වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
මගේ හොඳම ගීතය තවම ලියැවුණේ නෑ

ගීත රචනා සාහිත්‍යය වෙනුවෙන් මෙම වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානය සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානය යන සම්මාන ද්විත්වයම හිමිකර ගත්තේ මෙරට ප්‍රවීණ ගේය පද රචකයකු වන වසන්ත කුමාර කොබවක විසිනි. ඒ ඔහු විසින් රචිත ගීත ඇතුළත් ‘පමා වී පිපුණු මල් සුවඳයි’ ගේය කාව්‍ය ග්‍රන්ථය වෙනුවෙනි. මින් ඉහත ද ඔහුගේ ගී ඇතුළත්ව පළ කරන ලද ‘පමා වී ආ වසන්තේ’ නිර්මාණ එකතුව වෙනුවෙන් ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත්තා අපට මතකය.
රාජ්‍ය මට්ටමේ සම්මාන 20ට හිමිකම් කියන ඔහුගේ ගීත රචනා සාහිත්‍යය ආරම්භ වන්නේ බොහෝ කලකට ඉහත දීය. ඔහුගේ සම්මාන පෙළහරේ ආරම්භය සනිටුහන් වන්නේ 1982 යෞවන සම්මානවලිනි. එතැන් පටන් මේ දක්වා පැමිණි දිගු ගමන් මාවත තුළ මේ රටේ පේ‍්‍රක්ෂක ජන විඥානය ඥානනය කරනු පිණිස සුසැදි සුභාවිත ගීත කලාවක ඔහු නිරත වූයේය. මෙකී දක්ෂතාවය කෙනෙකුට පහසුවෙන් පිහිටන්නක් නොවේ. උත්පත්තියෙන් රැගෙන ආවද ව්‍යුත්පත්තියෙන්. අභ්‍යාසයෙන් එය වඩවා ගැනීම පහසු කාර්යයක් ද නොවේ. ඒ අපහසු දුෂ්කර කාර්යය තුළ අද ඔහු සම්මානිත වී සිටීම මෙරට ගීත කලාවේම වාසනාවය.
‘ඇත්තටම ගීත රචනා කලාව ප්‍රගුණ කරන්නට හෝ ඒ පිළිබඳ අධ්‍යයනයකට හෝ විධිමත් තැනක් අපේ රටේ නෑ. මම මේක ප්‍රගුණ කළේ ලේඛන කලාවේ ආභාසයෙන් එහි නිරත වීමෙන් ව්‍යුත්පත්තියෙන්ම තමයි. මගේ ගීත නිර්මාණ වල බොහෝ දුරට ජන සාහිත්‍යය ඇසුර තිබෙනවා. ජාතක කතා, බුදු සිරිත, සන්දේශ කාව්‍ය, ආදී දේශීය ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයේ ඇසුර මම ලබා ගත්තා සේම බටහිර කාව්‍ය රීතිය, සිනමා ගීත ආදියන් මට හැකි වෙලාවට ඇසුරු කළා. ඒ ආභාසයත් මගේ නිර්මාණ ජීවිතේ බොහෝ අවස්ථාවන් වෙනුවෙන් ප්‍රයෝජනවත් වුණා.
වසන්ත කුමාර කොබවක සිය ජීවිතය ආරම්භ කරනුයේ කළුතර පාහියන්ගලට කිට්ටුව ඇති සුන්දර ගම්මානයකින්ය. මේ ගැමි දිවියේ අපූර්වත්වය ද සමඟ වැඩුණු ඔහුට ඒ සියලු අත්දැකීම් ද නිර්මාණ ජීවිතය වෙනුවෙන් අතිශයින්ම වැදගත් වන්නට ඇත. වර්තමානයේ මෙන් විවිධ සමාජ මාධ්‍ය හෝ ටෙලි විෂන් මාධ්‍ය නොමැති යුගයක් වුවද එකල සමස්ත ජනතාවම බැඳී සිටි ගුවන් විදුලි මාධ්‍ය පුද්ගල සංවර්ධනයේ මෙන්ම විඥනයේ රුචිකත්වය වර්ධනය කරනු පිණිස බලපෑ ප්‍රධානතම මාධ්‍යය වූයේය. වසන්තට ද සිය ජීවිතයේ අප්‍රමාණ වෙනස්කම් සිදුකර ගැනීමට මෙම කුඩා යන්ත්‍රය බෙහෙවින් බල පෑ බව ඔහු ගේ ප්‍රථම ගීත රචනා සංග්‍රහයට පෙරවදනක් ලියමින් ඔහු සඳහන් කර ඇත්තේය. එසේම වෘත්තීයේ ආයුර්වේද වෛද්‍යවරයකු වූ සිය පියාගේ මුවින් නිතරයෙන් ගිළිහෙන සංස්කෘත, ශ්ලෝක ආදීයත්, වෘත්තියෙන් සිංහල ගුරුවරියක වූ සිය මවගෙන් ඇසුණු ජන ගී, වන්නම් ආදියත් ඇසුරු කොටගෙන වැඩුණු ඔහුගේ ළමා විය. ඔහුගේ නිර්මාණ දිවියේ පදනම දමන්නට බෙහෙවින් හේතු වූ කාරණාය. වත්මනෙහි ඔහු මෙරට සම්මානික ගීත රචකයෙකි. ඔහුගේ සරල ගීය සේම, චිත්‍රපට ගීතය සහ ටෙලි නාට්‍ය ගීතය ද මෙරට ගීත රචනා ක්ෂේත්‍රයට නව මානයක් එක් කළේය.
‘මම ඉස් ඉස්සරලම චිත්‍රපට ගීත රචනයට යොමුවෙන්නේ අධ්‍යක්ෂ එච්.ඩි.ප්‍රේමරත්නයන් නිසා. ඔහු මට ආරාධනා කරනවා. ‘සප්ත කන්‍යා’ චිත්‍රපටයට ගීත ලියන්න. ඒ පළමු ගීතයටම 1994 වර්ෂයේ ජනාධිපති සම්මාන සහ ස්වර්ණ සංඛ සම්මාන යන ද්විත්වයම, හොඳම ගීත රචනය වෙනුවෙන් මට හිමි වෙනවා.’
‘දූවිල්ලෙන් වත්සුණු තවරා
කුමර කුමරියන් වී
ළෙන්ගතු ඇසුරේ
වහස් බැලුම් දෙන හැන්දෑවේ
නන්නාඳුනනා කය මිස
සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුළේ - නිමේෂයත්
කොඳුරාවී රහසින්
ආ ගිය උන්හිටි තැන් සැඟවා...
ගිනි කඳු සිරසේ - මලපුඩු අතරේ
කැදලි සදාවි.... මොනර කිරිල්ලී.... යනු එම ගීතයයි. එච්.ඩී.පේ‍්‍රමරත්නයන්, සප්ත කන්‍යා’ චිත්‍රපටයේ තේමාව ලෙස තෝරාගෙන තිබුණේ හෙටක් ගැන නොසිතන, අයාලේ දුවන තරුණ ජීවිතයන්හි ඛේද ජනක තත්වයය. මෙකී තේමාවට උචිත, උපමා රූපකයන්ගෙන් බහුල පිළිවෙලකට ගැළපෙන්නේ නැති වචන ටිකකින් ඔහු එය රචනා කළේය. ඉන් පසුව ද ඔහු එච්.ඩී. පේ‍්‍රමරත්නයන්ගේ චිත්‍රපටයකට ලියූ ගීතයකට සම්මාන හිමි වූයේය. වෙළෙඳ කලාපයන්හි සේවයේ නියුතු තරුණියන්ගේ ඉරණම ගැන පැවසෙන එම චිත්‍රපටය වූයේ ‘කිණිහිරියා මල්’ ය. ඒ සඳහා ඔහු රචනා කළ ‘සඳා මිරිඟු ගඟේ වැටිලා’ ගීතය වෙනුවෙන් එවර සරසවිය සම්මාන උළෙලේ (2002) හොඳම ගීත රචනය සඳහා වන සම්මානය ඔහු දිනාගත්තේය.
තේමාවට අදාළ ගීත රචනයෙහි වසන්ත කුමාර කොබවක දක්වනුයේ සුවිශේෂී දක්ෂතාවයකි. ඒ ඔහු නිර්මාණයේ තේමාව සමඟ දැඩිව බද්ධ වී සිය නිර්මාණ කාර්යය අවංකව සිදු කිරීමට දරන උත්සාහයේ ප්‍රතිඵලය නිසාවෙන් වන්නට ඇත. චිත්‍රපට ගීත කලාව මෙන්ම, ටෙලි නාට්‍ය ගීත කලාව තුළ ද ඔහු උඩුගං බලා පීනන්නේ ඒ නිසාවෙනි. වසන්ත කුමාර කොබවක ප්‍රථම වරට ටෙලි නාට්‍යය ගීතයත් ලියනුයේ සුරංජන් විජේනාම අධ්‍යක්ෂණය කළ ‘නොමැරෙන මිනිස්සු’ ටෙලි නාට්‍යයටය.
‘මගේ ටෙලි නාට්‍ය නිර්මාණ ජීවිතයේ ඉස් ඉස්සරලම සම්මානයක් හිමි වෙන්නේ ‘ස්වර්ණ තිසරාවි’ ටෙලි නාට්‍යයට. එය සුදත් රෝහණයන්ගේ අධ්‍යක්ෂණයක්. වසර 2000 දී සුමති ටෙලි සම්මානය ඒ වෙනුවෙන් මට හිමි වුණේ පමා වී ආ වසන්තේ’ නම් වූ ගීතයට. මේ නමින් තමයි මගේ පළමු ගීත රචනා සංග්‍රහයත් නම් කළේ. ඇත්තටම එතැන් සිට හොඳ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් රාශියක් සමඟ මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. සුදත් රෝහණ, කිි‍්‍රස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් පුෂ්පකුමාර, සමන් කුමාර ලියනගේ වැන්නෝ ඒ අතර ඉන්නවා. කොහොම හරි ටෙලි නාට්‍ය ගීත 52ක් හෝ ඒ ආසන්න ගණනක මගේ ළඟ තිබෙනවා. සම්මානිත සහ සම්මාන නිර්දේශද ඇතුළත් ගීත.
චිත්‍රපට ගීත නම් 10 - 12ක් වගේ තමයි තියෙන්නේ. ඒ අතර සප්ත කන්‍යා, කිණිහිරියා මල් ‘අජංලිකා’ වැනි සම්මාන ලැබූ චිත්‍රපට ගීතත් සමඟ මෙරට ප්‍රවීණතම චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන සුමිත්‍රා පීරිස්ගේ ‘යහළුවෝ’ චිත්‍රපටයටත් මට ගීතයත් ලියන්න අවස්ථාව ලැබුණා.
ගීතයක් ලියන්නට ආසාව ඇතිවන්නට මුලින් ගීත ශ්‍රවණය කළ යුතුය. නිවෙසට රැගෙන ආ කුඩා ගුවන් විදුලි යන්ත්‍රයෙන් ගීත අසන්නට පෙළඹුණා ඔහු එම ගීත කෙරෙහි පෙම් බඳින්නට විය. ආචාර්ය අමරදේවයන්ගේ ‘සන්නාලියනේ්, විශාරද නන්දා මාලිනිගේ’ මිහි මඬලේ අඳුරු කුසේ, අමරදේවයන්ගේ ‘නිවහල් සිතුවිලි, ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ’ දෙව්රම් වෙහෙරේ වැනි සුභාවිත ගීත ශ්‍රවණය කරමින්ම, එම ගීතයන් හි පදමාලා ලියා ගනිමින්, නිතර අසමින් ඒ කෙරෙහි ආසන්න වූ ඔහුට පූර්වාදර්ශ සැපයු ගීත රචකයන් ගණනාවක් විය. ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ, අරිසෙන් අහුබුදු, ඩෝල්ටන් අල්විස්, මඩවල එස් රත්නායක, ධර්මසිරි ගමගේ වැන්නෝ සේම ආචාර්ය අජන්තා රණසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද මේ අතර විය.
‘ඉස්සර අපි මේ අයගේ ගීත ශ්‍රවණය කරනවා. ඊට පස්සේ ගීතය අහගෙන පද එකින් එක ලියා ගන්නවා. දැන් වගේ ගුගල් සර්ච් කරන්න හෝ යූ ටියුබ් ගහල බලන්න නෑනේ. පස්සේ පස්සේ මේ ගීත පද රචනා මුද්‍රණ ද්වාරයෙන් එළියට ආව. ඒක අරගෙන නිතර කියවනවා. ඒකත් එක්කම ඒ ගීතවලට යොදලා තිබෙන වචන, විරිත ආදිය පිළිබඳ අධ්‍යයනය කරනවා. එහෙම ටිකෙන් ටික තමයි මේ කලාව හඳුනා ගත්තේ. අනිත් පැත්තෙන් ජීවිතේ මම ලබපු අත්දැකීම් මට හොඳින් මතකයේ තියාගෙන ඉන්නවා. නිර්මාණයට අවස්ථාව ආවාම ඉබේම මට ඒ අත්දැකීම් මතකයට එනවා. මම ඈත වන්නියේ කැලෑ දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළා. ඒ කාලේ මම දැකපු, කියපු, අහපු දේ මගේ අතින් ගීත වෙලා තිබෙනවා.
‘ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
කරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සු
මේ ගීතය මගේ අතින් ලියවෙන්නේ ලක්ෂමන් විජේසේකරගේ ඉල්ලීමකට. නමුත් මේ ගීතයට මුලික වස්තු බීජය මගේ සිතට එන්නේ විජය කුමාරතුංගයන්ට වෙඩි තබා ඔහු ඝාතනය කිරිමෙන් එන කම්පනයට. නමුත් ඒක ලියවෙන්නේ පසු කලෙක ලක්ෂ්මන් කළ ඉල්ලීමට ඒ වුණාට මේ ගීතය ජනපි‍්‍රය වෙන්නේ පේ‍්‍රමකිර්ති ද අල්විස් ගේ මරණයෙන් පස්සේ.
‘ඇත්තටම මට හිතෙන්නේ තවම මගේ හොඳම දේ ලියවුණේ නෑ කියලයි. ඉස්සරහට තමයි මගේ හොඳම දේ ලියවෙන්නේ කියලයි මම හිතන්නේ.
වසත්ත කුමාර කොබවක යනු ගීත නිර්මාණ ගණනින් වැඩිකර ගැනීමට හදිසිව ගීත රචනා කරනු අයකු නොවේ. ඔහුගේ ගායිකාවක හෝ ගායකයකු ගීතයත් ඉල්ලු විට එවන් ගීතයන් ඔහු ළඟ නොමැති නම් හදිසියේම ගීතයත් ඒ වෙනුවෙන් ලියන කෙනෙකු ද නොවේ. එසේ වුවද ගීතයක් ලියන්නට පෙරුම්පුරා දින ගණනක් ගත කරන කෙනෙකුද නොවේ. ඔහුට ඒ අවස්ථාව කොයි මොහොතේ උදා වන්නේ දැයි ඔහුට ද කිව නොහැකිය.
මට හදිස්සියට සින්දු ලියන්න බෑ. කවුරුහරි ඉල්ලවාත් ඒ වන විට ගීතයන් මා ළඟ නැත්තම් කොහොම හරි එකක් දෙන්න බලන්නේ නෑ. එහෙම කියලා ගීතයක් ලියන්න දීර්ඝ කාලයක් යනවා කියලා කියන්නෙත් නෑ. ඉතාම කෙටි කලක් ඇතුළත ලියපු ගීතත් ඕන තරම් තියෙනවා.
‘ආදර මල්වල පාට කියන්නද
ඒ වගේ ලස්සන තව නෑ.
මීදුම් පිනිපොද දෑස වසන්කර
සමනල් සිහිනය පිපුණා.
කසුන් කල්හර සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන මේ ගීතය මම ලියන්නේ මමයි නවරත්න ගමගේයි දුරකථනයෙන් කතා කරමින්. ඒක ඉතාම කෙටි වෙලාවකින් ලියැවුණු ගීතයන්. ඒ වගේම තමයි ටිකිරි රත්නායක ‘සති පූජා’ ටෙලි නාට්‍යයට ගීතයත් ලියන්න කියලා මට කෝල් එක එන්නේ.රාත්‍රී 1.00ට කවුද කතා කරන්නේ කියලා බලනකොට නවරත්න ගමගේ ඔහුයි. ටිකිිරියි දෙන්නා මට ටෙලි නාට්‍යයේ තේමාව විස්තර කළා. තේමා ගීතයක් ඕන කියලා. මම ඊට පස්සේ නිදා ගත්තේ නෑ. නිදාගත්තොත් අමතක වෙයි කියලා ඒක නිසා ඒ මොහොතෙම මම ගීතය ලිව්වා. ඒක ඒ ගොල්ලන්ට හරියටම ගැළපුණා.
ඔහු රචනාකොට ඇති ගී පද රචනා දෙස බලත්දි මේ සියල්ලකින් එන විස්තර කරන්නට මේ පත් ඉරු ප්‍රමාණවත් නොවේ. ඒ තරමටම ඒ ගී සංකල්පනා බරසාරය. අකර්ෂණීයය ඒවා බොහොමයක්, සරල සුගම ගැමි වහරින් සුපෝෂිතය. පණ්ඩිත් අමරදේවයන් ගයන, ඩිංගිරාල නුඹ වන දෙයියෝය, ආචාර්ය වික්ටර් රත්නායක ගයන රූකඩ මඩු යාග පොළේ, සුනිල් එදිරිසිංහ සහ එඩ්වඩ් ජයකොඩි ගයන ‘පලංචියේ ලී ඉරුවේ අපි එකට, දීපිකා පි‍්‍රයදර්ශනී ගයන ‘පෙම්බර කුමරාණ’ සුනිල් එදිරිසිංහ ගයන ‘වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන, සියාතුවේ මා මිතුරේ, ශිල්ප හොඳින් දැන ගන්න ගිහින් ඇතුළු තවත් බොහෝ ගීත නිර්මාණ වේ.
සැමදා සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටි ඔහු සිය නිර්මාණ හරහා මේ රටේ ප්‍රබුද්ධ ශ්‍රාවකයන්, රසිකයන් පිරිසක් ගොඩ නැංවීමට උත්සාහ කළේය. නිර්මාණ කාර්යයක සැබෑ උත්සාහය විය යුත්තේ මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යෑමය. වසන්ත ද සිය නිර්මාණකරණ සිදුකරනුයේ මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යෑමටය. පෙර පරපුරේ ආදරණීය ඇසුරින් තම ජීවිතය වඩවා ගත්තා සේම, ඔවුන්ගේ ගීත රසවිඳ ඉන් පසු පරපුර නිවී සැනසුණා සේම, මතුයම් දවසක, විශ්‍රාම සුවයෙන් සිටිද්දී මතු පරපුරේ එවන් නිර්මාණ අසමින් සැනසෙන්නට අවස්ථාවක් උදා වන්නේ නම්, එය කෙතරම් ආශ්වාද දැයි ඔහු විමසා සිටින්නේය.
වසන්ත තුමාර කොබවක ටෙලි නාට්‍ය ගී පද රචනය සහ චිත්‍රපට ගී පද රචනය වෙනුවෙන් ලැබූ සම්මාන
2000- සුමති ටෙලි සම්මාන උළෙලෙහි විශිෂ්ටතම ටෙලි නාටය ගීත රචක සම්මානය. (සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ ස්වර්ණ තිසරාවි ටෙලි වෘත්තාන්තයේ ඇතුළත් තේමා ගීතය වූ පමා වී ආ වසන්තේ ගීතය රචනා කිරීම වෙනුවෙනි.)
2006- සුමති ටෙලි සම්මාන උලෙළෙහි විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචක සම්මානය. (ටිකිරි රත්තායක අධ්‍යක්ෂණය කළ සමනල සිහින ටෙලි වෘත්තාන්තයේ ඇතුළත් මේ ගලා යන්නේ තේමා ගීතය රචනා කිරීම වෙනුවෙනි.)
2007- රයිගම් ටෙලි සම්මාන උළෙලෙහි විශිෂ්ටතම ගීත රචක සම්මානය. (ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කළ ඉසුරුගිරි තරණය ටෙලි වෘත්තාන්තයෙහි ඇතුළත් සංසාර ආරණ්‍යෙය් තේමා ගීතය රචනා කිරීම වෙනුවෙනි.)
2008 - රාජය රුපවාහිනි සම්මාන උලෙළෙහි විශිෂ්ටතම ගීත රචක සම්මානය සුමති ටෙලි සම්මාන උළෙලෙහි විශිෂ්ටතම ටෙලි නාට්‍යය ගීත රචක සම්මානය. (සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ සඳගලතැන්න ටෙලි වෘත්තාන්තයෙහි ඇතුළත් ඉරබටු තරුවේ එළියෙන් ගීතය රචනා කිරීම වෙනුවෙනි.)
2012- සිග්නිස් උත්තමාචාර ටෙලි සම්මාන උළෙලෙහි විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචක සම්මානය. (සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ සඳගිරි පව්ව ටෙලි වෘත්තාන්තයේ ඇතුළත් සඳගිරි පව්ව ඉමේ තේමා ගීතය රචනා කිරීම වෙනුවෙනි.)
2013- සුමති ටෙලි සම්මාන උලෙළෙහි විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය - රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලෙහි විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචක සම්මානය රයිගම් ටෙලි සම්මාන උලෙළෙහි විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචක සම්මානය (සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ මොනරතැන්න ටෙලි වෘත්තාන්තයෙහි ඇතුළත් මලේ බඹරු රඟනා තේමා ගීතය රචනා කිරීම වෙනුවෙනි.)
2014- රාජ්‍ය සංගීත සම්මාන උලෙළෙහි විශිෂ්ටතම ගීත රචක සම්මානය (ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ අම්මාවරුනේ ටෙලි වෘත්තාන්තයෙහි එන කිරි ශිරා උතුරා ගලා තේමා ගීතය රචනා කිරිම වෙනුවෙනි.)
2019- රාජ්‍ය රූපවාහිනි සම්මාන උලෙළෙහි විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචක සම්මානය (සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ උත්තම පුරුෂ ටෙලි වෘත්තාන්තයෙහි ඇතුළත් හි සැරය ඇනුණේ හදවතට තේමා ගීතය රචනා කිරීම වෙනුවෙනි.)
චිත්‍රපට සම්මාන 1994- ජනාධිපති සිනමා සම්මාන උලෙළෙහි විශිෂ්ටම ගීත රචක සම්මානය ස්වර්ණ සංඛ සිනමා සම්මාන උලෙළෙහි විශිෂ්ටතම ගීත රචක සම්මානය. (එච්. ඩි ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ සප්ත කන්‍යා චිත්‍රපටයෙහි ඇතුළත් දූවිල්ලෙන් වත්සුණු තවරා තේමා ගීතය රචනා කිරීම වෙනුවෙන්.) 2002- සරසවිය සිනමා සම්මාන උලෙළෙහි විශිෂ්ටම ගීත රචක සම්මානය ජනාධිපති සිනමා සම්මාන උලෙළෙහි විශිෂ්ටතම ගීත රචක සම්මානය. (එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ කිණිහිරියා මල් චිත්‍රපටයෙහි ඇතුළත් සඳ මිරිඟු ගඟේ වැටිලා ගීතය රචනා කිරීම වෙනුවෙනි.
2006 - ජනාධිපති සිනමා සම්මාන උලෙළෙහි විශිෂ්ටතම ගීත රචක සම්මානය. (චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ අංජලිකා චිත්‍රපටයෙහි ඇතුළත් පමා වී පිපිණු මල් සුවඳයි තේමා ගීතය රචනා කිරීම වෙනුවෙනි.
|
සේයාරූ - නිශ්ශංක විජේරත්න