කිසිදා උඩඟු නොවූ නිහතමානී ශ්‍රේෂ්ඨ කලාකාරිනියක්

ජනවාරි 26, 2023

ප්‍රවීණ-අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියගේ ‍සුමිත්‍රා ගැන මතක

ලෝක සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරියන් අතළොස්සක් අතරින් පුරෝගාමී සිනමාවේදිනියක්

 

ස්ති‍්‍රයක් සතු සංවේදී බව තුළින් ඔවුනගේ අධ්‍යාත්මය තුළට කිදා බැස සිනමාව තුළින් ලාංකික ස්ත්‍රිය පිළිබඳ විශිෂ්ට මෙහෙවරක් කළ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වූ සුමිත්‍රා පිරීස් ශ්‍රී ලංකාවේ පුරෝගාමී සිනමාවේදිනියක් වූවාය.

පනහ දශකයේ සිනමාවට නැඹුරු වූ ඇය ගෙවී ගිය දශක කීපය තුළ පේ‍්‍රක්ෂක මතකයේ සදා ලැඟුම්ගත් අපුරු නිර්මාණ රැසක් සිනමා රූපිව මෙරට සිනමාවට දායාද කරනු ලැබීය. ගැහැනු ළමයි, ගඟඅද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, දුවට මවක මිස, ලොකු දුව, සක්මන් මළුව, වෛශ්ණාවී ආදී සිනමා කෘති රැසක් සමඟින් සිංහල සිනමාවේ සදා මතක සටහනක් තැබු සුමිත්‍රා ලෝක සිනමාවේ අධ්‍යක්ෂවරියන් අතුරින් ප්‍රමුඛ පෙළෙහි සැලකේ. ලංකාවේ ප්‍රථම වෘත්තීය සිනමා අධ්‍යක්ෂවරිය වූ සුමිත්‍රා අන්තර්ජාතික සිනමාවේ ජුරි සභිකයකු ලෙස ද කටයුතු කරනු ලැබුවාය. සිනමා සංස්කරණ ශිල්පිනියක චිත්‍රපට අධ්‍යක්ෂකවරියක ලෙස ලෝක සිනමාවේ අතළොස්සක් අතරින් කෙනෙකු වූ ඇය අපේ සිනමාවේ පුරෝගාමී ස්ත්‍රියකි.

සන්දේශය, රන්මුතු දුව, සීගිරි කාශ්‍යප වැනි සිංහල සිනමා වංශ කතාවේ කීර්තිමත් චිත්‍රපට වලට සහය අධ්‍යක්ෂණයෙන් දායක වූ තිස්ස ලියනසූරිය ගැටවරයෝ සඳහා සම අධ්‍යක්ෂණයෙන් දායක වූ කලා ශිල්පියෙකි. සාරවිට, පුංචි බබා, නාරිලතා චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් වෘත්තාන්ත චිත්‍රපට සඳහා සුවිශාල මෙහෙවරක් කරනු ලැබු තිස්ස ලියනසූරිය රජයේ චිත්‍රපට අංශයට එක් වී දශක කීපයක් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයෙකු ද වේ. ඔහු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද වේ. ලාංකේය සිනමාවේ අග්‍රගන්‍ය සිනමාකරුවකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සන්දේශය චිත්‍රපටයෙන් සහය අධ්‍යක්ෂවරයකු ලෙසින් සිනමා දිවිය ඇරඹු තිස්ස ලියනසූරිය. සිංහල සිනමාවේ කිවිඳිය ලෙස සැලකෙන ප්‍රවීණ සිනාමාවේදිනී සුමිත්‍රා පීරිස් හා එක්ව සහය අධ්‍යක්ෂණයෙන් දායක වුයේ සංදේශය චිත්‍රපටය සමඟය. එදා සුමිත්‍රා සමඟ සන්දේශය චිත්‍රපටයේ වැඩ කටයුතු තුළ තිස්ස ලියනසුරිය ඒ අතීතය සිහිපත් කළේ මේ අයුරින්...

මට සන්දේශය චිත්‍රපටයට සම්බන්ධ වන්නට අවකාශ උදාවන්නෙත් හරි අපුරු විධියටයි. මගේ මතකය හැටියට ඒ 1958 වසරයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඔහුගේ දෙවන චිත්‍රපටය වු සන්දේශය කරන්න සුදානම් වන අවධියේ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතාගෙන් අසා තියනවා සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ හැකි තරුණයෙක් ඉන්නවා ද කියලා. ඒ පාර ඔහුට මතකයට ඇවිත් තියෙනවා මාව. ඒ පාර ලෙස්ටර්ට මාව නිර්දේශ කරල තියනවා. මම ඉක්මනින් ඇවිත් හමුවන්න කියලා තියනවා. පහුවදාම උදෙන් මම ලෙස්ටර්ගේ ගෙදර ගියා.ඒත් ගෙදර ජනෙල් දොරවල් වහල මම ආපහු ආවා. පහුවදාත් මම එහෙ ගියා ඒත් ලෙස්ටර් හම්බ වුණේ නෑ. තුන්වෙනි දවසෙත් ගියා. එදත් රස්තියාදු වෙලා ආවා. පහුවදා ආයෙත් ගියා. අන්න එදා ලෙස්ටර් මහතා මට හමුවුණා. මට වැඩක් පැරුවා සන්දේශය චිත්‍රපටයේ නළු නිළියන් ගේ ඇඳුම් තෝරලා අව්වේ දමලා වේලලා ජවනිකා අනුව නම් ගහලා තැන්පත් කරලා තියන්න කියලා. මොනවා කරන්නද මට පැවරූ වැඩේ මම කළා. ඊට පස්සේ තමයි සහය අධ්‍යක්ෂවරයෙක් බවට පත්වුණේ. විජය අභයදේව, සුමිත්‍රා පීරිස් එහි සෙසු සහාය අධ්‍යක්ෂවරුන් වුණා. මෙම චිත්‍රපටයේ දෙබස් මෙහෙයවීම මා සිදුකළා.

අපි තිදෙනාම සහය අධ්‍යක්ෂවරුන් ලෙස සන්දේශය චිත්‍රපටයේ වැඩකළා. බෙලිහුල්ඔය ප්‍රදේශයේ රූපගත කළ සන්දේශය චිත්‍රපටය සඳහා අපිට මාස අටකට වඩා වැඩි කාලයක් ගියා. රූපගත කිරීම්වල අපේ කාර්මික ශිල්පීන් කණ්ඩායමේ හිටිය එකම කාන්තාව වුණේ සුමිත්‍රා. ඒ වකවානුව හරිම දුෂ්කර කාල පරිච්ඡේදයක්. ඇය අපිත් සමඟ ඒ අපහසුතා කටුක බව විදදරාගනිමින් එක්ව ජිවත් වුණා. සුමිත්‍රාට භාරව තිබුණේ චිත්‍රපටයේ ජවනීකා සම්බන්ධ කටයුතු. ඒ කටයුතු ඈ නොපිරිහෙලා ඉටුකළා. සංදේශය දැවැන්ත චිත්‍රපටයක් විශාල නළු නිළියන් පිරිසක් මෙහෙයවමින් මේ කටයුත්ත කිරීම හරි අපහසු කාර්යක් වුණා. පිරිමි හැටියට අපිට වුණත් මේ කටයුතු හරි දුෂ්කර වුණා. කාන්තාවකට ඒ දුෂ්කරතාව කොතරම් ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒත් සුමිත්‍රා නොවේ පසුබැස්සේ අපිත් එක්ක හරි හරියට කරට කර ඒ තමන්ගේ කාර්ය අකුරට කළා. ඈ තුළ පුදුම ශක්තියක් තිබුණා. අපේ කාර්මික ශිල්පී කණ්ඩායම තුළ කාගෙත් හිත දිනාගෙන වැඩ කිරීමට. ලෙස්ටර් මහත්තයාට හැම දෙයක්ම තිතට ඕනේ. යම් අයුරකින් ඒක අතපසු වුණොත් සහය අධ්‍යක්ෂවරුන් වූ අපි තුන්දෙනාටම අත්වෙන ඉරණමක් අපි දැනගෙන හිටියා. සන්දේශය රූපගත කරන කොට විතරක් නොවෙයි. ඒක සංස්කරණය කරන කොටත් ටයිටස් තොටවත්තයන්ට පවා උදව් කළා.

ඒ අවධියේ පිරිමි පක්ෂය සමඟ වැඩකරන කොට තරුණවියේ සිටි කාන්තාවක් තනියම අපත් සමඟ වැඩකිරීම බොහෝ දෙනා සැලකුවේ නුසුදුසු ක්‍රියාවක් විධියට විශේෂයෙන් ඇය සන්දේශය චිත්‍රපටය තුළ කාර්මික ශිල්පීන් සමඟ වැඩකළ එකම කාන්තාව වීම නිසාම චිත්‍රපටයේ විශේෂයෙන් රඟ පෑ නළුවෝ ඇය දිහා බැලුවේ. එතරම් ප්‍රසාදයකින් නොවේ. නමුත් එහි රඟ පෑ නිළියන්ගෙන් නම් සුමිත්‍රාට සහයක් නම් ලැබුණා. ජවනිකා සම්බන්ධීකරණ කටයුතු වලදී මට ඇයත් සමඟම සමීපව කටයුතු කරන්න අවස්ථාව ලැබුණ අවස්ථා එමටයි. මට මතකයි සන්දේශය කරනකොට ලෙස්ටර් මහත්තයා මට බලකොටුවේ දර්ශනයක් තනියම කරන්න දුන්නා. අපි මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන්ට අමතර පිටින් තව ගොඩක් පිරිසක් ගත්තා.

බෙලිහුල් ඔය ප්‍රදේශයේ රූප ගත කිරීම් කරන කොට එක්තරා පුද්ගලයෙක් ඇවිත් මට ඇවිටිලි කළා. තමන්ට ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියලා මම ලෙස්ටර් මහත්තයාට කියල අනුමැතිය අරන් මිනිහව බලකොටුවේ මුදුනේ ඉඳන් බිමට වැටෙන දර්ශනයකට ගත්තා වැඩේ ගැන කිව්ව ගමන් මිනිහා සුරුස් ගාලා බලකොටුව මුදුනට නැග්ගා. දැන් දර්ශනය ගන්න සුදානම් සුද්දාගේ ප්‍රහාරයෙන් වැටෙන මේ සිංහලයා ඉන්නේ බලකොටුව මුදුනේ. බුදු අම්මෝ කියාගෙන පපුව අල්ලගෙන බලකොටුව මුදුනේ සිට පහළට වැටෙන්න තමයි ඔහුට තිබුණේ. දැන් සියල්ල සුදානම් මම ඇක්ෂන් කිව්වා. බුදු අම්මෝ කියාගෙන පපුව අල්ල ගෙන මිනිහා රූටාගෙන පහළට ආවා. මේ දර්ශනය එක්කම වෙඩි තබාගන්නා දර්ශන වැලක් තියනවා. මිනිත්තු තුනක් විතර ඒ දර්ශනයත් ඉවර වෙලා මම අර මිනිහා දිහා බැලුවා. අර මිනිහා වැටිල තියෙන්නේ. පහළ තිබුණු ගල්ගොඩක් උඩට ලේත් එනවා. මම හිතුවා මිනිහා ඉවරයි තමයි කියල මමත් සුමිත්‍රාත් මිනිහව ගෙනාව රත්නපුර ඉස්පිරිතාලෙට ඒ මිනිහට සිහිය එන්න දවස් දෙකක් විතර ගියා. කොහොම හරි මිනිහට සිහිය එන දවසේ මමත් සුමිත්‍රාත් ලෙඩාගේ ඇද ළඟ. මිනිහට සිහිය එනකොට දැක්කේ අපි දෙන්නාව හොඳින් ඇස් ඇරල ටිකවෙලාවක් ගිහින් මේ මිනිහා අපෙන් අහනවා සුමිත්‍රා නෝනා තිස්ස මහත්තයා ෂොට් එක හොඳට ආවද කියලා. ඔය වගේ සිද්ධි වලටත් අපිට මේ දර්ශන තලයේදී මුහුණ පාන්න සිද්ධ වුණා.

මමත් වෙලාවට වැඩකරන්න ඉගෙන ගත්තේ සන්දේශය දර්ශන තලයේදී. ඒක එදා පටන් මගේ ජීවිතයේ අදටත් තියෙනවා. ලෙස්ටර් මහත්තයා එක්ක වැඩ කිරීම තුළ අපිට ඒ දේ නිසි විධියට ලැබුණා. සුමිත්‍රා කවදාවත් ඔය මාස අටකට වැඩි කාලය තුළ අපිව දාලා ගියේ නෑ. අපිත් එක්කම උරෙන් උර ගැටෙමින් සන්දේශය රූපගත කිරීම් නිමා කරනකම් රැදිලා හිටියා.

නළු නිළියෝ රෙස්ටවුස්වල නැවතී සිටියත් ඇය කවදාවත් ඒවායේ නවතින්න ගියේ නෑ. අපිත් එක්කම අපි නැවතිලා හිටිය තැනම ඇයට වෙන් වූ කාමරයක ඇය කාලය ගත කළා. ඇගේ පළවෙනි චිත්‍රපට අත්දැකීම වුණත් ඒ සඳහා ආධුනික බවක් ඇය කිසිවිටටෙකත් පෙන්නුවේ නෑ. චිත්‍රපට ජවනිකා සම්බන්ධීකරණ කටයුතු වලදී ඒ වෙලාවන් අනුව අවශ්‍ය කරන දර්ශනය ගැනීමට අවශ්‍ය කරන හැමදෙයක්ම කලට වෙලාවට ඇය සුදානම් කළා. චිත්‍රපටයේ සිටි සෙබළුන් අශ්වයන් ප්‍රධාන නළු නිළියන්ට අමතරව ඈ සුදානම් කළේ ලෙස්ටර් මහත්තයා දර්ශන තලයට එන්නත් පෙර ඒ තරටම ඈ ඒ වෙනුවෙන් කැපවුණා.

කාගෙත් හිත දිනාගෙන කටයුතු කිරීමේ ගුණයක් ඈ සතු වුණා. සුමිත්‍රා කියන්නේ කාටත් උදව් කරන්න කැමැති කෙනෙක්. මම වුණත් ඇගෙන් ඉගෙනගත් බොහෝ දේ තියනවා. මට යම් ගැටලුකාරී දෙයක් ඇති වුණා නම් ඇයත් සමඟ කතාබස් කරල ඒවා නිරාකරණය කරගත් අවස්ථා තියනවා. ඇය දන්නා දෙයක් තව කෙනෙකුට කියා දෙන්න කවදාවත් මැළිකමක් දැක්වුවේ නෑ. සුමිත්‍රා සන්දේශය චිත්‍රපටයෙන් තමන්ගේ සිනමා ගමන ඇරඹුවත් ඇය සිනමාව ගැන හොඳ දැනුමක් ඇතුව තමයි මේකට එක්වන්නේ විදේශයේදී ඇය සිනමාව පිළිබඳ හැදෑරීමක් පවා කරල තමයි සන්දේශයට එක් වන්නේ. ඒ දැනුමත් මේ දැවැන්ත නිර්මාණය කිරීමේදී ඇයට ලොකු ශක්තියක් වුණා. අන්තර්ජාතිකව පිළිගත් සිනමා අධ්‍යක්ෂවරියක් වුවා කියා කවදාවත් ඈ උඩගු වුණේ නෑ. තම ස්වාමි පුරුෂයා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හෙළ සිනමාවේ අග්‍රගන්‍ය සිනමාකරුවා කියමින් ඇය කිසිවිටෙක උඩගු වුයේ නැහැ. කවදත් කාටත් නිහතමානී වූ චරිතයක් වුවා පමණයි.

 

 

[email protected]