සිනමාවේ මවක වූ ඇය

ජනවාරි 26, 2023

 

ඇයට තිබුණේ කාරුණික හදවතක්

- උපාලි පෙරේරා

 

සුමිත්‍රා පීරිස් සමඟ ඇයගේ මුල්ම චිත්‍රපටය වූ ගැහැනු ළමයිගේ සිට සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළේ උපාලි පෙරේරා ය. වෘත්තීය ජීවිතය තුළ පමණක් නොව, පෞද්ගලික ජීවිතයේ ද ඔවුන් ඉතාම සමීප හිතවන්තයෝ ය. සුමිත්‍රා පීරිස්ගේ වියෝව සැබවින්ම ඔහුට මහත් ශෝකයක් ගෙන දෙන්නකි. තම පවුලේ සමීපතම යකුගේ වියෝව තරම්ම ඔහු ගේ හදවත ඉන් කම්පනයට පත් කොට අවසන් ය.

ඇත්තටම මම ලෙස්ටර් සුමිත්‍රා පවුලට සමීප වෙන්නේ ලෙස්ටර් පීරිස්ගේ ගොළු හදවත චිත්‍රපටය නිසා. මේ චිත්‍රපටයේ වැඩ කළේ කන්ටිනියු ජධදබඪදභබර එක බාරව. මේ චිත්‍රපටයෙන් අනතුරුව තමයි සුමිත්‍රා මැඩම් ගැහැනු ළමයි චිත්‍රපටය කරන්න සූදානම් වුණේ. ඒකට මම සහාය අධ්‍යක්ෂවරයා හැටියට සම්බන්ධ වුණා. ඇත්තටම ගැහැනු ළමයි මේ රටේ සිනමාවට සුවිශේෂී චිත්‍රපටයක් වුණා. විශේෂයෙන්ම වසන්ති චතුරාණි කියන නිළිය ව සිනමාවට හඳුන්වා දෙන්නේ මේ චිත්‍රපටයෙන්. වසන්ති, සුමිත්‍රා මැඩම් මේ චිත්‍රපටයට තෝරා ගන්න කොට පාසල් ශිෂ්‍යාවක්. අපි මේ චිත්‍රපටය රූගත කරද්දි විශාල අත්දැකීම් සමුදායකට මුහුණ දුන්නා. විශේෂයෙන් ආධුනික නිළියක් සමඟ වැඩ කරනකොට අපහසුතා රාශියකට මුහුණ දුන්නා. නමුත් සුමිත්‍රා මැඩම් තමන්ගේ ස්ථාවරත්වයේ ම දිගටම ඉඳගෙන වසන්ති ව කෝමහරි මේ වැඩේට යොදා ගත්තා. ගැහැනු ළමයි ඉවර උණාට පස්සේ ලෙස්ටර් මහත්තයා අහසින් පොළොවට පටන් ගත්තා. පස්සේ තමයි සුමිත්‍රා මැඩම් ගඟ අද්දර පටන් ගත්තේ. ගඟ අද්දර මේ රටේ සුවිශේෂී චිත්‍රපටයක් බවට පත්වුණා. ගැහැනු ළමයි එකෙන් මැඩම් වසන්ති චතුරාණි හඳුන්වා දුන්නා වගේ ගඟ අද්දරින් මැඩම් සනත් ගුණතිලක හඳුන්වා දුන්නා . ඊට පස්සේ මැඩම් එක්ක අපි යහළු යෙහෙළි කළා. මීරිගම තමයි ෂූටින් කළේ. හරිම සුන්දර කාල පරිච්ඡේදයක් ගත කළා .මේ චිත්‍රපටයේ කාන්තා චරිත ගොඩක් තිබුණා. ස්වර්ණා, නදීකා, ඉනෝකා ඇතුළු පිරිසක් හිටිය. මැඩම් ඊළඟට කළේ ‘මායා’ චිත්‍රපටය. ස්වර්ණා තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ. රවීන්ද්‍ර, ටෝනි දෙන්නත් හිටියා. සනත් පත්තරකාරයෙක් ගේ චරිතය රඟපෑවේ. ඔහුට තිබුණේ පොඩි දර්ශන ටිකක්. නමුත් මැඩම් ඒ චරිතය තව ටිකක් ඩිවලොප් කරලා ඔහු ගවේෂණාත්මක පත්තරකාරයකුගේ චරිතයක් බවට පත් කළා. ඔහුට ඒ චරිතෙට කුසලතා සම්මානයකුත් ලැබුණා. මට මතකයි.

ඒ කාලේ අපි පාන්දර හතරට 4 ට විතර නැගිටලා වැඩ පටන් ගන්නේ. මීදුම් අල්ලන්න කියලා අපි උදෙන්ම එළියට එනවා. ඩොනල්ඩ් කරුණාරත්න තමයි කැමරා කළේ. මැඩම්, දුවට මවක මිස, ‘සක්මන් මළුව’ කියන චිත්‍රපට කරන කාලේ මම ලංකාවේ හිටියේ නෑ. ඒ නිසා මට ඒ චිත්‍රපට දෙකට සම්බන්ධ වෙන්න බැරි වුණා ..නමුත් ඇගේ අන්තිම චිත්‍රපටය ‘වෛශ්නාවී’ ඊට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මේ චිත්‍රපටය හරහා මැඩම් සිනමාවේ අධිතාත්වික වාදය කරා ගමන් කළා. මැඩම් සහ ලෙස්ටර් පීරිස් පවුල වටා ලොකු කණ්ඩායමක් හැදිලා හිටියා. නිර්මාණයකදී වුණත්, පෞද්ගලික කාර්යයකදී වුණත්, මේ කණ්ඩායම එකට හිටියා. ඒ අතරිනුත් බොහෝ දෙනෙක් දැන් ජීවතුන් අතර නෑ. නිර්මාණ කාර්යය කොයිතරම් දුෂ්කර උනත්, අපි හැමෝම එකතු උනාම එතැන රස සාගරයක් මැවුනා. ලෙස්ටර් මහත්මයා මැඩම් වුණත් හරිම විනෝදකාමී චරිත. මට මතකයි මැඩම් ‘සාගර ජලය මදි හැඬුවා’ කරද්දි හරිම කටුක ප්‍රදේශයක තමයි තධජචබඪධද තිබුණේ. නමුත් අපි කාටවත් ඒ කටුක බව දැනුණේ නෑ .අපි ඔක්කොම එක පවුලක් වගේ තමයි කටයුතු කළේ.

මැඩම් හරිම කාරුණික හදවතක් තිබුණ කෙනෙක්. අපි හැම දෙනාටම එක වගේ කරුණාව දයාව දැක්වූවා .අපිට අතීත සුන්දර මතක ටිකක් ඉතුරු කරලා ඇය යන්න ගියා.

තනි වූයේ සිංහල සිනමාවයි

- ශි‍්‍රයාණි අමරසේන

සුමිත්‍රා පීරිස් මැතිනිය ගේ අභාවය සැලවූ වහාම ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන අපට මෙසේ ලියා එවා තිබුණා. ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ චිත්‍රපටවල මෙන්ම සුමිත්‍රාගේ චිත්‍රපටවලටද රංගනයෙන් එක් වූවා. ඇගේ නික්ම යෑම වෙනුවෙන් ශ්‍රියාණි තබා තිබූ සටහනයි මේ.

 

සිනමාවේ කිවිඳිය නමින් කලා ලෝකයේ ‍

ප්‍රචලිත වූවත් ඇගේ නිරහංකාර සරල ගති පැවතුම් අතරට ඇගේ දක්ෂතා ඉස්මතු කරමින්, ඇය සිනමාවේ බැබළෙන පුරෝගාමී චරිතයක් බවට පත් වූවා. ඒ සියල්ල නිමා කරමින් අද ඇය අප අතැර ගොසින් .

සොයා යන්න...... සුමිත්‍රා පීරිස් මැතිනිය,

ඔබේ සැමියා ගිය මාර්ගයටම.

ඔබ තනි වී නැහැ....

තනි වූයේ සිංහල සිනමාවයි.

 

මම ඇයට සදා ණයගැතියි

- වසන්ති චතුරාණි

සුමිත්‍රා පීරිස්ට ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය වෙනුවෙන් අලුත්ම නිළියක් හඳුන්වාදෙන්නට ඇවැසි වූවාය. ඒ වෙනුවෙන් විමසුම්, විපරම් කරමින් සිටින අතර ගම්පහ හොලික්‍රොස් විද්‍යාලයේ එවක ඉගෙන ගනිමින් සිටි ශිෂ්‍යාවක් පිළිබඳ ඇයට හෝඩුවාවක් ලැබුණේය. ඒ හෝඩුවාව ඔස්සේ ගිය ඇය ‘ගැහැනු ළමයි’ හි ‘කුසුම්’ සොයාගත්තාය. ඇය වසන්ති චතුරාණි ව සොයා ගත්තේ එලෙසිනි. වත්මන් සිනමාවට වසන්ති චතුරාණි නම් ප්‍රතිභාසම්පන්න නිළිය හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ඇයටය. තම සිනමා දිවි ගමන් මාවත එළිය කළ සුමිත්‍රා වන්ගේ වියෝවෙන් අතිශයින්ම කම්පනයට පත්ව සිටි වසන්ති සුමිත්‍රාවන්ගේ මතක සැමරුවේ මෙසේය .

සුමිත්‍රා පීරිස් මැතිනියගේ මතකය ගැන ගැන කීවොත් මට මතක් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඇය කරුණාවන්ත මවක් කිව්වොත් ඒක තමයි මට හිතෙන්නේ හරිම වචනය. ඇය මට විතරක් නොවෙයි, මේ ක්ෂේත්‍රයේ ඉන්න හැම කෙනෙකුටම හරිම කරුණාවන්තයි. ඇය වගේම ඇගේ මියගිය ස්වාමිපුරුෂයා ආචාර්ය ලෙස්ටර් පීරිස් ඒ වගේමයි. ඇත්තටම ක්ෂේත්‍රයට සම්බන්ධ හැම කෙනෙක්ම ලෙස්ටර් සුමිත්‍රා යුවළට ගෞරවය දක්වන්නේ ඔවුන්ගේ නිර්මාණ වලටත් වඩා ඔවුන් දෙදෙනා තුළ තිබුණු කරුණාවන්ත, නිහතමානී ගුණයට. මිනිස්සුන්ට හරි ආදරෙයි. මට මතකයි මම පලවෙනි වතාවට සිනමාවට ආවම මට අම්මා කෙනෙක් වගේ ඇය මට සැලකූ හැටි. මට හිතෙනවා සිනමාවේ මේ තරම් දිග ගමනක් එන්න මට බලපෑවේ ඇගේ ඒ කරුණාවන්ත මවුගුණය කියලා. ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ පළවෙනි දර්ශනයට මම පෙනී හිටියේ ට්‍රිලීෂියා ගුණවර්ධන සමඟ. මම එතකොට ඉස්කෝලේ යන ළමයෙක්. මම කවදාවත් කැමරා උපකරණ ලයිට් දැකලා තිබුනෙ නෑ. මේවා දැක්කම මම හොඳටම බය වුණා. මාව ගෙදර ගිහින් ඇරලන්න කියලා ඒ වෙලාවේ මම අඩන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සුමිත්‍රා පීරිස් මහත්මිය ෂූටින් නැවැත්තුවා. එයාට ඕන නම් තීරණයක් ගන්න තිබුණා. නමුත් එයා එහෙම කළේ නෑ. එයා එහෙම කළා නම් අද මම මෙතන නෑ. මම සදා ණයගැති ඇයට. ඒක මම හැමදාම කියනවා. එතුමියගේ ඒ දැක්ම හරිම පුදුමයි. මට හිතා ගන්න හරිම අමාරුයි. මහා පින් බලයකින් මේ දෙන්නටම ඒ අනාගත දැක්ම තිබුණා. අද කාලේ එහෙම ගැහැනු ළමයෙකුට වුණොත් මට මේ තිබුණු වාසනාව ඒ විදියට ලැබෙයි කියලා මට මට හිතාගන්න බෑ. ඒ අතින් ඇත්තටම අපි හරිම වාසනාවන්තයි. මේ වගේ අය ළඟින් සිනමාවට එකතු වෙන්න ලැබීම ගැන. එතුමිය ගේ වියෝව මට කියල නිම කරන්න බැරි පාඩුවක්. මට නිතරම කතා කරනවා. මං ගැන නිතරම හොයල බලනවා. මට ටික දවසකින් කතා කරන්න බැරි උණොත් කාගෙන් හරි අහනවා වසන්ති කෝ ? ළඟදි කතා කළේ නෑ කියලා. ඇය මට විතරක් නෙවෙයි, මගේ පුතාටත් හරිම ආදරෙයි. මට කතා කළොත් නිතරම පුතාගේ සුවදුක් විමසන වා. මගේ පුතාත් සුමිත්‍රා ආන්ටි කියලා ඇයට හරිම ආදරෙයි. අපි දෙන්නටම ඇය දැක්වූයේ පුදුම කරුණාවන්ත බවක්. මොනව කරන්නද? අපි ස්වභාවධර්මයට ඉඩ දෙන්න ඕනනෙ. මට අම්මා කෙනෙක් නැති වුණා. වැදූ අම්මා, හැදූ අම්මා වගේම මාව ක්ෂේත්‍රය ට ගෙනත් ඇති දැඩි කරපු අම්මා තමයි මේ අවසන් ගමන් යන්නේ. මාව උපද්දපු අම්මා වගේම සිනමාවේ මාව උපද්දපු අම්මා ඇය. මම ප්‍රාර්ථනා කරන්නේ ඇය දේවදූතයෙක්වෙලා ස්වර්ගයේ ඉන්න කියලයි. එහෙම නැතිනම් වෙන ආත්මයක් ලැබුවොත්, අපි ආයෙත් කොහේදි හරි හම්බ වෙයි කියල මට හිතෙනවා. එතුමියට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ලෙස්ටර් සුවඳ ඇය තුළ හැමවෙලේම තිබුණා

- සනත් ගුණතිලක

සනත් ගුණතිලක සිනමාවට පිවිසෙනුයේ විජය ධර්ම ශ්‍රී ගේ ‘සිටු කුමරියෝ’ චිත්‍රපටයෙනි .එහෙත් ඔහුගේ තිරගතවන ප්‍රථම චිත්‍රපටය වනුයේ සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි. මේ නිසාම පසු කලෙක ඔහු සුමිත්‍රාගේ නළුවෙක් හැටියට ද හදුන්වනු ලැබුවා. ගඟ අද්දරින් පසු සනත් සුමිත්‍රා සහ ලෙස්ටර් මහතා සමඟ ද විවිධ නිර්මාණ කළ නිසාම ඉතාම සමීප සබඳතාවයක් පවත්වාගෙන ගියා. ඒ සබැඳීයාව ලෙස්ටර් මහතා සේම සුමිත්‍රා මැතිනියගේ අභාවය දක්වාම බොහෝ ආදරණීය පැවතුනක්. සුමිත්‍රා මැතිනියගේ අභාවයෙන් අතිශයින්ම කම්පාවට පත්ව සිටින සනත් සමඟ ඇගේ මතක ආවර්ජනය කිරීමක් මේ.

සුමිත්‍රා පීරිස් මැතිනිය පිළිබඳ මගේ මතකය විවර වෙන්නේ මම 1977 සිටු කුමරියෝ චිත්‍රපටයේ වැඩ කරන කාලයේ අප්‍රේල් 24 වෙනිදා තිබුණ මාලිනී ෆොන්සේකාගේ උපන්දින සාදයට සම්බන්ධ වුණු අවස්ථාවේදී. ඒක ඉතාම සුළු සාදයක්. ඒකට සහභාගි වෙලා හිටියෙ එවකට ක්ෂේත්‍රයේ හිටපු දැවැන්තයන් සුළු පිරිසක්. එතනදි මට එඩී -රුක්මණී යුවළ වගේම ලෙස්ටර්- සුමිත්‍රා යුවළත් හොඳටම මතක හිටියා. මට මතකයි සුමිත්‍රා පීරිස් මැතිනියට ශාන්ති ලේඛා මහත්මිය විසින් මාව හඳුන්වා දෙනවා. ඒ වෙලාවේ ඇය සුහද සිනාවකින් මට සංග්‍රහ කරලා අපි අඳුර ගන්නවා .ඊට වැඩි දෙයක් එතැනදි සිද්ධ වෙන්නේ නෑ. නමුත් පසුකාලීනව ඇය ගඟ අද්දර චිත්‍රපටය කරන්න සූදානම් වෙද්දී, තරුණ නළුවෙක් සොයනවා. ඒ අවස්ථාවේ දී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ දොස්තර සරත් ගේ චරිතය රඟපාපු විජය කුමාරතුංගට සමීප හැඩරුවක් තියෙන කෙනෙක් හිටියොත් හොඳයි කියන තැන ඉන්නකොට විජය කුමාරතුංගයන් ජීවන් ගේ නම යෝජනා කරනවා. ඒ නිසා සුමිත්‍රා මැතිණිය එවකට ජීවන් රගපාපු තනි තරුව චිත්‍රපටයේ අභඵඩඥඵ ගෙනත් බලනවා. ඒ අවස්ථාවේ ඒ චිත්‍රපටයේම රඟපාපු මාව දකිනවා. ඇය ලෙස්ටර් මහතාට කියා සිටිනවා, මේ චරිතයට සුදුස්සා අහවලා. මොකද කරන්නේ? කියලා. ලෙස්ටර් සර් කියනවා, අපි සුදුසු දේ කරමු කියලා. ඒ අනුව තමයි මට ‘ගඟ අද්දර’ට අවස්ථාව ලැබෙන්නේ. නමුත් සුමිත්‍රා මැඩම් ජීවන්ට අසාධාරණයක් කරන්නෙත් නෑ. ජීවන්ටත් මේ චිත්‍රපටයේ චරිතයක් දෙනවා. අනිත් පැත්තට විජය කුමාරතුංග කිසිම අවස්ථාවක ඔහුගේ යෝජනාවට විරුද්ධ වුණේ ඇයි කියලා අහන්න තරම් කුහක වුණේ නෑ. ඔහුගේ මනුස්සකම් ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. මේ නිසා ලෙස්ටර් සුමිත්‍රා සමග වැඩ කරන ඒ දැවැන්ත කාර්මික පිරිස අතර සුමිත්‍රාගේ නළුවා කියලා මාව හැඳීන්වෙනවා.

‘ගඟ අද්දර’ චරිතය මම සාර්ථකව රඟපෑවා. චිත්‍රපටය හුඟක් සාර්ථක වුණා මට මතකයි. එක වෙලාවක සුමිත්‍රා පීරිස්. මට කියනව ‘රධභ චපඥ ච තභජඬර චජබධප’ කියලා. ග්‍රෑන්ඩ්පාස් අශෝකා සිනමා ශාලාවේ තමයි ප්‍රිමියර් එක තිබ්බේ. මේ හඳුනා ගැනීමත් එක්කම ඊට පස්සේ ඇය කරපු යහළු යෙහෙළි, මායා වගේ චිත්‍රපටවලදී ඇයගේ ඉල්ලීමට අනුකූලව මම වැඩ කළා. යහළු යෙහෙළි වගේ චිත්‍රපටයක් කරද්දී ගමේ කර්කශ පරිසරයේ හැදුණු වැඩුණු කෙනෙක් ගේ චරිතය සඳහා මම සූදානම් වුණා. ඒවා ඇය දැක්කා. ඒ වගේම මායා චිත්‍රපටය සඳහා මම මගේ ස්වරූපය වෙනස් කරගත්තා. රැවුල වවාගෙන පුවත්පත් කලාවේදියකු ගේ චරිතයට සූදානම් වුණා. ඒ කාලය වන විට මම තරුණ ජනප්‍රිය නළුවෙක් උනත් මාය වෙනුවෙන් කැපවෙනවා ඇය දැක්කා. ඒකට මට කුසලතා සම්මානයකුත් ලැබුණා. එසේම මම සුමිත්‍රා පීරිස්ගේ චිත්‍රපටයකින් ක්ෂේත්‍රයට ආවා වගේම, සුමිත්‍රා පීරිස් ගේම චිත්‍රපටයකින් තමයි මට පළවෙනි ඇගැයීම ලැබෙන්නෙත්.

මේ එක්කම මම ලෙස්ටර් පීරිස්ගේ කලියුගය චිත්‍රපටයේ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ දෙදෙනා සමඟම ඉතා කිට්ටු ආශ්‍රයක් ඇතිවෙනවා. ඒ වෙනකොට එවැනි කිට්ටුවෙන් ආශ්‍රය කළ ගාමිණී ටෝනි වැනි දැවැන්ත චරිත හිටියා. මට විවිධ අවස්ථාවලදී මේ දෙදෙනා සමඟ බොහොම සමීපව වැඩ කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔවුන්ව හදාරන්න, ඔවුන් දෙදෙනා අතර තිබුණු අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය එකිනෙකාට උදව් කර ගැනීම, අභිමානය තිබුණත් එය ආත්මාර්ථකාමීත්වයෙන් තොරවීම එකිනෙකාට ඇහුම්කම් දීම, වැනි උතුම් ගුණාංග මම ඔවුන්ගෙන් දැක්කා. ඒ ගුණාංග නීතිඥයකු වූ මගේ පියාගේ සහ ගුරුවරයකු වුණු මගේ මවගේ ජීවිතවල දැඩි ලෙසම ගැබ්ව තිබුණා. ඊට පස්සේ මම දැකපු උපරිම සහසම්බන්ධතාවය තමයි ලෙස්ටර් සුමිත්‍රා යුවළ. මගේ මනස තුළ මේ චර්යා රටාවන් තැන්පත්ව තිබුණු නිසා, ඔවුන් දෙදෙනාගේ ඒ හැසිරීම මට හරියට වැදගත් වුණා.

නළු නිළියන් වශයෙන් අපිට ඒ කාලේ සමාජය තුළ තිබුණේ ගරුත්වය අඩුකොට කොට සලකන සමාජ රටාවක්. එවැනි රටාවක් තුළ දී මේ ශ්‍රේෂ්ඨ යුවල ජ්‍යෙෂ්ඨයන් විදියට අපට දක්වපු ආදර්ශය අති උතුම්. ඒ ආදර්ශය ජීවිතවලට කීයෙන් කීදෙනෙක් කිට්ටු කර කර ගත්ත ද කියන්න මම දන්නෙ නෑ. නමුත් මෙය අදටත් අපි හැරිලා බලන විට මෙවැනි ආදර්ශයක් දුන්න, මෙවැනි නිදර්ශන සැපයූ යුවළක් තව අපේ මනසට එන්නෙ නෑ.

සුමිත්‍රා පීරිස් මැතිනියගේ දුවට මවක මිස චිත්‍රපටයේත් ඊළඟට මම වැඩ කළා. ඒකේ මම කරන්නේ ආගන්තුක චරිතයක්. ඒ උණාට ඒක මට ගැටලුවක් වුණේ නෑ. දුවට මවක මිස චිත්‍රපටිය අරගෙන අපි ප්‍රංශයට ගියා. ඒ වගේම මම ජනාධිපති මාධ්‍ය උපදේශක විදියට ප්‍රංශයට ගියාම, ඇය හමුවෙන්නත් අවස්ථාව ලැබුණා. එවකට ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය. නැවත කයිරෝ චිත්‍රපට උළෙලට ගිහින් චිත්‍රපටය තිරගත කරලා, ප්‍රංශයට ඇවිත් ඇයව හමුවෙන්නත් මට වාසනාවක් ලැබෙනවා. ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ මට ඇති වෙන්නේ පුදුමාකාර භක්තියක්. ඒ කියන්නේ ඒ වෙලාවේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය විදියට ප්‍රංශ රජයේ සියලුම ප්‍රභූවරුන්ගේ ගෞරවාදරයට මුලින්ම පත්වෙන තැනැත්තිය වෙන්නේ ශ්‍රී ලංකා තානාපතිනිය. ඇයට ලැබෙන අභිමානය, උසස් සැලකීමට, ලෝකයේම ජනාදරයට පත්ව සිටි ලෙස්ටර් මහත්මයාට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නෑ. එතුමා ඒ වෙලාවෙදිත් තමන්ට හිමිතැන කුමක්ද කියලා ඉතා හොඳීන් අවබෝධ කරගෙන ඇයට දිය හැකි හැම සහයෝගයක්ම දෙමින් කටයුතු කළා. ඉතින් මේවා කොයිතරම් දුරට අදට අපිට වටිනවා ද, වැදගත් ද කියන එක මට මේ වෙලාවේ කියන්න වෙනවා. මේක මේ රටේ විතරක් නොවෙයි, ජාති, ආගම්, කුල භේද කිසිම දෙයක් මෙතනට සමීප වෙන්නේ නෑ. අපි අතර සැමියා සහ බිරිඳ විදියට යම්කිසි සම්බන්ධයක් තිබෙනවා. අපි ඒක ආරක්ෂා කරගෙන යුතුයි කියන එක තමයි එතැන තිබුණේ. ඇත්තටම ඔවුන්ට දරුවන් සිටියේ නැහැ. දරුවන් සිටියා නම් ඔවුනුත් ඉතාමත්ම ආදර්ශමත් දරුවන් බවට පත්වෙයි.

සුමිත්‍රා මැතිනියගේ බොහෝ වැඩ කටයුතුවල දී නිරායාසයෙන්ම එතුමිය ළඟ සිටිමේ අවස්ථාව මට හිමිවුණා. එක අවස්ථාවකදී ෆුකෝකා චිත්‍රපට උළෙලට 2004දී මම යනවා. මම ප්‍රධාන චරිතය කරපු සක්මන් මළුව චිත්‍රපටයත් අරගෙන. ඒ යනකොට ඇය ඊට කලින් ශල්‍යකර්මයකට බඳුන් වෙලා හිටියෙ. දීර්ඝ ගමනක් යන්න තරම් ඇය තුළ විශාල ධෛර්යයක් තිබුණා. නමුත් ලෙස්ටර් මහත්මයා මට අඬගහලා මාත් ඒ ගමන යන නිසා එතුමිය බලාගන්න එක මට පැවරුවා. ගමන පුරාම මගේ හිතේ තිබුණේ එතුමිය බලා ගැනීම තමයි. පසු කලෙක ඇය හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටියදී ගෝවා චිත්‍රපට උළෙලට යන්න අවස්ථාව ලැබුණා. එක අවස්ථාවකදී ඇය තමයි ප්‍රධාන තැනැත්තිය වුණේ එම උළෙලේ. ඇයට බොහෝ හිතවතුන් සිටියා. ඇයගේ නිදහසට මම බාධා කළේ නෑ. මම චිත්‍රපට නරඹන්න ගියා. ඒ අතරෙදි මට ආරංචි වුණා ඇය වෙරලෙ ඇවිදින්න ගිහින් වැටිලා කකුල ආබාධයකට ලක් වෙලා කියලා. ඒ කාලේ ගුවන් ගමන් පැවතුණේ අඩු පහසුකම් යටතේ නිසා ප්ලේන් එක ඇතුළට ඇයට යන්න විදියක් තිබුණේ නෑ. පඩිපෙළක් නගින්නෙ නැතුව. අන්තිමේ ඇය පුටුවක තියල 4 දෙනෙක් උස්සල තමයි ප්ලේන් එකට ගොඩකෙරුවෙ. මට තාමත් මතකයි, මට මැවිලා පේනවා ඇය පුටුව උඩ ඉඳගෙන පහළ ඉන්න මා දිහා හිනා වෙවී බලා හිටපු හැටි.

සුමිත්‍රා මැතිනිය ලෙස්ටර් මහත්තයා ව ඉතාම ආදරයෙන් බලා ගත්තා. අන්තිම කාලයේ ඔහු කරපු ‘අම්මාවරුනේ’ වැනි චිත්‍රපටය කදි ඇය ඔහු ළඟින්ම ඉඳගෙන හිටියා. ඇය ලෙස්ටර් මහත්මයාට බිරිඳ වුණත්, හොඳ පවුල් පසුබිමකින් පැමිණි තැනැත්තියක්. ඒ වගේම හොඳ අධ්‍යාපනයක් හිමිකරගත්. තැනැත්තියක් මේ සියල්ල තිබුණත් ඇය ලෙස්ටර් මහත්මයාට ඉතාම හොඳ බිරිඳක් වුණා. කොයි ආකාරයක පවුල් පසුබිමකින් පැවතියත් ස්වාමියා කෙරෙහි තබා ගත යුතු සෙනෙහස, අවබෝධය, එකිනෙකා කෙරෙහි තබාගන්නා විශ්වාසය වගේ දේවල් වල දී ඕනෑම කෙනෙකුට මට මේක තමයි ආදර්ශය, මේ තමයි පරමාදර්ශී බිරිඳ කියලා කියන්න පුළුවන්. අනිත් එක තමයි ඇය නළු නිළියන්ට කාර්මික ශිල්පීන්ට ඉතාම හොඳීන් සැලකුවා. සිනමා ශිල්පීන්ට යම් අසාධාරණයක් වෙද්දි ඒවට විරුද්ධව ඇය නිර්භයව අදහස් ප්‍රකාශ කරන්න මැළි වුණේ නෑ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මට එතුමිය කෙරෙහි තිබෙන්නේ භක්තියක් ආදරයක් සේම වචනයෙන් කියා නිම කළ නොහැකි ගෞරවයක්.

ලෙස්ටර් සර් මියගියත් සුමිත්‍රා මැතිනියගේ හදවතින් ඔහු නික්ම ගියේ නෑ.

ඒකට හොඳම උදාහරණය මම දැක්කේ 2022 සැප්තැම්බර් 15 වැනි දා වෑකන්ද වලව්ව චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පෙන්නුව දවසේ. ඇය ප්‍රධාන ආරාධිතයා වශයෙන් එතැනට ආවා.එතැන ආචාර්ය පීරිස්ගේ විශාල රාමු කළ ඡායාරූපයක් තබා තිබුණා. මැඩම්ට පින්තූරය ගන්න එතැන හිටගන්න කිව්වම, මැඩම් පින්තූරය පැත්තට හැරිල පින්තූරය දිහා ළං වෙලා විනාඩි දෙක තුනක් එතනම හිටියා. ඒ අවස්ථාව අපි කාටත් ඇසට කඳුළක් උනන අවස්ථාවක් වුණා. හරියටම ලෙස්ටර් මැතිතුමා එතන ජීවමානව ඉන්නවා වගේ. මැඩම්ට කථා කරලා තමයි අපි ඇයව අපේ පැත්තට හරවා ගන්නේ. මේ දෙන්නගේ මේ බැඳීම කෙළවර වුණොත් එක්කෙනෙක් වියෝ වුණොත් අනිත් කෙනාට ඒක දැඩිව බලපායි කියලා මට හිතුණේ සර්ගෙ අසූවැනි උපන්දිනය දවසේ. එදා තිබුණ සතුට, ප්‍රීතිය, ප්‍රබෝධය දැකලා තමයි මට එහෙම හිතුණෙ. සර්ගෙ උපන්දිනය උණාට එදා මැඩම් හිටියේ එයාගේ උපන් දිනය වගෙයි. එදා මට හිතුණා සර් නැති උනොත් එතුමියට ඒක දරාගන්න හුඟක් අමාරු වෙයි කියලා. ඇත්තටම එහෙම වුණා. එතුමිය සර් නැති වුණාට පස්සේ චිත්‍රපට කරන්න, දේශන පවත්වන්න, යම් යම් දෙයට උදව් කරන්න නිරන්තරයෙන්ම උත්සාහ දැරුවා. නමුත් ඒ හැම උත්සාහයක දීම රබර් බෝලයක් වතුරට තියලා අල්ලාගෙන ඉන්නවා වගේ සර් පිළිබඳ මතකය අවදි කරමින් ඇගේ හිත ශෝකයෙන් පිරෙවුවා. ඔහු නැති පාළුව, තනිකම, හුදකලාව ඇගේ හදවතින් ගියේ නෑ .ඒක මම මෙහෙම කිව්වොත්, ලෙස්ටර් සුවඳ ඇය තුළ හැමවෙලේම තිබුණා. ඇය විශ්වාස කළා ඒ සුවඳෙන් තොරව ඇයට ජීවත් වෙන්න බෑ කියලා. එනිසා ඇයගේ මරණය, ලෙස්ටර් නැතුව තවත් කල් ඇය මෙහෙම ඉන්නවට වඩා ලෙස්ටර් සොයාගෙන ගිය ගමනක් විදියට මම දකිනවා.

 

හරිම නිහතමානියි

-ශ්‍යාමා ආනන්ද

 

ශ්‍යාමා ආනන්ද සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ පද්මිණීගේ චරිතය නිරූපණය කළා ය. නිළියක ලෙසින් වන බැඳීමකට වඩා ඇයට ඇත්තේ සුමිත්‍රා මැතිනිය ඇතුළු පවුලේ අය සමඟ ඇගේ පවුලේ වූ සමීප බැඳීමය. ඇගේ පියා එම්.එස්. ආනන්ද සමඟ ලෙස්ටර් සුමිත්‍රා යුවළ ගේ තිබුණේ අතිශයින්ම හෘදයාංගම සහෝදරත්වය කි. මේ දෙපිරිස නිතර එකිනෙකා හමුවෙන, ප්‍රිය සම්භාෂණ පවත්වන සොඳුරු සන්ධ්‍ය⁣වන් ගත කළ දෙ පිරිසකි. මේ නිසාම ශ්‍යාමා ආනන්ද සුමිත්‍රා මැතිනිය දැන හඳුනා ගන්නේ ඇගේ සුන්දර ළමා වියේ දී ම ය. විදේශයක පදිංචි වී සිටින ඇය, පසුගිය කාලයේ දිවයිනට පැමිණ සිටි නිසා ඈ සමඟ අපට සුමිත්‍රාවන්ගේ මතකය පිළිබඳව විමසන්නට හැකි වුණා.

ඇත්තටම මම ලංකාවට ඇවිත් තවම ගත වුණේ මාසෙක විතර කාලයක්. මගේ අම්මා අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා ඇගේ වැඩ කටයුතු ටික සමඟ තමයි මම හිටියේ. මම ගිය සුමානේ අම්මා එක්ක කිව්වා ඉක්මනටම සුමිත්‍රා ආන්ටිව බලන්න යන්න ඕන කියල.අනේ ඉතින් මට ඒක කරගන්න බැරි වුණා. ඒකට අද මම අප්‍රමාණව දුක් වෙනවා. මට සුමිත්‍රා ආන්ටි ව හම්බ වෙනකොට මම හරි පොඩි යි. අපේ තාත්තා ඉස්සෙල්ලම වැඩ කරපු ඒගොල්ලන්ගෙ චිත්‍රපටය වුණේ ගොළු හදවත. ඉතින් ඒ කාලේ තාත්තා නිතරම ඒ ගෙදර යනවා. වෙලාවකට ඒ දෙන්නා අපේ ගෙදර එනවා. ඉතිං මට ආන්ටි පිළිබඳ ලොකු මතකයක් තිබෙනවා. මට අදටත් හොඳට මතකයි ලෙස්ටර් චඅන්කල් ‘ගොළු හදවත’ ෂූට් කරන කාලේ මමත් තාත්තා එක්ක ඹ්ධජචබඪධද එකට ගියා. පන්නිපිටිය ධර්මපාල ෂූටිං කරන දවස් වල තමයි මම ගියේ. සුමිත්‍රා ආන්ටි හරිම කරුණාවන්ත ආදරණීය චරිතයක්. මම හුඟක් පුංචි කාලේ ඇන්ටි මාව යොදවලා වෙළඳ දැන්වීමක් කළා මට මතකයි. මට එතකොට අවුරුදු දහයක් විතර ඇති. ඩිස්ප්‍රීන් වෙළඳ වෙළෙඳ දැන්වීමට හිටියේ. මමයි ශ්‍රියාණි අමරසේන. ශ්‍රීයාණි ආන්ටි අම්මට හිටියත් මම දුවට හිටියා. ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයට මාව ගන්නකොට මට වයස අවුරුදු දහතුනක් දාහතරක් විතර ඇති .ඒ වුණත් ඒ කාලේ මට වයස 18 ක විතර පෙනුමක් තිබුණා. ඇයත් සමඟ වැඩ කරද්දි මට අමුතුවෙන් බයවෙන්න දෙයක් තිබුණෙ නෑ. අපේ ගෙදර නිතර යන එන අපිට සමීප ආන්ටි කෙනෙක් සමඟ කරන ගනුදෙනුවක් විදියටයි ඒක සිද්ධ වුණේ. මම විවාහ වෙන දවසේ මගේ කසාදෙ සාක්ෂිකරුවන් වුණේත් ලෙස්ටර් සුමිත්‍රා යුවළ. ඒ තරම් සමීප සම්බන්ධතාවයක් අපි අතර තිබුණා. ආන්ටි කවදාවත් කලබල වෙන කෙනෙක් වත් තරහ ගන්න කෙනෙක්වත් නොවෙයි. හැම වැඩක්ම හරිම ආදරෙන් කරුණාවෙන් කරපු කෙනෙක්. අනිත් එක එයා හරිම නිරහංකාරයි. කිසිම දවසක ආඩම්බර වුණු කෙනෙක් නොවේ. ආන්ටි හරි ලස්සන චිත්‍රපට ගොඩක් ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට ඉතිරි කරලා ගියා. ඒ හැම එකකම කාන්තා චරිත ඇය පුදුම තරමේ ඉවසීමකින් ඉස්මතු කරලා තිබ්බා. අද ආන්ටි යන්නම යන්න ගියත්, මේ නිර්මාණ සියල්ල හැමදාමත් ආන්ටි අපි අතර ජීවත් කරාවි.

 

 

[email protected]

සේයාරූ - නිශ්ශංක විජේරත්න