සුරෙයියා ගේ ජීවිතයම අඳුරු කළ ,දේව් අනංගයකු කළ ප්‍රේමාන්දරය

හැමෝම මගෙන් සැපදුක් අහනවා ඒත් කවුරුවත් මං දවල් රෑ ගතකරපු හැටි අහන්නේ නෑ
දෙසැම්බර් 8, 2022

ඔවුන ගේ ජීවන ඔරුව පෙරළුණේ විද්‍යා සිනමා පටය රූගත කරද්දී ය. චන්දු ලෙස රගන නවක නළුවාත් විද්‍යාට රගන භාරතයේ සුපිරි තාරකාව සුරෙයියාත් ඔරු පදමින් ගීතමය ජවනිකාවේ රූගත කිරීම්වලට සහභාගී වෙමින් සිටිය හ. “කිනාරේ කිනාරේ චලේ ජායෙන්ගේ” ගීතය ගයමින් දෙදෙනා රගන අතර තුරේ හදිසියේ ම ඔරුව පෙරළිණි. ලජ්ජාශීලී බව පසෙක තබා නවක නළුවා ඇය බේරා ගත්තේය. “ඔයා මාව බේර ගත්තේ නැත්නම් ඒ තමයි මගේ අවසානෙ. ” සුරෙයියා පැවසුවා ය. එවිට ඔහු “ඔයාගේ ජීවිතේ අවසානය මගේ ජීවිතේත් අවසානයයි.” පැවසී ය. ඒ මොහොතේ දෙදෙනාට ම කිසිදා කිසිවකු වෙනුවෙන් නූපන් සෙනෙහසක් හදවතෙහි පිළිසිඳ ගෙන ඇති බව දැනිණි. සුරෙයියා ගේ සිත ගිය තරුණයා දේව් ආනන්ද්ය. කුලුඳුල් පෙමට හදවත් විවර විණි. දෙදෙනා තිරයට කොපමණ ගැළපුණා ද කිවහොත් ජීත් / බ්ඥඥබ ( 1949 ), ෂෙයාර් / ඉඩචඪප ( 1949 ), අෆ්සර් / ඒටඵචප ( 1950 ), නිලි / ව්ඪතඪ ( 1950 ), දෝ සිතාරේ / ච්ධ ඉඪබචපඥ ( 1951 ), සනම් / ඉචදචථ ( 1951 ) සිනමා පටවල පෙම් යුවළ වූයේ සුරෙයියා සහ දේව් ආනන්ද් ය. තිරයේ මෙන් ම සැබෑ ජීවිතයේත් දෙදෙනා පෙම්වතුන් බව දැන සිටියේ ක්ෂේත්‍රයේ කිහිප දෙනකු පමණි. දේව් ආනන්ද් - සුරෙයියා පෙම් කතාව සිනමා අන්දරයකටත් වඩා රසවත්ව ගලා ගියේය. දේව් සුරෙයියාට නවකතා පොතක් තෑගි දී තිබුණු අතර ඔවුන් එකිනෙකාට ඇමතුවේ එහි ආදරවන්තයන් ගේ නම්වලිනි. ස්ටීව් ඇය ඔහු ඇමතූ නාමයයි. ඔහු ඇයට කීවේ නෝසේ කියා ය. සුරෙයියා තවත් නමක් සිය ආදරවන්තයාට දී තිබුණා ය. ඒ නම දෙවිනා ය. ඔහු ඇය සුරෙයියානා ලෙස ඇමතුවේය. දෙදෙනො එකිනෙකාට කෙතරම් සෙනෙහසින් බැදී සිටියා ද කිවහොත් සුරෙයියා ඇතැම් අවස්ථාවල තමන් වෙනුවෙන් ගී ගැයීමේ අවස්ථාව ලතා මංගේෂ්කාර්ට ලබා දුන්නේ දේව් සමග වැඩි කාලයක් ගත කිරිමට අවශ්‍ය බැවිනි. දවසින් දවස ආදරය අලුත් වෙද්දී එය ලොවට රහසක් ලෙස තබා ගැනීමට දේව්ට මෙන් ම සුරෙයියාට ද නොහැකි විය. ඔවුන් දෑත් පටලවා ගෙන දුෂ්ට නළුවකු ලෙස නමක් දිනා සිටි ශ්‍යාම් ගේ විවාහ මංගල්‍යයට සහභාගී වූවා ය. සියල්ල කණපිට පෙරළුණේ එතැන් සිට ය. සුරෙයියා ගේ මවත් පියත් මේ විවාහයට විරෝධය නොපෑ නමුත් බාද්ෂා බෙගම් මිත්තණිය සහ ඇය ගේ එවකට දුෂ්ට නළුවකු ලෙස ප්‍රකටව සිටි සහූර් මාමා මේ සම්බන්ධයට තදින්ම එරෙහි වූහ. මේ විරෝධතාවයට එකම හේතුව වූයේ සුරෙයියා මුස්ලිම් වීමත් දේව් හින්දු ජාතිකයකු වීමත් ය. තිරයේ ඕනෑතරම් මුසල්මානුවන් හා හින්දූන් පෙම්වතුන් වුව ද සැබෑ ජීවිතයේදී එය සැබෑ වන සිහිනයක් නො වීය. සුරෙයියා පවුලේ එකම ආදායම් මාර්ගය වීමත් මේ කෙරෙහි බලපාන්නට ඇති බවට සමහරු විශ්වාස කරති. සුරෙයියා ගේ මාපියන් මේ ආදර සබදතාවට මනාපය පළ කළත් ඔවුනට මිත්තණියට එරෙහි වීමට ශක්තියක් නො තිබීම නිසා අසරණ විය. මිත්තණිය ගේ රැකවල් වැඩි වීමත් සමග ඇය ක්ෂේත්‍රයේ මිතුරන් මගින් දේව්ට ලිපි යැව්වා ය. 2014 දී කාමිනී කෞශාල් තාරකාව ෆිල්ම්ෆෙයාර් සමග කළ සාකච්ඡාවකදී කියා සිටියේ සුරෙයියා තමන් අතේ දේව්ට ලිපි ඇරිය බව ය. කාමිනී කෞශාල් 1949 දී තිරගතවූ ෂෙයිර් සිනමා පටයේ එක්ව රගපෑවාය.

රානා ප්‍රතාප් අධ්‍යක්ෂවරයා ගේ ජීත් සිනමා පටය රූගත කරද්දී සිනමා කණ්ඩායමේ ම සහයෝගයෙන් විවාහ වීමට සියලු කටයුතු සූදානම්කර තිබිණි. එහෙත් සිනමා පටයේ සහාය අධ්‍යක්ෂවරයා දෙදෙනා ගේ දුෂ්ටයා බවට පත්විය. සුරෙයියාට සිතින් පෙම් බැදි ඔහු මිත්තණිය‍ට මේ ගැන දැන්වූ අතර ඇය සුරෙයියාව එතැනින් ඇද ගෙන ගියා ය. නීලී ( 1950 ) රූ ගත කරද්දී දේව් සුරෙයියා ගේ අවසන් පිළිතුර කුමක්දැයි විමසුවේ ය. ඇය කියා සිටියේ මිත්තණිය සහ මාමා දේව් මරා දැමීමට සූදානමින් සිටින නිසා තමන් ඔහු ගේ මරණයට හේතුව වනු දැකීමට අකැමැති බව ය. කෝපයට පත් දේව් ඇය ගේ දෙකොපුල් හරහා පහරක් දුන්නේ බයගුල්ලී යනුවෙන් පවසමිනි. පසුව ඔහු එසේ හැසිරීම ගැන දින ගණනාවක් සමාව ඉල්ලා තිබෙයි.

1950 දීම තිරගතවූ අෆ්සර් රූගත කරද්දී ඉන්දියානු රුපියල් තුන්දහසක් වටිනා දියමන්ති මුද්දක් විවාහ ගිවිස ගැනීමේ මුදුව ලෙසින් තිළිණ කළා ය. සුරෙයියා මුදුව ගත්තේ මහත් සතුටිනි. එහෙත් මුදුව ගැන දැනගත් මිත්තණිය එය ගගට විසි කළා ය. එපමණක් නොව අෆ්සර් රූගත කිරීමේදී සුරෙයියා ගේත් දේව් ගේත් ආදර ජවනිකාවලට ද මැදිහත් වූවා ය. මිත්තණියගේ බලවත් විරෝධය නිසා ඇය පසුව ඔහු සමග විවාහ වීම ප්‍රතික්ෂේප කළාය. එයින් දේව් ගේ සිත තදින් ම පෑරිණි. දේව් නීතිමය මාර්ගයෙන් හෝ ඇය සමග විවාහ වීමට සිටිය ද ඇය ඊට එරෙහි වූයේ මගේ පවුල, මගේ ආගම යන දැඩි මතය නිසා බව සුරෙයියා ගේ මරණයෙන් පසු දේව් ප්‍රකාශකර තිබිණි. ඇයට කුරානයේ අත තබා දේව් සමග විවාහ නො වන බවට දිව්රීමට සිදුවී තිබිණි. සුරෙයියා ගේ දේව් ගේත් අවසන් සිනමා රංගනය දක්නට ලැබුණේ දෝ සිතාරේ සිනමා පටයෙනි. දෙදෙනා පෙම්වතුන් ලෙස රගපෑ සිනමා පට සියල්ලම ආදායම් වාර්තා බිද හෙළමින් තිරගත විය. චිත්‍රපට සාර්ථක වීමේ ප්‍රධාන ම හේතුව සුරෙයියා ගේ රංගන, ගායන හැකියාවත් ජනප්‍රිය භාවයත් ය.

සුරෙයියා සමග බැදි පෙම බිදී යාමෙන් දේව් මානසිකව කෙතරම් ඇද වැටුණාද කිවහොත් ඔහු ගේ වැඩිමල් සොයුරු සිනමා අධ්‍යක්ෂ චේතන් ආනන්ද්ට මනෝ උපදේශනයකින් ඔහු ගේ සිතට සහනයක් ලබාදීමට සිදු විය.

දේව් සමග නැවත කිසි දිනක රග නො පෑමට සිත සාදා ගත් පසු සුරෙයියාට රංගනයට ගායනයට තිබූ ඇල්ම කෙමෙන් කෙමෙන් අඩු විය. එවකට වැඩි ම මුදලක් අය කළ නිළිය ඇය ය. සිනමාවේ ගීත කෝකිලාව, අග රැජන වූයේ ඇය ය. සුරෙයියා ප්‍රේක්ෂකයන් අතර කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත් ඇයට සිනමා මංගල දර්ශනයකට පවා සහභාගී වීමට සිදු වූයේ පොලිස් රැකවල් සමඟිනි. ඇයට උමතුවූ ප්‍රේක්ෂකයෝ ඇය ගේ සාරි පොටෙන් අදින තරමට ඇයට පෙම් බැන්දහ. දේව් ප්‍රේමය බිද වැටීමෙන් පසු ඇයට ජනප්‍රිය කිරුළ හෝ ධනය දූවිලි තරම් වත් නො වටින්නට විය. ඇය රැගුවේ ආවාට ගියාට ය. 1952 වසරට පසු ඇය රගන සිනමා පට සංඛ්‍යාව සීමා සහිත විය.

සුරෙයියා ගේ 1952 දී රගපෑ මිර්සා ගාලිබ් (1954) සිනමා පටය එවකට අගමැති වූ ශ්‍රී ජවහර්ලාල් නේරු ගේ ප්‍රශංසාවට ලක්වූ අතර සම්මානනීය සිනමා පටයක් විය. පවුලේ සාමාජිකයන් ඇයට එක දිගට ම විවාහ යෝජනා ගෙන ආවත් සුරෙයියා දිවිය පවතින තුරු අවිවාහකව සිටීමට තීරණය කළා ය. බොලිවුඩයේ අසම සම නිළි ගායිකාව, සුරූපිනිය කිසිදා වෙනත් සම්බන්ධතාවක් පැවත්වූයේ ද නැත. හැකියාවෙන් මෙන් ම ස්ථිර ප්‍රතිපත්තියකින් යුතු ඇය වැන්නියන් එදා පමණක් නොව අදට ද මතුවට ද දක්නට නො ලැබෙන තරම් ය.

සුරෙයියාට පෙම් බැද විවාහ වීමට කැමැත්තෙන් සිටි අය අතර නළු රෙහ්මාන්, විවාහකයකුවූ එම්. සදීක් ඇතුළු ව්‍යාපාරිකයන්, අධ්‍යක්ෂවරුන් ගණනාවක් සිටියහ.

දේව් දෙවසරකට පසු කල්පනා කාර්තික් නම් සිනමා පෙම්වතිය සමග විවාහ වූවා ය. කල්පනා ඔහුට මුණ ගැසෙන්නේ ආනන්ධියන් (1952) රූ ගත කිරීමේදී ය. ටැක්සි ඩ්‍රයිවර් (1954), හවුස් නම්බර් 44 (1955), නව් දෝ ගි්‍යාරා (1957) දෙන්නා එක්ව රගපෑ සියලුම සිනමා පට සාර්ථක විය. දේව් කල්පනාට පෙම් බැන්දේ ටැක්සි ඩ්‍රයිවර් රූ ගත කරද්දී ය. සිනමා පටය අති සාර්ථක විය. දර්ශන තලයේදීම දෙදෙනා විවාහ වූ අතර චාම් උත්සවයක් විවාහ වීමේ ප්‍රීතියෙන් පැවැත්විණි. තමන් සුරෙයියා සමග විවාහ වූවා නම් දක්නට ලැබෙන්නේ අද සිටින දේව් ආනන්ද් නො වන බව වරක් දේව් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. දේව්ට උපන් පුතු සුනිල් ආනන්ද් ය. දියණියට ඔහු තැබුවේ සුරෙයියා තමන් ව ඇමතූ දෙවිනා නාමය ය. සුරෙයියා මෙන් අවිවාහකව නො සිටියත් දේව් මියෙන තුරු ම ඔහු ගේ කුලුඳුල් පෙම ජීවිතයට බලපෑ බවට දියණිය‍ට තැබූ නම ම සාක්ෂියකි. සදාහරිත ආදරවන්තයා වූ දේව් තමන් විසින් ම සිනමාවට හදුන්වා දුන් සීනත් ආමන්ට ද පෙම් බැන්දේ ය. දේව් සීනත්ට වඩා වසර විසි අටක් වැඩිමල් විය. සිය සෙනෙහස ගැන සීනත්ට පවසන්නට සිටිය ද සීනත් රාජ් කපූර් සමග තුරුලුවී සිටිනු දුටු පසු දේව් ගේ සිත තදින් ම පෑරිණි.

සුපිරි තරුවකව සිටි සුරෙයියා ගේ සිනමා ගමන මන්දගාමී වෙද්දී දේව් කෙමෙන් කෙමෙන් සුපිරි තරුවක් බවට පත් විය. පනහ දශකයේ මැදදී සුරෙයියා ලතා මංගේෂ්කාර් සමඟ කියා සිටියේ ඉක්මනින්ම සිනමාවෙන් සමු ගන්නා බව ය. ලතා එසේ නො කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියා ය. ලතා හා සුරෙයියා සම වයසේ පසුවූහ. දෙදෙනාම ඉපදුණේ 1929 වසරේදී ය. දේව් සුරෙයියාට වඩා සය වසරක් වැඩිමල් විය.

සිනමා රංගනය වාගේම ගායනය ද සුරෙයියාට නීරස වෙද්දී ඇය ගේ මානසික වේදනාව, කායික වේදනාවක් බවට පත් විය. ඇය අඩු රුධිර පීඩනයෙන් පීඩා විදින්නට පටන් ගත්තා ය. මේ සියල්ල අතරේ ඇයට සිනමාව නීරස කළ පුද්ගලයන් දෙදෙනකු විය. ඒ දිලිප් කුමාර් සහ අධ්‍යක්ෂ කේ. අසීෆ් ය. දිලිප් කුමාර් නවක නළුවකු කාලයේ සුරෙයියා සමඟ රැගීමට සිහින මැව්වේය. කේ. අසීෆ් අධ්‍යක්ෂණය කළ හල්චල් (1951) සිනමා පටයට සුරෙයියා ගේ කැමැත්ත ගැනීමට ගිය විට ඇය ගේ මව පවසා ඇත්තේ ආදායම් වාර්තා පිහිටවූ එක් සිනමා පටයකට හෝ දායක වී දියණිය සමග රැගීමට පැමිණෙන ලෙස ය. යළි ඔහු කේ. අසීෆ් අධ්‍යක්ෂවරයාගෙන් සුරෙයියා සමග රඟන්නට අවස්ථාවක් දෙන මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ජන්වර් සිනමා පටයට දිලිප් සහ සුරෙයියා ප්‍රධාන තරු යුවළ ලෙස තෝරා ගැනිණි. රූ ගත කිරීම ඇරැඹිණි. සිනමා පටයේ සුරෙයියා ගේ කකුල සර්පයකු විසින් දෂ්ට කර දිලිප් කුමාර් විසින් තුවාලයේ විස උරන ජවනිකාවක් ඇතුළත් විය. මේ දර්ශනය පමණක් අසීෆ් අධ්‍යක්ෂවරයා විසින් දින හතරක් රූ ගත කෙරිණි. මෙය ඕනෑකමින් සිදුවන්නක් බව සුරෙයියාට වැටහිණි. ඇය මවට මේ ගැන පැවසුවා ය. පසුව ඇය ගේ සහූර් මාමා දර්ශන තලයට පැමිණ දිලිප් සමග දබර කර ගැනීමට සූදානම් වූ අතර අසීෆ් දෙදෙනා සමාදාන කළේ ය. අසීෆ් වාරණ මණ්ඩලය අනුමත නොකරන හාදු දර්ශනයක් ඇතුළත් කිරීමට සූදානම් වූ විට සුරෙයියා ඊට ද එරෙහි වූවා ය. අවසන සුරෙයියා ඒ සිනමා පටයේ රග නො පාන්නට තීරණය කළාය. “කවුද මට පාඩුව ගෙවන්නේ ? ” අසීෆ් එසේ විමසූ විට සුරෙයියා චෙක් පතක් අස්සන් කර අසීෆ් අත තැබුවා ය. ඔවුනට සුරෙයියාගෙන් පළිගැනීමට ඇය ගේ සිනමා ගමන නතර කිරීමට වුවමනා වූ බවට කතා පැතිරිණි. එමෙන් ම දිලිප් සිය පහත් ආසාවක් තුවාලය ඉරීමෙන් ලැබූ බව සුරෙයියා විශ්වාස කළා ය. රූ ගත කිරීමේදී දිලිප් දුන් පහරකින් ඇතිවූ තුවාලය සුවවීමට මාසයක් ගතවී තිබිණි. ආදරයෙන් පීඩාවට පත් වී සිටි සුරෙයියාට මේ සියල්ල සිනමාව එපා කරන කාරණා විය.

1963 දී සුරෙයියා රංගනයෙන් සමුගත්තේ ය. ඒ වන විට ඇය තිස් නව හැවිරිදි වියේ පසු වූවා ය. ඇය ගේ පියා ඒ වසරේදී මිය ගියේ ය. ඇය ගේ පරම රමණීය ප්‍රේමයට දුෂ්ටකම් කළ මිත්තණිය පාකිස්තානයට ගොස් සොයුරා සහ පුතු සමග ජීවත් විය. සුරෙයියා මව සමඟ සතුටින් නිවෙසට වී කාලය ගත කළා ය. ඇය සිනමා උත්සවවලට පවා සහභාගී වූයේ කලාතුරකිනි. සුරෙයියා නවකයන් ඇතුළු සියල්ලන් සමඟ මිත්‍රශීලී සුහද චරිතයක් වුවත් ඇය ඇසුරු කළේ සීමිත මිතුරන් ගණනකි. නිම්මි, නිරූපා රෝයි, තාබුසම් ජෙයරාජ් ඒ අතරින් ප්‍රමුඛ විය. මෑතකදී ජීවිතයෙන් සමුගත් තාබුසම් ඇයව නිතර හමුවූ මිතුරියකි. මව ගේ මරණයෙන් පසුව සුරෙයියාට හුදෙකලා බවේ වේදනාව තදින් ම දැනිණි. ජීවිතයේ අවසන් කාලය ඇය ගත කළේ නිවෙසේ දොරටුවවත් විවර නො කරය. පුවත්පත් ඇය ගේ දොරකඩ ගොඩ ගැසී තිබිණි. කිරි බෝතල් ද දොරකඩ එකතුවී තිබිණි. තාබුසම් ඇය සමග දුරකථනයෙන් නිතර කතා කළා ය. අවසන් වරට තාබුසම් “අක්කේ ඔයාට කොහොමද” කියා විමසූ විට සුරෙයියා මෙසේ පිළිතුරු දී ඇත. “හැමෝම මගෙන් සැපදුක කොහොමද අහනවා. ඒත් කවුරුවත් මං රෑ දවල් ගත කරන හැටි ගැන අහන්නෙ නෑ.”

සුරෙයියා සිය හුදෙකලා බව 2004 ජනවාරි 31 වැනිදා මරණයෙන් අවසන් කළේ ජීවිතයේ හැත්තෑ පස් වැනි සැතපුම් කණුව පසුකරද්දී ය. සුරෙයියා රෝගීව සිටින විට සුනිල් දත්, ඇයව ගායන ලෝකයට හදුන්වා දුන් දේව් ප්‍රේමයට එදිරිවාදී වූ නෞෂාද් ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ සගයන් ඇය බැලීමට ගියා ය. ඇය මිය ගිය පසු ඇය ගේ උමතු රසිකයකු වූ ධර්මේන්ද්‍ර අවසන් ගෞරව දැක්වීමට පැමි‍ණියේ ය.

සුරෙයියා අවසන් හය මාසය ගත කළේ ඇය ගේ පවුලේ මිතුරකුවූ නීතිඥ තක්කාර් පවුල සමඟ ය. සිය දේපළ සමාජ සේවා කටයුතු සඳහා යෙදවීමේ බලාපොරොත්තුවක් සුරෙයියාට තිබුණ ද ඇය මිය යන විට අවසන් කැමැත්ත ලියා නො තිබුණු නිසා දේපළ සම්බන්ධව නීතිමය ගැටලු මතු විය.

සුරෙයියා ගේ ජනප්‍රියත්වය සමාන කරන්නේ රාජේශ් ඛන්නා ගේ ජනප්‍රිය භාවයට ය. ධනයෙන් කීර්තියෙන් රුවෙන් හැකියාවෙන් අඩුවක් නො තිබුණ ද සුරෙයියා මිය ගියේ ඒ සියල්ල ම නැති අයකුටත් වඩා හිස් බවකිනි.

දේව් ආනන්ද් ඊට සය වසරකට පසු 88 හැවිරිදි වියේදී හදවත් රෝගයකින් මිය ගියේ ය. ඒ 2011 දෙසැම්බර් 3 වැනි දින ලන්ඩනයේදී ය.