වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
‘අපේ තාත්තා අපට දුන් ආදරය තවමත් පුදුමයක්’

පෙබරවාරි 15 වැනි දිනට යෙදුණු ඔහුගේ වර්ෂ පූර්ණ අනුස්මරණය නිමිත්තෙනි
‘මට හරිම වේදනාවයි අම්මා - කවදාවත් නැති තරමට මට හරිම අමාරුයි. ඔයා ආයෙත් මාව බලන්න එපා මගේ අම්මා.’
තමන්ට නිම්හිම් නැති ආදරයකින් තමන් රැක බලාගත් තම සැමියා රෝහල් ඇඳ මත වැතිර ගත්වනම මින් පෙර නොකියූ ‘අම්මා’ ආමන්ත්‍රණයෙන් තවත් දේ දුක්බර විලාශයෙන් කියනු අසා සිටි ඕ තොමෝ ඔහු හිස පිරිමදින්නට වූවාය.
“ඔයාව අවුරුදු පනහක් කල් ආදරයෙන් බලාගන්න මට තවත් කල් ඔයාව බලාගන්න පුළුවන්’ බිරිඳ දයාලතා ඒ ටික කීවේ හැඬු කඳුළෙනි.
‘මට හරිම අමාරුයි. අම්මා... මගේ අම්මා මට දැන් ඉතින් යන්න අවසර දෙන්න.’
අලුත්ගම ප්‍රදේශයේ විමල් වීරසිංහ සනුහරයම විවිධ කලාකුසලතාවනටම හපන් නමගිය පිරිසකි. එවක ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු වූ විමල් වීරසිංහ දෙවන ලෝක යුද සමයේ දී රණබිමට වැද සිටි නිර්භීත අයෙකි. ඔහුගේ බිරිඳ උපන් හපන් කිවිඳියකි. ඒ ඇනුම් පද අමුණා කවිපද ගෙතීමෙහි. හපනියකි. මේ ආදරණීය දෙපළට හිමි දූ පුතුන් හත්දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා තම සනුහරයටම ගෞරවයම හිමිකර දෙන පුත්‍ර රත්නයක්ම බව ඉඳුරා දැන සිටි තාත්තා විමල් වීරසිංහ පුතුට සවියක්ම වූයේය. ඒ ගෙදර පරිසරය ද හැඩ ගැසී තිබුණේ වියත් කතා. මාධ්‍ය ලොව කතා, සෞන්දර්යය විෂයයන් සබැඳි කතා වලිනි. ඊට තවත් අලෝකයක් වුයේ විමලාගේ වැඩිමහල් සහෝදරිය පියසීලි ගුණසේකර ගේ අපුරු කතන්දර කතා ලතාවෙනි. ඒ ඇයගේ කතන්දර අසා සිටින්නට පොඩි උන් පමණක් නොව වැඩිහිටියෝ ද දැක්වුයේ මහත් ආශාවකි. ඒ කතන්දර කතා සිරිත එතරම් අපුර්වය.
වීරසිංහ යුවළගේ වැඩිමහල් පුත්‍රයා උපන්නේ 1947 ක් වූ ජුලි මස 05 වනදාය. ඒ පානදුර සරික්කාමුල්ලේය. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු මෙන්ම ප්‍රතිභාසම්පන්න ගේය පද රචකයකු ද වූ ඊටත් එහා ගිය මනුස්ස හදවතකින් පිරිපුන් සමන් චන්ද්‍රනාත් වීරසිංහ නම් සොඳුරු මිනිසා පිළිබඳ තතු සොයා සරසවිය වෙනුවෙන් ගිය ගමනේ දී දැන් මා අසලම පසුවන්නේ අපේ ආදරණීය කතා නායකයාගේ වැඩිමහල් දියණිය වන ටිකිරි කුමාරි දිමුතු පබා වීරසිංහ මහත්මිය. ඇය සමීපයේම පසුවන්නේ අපේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ආදරණීය බිරිඳ දයාලතා වීරසිංහය.
රුවැත්තියක වන ටිකිරි කුමාරි සිනාබර මුවින් මා හා පිළිසඳරට එක්වුයේ මෙසේය.
‘අපේ තාත්තා නිතරම තාත්තාගෙ ළමා අවධිය ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරනවා. ඒ ගේ ඇතුළේ සෑම විෂයයක් ගැනම නිතර කතාබහලු. හැමදේකින්ම යමක් ඉගෙන ගන්න ලැබුණ බවත් තාත්තා කීව මට මතකයි. මගේ තාත්තාගේ පවුලේ ඔක්කෝම හත්දෙනෙක්. වෙන පවුල් වල වගේ නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. මුළු පරපුරම පෑනත් එක්ක සමීපතම ගනුදෙනුවක් තිබුණාය කියල මට හිතෙන්නෙ. අපේ සීයා ආච්චිගේ මහ ගෙදර හරිම රසබර හරබර තැනක් හැටියටයි මමත් අහල තියෙන්නේ.’
අපේ ටිකිරි කුමාරි මහත්මියගේ නම ගැන ද වරෙක දී කතාබහක් ඇති වූ විට දී ඇය කීවේ ‘ඉතින් අම්මා තාත්තා පවුල් දෙක අතරේ හා පුරා කියා උපන් දියණිය වූ මට හරි විශේෂ සැලකිලි ලැබුණා. ඉතින් පවුලේ හැම කෙනාටම හොඳ දැනුමක් වගේම භාෂා දැනුමකුත් තිබුණානෙ. ඔන්න මගේ නම ටිකිරි කුමාරි කියල තාත්තා දැම්මහම ඔන්න සීයා මගේ නමට තව කැල්ලක් එකතු කරලා. ආච්චි තව කැල්ලක් නැන්දා තව කෑල්ලක් මගේ නමට එකතු කරලා. ඔහොම තමා එයාලා මගේ නම හැඩ වැඩ කරල තියෙන්නේ. ඉතිං මම ටිකිරි කුමාරි දිමුතු පබා වීරසිංහ වුණා.’
අපේ සොඳුරු කතා නායකයා සැබැවින්ම දැඩි සිතැත්තෙකි. තවකෙකුට පහසුවෙන් නැවිය නොහැකි ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි සවිමත් මනසකින් හෙබි අයකුම විය. යම් කාල වකවානුවලදී පැමිණි අභියෝගවල දී ඊට නොසැලී පසු වූ මාධ්‍යවේදීන් අල්පතරයක් දෙනා අතර අපේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ට ද හිමිවනුයේ ප්‍රමුඛ තැනකි.
ටිකිරි කුමාරි කටහඬ අවදි කළාය.
‘අපේ තාත්තාගෙ කුඩා කාලය පානදුරේ සරික්කාමුල්ල. මුලින්ම ඉගෙන ගත්තේ පානදුර ශ්‍රී තක්ෂිලා විදුහලේ පස්සේ පි‍්‍රන්ස් ඔෆ් වේල්ස් විදුහලට ගිහින් පසුව පානදුර පින්වත්ත පිරිවෙනෙ දී, ඉන් පස්සේ රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනට ඇතුලත් වුණා. සාමාන්‍ය පෙළ ලියන්න. අපේ තාත්තා සාමාන්‍ය පෙළ සමත් ව උසස් පෙළ විභාගයට සුදානම් වුණා. කියමුකො.’
එතැනදී අපේ කතානායකයා නොසිතු ඉරණමකට පාත්‍ර වී ඇත්තේය. උසස් පෙළ පරීක්ෂණයේ දී අසා තිබුණු ප්‍රශ්නයක් වුයේ විරාගය කෘතිය පිළිබඳ ප්‍රශ්නයකි. ඊට අපේ කතා නායකයා එය හොඳ කෘතියක් නොවන බවට පිළිතුරු ලිවීමෙන් ගුරු භවතාගේ දෝෂ දර්ශනයට ලක්වීමෙන් නිවසට පැමිණ තාත්තාට කීවේ මේ ටිකය.
‘මං ආයෙත් ඉස්කෝලෙ යන්නේ නැහැ.’
එහෙත් වයසින් දහහතර වියේ සිටම පවුලේ උරුමයට මෙන් ලස්සනට ලියන්නට උපන් හපනකු වූ අපේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ළමා අවධියේදී ද විවිධ කෙටි කතා තරඟ ආදියෙන් විවිධ තිළිණ දිනා ගන්නට සමත් වුයේය.
තමන් නිවසන තැන සිට වැඩි දුරක නොවු නිවසක තරුණියක් හා පෙමින් වෙළුණු හෙතෙම ඇය දැකගනු රිසියෙන් ඒ නිවස ඉදිරියෙන් සක්මන් ගමන් යන්නේය. ගේ දෙසට එබෙන්නේය. ගිය ගමන ආපසු හැරී මිදුලේ වැට අස්සෙන් බලා පෙම්වතිය සොයන්නේය. දුම්වැටියක් ද දල්වාගෙන ආයෙ ආයෙත් ඒ මේ අත යන්නේය.’
‘මේ වෙලාවට මිනිස්සු බත්මුලකුත් බැඳගෙන රස්සාවට යනවා. ඒත් අර රස්තියාදු කාරයා රස්සාවකට යනවා නෙමේ. අපේ ගේ ළඟ කැරකෙනවා.’
තම මැණියන්ගේ කෝපය ඇවිස්සී ඇති බව දත් පෙම්වතිය වහා වැට අයිනට දිවැවිත් කියන්නේ ‘අනේ සමන් - ඔයා යන්නකො. අපේ අම්මා මට බනිනවා’ කියාය.
මාධ්‍යවේදියකුට රස්සාවකට නියමිත වේලාවක්. නොමැති බව පෙම්වතියගේ මව් දැන නොසිටින්නට ඇත.
මේ දෙන්නාගේ පේ‍්‍රම සබඳතාවයට වැඩිහිටි විරෝධය දිනෙන් දින එල්ලවෙද්දී තාත්තා විමල් වීරසිංහ සුදානමින් සිටියේ තම ලොකු පුතු ඉන්දියාවට යවා වැඩිදුර අධ්‍යාපනය ලබාදෙන්නටය. එහෙත් තම පුතුගේ සිතැඟියාවන් පිළිබඳව ද සැලකිලිමත් වූ තාත්තා පුතුට ද නොදන්වමින් ගියේ පුතුගේ පෙම්වතියගේ නිවසටය.
ආපසු ගෙදරට පැමිණි තාත්තා ලොකු පුතුට කීවේ මේ ටිකය. ‘පුතේ සමන් ඔයාට නිසි වයස ආවාම ඔය කටයුත්ත පුතා කරගත්තාට මගේ විරුද්ධත්වයක් නැහැ.’ මම ටිකිරි කුමාරිගේ මුහුණ බැලුවෙමි.
‘ඉතින් එහෙම තමා අපේ තාත්තාගෙයි අපේ අම්මාගෙයි පේ‍්‍රම සම්බන්ධය ජය අරන් තියෙන්නේ. මං කීවානෙ තාත්තා දැඩියි ආවේගකාරියි කියලා. ඒ කිසිවකින් කාටවත් සිත් රිදීමක්වත් නැහැ. මගේ තාත්තා දඩබ්බර චරිතයක් වුණත් කාටවත් හිංසාවක් නැහැ. නාඳුනන දරුවකුගේ වුණත් දුකකදී තාත්තාට උණුවන හිතක්මයි තිබුණේ. පුංචි කාලෙ තාත්තා ලොකු අනතුරකින් තුවාල කරගත්තා. ඒ අස්සේ බයිසිකල් පැදල ආයෙත් අත කඩාගත්තා. ඒ වගේ කවදත් තාත්තාට හයිය හිතක් නම් තිබුණා.’
අපේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු, වුවද නිතැන්ම අප සිහියට නැගෙන තරමට එතුමාගේ ගේය කාව්‍ය රචනා පරාසයෙහි රසාලිප්ත බව ආශ්වාදනීය බව හැඟෙයි. එතුමාගේ උත්තුංග නිර්මාණ කාර්යයෙහි රෝහිත විජේසූරිය අතින් සංගීතවත් ව සී.එල්. ෆොන්සේකා විසින් ගායනා කළ ‘මුතුකැට මතුවුණු මහ සයුරයි’ නම් ගීතයෙන් අප හැඳීනගත් ගේය පද රචකයාද වූ අපේ ආදරණීය කතා නායකයාගේ අතින් ලියැවුණු ගීත සංඛ්‍යාව දෙදහසකට අධික යැයි අපේ ටිකිරි කුමාරි මහත්මිය කියන්නීය.
පුවත්පත් කතුවරයකු ලෙසින් ලේක්හවුස් ආයතනයේ ද කීර්තිමත් නමකට හිමිකම් කී අපේ සමන්චන්ද්‍රනාත් වීරසිංහයන් වඩාත් ගීත ලෝලී රසික හදට සමීප වුයේ හද බැඳී පද සිරිතෙන් සිරිමත් වූ ගී පද රචනා සිරිතෙන් යැයි කිවහොත් වඩාත් නිවැරදිය.
පුවත්පත් කලාවේදියකු ලෙසද ගේය කාව්‍ය රචකයකු ලෙසින් ද තම අනන්‍ය ස්වකීය මුද්‍රාව ජනහදවත් හි නිදන්ගත කරවන්නට තරම් සමත් වූ අපේ සොඳුරුතම කතා නායකයාණෝ සිය ගේය පද රචනාවෙන් සිරිමත් වූ ගී සහසක් තවමත් රසික හදෙහි තැන්පත්ව ඇති බව ද නොරහසකි. විශාරද ගුණදාස කපුගේ ගැයූ ‘නාඹර ගොයමට රහස් කියාලා’ විශාරද දයාරත්න රණතුංගයන් හඬ මුසුකළ ‘සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන” පුන්සිරි සොයිසා ගැයූ ‘සෙව්වන්දියකට පෙම් බැන්දා’ බිඳුවක් ඉවසා අහන්න හිතවත , ‘රුසිරු දසුනක් නෙතට යාවී සුජාතා අත්තනායකගේ ‘හතර වටින් කළු කරගෙන වහින වෙලාවේ’ ටී.ඇම්, ජයරත්නගේ ‘ මට තනි නැත නුඹ නාඬන් සුරතලියේ’ කීර්ති පැස්කුවල් හා ධම්මිකා බණ්ඩාර ගැයූ ‘කවිකාරියේ සින්දු කියනා ලදේ’ විශාරද එඩ්වඩ් ජයකොඩි හා චන්ද්‍රාණි බණ්ඩාර ගැයූ‘ ලතා මඩුල්ලක් කතා කරනවා’ රූකාන්ත - චන්ද්‍රලේඛා ගැයූ“සඳලේඛා සඳගිරි හිසින්’ යන එතුමාගේ ගේය පද රචනා ගීතාවලියේ ඉන් කිහිපයකි.
ගීතයක ගැබ් වූ ආකෘතික සීමාවන් මේ මේ යැයි මැනවින් හඳුනාගන්නට තරම් සමතකු වු එතුමා ගේය පද රචනාවෙහි තමන් සතුව පවතින භූමිකාව හෘදයට එකඟව පිළිගනිමින් ගේය පද රචනයට විසිතුර එක්තැන් කළ නිසාවෙන් ම රසික හදවත් හි එතුමාට හිමි වී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. තම ගේය පද රචනයෙහි දී වෙසෙස් භාෂා භාවිතය ද ඉවෙන් මෙන් වටහාගත් සරල සුගම ගේයතා ගුණයත් එම ගීතවල ජනප්‍රියත්වයට වඩාත් තුඩු දුන්නේ යැයි හැගේ.
ටිකිරි කුමාරි කොහෙන්දෝ ඈත බර කල්පනාවකය. ඕ තම පියාණන් සමඟ මතක මං ඔස්සේ සැරිසරන්නී යැයි මට සිතෙයි. මම ඊට බාධා කළෙමි.
“ඉතින් මගේ තාත්තා එයාගෙ මතයේම සිටි කෙනෙක් කියලා මං කීවානෙ. කිවයුතු දේ කෙළින්ම කියන පුරුද්දත් එහෙමමයි. මගේ තාත්තා පුවත්පත් රස්සාවෙදි කිහිපවාරයක්ම තනතුරු වරප්‍රසාද දමල ගහල ගෙදර ආව කෙනෙක්’
“අනේ ඔව්... ඒත් එහෙම දවස්වලදි මං මහත්තයගෙන් අහලත් තියෙනවා රස්සාවට ඔහොම කළාම අපි කොහොමද ජිවත් වෙන්නෙ කියලා.’ ඒ මෙතුවක් ටිකිරි කුමාරි හා මා අතර පිළිසඳරට සවන් යොමා පසු වූ එතුමාගේ ආදරණීය බිරිඳ දයාලතා කී කතාවකි.
‘අනේ මගේ මහත්තයා කුරා කුහුඹුවකුටවත් හිංසාවක් වෙනව දකින්නවත් කැමැති නැති කෙනෙක්. දඩබ්බර පැවැතුම් තිබුණයි කිව්වාට ඒ හයි හත්තිය පෙන්වලා නම් නෙවි. මතවාදවලින් එයාගෙ ආකල්ප වලින්, “ඕ තොමෝ කියාගෙන ගියාය.
‘ඔව් අපේ අම්මා කීවා හරි. තාත්තා ගහන්නෙ මොළෙන්” මුව පිරුණු සිනහවෙන් යුතුව ටිකිරි කුමාරි කීවාය.
අපේ කතානායක වීරසිංහයන් ඉපදුණු දා කියැවුණු සිදුවුණු පුවතක් ද ඇසුවෙමි. අලුත උපන් අපේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ හිසේ ද සුලි දෙකකි. ගුප්ත ශාස්ත්‍රයන් පිළිබඳ හදාරන්නකු වූ සීයා දිනෙක මෙලෙස කීවේලු.
“සමන් පුතා මේ බලාපන් උඹගේ පුතේ හිසේ සුලි දෙකින් මට ආයුෂ අඩුවෙනවා. ඒක බොරුවක් නෙවි පුතේ. ග්‍රහචාරය අනුවත් අනිටු විපාක දෙනවා. අපි දෙන්නගෙම හිසේ සුලි දෙක දෙක නිසා මට මාරක අපල උදාවෙනවා.’
එලෙසින් කියු සීයා ගමනක් යන්නට නිවසින් පිටත්ව ගොස් ගත වී ඇත්තේ ස්වල්ප මොහොතකි. ප්‍රධාන පාරට පය තබද්දීම මාර්ගයේ ධාවනය වූ රියක පැති දොරක් ඉබේම විවර ව ඔහුගේ සිරුරේ හැපීමෙන් ඔහු එතැනම ජීවිතක්ෂයට පත් වුයේලු.
මම දයාලතා මහත්මිය දෙස බලා සිටියෙමි. ඕ තම හිමි පිළිබඳ මතකයන් මා ඉදිරියේ තබන්නීය.
“අප දෙන්නා සණ්ඩු සරුවල් හඳුනන්නෙම නැහැ. එයාට කේන්ති ගිය දවසක් මට මතකත් නැහැ. එයාට හැම තිස්සෙම පේන්නම මම ඉන්නම ඕනා. අපේ සම්බන්ධයට ඉතින් වැඩිහිටියෝ ටිකක් විරසක වුණාට පස්සේ හැමෝගෙම ආශිර්වාදය අප දෙන්නට ලැබුණා. අපි දෙන්නා 1970 මාර්තු 01 වනදා විවාහවෙලා අවුරුදු අටක් විතර උන්නෙත් මහගෙදරමයි. එයාට හැම තිස්සෙම තේ එකක් බොන්නම ඕනා. මොනවා හරි ලියන්ඩ ගත්තාම ඉතින් තේ එකයි සිගරැට් එකයි ඕනමයි. දුම්පානයට තදින්ම ඇබ්බැහිව උන්නා. මත්පැනට නම් එහෙමට ඇබ්බැහිකමක් නැහැ.”
පෑනට පෙම්බැඳී එතුමාගේ පියාගේ පටන් එතුමාගේ සොහොයුරු රංජිත් වීරසිංහයන් එවක දිනමිණ පුවත්පතේය. දැනට වසර තුනකට පමණ පෙර ඔහු මියගොසිනි. ඊළඟ සහෝදරිය ජයලක්ෂ්මී විශ්‍රාමික ගුරුවරියකි. ඇය ද පෑනට පෙම් බැඳී අපේ කතා නායකයා මෙන් ලිවීමට හපනියකි. වරායේ සේවය කළ සහෝදරිය සුනේත්‍රා විශ්‍රාමිකය. අනෙක් සහෝදරයා ජයලාල් ය. ඔහු දැන්විම් ප්‍රචාරක අංශයේය. සෙනරත් වීරසිංහ ද සහෝදරයෙකි. ලියන්නට ම දක්ෂ ඔහු සේවය කළේ ජලසම්පාදනයේය. පවුලේ බඩපිස්සා වූ බාලයා භාරතී වීරසිංහ ද ලියන්නටම සමතෙකි. මේ සෑම සියලුදෙනාම එක වහලක් යට පසුවන කල පුවත්පත් කලාව, පත්තර කවිය, තීරු ලිපිය, විවිධ සංවාදයන්ගෙන් අඩුවක් නැති. ඒ අස්සේ මේ කතා රැසකට වරින් වර අම්මා ඇණුම්පද කවියෙන් සංවාදයට එක්වෙයි.
“අම්මත් ආවෝ - අප්පත් ආවෝ- මාලෙට මුතුත් ගෙනාවෝ මුතු අමුණන්නට වැලුත් ගෙනාවෝ
දොර ඇරපන් අමල් බිසෝ..
මේ පද පෙළ රසට ගැයූ අපේ සොඳුරු කතා නායකයාගේ ලොකු දුව ටිකිරි කුමාරි උස් හඬින් සිනාසෙමින් කීවේ ඒ කවි මගේ ආච්චිගේ සහෝදරිය පියසීලි ලොකු අම්මාගෙ ඉතින් ලොකු අම්මා ආයෙත් මෙහෙමත් ගයනවා.
‘අම්මා ආවෙත් නැත - අප්පා ආවෙත් නැත
මුතු අමුණන්නට වැලුත් නැත.
දොර නාරින් අමල් බිසෝ...’
රසට ගැයූ ටිකිරි කුමාරි යළි සතුටින් හිනැහෙන්නීය.
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් කාටත් පි‍්‍රයමනාපය. එතුමාට වඩාත් පි‍්‍රයමනාප තැනම බවට පත්ව තිබුණේ ගෙදරය. එවිට තම බිරිඳ මෙන්ම තම දූ දරුවන් ද සිටිය යුත්තේ තම ඇස මානයේය. නොපෙනෙන විට අඬ ගසන්නේය.
‘අපේ තාත්තා අපේ අම්මට පුදුම ආදරයක් තිබුණේ, අම්මාගෙ සෙවණැල්ලම තමා. එයාගෙ දූ දරුවන් වන අපට වගේම අපේ දරුවන්ටත් මහා පුදුම බැඳීමක්. ඒ තාත්තාගේ ආදරය හරියට පෙරේතකමක් වගේ නේද අම්මා’ එසේ කී ටිකිරි කුමාරි තම මවගේ මුහුණ බලා විමසුවාය. අම්මා හිස සලා තම දියණියගේ කතාව අනුමත කළාය.
‘අපේ තාත්තා අනේ අසනීප වුණා.’ එවර ටිකිරි කුමාරිගේ හඬ බිඳුණු ස්වරයෙනි.
අපේ ආදරණීය සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් බයිපාස් සැත්කමකට බඳුන් කළ යුතුම බවට මෙරට වෛද්‍යවරුන් තීරණය කිරිමෙන් එවක ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා එම ප්‍රතිකාර පිණිස ඉන්දියාවේ ඇපලෝ රෝහලට යාමට ඇවැසි සියලු පහසුකම් සපයා දුන්නේය. සැත්කමට බඳුන්ව පෙරළා නිවසට පැමිණි එතුමා ජනාධිපතිවරයාට දුරකතනයෙන් කීවේ ‘මම ගෙදරට පැමිණි බවත් සුව වූ විගස ඔබතුමා බැහැ දකින්නට පැමිණෙන බවත්ය. ඊට ජනාධිපතිවරයාගේ පිළිතුර වුයේ ‘සමන් විවේකීව ගෙදර ඉන්න. මං ඔයා බලන්න ගෙදරට එන්නම්’ කියාය.
එහෙත් ඒ දවස යළි උදා නොවුයේ ජනාධිපතිවරයා කොළඹ ආමර්විදීයේදී ඝාතනයට ලක්වීමෙනි.
මහල් නිවාස සංකීර්ණයේ රෝගාතුරව දිවිගෙවු එතුමාට යාම් ඊම් පහසුව පිණිස සමීපව සිටි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය ඇයගේ මවගේ පහළ මාලයේ නිවසක් ද සපයා දුන්නාය.
අජන්තා රණසිංහ, කුලසිරි බුදවත්ත, වසන්ත පි‍්‍රයරාමනායක,සරත් දසනායක, ඇන්ටන් අල්විස්, සරත් ද අල්විස්, ස්ටැන්ලි පීරිස් ආදී තවත් බොහෝ සමීපතම කලාකරුවෝ ඔහු සමීපයේමය මින් සරත් දසනායකයන් අපේ කතා නායකයාගේ අඹ යහළුවාය. අඟුලාන පෙදෙසේ මුහුදු වැල්ලේ ධීවර ප්‍රජාව ද එතුමාගේ හිතවතුන්ය.
‘අපේ සමන්ට ඇසුරේ දී මේ ලොකු කෙනෙක් මේ පොඩි කෙනෙක් කියන බේදයක් හිතේ අහලකවත් තිබුණේ නැහැ. කාටත් එක වගේමයි ඕනෑම වෙලාවක ගේට්ටුව ඇරලා. ඒ එයාගේ හැටි.’ බිරිඳ දයාලතා කියන්නීය.
තමා බිරිඳට ඇති ළෙන්ගතුකම් ඔහු මුවින් කියැවෙන්නේ මගේ දයෝ - පැටියෝ - බබෝ යන ආදර බර වදන් ඇමතුමෙනි. යමක් පරිස්සමට දුන් දෙයක් නැවත ඉල්ලූ කළ බිරිඳගේ පමාවකදී ඔයාට මං පරිස්සමටනෙ දුන්නේ දයාලතෝ යැයි කියන්නේ උස් හඬකිනි. ඒ එතුමාගේ තරහ සිතක ප්‍රමාණය එයමය.
ක්‍රිකට් ලෝලියකු ද වූ එතුමා අවුට් එක දෙන්නත් කලින් අපේ තාත්තා අවුට් එක දීලා යැයි කියන්නී ටිකිරි කුමාරිය.
ඒ අතරේදී ගීතයකට පද අහුරක් හිතට ආ කළ අතට හසුවන කොල කැබැල්ල වුව එතුමාට ප්‍රමාණවත්ය.
‘අපේ තාත්තා අපේ අම්මාට ආදරය කරන දවස්වල අම්මාගෙ ගේ ළඟ ඔන්න සංගීත සංදර්ශනයක් තිබුණා හොඳේ. ඒකට ධනපාල උඩවත්ත මහත්තයාත් ආවා. තාත්තා ධනපාලට කියල තියෙනවා මොන සින්දුව කිව්වත් කමක් නැහැ. අර මං උඹට ලියා දීපු ‘කියයි මිහිරි කතා හොඳට රසට ගොතා බොළඳ සුපෙම්ලතා’ මලෙකි නාරිලතා’ ගීතය අනිවාර්යයෙන් ගයපන් කියලා ඒ මොකද දන්නවද තාත්ත ලියාපු ඒ සින්දුව අපේ අම්මට ඇහෙන්න ඕන හින්දා’
මවත් දියණියත් සතුටින් සිනාසේ. මම ද ඊට හවුල් වීමි.
ටිකිරි කුමාරි මොනවාදෝ කියන්නට සැරසෙයි.
‘අපේ තාත්තා ලියාපු ගීීත අතර මාලනි බුලත්සිංහලගෙ සඳ මඬලේ සිට තරු මඬලේ සිට, එතකොට චන්ද්‍රිකා සිරිවර්ධන ගයන මල් කෙල්ලක් මං, රණ්ඩු වෙවී යාලුවේවී (නිමල් ගුණසේකර) මිදුලේ මල් සුරිය ගහ මුදුනේ. එතකොට ජෝති සුජාතා ගැයූ බිඳක් රැඳී අසන් ලඳේ..’ ග්‍රේෂන් හා ලතා ගැයූ හිමරේණු වැටෙනා සීතලේ’ වගේ ජනපි‍්‍රය ගීත තාත්තාගේ. එතකොට චිත්‍රපට හා ටෙලි නාට්‍යයවලටත් තාත්තා ගීත ලියුවා.
අනේ මේ ටික නොවරදාවාම ලියන්න. තාත්තා ලියාදුන් අප නොදන්න තවත් ගීත රචනා ගොඩාක් තියෙන බව අප දන්නවා. ඒවා එක එක්කෙනා තමන්ගේ නම් ගහගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා අපේ තාත්තාගෙන් අප නොදැනුම්වත්ව ගීත රචනා ලබාගත් අය අපේ තාත්තාට කරන ගෞරවයක් හැටියට සලකල අපට ඒ බව දන්වනවා නම් ඒක අපි බොහොම අගය කරනවා යැයි ද ටිකිරි කුමාරි මහත්මිය කියන්නීය.
තමන්ට ලැබෙන ඇරියුම් පතකදී තම බිරිඳ කැටුව යාමට නොලද තැන්හි එතුමා ද එය ඉවත දමා ගෙදරම ඉන්නේය. සරල ගති පැවතුමට වඩාත් නැඹුරුව පසුවන දයාලතා මහත්මිය පැවසුවේ එයාට ඕන හැම ගමනකටම මාවත් එක්කගෙන යන්නමයි. ඒක මහ උතුරා ගිය ආදරයක්. ඒ අතින් මං හරි වාසනාවන්ත බිරිඳක්. අපේ දරුවන් ගැනත් එයා පුදුමාකාර බැඳීමකින් උන්නෙ. දරුවන්ගේ දරුවන්ටත් එහෙමමයි. එයාගේ ලෝකය වුණේ අපි ගෙදර ඔක්කෝමල.’ ඈ බිම බලාගත්වනමය.
අපේ කතානායකයාට දූ පුතුන් තිදෙනෙකි. පළමු වැන්නිය මා හා කතාකර ටිකිරි කුමාරි දිමුතු පබා වීරසිංහය. ඕ ගීත රචනා, තනු නිර්මාණයන්හි අයිතීන් පිළිබඳව කටයුතු කරනා ප්‍රකාශන ආයතනක සංගීත වැඩසටහන් සම්බන්ධීකරණ නිලධානියකි. ගුවන් විදුලියේ ගායන ශිල්පිනියකි. දෙවැන්නා පියා ගත් මග යමින් අදටත් ලේක්හවුස් ආයතනයේ ඩේලි නිවුස් පුවත්පතේ කටයුතු කරන මාධ්‍යවේදී චාමීකර වීරසිංහ පුතුය. සිය පියාසේම ගේය පද සිරිතෙහි නිපුණ විශාරද නදී කුමාරි සමන්ලතා වීරසිංහ නම් බාලම දියණිය තම පියාණන් වියෝවු දා මහාරාත්‍රියේ සිතෙහි නැගි වේදනා ගේය පද සිරිතකට මුසු කළාය.
අපේ සොඳුරු සහෘදයාණෝ වරින් වර රෝගාතුර වෙයි. කෙසෙල් ගෙඩි කන්නට මහත් රුචියක් දැක් වූ එතුමාට වෛද්‍ය උපදේශය වුයේ එය අහිතකර බවය. දියවැඩියා රෝගය ද වරින්වර උග්‍ර අතට හැරෙයි. තමන්ට කෙතරම් අලාභයක් අත්වුණි ද එය පසෙකලූ එතුමා තම මතය කිසිවිටෙක පාවා නුදුන්නේය. ඒ නිසාම කිහිපවාරයක්ම පත්තර රස්සාවෙන් ඉවත් වන්නට සිදුවුණි ද පසුව රස්සාවට හිමිකම් කියන්නට ද වාසනාවන්තයකු විය.
ටිකිරි කුමාරි මහත්මියගේ දෑසේ කඳුළු දුටුවෙමි. ඒ කඳුළු ඕ මගෙන් වසන් කරගන්නට වෑයම් කළාය.
‘දොඩන්ගොඩ මලේගොඩ නන්ද හාමුදුරුවන්ට අපේ තාත්තා පුදුම භක්තියක් ළැදියාවක් තිබුණේ. ඉතින් මගේ විවාහයෙන් මට දුවක ලැබුණා. ඇය තමයි ගංගුලි දුව, දුවගෙ අතගත්තෙත් ලංකාදීප පුවත්පතට සම්බන්ධ ධනංජන පුතා. එයාලාටත් අපේ තාත්තගෙ තිබුණෙ කියාගන්න බැරි තරමේ ආදරයක්.’
සමන්චන්ද්‍රනාත් වීරසිංහයන් අතින් ලියැවුණු ගීත සහසක් අතර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ තේමා ගීතය ‘බුද්ධපාද ස්පර්ශයෙන් පූජනීය වූ චන්ද්‍රිකා සිරිවර්ධන හඬින් ගීතවත් විණි. ප්‍රාදේශීය සභා මෙන්ම නගර සභා තේමා ගීත බොහොමයක් ලියැවුණේ ද අපේ කතානායකයා අතිනි.
බිරිඳ විසින් අතටම පිළිගැන්වූ තේ කෝප්පය බී අහවර වූ කළ එය නැවත ගත යුත්තේ ද බිරිඳගේ අතින්මය. එය ද ඔහුට මහත් සතුටක්මැයි. හිස් කෝප්පය ආපසු ගන්නට එන්නට බිරිඳ පමාවෙයි. හිස් කෝප්පය ඉහ මත තබා දෑත දෙපසට විහිදා හේ කෑගසයි. ‘ඔන්න මං දන්නේ නැහැ. කෝප්පය බිමට වැටුණොත් ඉවරයි.’
ඒ ඇසුණු බිරිඳ වහා දිවැවිත් කෝප්පය ගෙන නොමනාපෙන් මෙන් ගෙතුලට යයි.
එතුමාගේ තීරු ලිපි හී සර පහර මෙන් වදින තැනට රිදෙන්නට ම වැදිණි. නිශ්ශබ්ද කෝෂය, තුං මං හන්දිය ආදී තීරු ලිපි තුළින් සමාජයේ වැරදි තැන් උලුප්පා දැක්විණි. ඉන් රිදුණු ඇතැමුනට එතුමා වහකදුරු මෙන් විය. හෙතෙම ඒවා මායිම් නොකොට දිගටම ලියුවේය.
එවක ටයිම්ස් ආයතනයේ සේවකයනට වැටුප් නොගෙවීම පිළිබඳ අර්බුදයක් මතුව ආයේය. සේවක පිරිස වෙනුවෙන් එම ආයතනය ඉදිරිපිට වාහනයක වහළය මත නැගී එතුමා මේ අසාධාරණය ගැන කෑ ගැසුවේය. අවසානයේ සිදුවුයේ සේවක සැමට වැටුප් හිමි වී ඒ වෙනුවෙන් සටන් වැදුණු ඔහුට සියල්ල අහිමිව යාමය.
අපේ කාලයේ සරස්වතිය හා සඳුනී එතුමාගේ කෘතින්ය. ඊට එතුමාගේ රසනහර පිනා යන ගේය පද රචනා ද ඇතුළත්ය. අපේ කාලයේ සරස්වතී’ කෘතියෙහි මුල් පිටු අතර පිටුවක් සරසමින් එවක සරසවිය කර්තෘ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඒ.ඩී. රංජීත් කුමාර මහතා තම සමීපතම හිතමිතුරා වෙනුවෙන් ‘එකවහලක් යට’ මැයෙන් අපුර්වතම සටහනක් ලියා තැබුවේය.
තම දූ පුතුට සේම ඒ දරුවන්ගේ දරුවනට ද අසීමිතව ආදරය පෑවේය. තම ලොකු දුවගේ දියණිය ‘ගංඟුලි’ රාත්‍රි නිදිවරා තම ව්‍යාපාරික කටයුත්තක යෙදී සිටිය දී කොතෙක් සැපපහසු අසුන් ගෙතුළ තිබුණි ද ඔහු සිත්ගත් වේවැල් පුටුවේ හිඳ මිනිබිරිය දෙස බලාගත්වනමය. මිිනිබිරිය නින්දට යනතුරා ඔහුට නින්දක් ඇවැසි නැතිවාක් මෙනි. මහ රාත්‍රිය වී කීයට හෝ මිණිබිරිය සිය කාර්යය නිම වා නින්දට යන්නට උඩු මහලට ගිය පසුවය ඔහු ද නින්දට යන්නේ.
එතුමා යළි රෝගාතුර විය. එක් පාදයක හටගත් සුළු තුවාලය පසුව දැඩි බලපෑමක් ඇති කරන්නට විය. බයිපාස් සැත්කමකට ද බඳුන් කැරිණි. දුම්වැටියද වහා අතහැරිණි. පෙර සේ විහිළු තහළුද කවටකම් ද කතා බහ ද දැන් බොහෝ අඩුය. ඒ බව බිරිඳට දැනුණි.
අපේ කතානායකයා දැන් ගිලන්ව රෝද පුටුවේමය. තවමත් තමන්ට මහත් පි‍්‍රය උපදවන බිරිඳ දයාලතා නිතර තමන් සමීපයේ ම පසුවිය යුතුමය. දරුවන් ද පේන මානයේ සිටිය යුතුය.
තමන්ගේ කිසිවක් කරකියාගත නොහැකි තැනටම ගිලන් වූ අපේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයනට ඒ ගෙදර උවටැන් කරන්නට හැකියාව ඇත්තේ පුතෙකුටය. ඔහු නැගිටුවීම එහා මෙහා කරවීම පිරිසිදු කරවීම බිරිඳට වාරු නැති,ලොකු දුවට ද කළ නොහැක්කකි. ඒ බරපතළ අභියෝගයට එක සිතින්ම මුහුණ දුන්නේ තම මිනිබිරියගේ සැමියා වන ධනංජන තරුණ පුතුය. එහෙත් කෙටි කලකින් සාත්තුවට කැප වී හුන් මිනිබිරියත් මිනිබිරිය ගංඟුලිගේ සැමියා ධනංජනටත් කොරෝනාව වැලදුණි. එහෙත් අන්ත අසරණ වූ තම සීයාගෙන් මිදී වෙන්ව සිටින්නට ද ඔවුනට හිතක් නොදෙයි.
‘සීයා බයවෙන්න එපා. මං කොහොම හරි බලාගන්නම්’ ධනංජන පුතු සීයා අස්වැසුවේය.
මාස්ක් දෙකකින්ම මුහුණ ආවරණය කරගත් ධනංජන පුතු තමන් කොරෝනා රෝගයෙන් පීඩා ලැබුව ද එය නොතකා සීයාට උවටැන් කරන්නේය. වඩා හිඳුවා සෝදා පවිත්‍ර කරන්නේය. ඇඳුම් මාරු කරවන්නේය. තම සැමියාගේ තෙත් ලය මැනවින් දුටු ඔහුගේ බිරිඳ ගංඟුලි ධනංජන දෙස ආදරයෙන් බලා සිටින්නීය.
සති දෙක තුනකින් ධනංජන හා ගංඟුලි කොරෝනාවෙන් සුවපත් වූවද අපේ කතානායකයාගේ රෝගී තත්ත්වය දිනෙන් දින නරක අතටම හැරෙන්නේය.
වාඩි වී ඉන්නට වඩාත් පි‍්‍රයකළ ඒ අත්ඇඳි සහිත වේවැල් පුටුවේම පසු වු එතුමාගේ දෑස් හිටි හැටියේම උඩ ගියේය. ධනංජන පුතු වහා රියකින් තම සීයා රෝහලට රැගෙන ගියේය.
‘සීනි විස්සට බැහැලා’ ධනංජන පුතුට ඇසිණි.
අපේ සොඳුරු කතා නායකයා රෝහල් වාට්ටුවේ ඇඳක් මතය. ධනංජන පුතු ද ළඟමය. වරෙක තමන් වඩාත් ගරුකළ නන්ද හිමියන් මතක් කරන්නේය. දයෝ යැයි කියමින් බිරිඳට අමතන්නේය. මිනිපිරිය ගංගුලි පසෙකට වී වඩාත් දුක්වන්නට වුයේ සීයා රෝහලට කැඳවා එන්නට සුළු වේලාවකට පෙර ‘මට කෙසෙල් ගෙඩියක් දෙන්නැයි’ සීයා තමන්ගෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ නිසාවෙනි. වෛද්‍ය උපදෙස් නිසා කෙසෙල් නුදුන් බව සීයාට කියන්නට ගංඟුලිට හිතක් නැති ඇය කඳුළු වගුරන්නීය.
‘අපේ ටිකිරි කුමාරි මහත්මිය ද ඇයගේ මව ද තවමත් මා අසලමය. ටිකිරි කුමාරිගේ දෑස රත්පැහැගැන් වී පෙනේ. දෙකොපුල් තල රූරා කඳුළක් වැටෙනු පෙනේ. ටිකිරි කුමාරිගේ මව ගල් රූපයක් සේ බලාගත් අත බලාගත්වනම පසුවෙන්නීය.
‘අපේ තාත්තා අපට ලොකු ආඩම්බරයක්. එත් එහෙම එකතැනට ම වැටිල ඉන්නවා දකින්න තරම් අපි පවුකරල තියෙනවා. මගේ ගංගුලි දුවගෙ මහත්මයා ධනංජන පුතා. ඒ මගේ බැණා ගැන මට කියන්න වචන මදි. ඒ පුතාගේ පිහිට උපරීමයෙන් තාත්තාට ලැබුණා. ඒක අපට සතුටක්. ටිකිරි කුමාරි අමාරුවෙන් සිත නැඟි දුක් සඟවා වචන සොයන්නීය.
අහර ද ප්‍රතික්ෂේප කළ අපේ සහෘදයාණෝ කතා කළේ ඉඳහිටය. ඒ ද බිරිඳටය. ‘මට හරිම පුදුමයි තාමත්. තාත්තා කවදාවත් අපේ අම්මාට අම්මා කියලා කතා කරලාම නැහැ. අමාරු වැඩිවෙන්න වෙන්න ඉස්සර වගේම අම්මාවම සෙව්වා. මට තාම මතකයි. අම්මා - අම්මා මට අමාරුයි. මට හරිම වේදනාවක් එනවා. අම්මා මාව බලන්ඩ එපා. මගේ අම්මා මට හරිම අමාරුයි කිය කියා කෙඳිරි ගෑවා. ඕ වචන ගිලගන්නට වුවාය. වහා බිම බලාගත්වනම සුසුම් හෙළුවාය. දෑස අතකින් පිස දැම්මාය. ටික වේලාවක් තිස්සේ නිරුත්තරව පසු වූ ඕ තොමෝ හැඬුම්බර ව කතා කරන්නට වුවාය.
‘මට යන්න අවසර දෙන්න මගේ අම්මා කියලා අපේ තාත්තා අම්මාට කිව්වා.’
1969 වසරේදී පත්තර කලාවට එකතු වු අපේ සොඳුරු කතානායක සමන් චන්ද්‍රනාත් වීරසිංහ නම් ප්‍රවීණ පුවත්පත් කලාවේදී ප්‍රවීණ ගේය පද රචකයාණෝ ටයිම්ස් මන්දිරයෙන් ලංකාදීපයෙන් ලේක්හවුසියට පිය මැන අඩු වයසක දී කර්තෘධුරයෙන් ද පිදුම් ලැබ සිළුමිණ, නවයුගය, බුදුසරණ, ජනතා ආදී පුවත්පත් රැසක නියෝජ්‍ය කර්තෘ හා කර්තෘධුර හෙබැවු මහා කන්දක් සේම තම පෞරුෂය කිසිතැනෙක දී පාවා නොදුන් තම මුදාව ජනසිත්හි තබන්නට තරම් සමත් වූ එතුමා 2022 වසරේ දී පෙබරවාරි මස 15 වනදා සියල්ලන්ගෙන් වෙන්ව යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේය. මං මැරුණු දාට මා ලියු මේ ගීතය අහන්න. මේ ඔහු ලියා තැබූ ලියවිල්ලකි.
‘නමක් දන්නෙ නැති මලක් පිපීලා ගිනිගත් වැලි කතරේ...
මිරිඟුවට එහා සිතිජයට මෙහා...
වැලි කන්දක් මුදුනේ....//