වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
තාත්තා පාවිච්චි කළේ ඔහුම හැදූ සුවඳ විලවුන්

- මගේ තාත්ති හදවතින් දුෂ්ට ගති ඇති කෙනෙක් නෙමේ
- කිසිම වැඩක් උඩින් පල්ලෙන් කරන පුරුද්දක් අපේ තාත්තිට තිබුණේම නැහැ
- මට දුන්න ආදරයට මං අදත් කැමැතියි
- හැම තිස්සේම අනාගතය සකස් කරන්න වෑයම් කළ කෙනෙක්
‘කෝමා තත්ත්වයෙන් මගේ තාත්ති ඉස්පිරිතාලෙ ඉන්න කොට පිටරට ඉඳල ආපු මගේ අම්මි අඬ අඬ තාත්තිගේ අතක් අල්ල ගත්තා. ඒ අම්මිගෙ අත අරන් තාත්ති පපුවට තියාගත්තා. කතාවක් ඇත්තෙම නැහැ.
කනට ළංවෙලා කතා කරන්න ලෙඩාට ඇහෙනවා කියල දොස්තර මහත්තුරු කිව්ව හින්දා මං තාත්තිගෙ කනට ළංවෙලා මගේ තාත්ති කියල කිව්වා. අනේ, මගේ තාත්ති, ඇස් හරවල මං දිහා බලා ඉන්න කොට ඒ ඇස්දෙකෙන් කඳුළු හෝ ගාලා වැටුණ හැටි මට තවමත් මැවි මැවී පේනවා වගේ.’
සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිත නිරූපණයෙන් වඩාත් නමක් දිනූ නිෂ්පදකවරයකු, අධ්‍යක්ෂකවරයකු චිත්‍රාගාර හිිමිකරුවකු සේම ප්‍රකට ව්‍යාපාරිකයකු වූ අපේ අද කතාවේ කතා නායකයා බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතාගේ දියණියක වන දුලාරි තිළිණි වාසනා ප්‍රනාන්දු මහත්මිය සිය අතීත සැමරුම් සිහියට නඟා ගනිමින් එසේ කීයේ කඳුළු අතරින් යැයි දැනුදු මට සිතෙයි.
ඕ නිරුත්තරව ඈත බලා සිටින්නීය. සුසුමක් හෙළා ළය සනහා ගන්නීය. එතුවක් තිබු මුව සිනහව කොහෙත්ම නැති බැල්මෙන් මදෙස බලාගත්වනම පසුවන්නීය.
මිනිසුන්ගේ ජීවිතයේ හෙට දවස පිළිබඳ අනාවැකි ගළපන්නට, ගළපා කියන්නට සමතකු කවුරුන් හෝ සිටියේ නම් අපේ සොඳුරු කතා නායක තෙමේ කල්තියාම තම ඉරණම වෙනස් කරගන්නට ඉඩක් තිබිණි. යමෙකුගේ ජීවිතයේ යම් තැනෙක දී එළැඹෙන වාසනාව අවාසනාව කිසිවකුට කිව නොහැකිවා සේම අපේ බැප්ටිස්ට් ද මිහිරි අමිහිරි තැන්හී දී දරා ගත්තේය. රූමතියක වන දුලාරි ප්‍රනාන්දු මහත්මිය මා ඉදිරියේ සුව පහසු අසුනේය.
ඕ සිය කටහඬ අවදි කරන්නට වුවාය.
“අපේ තාත්ති මනුස්සයෙකුට විඳින්න හැකි සෑම සැපක්ම හැම සැප සම්පතක්ම ඉහළින්ම වින්ද මනුස්සයෙක්. චිත්‍රපට රසිකයො සාමාන්‍යයෙන් චිත්‍රපටයේ රඟපාන චරිතය අනුවත් වර්ගීකරණය කරනවානෙ. එහෙම බැලුවාහම මගේ තාත්ති ගොඩක් ජනපි‍්‍රය වුණේ දුෂ්ටයාගේ චරිත රඟපෑමෙන් නිසාදෝ දැඩි හිතක් තියෙන මනුස්සකම අඩු හෝ නැති එදිනෙදා ජීවිතයේ දීත් දුෂ්ටයකු කියා හිතනවා ඇති. එහෙම හිතන බව මට හිතෙනවා.
‘අනේ මගේ තාත්ති හදවතින් දුෂ්ට ගති ඇති කෙනෙක් නම් නෙමේ කියල මං හිතට එකඟව කියනවා. උණුවන හිතක් තිබුණෙ. තවත් කෙනකුගේ දුකට සවන් දෙන හිතක් තිබුණෙ.’
වෙන්නප්පුව කොලින් ජාඩිය ප්‍රදේශයේ එවිජින් ප්‍රනාන්දු සහ විනීපි‍්‍රඩා ප්‍රනාන්දු මවුපිය දෙපලට පුතුන් දෙදෙනෙකි. දියණියන් තිදෙනෙකි. මේ දූ පුතුන් අතර දෙවැනි පුතණුවන් වුයේ අපේ ආදරණීය කතා නායකයා ය. ඔහු නමින් වර්ණකුලසුරිය මහලේකම්ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දුය. වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ ඉගෙනුම ලද හෙතෙම අන් ශිෂ්‍යයන් අතරේ දී පවා කැපී පෙනුණු ශිෂ්‍යයකු වුයේ වඩාත්ම ලස්සනට ඇඳ පැලඳ සිටීමෙනි. හැම දෙයකදීම ඔහුට අවශ්‍යම වුයේ එහි ක්‍රමානුකූල බවය. පිළිවෙළට කිරීමය. මම දුලාරිගේ මුහුණ බලමි.
“ඔව්. අපේ තාත්තිට කිසිම වැඩක් උඩින් පල්ලෙන් කරන පුරුද්දක් තිබුණේම නැහැ. ඇඳුම ඇන්දත්, හිස පීරුවත්, සපත්තු දැම්මත් මේවා හරියට නීට් එකට ම තියෙන්නම ඕනා.’
තවත් දෙයක් තිබුණා. පුංචි ගැටවර වයසෙ ඉඳන්ම තාත්ති. තාත්තිගේ තාත්තා ඒ කියන්නේ අපේ සීයා තාත්තාගෙන් යැපෙන්න හිතක් තිබුණේම නැහැ. වැරදි වැඩවලින් නෙමේ, මුදල් උපයන්නමයි තාත්තිගේ හිත තිබුණේ. ඒ හින්දා වෙන්නැති මගේ තාත්ති එයාම අත්හදා බලල එයාම මහන්සියෙන් ක්‍රීම් වර්ග නිෂ්පාදනය කළේ. ඔය සුවඳ හමන ලෝෂන් වර්ග ෂැම්පු වර්ග හැදුවේ මගේ තාත්ති. ලංකාවේ මුලින්ම හෙයාර් ෆර්මින් ලෝෂන් එකක් හඳුන්වා දුන්නේ මගේ තාත්ති, තාත්ති පුද්ගලිකව පාවිච්චි කළෙත් ඒවමයි. ඒ නිෂ්පාදන වලට හොඳ ඉල්ලුමක් වගේම හොඳ ආදායමක් ඒ කාලෙ තිබිල තියෙනවා.’
දුලාරි මනබඳනා සිනහවෙන් මුව සරසා ගන්නීය.
‘මට මතක් වුණේ අපේ තාත්තිගේ වැඩ අපි පුංචිම කාලෙ අපි දැකපු දේවල්. තාත්ති හැම තිස්සෙම සෞඛ්‍ය ගැන උනන්දුවෙන් හිටියෙ. හැම සතියකම වෙනිවැල්ගැට කෝප්පයක් බොනවා. ඊළඟ සතියේ රසකිඳ ඊළඟ සතියේ තවත් වටිනා දේශීය පානයක්, දන්නවද අපේ තාත්ති හැමදාම උදේට බිත්තර විස්සක සුදුමදය කනවා. බයිසිකල් පදිනවා. බොඩි බිල්ඩින් කළානෙ.’
අසාමාන්‍ය වූ හැඩිදැඩි දේහධාරී අපේ සොඳුරු කතා නායකයා දැන් මා ඉදිරියේ මැවී පෙනෙයි. ඕ කියාගෙන ම යන්නීය. අපේ බැප්ටිස්ට්, මා කුඩා වියේ සිට රිදී තිරයෙන් දුටු බැප්ටිස්ට් මට සමීපවම සිටින්නාසේ මට හැඟෙයි. ඔහුගේ ගොරෝසු කටහඬ මට ඇසෙන්නාක් බඳුය.
අපේ දුලානි මහත්මිය කියනා අයුරින් හෙතෙම දේශීය ඖෂධ පිළිබඳ ද හසළ දැනුමකින් හෙබි අයෙකි. තම රූප ශෝභාව පිළිබඳ කෙතරම් සැලකිලිමත් වීද යත් ඔහු ගත ගල්වන ලද්දේ ද ඔහු විසින්ම නිෂ්පාදනය කළ සුවඳ විලවුන් වර්ග පමණෙකි. රහමෙර පානයට එහෙමට ගිජු වුවකු නොවු අපේ කතා නායකයා නිතර රැඳුණේ දුම්වැටියයි. ඔහු එය මුවඟට නඟා පානය කළේ ද කිසියම් රිද්මයකට මෙනි.
‘මගෙ තාත්ති චිත්‍රපට නළුවකු වෙනවා කියල එහෙම ඉලක්කයක ඉඳලත් නැහැ. ලස්සනට ඇන්දා. ලස්සනට හිටියා. කොහොම හරි තාත්තාගෙ ළඟම යහළුවෙක් එස්.ඒ ප්‍රනාන්දු තාත්තිගේ පින්තුරයක් එක්ක විස්තරයක් චිත්‍රපටයකට නළු නිළියන් තෝරන දැන්වීමකට අනුව යවලා තියෙනවා. එහෙම චාන්ස් එකකින් තමා තාත්ති නළුවකු වුණේ.”
ඇය මුව පුරා සිනාසෙන්නීය.
1933 වසරේ ජුලි මස 09 වන දින උපන් අපේ කතානායකයාගේ කේන්දරයෙහි ලියැවී තිබුණේ ද සැප සම්පතින් ආඪ්‍ය වූ දිවි පෙවෙතකට හිමිකම් කියමින් ජනපි‍්‍රය පුද්ගලයකු වන බවමය.
සුවඳ විලවුන් ව්‍යාපාරයෙහි ප්‍රමුඛයා ලෙසින් ද නමක් දිනා සිටි අපේ බැප්ට්ස්ටි ප්‍රථම රංගනයට පිවිසියේ ‘පෙරකදෝරු බෑණා’ චිත්‍රපටයෙනි. ඒ 1955 වසරේදීය. එහි නිරූපණය කළේ ද්විත්ව චරිතයකි.
ලාංකේය සිනමාවේ කතානාද සිනමාව ඇරඹි මුල් දශකයේදී සිනමාවට පිවිසි හෙතෙම එය ස්වර්ණ රිදී තඹ පිත්තල යුගයන් පසු කළ ද රඟපෑවේ චිත්‍රපටවල පමණෙකි.
සිනමාවට පිවිස ගෙවු කාලය මුළුල්ලේ ජනපි‍්‍රය නළුවකු මතු නොව නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් සේම නළු නිළි සංගමයේ භාණ්ඩාගාරික ආදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක් හෙතෙම නියෝජනය කරන්නට සමත් වුයේය.
පෙරුම් පුරාගෙන සිනමාවට පැමිණි අයකු නොවුවද අපේ සොඳුරු කතා නායකයා සිනමා රසිකයනට මෙන්ම සිනමාවේ හිතවතුනට ද නැතිවම බැරි වූ අයකුම විය.
ශාරීරික ව්‍යායාම්වල නිරතුරු නිරතව ඇඟ හදා ගැනීමේ උණ බිඳකුදු ඔහුගෙන් තුරන් නොවීය.
බී.ඒ. ඩබ්ලිව්ි ජයමාන්න සහ විලී ජයමාන්න දෙදෙනාගේ නිෂ්පාදනයක් වූ ‘පෙරකදෝරු බැණා’ හි ද්විත්ව චරිතයක පෙනී සිටිය ද ඉන් සතුටුදායක අත්දැකීම් නොලැබුවද ලංකාවේ ජනපි‍්‍රය නළුවකු වීමේ අදිටන ඔහු සිත වෙලාගති.
ඔහු වඩාත් රසික දන අතරට ගියේ ඔහුගේ තුන්වන චිත්‍රපටය වන ‘පුරුෂ රත්නය’ සමඟයි. එය සාර්ථක චිත්‍රපටයක්ම විය. එහි ප්‍රධාන චරිතය රඟ පෑ පේ‍්‍රම් ජයන්ත් සමඟ ඇති වූ දිගු කාලීන මිත්‍රත්වය කෙතරම් ද යත් සෙවන් ආර්ට්ස් නමින් දෙදෙනාම එක්ව චිත්‍රපට සමාගමක් ද බිහි කළහ.
යෝජිත විවාහයකට අනුව අපේ බැප්ටිස්ට් විවාහ වුයේ තිරිස් ද සිල්වා මෙනවිය සමඟිනි.
ඒ විවාහයෙන් අපේ හැඩකාර බැප්ටිස්ට්ට පුතකු හා දියණියක හිමිවිණි. ඒ ෂම්මි හා ශර්මිලාය.
ආර්ථික අතින් ද සමෘද්ධ තත්ත්වයක පසුවන අපේ ආදරණීය බැප්ට්ස්ටි වත්තල ප්‍රදේශයේ පැනමා ඉන් නමින් සුඛෝපභෝගී හෝටලයක හිමිකරු බවට පත් වුයේය.
මම දුලාරිගේ මුහුණ බලමි.
‘අපේ තාත්තිගෙ පළමු විවාහයෙන් ෂම්මි අයියයි, ශර්මිලා අක්කයි, ව්‍යාපර කටයුතු ගැන, ගෙදර බිරිය දරුවන් ගැන සොයා බලන ගමන්ම තාත්ති චිත්‍රපටවලත් රඟපෑවා. තාත්තිගෙ හිත හයියයි. හැබැයි ඇඟ හැදුවාය කියල ශක්තිමත් දෑත දෙපය තිබුණාය කියල මගේ තාත්තිට කාටවත් රිදවන්න පෙළන්න හිතක් නම් තිබුණේම නැහැ. කා එක්ක හරි වචන හුවමාරුවක් වුණාය කියල හිතමු. ඒ තරහ ඒ ගමන්ම තාත්තිගේ හිිතින් අහකට යනවා. හිතේ ක්‍රෝධ වෛර තියන ඉන්න ගතියක් තිබිලම නැහැ.’
අපේ සොඳුරු කතානායක ගල්ගැසී ගියේය. සිහිඑළවාගත නොහැකිවාක් මෙන් මොහොතක් පසුවුයේය. ඔහු දෑස කඳුළින් තෙමී ගියේය. ඒ තමන්ගේ ආදරණීය බිරිය තෙරීස් හදිසියේ මිය පරලොව යාමෙනි. ඒ වන විට ශම්මි පුතුට හා ශර්මිලා දියණිය වයසින් අවුරුදු 16 හා 17 යන වයසේය. හෙතෙම දරු දෙදෙනා සමඟින් තනිවුයේය.
අපේ බැස්ටිස්ට් ජීවිතයට සතුටින් මුහුණ දෙන්නට තීරණය කළේය. තමන් සතුව තිබු ව්‍යාපාර ආදී සියලු කටයුතු එලෙසින්ම පවත්වා ගත යුතුමය. දරු දෙදෙනාට ද වගකීම් පවරන්නට තරම් වයසක නොවේ. මේ අතරේදීමය අපේ බැප්ටිස්ට මාතර ප්‍රදේශයේ පදිංචි රූ රැජිනිය තරඟ කිහිපයකින්ම කිරුළු දැරූ ‘ශ්‍රීයා’ හමුවුයේ. දැන් දෙදෙනා පෙම්වතුන්ය.
අපේ අම්මි මාතර, ඉතින් එදා තනිවෙච්ච තාත්ති අපේ අම්මා ආදරය කළා. ඒ වෙනකොට අපේ අම්මිගෙයි තාත්තිගෙයි අතර ලොකු වයස් පරතරයකුත් තිබුණා. තාත්තිට වයස හතළිස් ගානක්. මගෙ අම්මට වයස දහසයක්. එදා ඒ පරතරය මං හිතන්නේ මගේ අම්මි ඒ තරම් හිතලත් නැහැ. මං උපදිනකොට මගේ අම්මිට අවුරුදු දහ හතයි.’
මා සමඟ මෙලෙසින් පි‍්‍රයමනාපව දොඩමලු වන දුලාරි රුවැත්තියකි. එපමණක් නොවේ. ඈ වෘත්තීමය ප්‍රවීණතම රූපලාවණ්‍ය ශිල්පිනියකි. ගම්පහ, මිරිස්වත්තේ සැලොන් තිළිණි රූපලාවණ්‍ය ආයනයේ හිිමිකාරිය ද ඇයය.
ඕ නිහඬවම මදෙස බලා සිට යමක් මතක් වුවාක් මෙන් අසුනේ හරි බරි ගැහෙන්නීය.
‘මං කවදාවත් මගේ තාත්තිගෙ වචනයට පිටින් කිසි දෙයක් කරල නැහැ. තාත්ති මට දුන්න ආදරයට මං අදත් කැමතියි මාව එයාගෙ උකුළ උඩ තියන් මාව හුරතල් කරපු හැටි මට තවම මතකයි. මගේ අධ්‍යාපනයෙදී වෙන ළමයි වගේ ගෙදර ඉඳන්ම පාසලට යන්න ලැබුණෙ නැහැ. මම කළුතර ශුද්ධ වූ කන්‍යාරාමයේ, මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාල වල මං එහේ හොස්ටල්වල නැවතී ඉගෙන ගත්තෙ. තාත්ති නිතරම හොයා බැලුවා.
ඉතින් අහන්නකො. මං පාසල් ජිවිතය හමාර කර නිළියක් වෙන්න හිතුවාට එයට තාත්ති කැමැත්ත දුන්නෙ නැහැ. ඒත් ශම්මි අයියා ශර්මිලා අක්කා නම් රඟපෑවා. ‘ඕ, දුලාරි සිනහවකින් මුව සරසා ගන්නීය.
දුලාරි තවත් දොඩමලු වන්නීය.
‘මට මිරිස්වත්තෙ සැලෝන් තිළිණි දාල දුන්නෙත් එයට අත හිත දුන්නෙත් මගේ තාත්ති. ඒ විතරක් නෙවි, මට වගේම ශම්මි අයියා, ශර්මිලා අක්කා ගැනත් හොඳට සොයා බැලුවා. හැම යුතුකමක් ම ඉටු කළා.’
අපේ බැප්ටිස්ට් තම දෙවන විවාහයේ බිරිඳ ශි‍්‍රයා ප්‍රනාන්දු මහත්මිය ගෙන් ලද දියණිය දුලාරිට මංගල යෝජනාවක් ගෙන ආයේය. හෙතෙම ඇමරිකාවේ සිට පැමිණියෙකි.
කතෝලික පියාගේ මඟ යමින් පල්ලියට ද තම මවගේ මඟ යමින් පන්සලට ද හුරු වූ දුලාරි දහම් පාසලේ ධර්මාචාර්ය විභාගයෙන් ද සමත් වීමෙන් පියාගේ ආදරය වැඩිමනත් දිනාගන්නට ඇයට හැකි වුවාය. එහෙත් පියා විසින් කරදුන් විවාහය නීරස වන්නට වැඩි කලක් ගත නොවුවාය. එක් පුතකුට මවක වූ දුලාරිට පියාගේ රැකවරණය වඩාත් ඇවැසි විය.
‘තාත්ති මගේ අම්මව ලස්සනට බලාගත්තා. ඒක ඇත්තක්මයි. මගේ අම්මිට කිසිම අඩුවක් කළේ ම නැහැ. ඒ ටික මං දෑසින්ම දැක්කා. මං අම්මා රූප සුන්දරියක්නෙ. මාතර ගම, තුන් වරක්ම අම්මව තේරුණා. තාත්ති චිත්‍රපටිවල ෂුටින් කරද්දී අම්මිව එක්කගෙන යනවා. මමත් රඟපාන්න ආසයි කිව්වට තාත්ති ඒක නැහුණා වාගෙ ඉන්නවා.
දුලාරි අතකින් මුව වසා සිනාසෙන්නට වුවාය. මම එය විමසුවෙමි.
‘අපේ තාත්ති ඔහොම. හොඳද චිත්‍රපටයෙ රඟපෑවනෙ. ගාමිණී අන්කල් එක්ක. මං එනකොට පොඩියිනෙ. ඉතින් චිත්‍රපට හෝල් එකට අම්මිවත් එක්කගෙන තාත්ති එක බලන්න ගියේ. ඔන්න දැන් ගාමිණි අන්කල් මගේ තාත්තිට කසයෙන් අතින් පයින් ගහනවනේ. දෙන්නම ගහගන්නවනෙ.
අනේ මං ඒක දැක්ක ගමන් හෝල් එකම දෙදරන්න කෑ ගහල අඬන්න ගත්තා. මගේ තාත්තිට ගහනවා කිය කියා පස්සේ මගේ ඇඬිල්ල නවත්තගන්න බැරිම තැන තාත්ති මාවත් වඩාගෙන හෝල් එකෙන් එළියට ආවා.’
දුලාරිගේ මුහුණම මලානික වී දෑසේ හි නැඟි ආ කඳුළක් මට වසන් කොට මෙන් රහසේ පිසලාගන්නට වෑයම් කළ ද ඒ බව මම දුටිමි.
‘මගේ තාත්ති පව්. එත්’ දුලාරි වචන ගිලගත්තාය. මම එයම යළි විමසුවෙමි.
‘තාත්ති සිතාරා පි‍්‍රයදර්ශනීට ආදරය කරන්න ගත්තා. ඒ තාත්තිගෙ හැටි. එයාට කෙනෙක් ගැන හිත ගියොත් එයාව ලබාගන්නවා. හැබැයි ඒ අය වෙනුවෙන් තාත්ති අත දිග ඇරල වියදම් කරනවා. ඇයි තාත්තිට සල්ලි වලින් කිසිම අඩුපාඩුවක් නැහැනෙ. පැනමා ඉන් හෝටලයේමයි සිතාරා. මගේ අම්මි තාත්ති එක්ක සණ්ඩු සරුවල් කරන්න කැමති නැහැ. අම්මි එහෙම හිත තද කෙනකුත් නෙවි. තාත්ති ගැන අම්මිගෙ හිත කැඩුණා. තාත්තිටත් නොකියාම මාව තාත්තිට පවරලා අම්මි පිටරට ගියා. අම්මිගෙ රට යාම තාත්තිට හොඳටම රිදුණා. එන්න, එන්න කියල තාත්ති අම්මිට ලියුම් යවලත් තියෙනවා. මට ආරංචියි ඒත් අම්මි ඒ තීරණේම උන්නා.
අපේ කතානායක බැප්ටිස්ට් ප්‍රනාන්දු මේ වන විට සීදුවේ, දඬුගම අක්කර ගණනාවකින් යුතු භූමි ප්‍රදේශයක පිහිටි දුපතක හිමිකරුවෙකි. කබානා ආදී බොහෝ දේ එහි තිබේ. විවේකය පිණිස එහි යන හෙතෙම සිය සේවක පිරිස සමඟ කැත්තේ උදැල්ලේ වැඩය. තාත්තිගෙ හිතවත්තු සිනමාවේ සමකාලීන ඇත්තො පැනමා ඉන් එකටත් මේ දූපටත් නිතර එනවා. තවත් අය මුදල් ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලාගෙන එනවා.
තාත්ති උදව් කරන්න නම් බොහොම කැමැතියි. එයා හමුවන්න කුමන කාරණේකට ආවත් එන කෙනාගෙ සතුට කැමැත්තට අනුව සංග්‍රහ සත්කාර නම් අඩුවක් කළේම නැහැ. සමහර නළුවන්ට අමාරු කාලවලදී පැනමා ඉන් එකේ රස්සාවල් පවා දීලා ඒ පවුල්වලටත් හැම අතින්ම උදව් උපකාර කළා. අර ගෝල්ඩන් කී එකටත්, තාත්ති ලක්ෂ දෙසියයක් තැන්පත් කරල තිබුණනේ.’
දුලාරි මොකක්දෝ බර කල්පනාවකය.
හිටි අඩියේම අපේ බැප්ටිස්ට් මාලිගාතැන්න භාවනානුයෝගී සේනාසනයක භාවනානූයෝගී වුයේය. දෛනික තම සියලු කටයුතුවලින් සහමුලින්ම බැහැර වූ හෙතෙම එම සේනාසනයේ අධ්‍යාත්මික සුවයෙහි පසුවුයේ ඔහුගේම කැමැත්තකින් නොවේ යැයි දුලාරි කියන්නීය.
‘අපේ තාත්තිට එහෙට ගිිහින් භාවනා කරන්න ඕනකමක් නම් තිබුණේම නැහැ. එහෙම කරන්න තාත්තිව යොමු කළේ සිතාරා. එයා තාත්තිට කියල තියෙනවා ඔයා මාසයක් විතර හැංගිලා ඉන්ඩ කියලා. එයාගෙ කැමැත්තට තාත්තා එහෙට ගිහින් උන්නෙ. අපේ තාත්තිව ඒ කාලෙ කවුරුහරි මරන්ඩ හිටියා ද දන්නෙත් නැහැ. එකේ ඇත්ත කතාව දන්නෙ සිතාරාම තමයි.’
අපේ, බැප්ටිස්ට් චිත්‍රපට නිෂ්පාදනයට අත ගසමින් ‘සහනය’ චිත්‍රපටය තැනුවේය.
එතැනින් නොනැවතී ප්‍රධාන චරිතයකට හිමිකම් නොකී හෙතෙම තම වියදමින් තැනූ චිත්‍රපට වලින් ප්‍රධාන චරිතයට පිවිසියේය. කිසිදු නළුවකු හෝ නිළියක තම චිත්‍රපට රඟපෑමට ගිවිසුම් ගැසුවේ නැති බවත්, ඒ සෑම අයකුම තමන් වෙත තබා ඇති විශ්වාසය නිසාම බවත් එකල හෙතෙම හැමතැනකදීම කීවේය. ඔහු එතරම් විශ්වාසදායක මිනිසකුව සිටියේය.
නළු, නිළි සංගමයේ භාණ්ඩගාරික ධුරය ද හෙබ වූ සමයේදී ඇතැම් සුහද හමු පැවැත්වුයේ ඔහුගේ පැනමා ඉන් හෝටල් පරිශ්‍රයේදීය. ඒ සිනමාවේ සමෘද්ධිමත් යුගයය. ඒ සැඳැවන් රසවත් යැයි කියැවේ.
පේ‍්‍ර‍්‍රම් ජයන්ත් සමඟින් ඔහු ආරම්භ කළ ‘සෙවන් ආර්ට්ස්’ චිත්‍රපට සමාගමින් සහනය ‘ගෙනා අතර හැටේ දශකය අග භාගය වන විට සිනමාවේ ජනපි‍්‍රයම දුෂ්ටයා වුයේ බැප්ටිස්ට් ය.
සතපනහ, ඔහොම හොඳ ද, තුෂාරා, සහනය, හොඳට හොඳයි, කවුද රජා, චිං චිං මෝනා වැනි චිත්‍රපට බැප්ටිස්ට් දුෂ්ටයා බවට ස්ථාපිත කළේය.
ගාමිණි ෆොන්සේකා සමඟ ඔහු රඟපෑ චිත්‍රපටයේ රජකම් කෙරුවත් කළ කම්පළදේ ගීතය සහිත ජවනිකා අදත් සිනමා රසික හදවත්හි නිදන්ව පවතී.
හෙතෙම දුෂ්ටයා ලෙස වඩාත් ජනපි‍්‍රය වුයේ ගාමිණී ෆොන්සේකා සමඟ රඟ පෑ චිත්‍රපට පෙළෙන් වීම නොරහසකි. දෙමළ සිනමාවේ එම්.ජී. ආර්. නම්බියාර් මෙන්ම හෙළ සිනමාවේ දී ගාමිණී බැප්ට්ස්ට් කැපී පෙනිණි. කොටින්ම ඔහු ගාමිණී සමඟ කරට කර රඟපෑවේය.
දකුණත ඇඟිල්ලකින් නිකට කසමින් කට කොනකට නංවන මනමාල සිනහවකින් යුත් බැප්ට්ස්ට් දුෂ්ටයා එකල සිනමා නිෂ්පාදකයන්ගේ ලාච්චු සල්ලි වලින් පිරවුයේය. දුෂ්ටයාගෙන් මිදී වීරයාගේ චරිතයට පිවිසෙන්නට අවශ්‍ය වුවද එය මහත් අවදානමක් බව සමීපතමයන් පවා කියන්නට වුහ.
දුලාරි තවමත් මා සමීපයේය.
‘තාත්ති ඒ අවදානම තාත්තිම බාර ගත්තා. අනුන්ගෙ සල්ලි නෙමේනෙ. එයාගෙ සල්ලිනෙ තාත්ති බයක් සැකක් නැතිව ප්‍රධාන චරිතයම රඟපාමින් ‘දුප්පතාගෙ හිතවතා’ චිත්‍රපටය හැදුවා. මට මතක හැටියට ඒ 1974 අවුරුද්දෙ. එස්.වී. චන්ද්‍රන් මහතාගේ මුල්ම අධ්‍යක්ෂණයත් එයමයි. ගොඩක් හිතුවෙ දුප්පතාගෙ හිතවතා ජනපි‍්‍රය තලයට එන එකක් නැහැම කියලා. ඒත් ඒ චිත්‍රපටය දින පනහ සීමාව ඉක්මවා තිරගත වුණානෙ. ‘තාත්ති තවත් ඉදිරියට ආවා’. නිම්හිම් නැති සතුටකින් ඕ සිනාවකින් එසේ කියන්නීය.
අනතුරුව ටිකිරා, සුදු අයියා, ඒක දිග කතාවක්, රජ කොල්ලෝ, නාමල් රේණු ආදී චිත්‍රපට රැසක්ම තමන් ප්‍රධාන චරිතයට පණ පොවමින් නිෂ්පාදනය කළේය.
අපේ කතා නායකයා ‘අංගුලිමාල’ චිත්‍රපටය නිෂ්පාදනයට අමතරව තිරනාටක රචකයකු හා අධ්‍යක්ෂණයෙන් ද දායක වුයේය.
බැප්ටිස්ට් ලාංකේය සිනමා ඉතිහාසයේ චිත්‍රපට ප්‍රදර්ශනයේදී සිදු වූ අක්‍රමිකතාවක් හේතුවෙන් චිත්‍රපට සංස්ථාවට එරෙහිව නඩු පැවරූ මුල්ම නිෂ්පාදකයා බව ඉතිහාසයේම සැඟව ගිය කරුණකි. ඒ පිළිබඳ දුලාරි සිය කටහඬ අවදි කළාය.
‘ඒක සිද්ධ වුණේ තාත්තිගෙ දෙවන නිෂ්පාදනය ‘ටිකිරා’ සමඟයි. ටිකිරා තිරගත වන්න තිබුණ 1978 අගෝස්තු මාසයේ 4 වැනිදායි. කොළඹ ලිඩෝ ඇතුළු සිනමාහල් වල එදා ප්‍රදර්ශක මණ්ඩලය 1978 අගෝස්තුවේ 8 දා තවත් අලුත් චිත්‍රපටයක් එම මණ්ඩලයේ තිරගත කරන්නට කටයුතු කරලා තිබුණා. පවතින සම්ප්‍රදායට පිටින් තිරගත කරන්නට හැදුවේ වීරපුරන් අප්පු චිත්‍රපටයයි. ඊට එරෙහිව තාත්ති අධිකරණයට ගියා. කොහොම හරි තාත්තිගෙ වෑයම අපතෙ ගියෙත් නැහැ. තාත්තිගෙ ටිකිරා දින සියය ඉක්මවා තිරගත වුණා.
බැප්ටිස්ට් ජෙනිටා නමින් අලුත් පෙම් යුවළක් සිනමාවට එක් වූ බව ද මා මතකයේ දිග හැරෙයි.
1983 වසරේදී විජය චිත්‍රාගාරය ගිනි බත්වීමෙන් පසු එය පසු කලෙක පාලනය කළේ බැප්ටිස්ට්ය. එහි ඉතිිරි වූ කොටස් මත තවත් කාලයක් චිත්‍රාගාරය පවත්වාගෙන යන්නට ඔහු සමත් විය.
‘අපේ තාත්ති හැම තිස්සේම අනාගතය සකස් කරන්නට වෑයම් කළ කෙනෙක්. ව්‍යාපාර රාශියක අයිතිකරු අපේ තාත්ති ජීවිතය වඩාත් යහපත් කරගන්නමයි තාත්තා කටයුතු කළේ. තාත්ති උපයාගත් වත්කම් ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළා. පරිස්සමට තිබ්බ ඈලියාවට ම ගියා වගේ දෙයක් වුණේ.’
අතිශය කාර්ය බහුල ජිවිතය අතරේ ශම්මි, ශර්මිලා ගැන සේම දුලාරි පිළිබඳව ද සොයා බලන්නට අමතක නොකළ හේ හැමවිට දීම අවශ්‍ය දේ සපයා දුන්නේය.
දුලාරිගේ මුහුණ මලානිකය. හැඬුම්බරය.
‘මොන සැප සම්පත් ලැබුණත් මොකටද දරුවකුට දෙමවුපිය සෙනෙහස නැතිනම්. ලොකු අයගෙ ආරවුල් වලින් දරුවන්ට අගතියක් වන්නම හොඳ නැහැ. මම ඒ දුක අත් වින්ඳා. ඉතින් මට දික්කසාද වන්න සිද්ධ වුණානෙ. ඒක තාත්තිටත් දුකක් වෙන්න ඇති. මොකද තාත්තිම ඒක කරල දුන් නිසා. මට මතකයි. පුංචි කාලෙදි මට තරවටු කළත් ඉන් පස්සේ මාව කාරෙකේ දාගෙන ගිහින් ලොකු හෝටලයකින් මං ආස දේවල් ම මට කන්න අරන් දුන්නා.’
‘තාත්තිගෙ ළඟම යාළුවෙක් අරුණා ශාන්ති අංකල්. සමහරදාට තාත්ති කළුතර අරුණ අංකල්ව බලන්නත් යනවා. හංගන්නේ මොකටද තාත්ති සෙල්ලක්කාර ජිවිතයකට පි‍්‍රය කළේ. එයාගෙ හිත ගියේ කාට ද ඇයව ආශ්‍රය කරනවා. හිතේ හැටියට වියදම් කරනවා. මගේ පුතා හරිම නිහඬ චරිතයක්. එයාටත් මේ සිදුවීම් සමහර විට අසතුටක් ඇති.
‘දැන් මගේ තාත්ති සීදුවේ කබානා තිබුණු මහ විශාල දුපත විකුණලා. තාත්ති ඇඟපත හදා ගන්න දක්වපු සැලකිල්ල නම් හරිම අපුරුයි. බත් ටික කෑවට පස්සෙත් සෑහෙන වෙලාවක් එහාට මෙහාට ඇවිදිනවා. දැන් තාත්ති වයසයි. දුර්වලයි. මුලින්ම තාත්තිගෙ අත්දෙක වෙවුලන්න ගත්තා. ප්‍රතිකාර කළා. හරි ගියේම නැහැ. ශර්මිලා අක්කයි ෂම්මි අයියයි මමයි අපි එකම කට්ටිය, අපි අපි ගැන නිතර හොයා බලනවා.’
දැන් අපේ කතානායකයා පසුවන්නේ වයසින් අවුරුදු 73 වන වියේය. වරින් වර රෝහල් ගත කෙරිණි.
‘එක දවසක් වාට්ටුවේ තාත්ති ඇඳ උඩ. මං තාත්ති ළඟ. මස්පිඩු පිරිල තිබුණු තාත්තිගෙ අත්දෙක උඩට උස්සල දවසක් මට පෙන්වල කියනවා දුකින් වගේ බලන්න බබා, මගේ දැන් අත්වල හැටි කියලා. ඒ අත්ගොබවල මස්පිඩු එල්ලෙනව දැක තාත්ති දුක් වුණා.’
තාත්ති කන්න ආස දේවල් මං නිතර අරන් යනවා. මං ඒ ආස කෑම ගෙන ගියාම තාත්ති සව් බොන්න තාත්ති හරිම ආසයි.’
දුලාරිගේ ඇස්දෙක පුරා කඳුළුය. කතාවද හැඬුම් ස්වරයෙනි. ඕ සුසුමක් හෙළුවාය.
‘ඉස්පිරිතාලෙ ඉන්න කොට ශම්මි අයියයි ශර්මිලා අක්කයි ළඟ උන්නා. ඒත් මං එනතුරු මඟ බලන් හිටියා. එයා හරිම පරිස්සමින් කැපවීමෙන් හදාගත්තු පුෂ්ටිමත් ශරීරය දැන් වැහිරිලා. වැහැරි ගිය ඇඟ මට පෙන්වමින් දුක්වුණා. මේ බලන්න මගේ ඇඟේ හැටි කිය කිය ඇඬුවා.
ඒත් එක්කම තාත්ති එයාගෙ ජිවිතය එයා ගෙවපු හැටි ගැන හොඳටම පසුතැවිලි වුණා. එයාගෙ නොමනා වැඩ නිසා එයාව අතහැරල දාල රට ගිය මගේ අම්මිව මතක් කර කර දුක්වුණ වාර අනන්තයි.
ඒ වන විට අපේ කතා නායකයා වෙතින් බොහෝ සත්කාර සංග්‍රහ ලැබුවෝ ද අහලකවත් නැති. තමන් සන්තකව තිබු මිල මුදල් දේපළ ද දිය වී ගියාසේය.
ඔහු තනිවම හඬන්නේය.
දුලාරි බිම බලාගත්නමය. ඒ ඈ නෙත පිරි කඳුළු මාගෙන් වසන් කරන්නට යැයි මට සිතේ. මවක හෝ පියකු නොමනා මඟෙක ගිය කළ පසු කලෙක දරුවන් ගෙන් පවා වෙනස්කම් වලට බඳුන් වෙති.
දුලාරි තාත්ති අත නොහැරියා සේම දැක් වූ කරුණාව එලෙසම තබා ගත්තාය.
‘තාත්තිව බලන්ඩත් වාට්ටුවට එන්න ඕනෙ. මට රස්සාව කරගන්නත් ඕනේ.රස්සාවත් අවදානම් තත්ත්වයකට පත්වුණා. ඒත් මං තාත්තිව නොබලා හිටියෙ නැහැ. දවසක් මම වැඩ කරමින් ඉන්නකොට අක්කාගෙන් කෝල් එකක් ආවා. මට හිතුණෙ අක්කා තරහින් කතා කරන්නෙ කියලා. ‘කොච්චර එපා කිව්වත් අහන්නෙ නෑ. මෙන්න ගෙයි ඇවිදල එයා නාන කාමරේ වැටිලා. ‘අක්කා මට කෝල් කරල එහෙම කිව්වා. මං රස්සාවට ඕන දෙයක් වෙද්දෙන් කියල හිතාගෙන දුවගෙන ආවා. තාත්ති ගෙයි මැද සාලේ බිම. කිසිම හා හූවක් නැහැ. මං හිතන්නේ බිම වැටීමෙන් හිසට හෝ කොඳු ඇට පෙළට හානිවෙලා. රාගම රජයේ රෝහලට තාත්තිව ඇතුළත් කළා. කිසි කතාවක් නැහැ. කෝමා තත්ත්වයෙන් බවක් දැනගන්නට ලැබුනෙ.’
අපේ බැප්ට්ස්ට් වැහැරුණු සිරුරකිනි. හිස තට්ටය පෑදී ඇත. ඇස් ගිලී එදා තිරයේ සපන්කම් පෙන් වූ ප්‍රභාමත් පුද්ගලයා මෙහි නැති. තම පි‍්‍රය බිරිඳ දුලාරිගේ මව ශි‍්‍රයා නැති අඩුව විටින් විට මතක් කර කර ඇයට ලංකාවට එන්නැයි ද ඔහු කියා තිබිණි.
ඕි පැමිණියාය. ඒ මහත්සේ ගිලන්ව ගිය සැමියා වෙතටය. ඕ තොමෝ මහ හඬින් හඬා වැලපෙන්නට වුවාය. මෙතරම් දුක්ඛිත ඉරණමකට ඔහු පත්වේ යැයි නොසිතු වේදනාවකිනි. ඇය හඬමින්ම වාට්ටුවේ ඇඳ මත අරමුණක් නැති බැල්මෙන් පසුවන තම හිමිගේ අතක් අල්වා ගන්නට වුවාය. ඈ දෑස් මහත් විණි. ඔහු ඒ ඇගේ අතගෙන තම පපුව මත තබාගත්තේය. ඈ වාට්ටුව දෙවනත් කරන්නට කෑ ගසා වැලපුණාය.
දුලාරිට හිමි අතිශය ප්‍රසන්න මුවකමල හෙම්බත්ව ගිය නිසාවෙනි. ‘මේ ටිකත් අහන්නකෝ යැයි බිඳුණු ස්වරයෙන් පැවසූ ඕ මදෙස එක එල්ලේ බැලුවාය.
“ඔෆීස් එකට මට කෝල් එකක් ආවා. ඒ වෙද්දී තාත්ති බලන්න යන්න, අවශ්‍ය දේවල් අරන් යන්න අමාරු වෙද්දී මගේ රත්තරන් බඩුත් උකස් කරලා තාත්ති හොඳින් උන්න කාලෙ හිටපු ක්ලීන් එක ම දන්නවනෙ. මං නිතර තාත්තිව පිරිසිදු කළා. ඉතින් මම ඉක්මනට ගියා. ඒ වෙද්දී තාත්ති වැඩිහිටි නිවාසයකට රෝහල් වාට්ටුවෙන් ගෙනිහින්, තාත්තිට එහෙදි හොඳටෝම අමාරු වෙලා ආපහු රාගම රෝහලට එක්කගෙන ආවා. අනේ... (දුලාරි තම දෑත තම ළය මත තබා ගත්තාය)
සල්ලි ගොඩේ පිහිනූ... සැප සම්පතින් කිසිත් අඩුවක් නොවූ .... අපේ කීර්තිමත් කතා නායකයා රෝහල් ඇඳ මතදීම වචන මාත්‍රයකුදු නොකියා නොදොඩා තමන් හා තමන් සමීපයේම හුන් අය පිළිබඳ අපුල හැඟීම් ගොන්නක් තම හදවතේම සිරකර තබා යළි අවදි නොවනා සදාකාලික නින්දකට වැටුණේය.
අපේ තාත්ති තමන්ගේ චිත්‍රපටවලින් ඉහළම තැනක් දුන් අය බලන්නවත් නාවත් තාත්තිගේ නිර්මාණවලට නොසිටි අපේ වීණා ජයකොඩි සහෝදරිය රෑ දාවල් නැතිව අවසන් කටයුතු හමාර වනතුරුම අපි එක්කල හිටියා. ඒක උතුම් මිනිස් ගුණයක් කියලයි මම වීණාගෙන් දකින්නේ. තවත් අයත් ආවා.
තවත් අපුරු පුවතක් ද කියැවිණි. අපේ සොඳුරු කතා නායකයා තමන් කෙදිනෙක හෝ මැරෙනා බව දැන ජීවත් වුවකු යැයි හැඟෙන්නේ තමන් මියගිය පසු තම දරුවනට වත්, කාටවත් බරක් නොදී තම අවමඟුල් කටයුතු නිසි පිළිවෙලකට ඉටු කරනා ලෙසට කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ මල් ශාලාවකට ඔහු කල්තියාම මුදල් ගෙවා තිබුණේය.
අපේ සොඳුරු කතානායක බැප්ටිස්ට් ප්‍රනාන්දු නම් සිනමාවේදියා වයසින් අවුරුදු 83ක් ආයු වලඳා 2017 ක් වූ පෙබරවාරි මස 01 වන දින තමන් පිළිබඳ මතකයන් රැසක් අප අතර තබා නික්ම ගියේය.