රදේශයේ මනස්කාන්ත දර්ශන තලවල රූගත කිරීම් කර ඇති මෙහි ගීතමය ජවනිකාව ද ඉතා ම සුන්දරයි.
ප්‍රේමය ඉතා සුන්දරයි. එය හිමිකර ගැනීම එහි අග්‍ර ඵලයයි. අහිමිව සිට හිමිවීම තරම් සුන්දර ගැඟුමක් ප්‍රේමයේ දී තවත් නොමැති තරම් ය. ආදරය කරන හිත් කැමතිම එක මොහොතක් හෝ සියල්ලන්ගෙන්ම වසන් වී කොහේ හෝ තනිවන්නට ය. එය පෙම්වතුන්ගේ සුන්දර සිහිනයක්. ආදරය කරන හිත්වල කොතරම් නම් සිහින තිබේ ද? ඒ සිහිනවල ජීවත්වීම තරම් සොඳුරු හැඟුම්ක් තවත් වේ ද? මේ පෙම්වතුන්ටත් එය එක සේ පොදුයි. ඔවුන්ගේ ආදරයත් සිහින පිරුණු සොඳුරු පාරාදීසයක්. කුමන බාධක රැකවල් දා තිබුණ ද එවන් ආදරණීය හදවත් කෙසේ හෝ මුණ ගැසෙයි. සියලු දුක් වේදනා පසෙක ලා, ඔවුන් හමු වූ විට මුළු ලෝකයෙන්ම එක මොහොතකට හෝ සැඟව ඒ ආදරය සිත් සේ විඳගැනීමට සිතීම අරුමයක් නොවේ.
ඔවුන්ගේ ඒ අසිරිමත් හමුව තුළ ඔවුන් අත්විඳීන සතුට, සොම්නස ගීතයේ පද පේළී හරහා මෙන්ම රංග නිරූපණයෙන් ද ප්‍රේක්ෂකයාට මනා සේ දනවයි.
කඳුළක් නැගි මොහොතක ඔබ නෙතඟින්
ළං වෙමි සිටිය ද කොතැන ලොවේ....
හිනැහෙමි එසඳෙහි කඳුළු මුදාහැර
ඔබගේ උණුසුම් ළය මඩලේ...
තමන්ගේ පෙම්වතිය වේදනාවෙන් දුකින් සිටිනු දැකීම සැබෑ ආදරවන්තෙයෙකුට දැරිය නොහැකි වේදනාවක් ය. මේ පෙම්වතාටත් ඇය වේදනා විඳීනු දැරිය නොහැකි ය. ඒ නිසයි ඔහු, කොහේ සිටියත් ඈ දුකින් නම්, ඈ සොයා එන බව එලෙස පවසන්නේ.
එවැනි ස්ථිර ආදරයක් සෙනෙහසක් ලැබීම තරම් ප්‍රහර්ශයක් පෙම්වතියකට තවත් තියේ ද? එසේ නම් ඈ කුමට වැලපෙන්න ද? දුක් වෙන්න ද? ඔහුගේ උණුසුම් ළය මඬල තරම් ආරක්ෂිත තැනක් තවත් ඇයට තිබේ ද?
ප්‍රේමයට මොන බාධක තහංචි දැම්මත් සැබෑ ප්‍රේමය හා සැබෑ පෙම්වතුන්ගේ හමුවීම හා එක්වීම වළකාලිය නොහැකිය. ඔවුන් ලොවට හොරා කෙසේ හෝ හමු වේ. එය කෙතරම් ප්‍රේමණීය සුන්දර මොහොතක්දැයි දන්නේ සැබැවින්ම එවන් සොඳුරු මතකයන් ලද පෙම්වතුන්ම පමණයි. එවැනි සොඳුරු මොහොතක රස විඳීන මේ පෙම්වතුන්ගේ රංගනය, ගායනය, රූප රචනය හා පසුතල දර්ශන සියල්ල ගීතයට මනාසේ සාධාරණයක් ඉටුකර තිබේ.
මෙම ගීතය සංගීතවත් කළ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සරත් දසනායකයන්ගේ මියුරු සංගීතයට ග්‍රේෂන් ආනන්ද හා නිරංජලා සරෝජිනි ගායන ශිල්පීන්ගේ ලයාන්විත හැඟුම්බර ගායන මාධූර්ය ගීතයේ අලංකාරය උපරිමයට නංවා තිබේ.
අචලා මුතුතන්ත්‍රි