වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
තාත්තා වැඩියෙන්ම ඇඬුවේ විජය මහත්තයා මියගිය දා

“අපේ තාත්තා අපට ලෝකයක්. රඟපෑමෙන් ම හරි හම්බ කරපු අපේ තාත්තා අපි දූ දරුවන් හය දෙනාටම අඩුක් නැතිව සැලකුවා. ඒ විතරක්ම නොවේ, අපි හය දෙනාටම අඩු වැඩියක් නැතිව ගෙවල් හයක් හදල දුන්නා.
මා හමුවේ පසුවනුයේ හෙළ සිනමාවේහි චරිතාංග නළුවකු ලෙසින් අද්විතීය ස්ථානයක සිය නාමය තබා වයසින් අවුරුදු 72 දී ජීවන සිනමාවෙන් ද නික්ම සමුගෙන ගිය සම්මානිත රූපණවේදී ඩී.ආර්. නානායක්කාරගේ ආදරණීය දෙවන දියණිය වන ශාන්ති නානායක්කාර මහත්මියයි.
වරෙක මුවපිරි සිනාවකින් ද නව වරෙක නෙත පුරවාගත් කඳුළින් ද යටගිය ආදරණීය මතකයන් අලුත් කරවමින් ඕ තොමෝ බොහෝ දේ කියන්නීය.
“අපේ තාත්තා කවරදාවත් සල්ලි පස්සේ හඹා ගියේ නැහැ. හිත නිදහස්ව උන්නේ අපේ අම්මා ඇඩ්ලින් පෙරේරා. තාත්තාගෙයි අම්මාගෙයි එකමුතුකම වචනවලට ගළපන්න අමාරුයි. ඒ තරම් මහා බැඳීමක්, ටවර්හෝල් යුගයේ අපේ තාත්තා රඟපාපු නාට්ටියක් බලන්න ගිය දවසකදි තමා තාත්තයි අම්මයි මුලින්ම දැන හඳුනා ගෙන තියෙන්නේ. අපේ තාත්තාගේ ලෝකය වුණේ අපේ අම්මා ඒත් අපේ අම්මා අවුරුදු 56න් හදිසියේ හෘදයාබාධයක් හැදිල අන්තරා වුණා.
ඇය තම දැසේ නැඟි කඳුළු පිට අත්ලෙන් පිසදා ගන්නට වැයම් කළාය.
“අනේ එදා තාත්තා හඬා වැලපුණු තරම්, තාත්තා ඒ වගේ වැලපුන තරම්. තාත්තා ඒ වගේ වැලපුන තවත් දවසක් තමයි තාත්තාට පුදුම ලෙන්ගතුකමකින් උන්නු විජය කුමාරතුංග මහත්තයා නැතිවෙච්ච දවස. විජය මහත්තයයි අපේ තාත්තයි පුදුම ලෙන්ගතුකමකින් උන්නේ. නිතර විජය මහත්තයා තාත්තාව බලන්න එනවා. විජය මහත්තයා ඝාතනය කරපු දවසට පෙර දා මහ රාත්‍රියෙත් උතුරු සළුව දමාපු ජාතික ඇඳුම ඇඳගෙන එතුමා අපේ ගෙදරට ආවේ.
ඕ නිහඬව මඳ වේලාවක් බිම බලා සිටින්නට වුවාය.
“අපේ ලොකු අක්කා අසෝකා තමයි අපේ තාත්තාට ගොඩක්ම ළඟින්ම උන්නේ. අපටත් වඩා තාත්තා අක්කාට ආදරෙයි. අම්මා නැතිවුණාට පස්සේ තාත්තා අක්කාට තවත් සමීප වුණා. අම්මා නැතිවුණාට පස්සේ තාත්තා හොඳටම අමුතු වුණා. දවස ගානෙ අම්ම ගැනම කිය කිය හැඬුවා. කෑමක් බිමක් ගැනවත් සැලකිිලිමත් වුණේම නැහැ.
අපේ කතානායක ඩී.ආර්. සිය අව්වේකී ජීවිතයේ ඉසිඹුවක් ලද වහාම තම බිරිය හා දූ දරුවන් ද කැටුව යන්නේ කතරගමටය. කතරගම දෙවියන් පිළිබඳව ඉමහත් භක්තිමතකු වූ හේ එහි බිරිය හා දරුවන් සමඟ දින කිහිපයක්ම නැවති ආපසු පෙරළා නිවසට එන්නේය.
“අපි තාත්තාට පුදුම බයක් තිබුණේ. ගෙදර ඉන්න දවස්වල අපි හරිම ශාන්තයි. හැබැයි අපේ තාත්තා මී විත ටිකක් තොලගා ඉන්න දවසට නම් මුළු ගෙදරම රස සාගරයක්. අහල පහල ගෙවල් වලටත් යන තාත්තා පාරේ යන අයටත් කතා කරල සංග්‍රහ කරනවා. අප දැකල තියෙනවා. ඇඳගෙන ඉන්න ඇඳුම අසරණයන්ට දෙනවා. අම්ම දකීවි කියලා ඒවා කරන්නේ හරිම හොරෙන්.
මේ පිළිසඳරට අප හා එක් වුයේ ඩී.ආර්. මහතාගේ මිනිබිරියක වන සඳමාලී දිසානායක මහත්මියයි.
‘අපේ සීයා තාත්තා, සීයා තාත්තාගේ දරුවන්ට වගේම අපටත් පුදුම ආදරයක් දැක්වුවා. නිවාඩු දවසට අපිව ළඟටම අරන් තුරුලු කරන් එළියේ ජම්බු ගහ යට බංකුවේ වාඩිවෙලා ඉන්නවා. සීයා තාත්තා දන්න කවි කතන්දර අපට කියල දුන්නා. අවවාද දුන්නා. අපේ ගෙදරට නිතරම නළු නිළියන් එනවා යනවා. ඉතින් ආච්චි අම්මාට සංග්‍රහ කරල ඉවරයක් නැහැ. සීයා තාත්තා ගෙදර ඉන්න දවස්වලට අපි ඉන්නෙම සීයා තාත්තාගේ තුරුලේමයි.
‘අපේ තාත්තා තනිව බසයකින් ගමනක් යද්දි අපුරු වැඩක් කරනවා යැයි සිනාබර මුවින් කියා පෑ දියණිය ශාන්ති මහත්මිය එය කීවේ මෙලෙසය.
මං බැඳලා මුල් කාලෙ උන්නේ බදුල්ලේ. පස්සේ දී තමයි මේවා ඔක්කොම අතැරලා දාලා පිටරටකට ගිහින් ආවේ. අපේ තාත්තා බදුල්ලට එනකොටත් ගෙදරින් පිටත් වෙලා එන්නේ ඔළුවේ ජටාවක් බැඳගෙන. ඒ මොකද කියනවා නම් මිනිස්සුන්ට අඳුරගන්න බැරිවෙන්න.
තාත්තාට පාරේ යන්න අමාරුයි. මිනිස්සු වටකර ගන්නවා. බදා ගන්නවා හිසේ කෙස් ගහක් හරි ඉල්ලනවා. මිනිස්සු තාත්තාට ආදරය කරපු හැටි දැකපු අපට පුදුමත් හිතුණා. ඒ වගේමයි... කියන්න තියෙන දේ මුහුණටම කියන පුරුද්දකුත් අපේ තාත්තාට තිබුණා.
මාව බඳින්න අහගෙන ආපු මගේ මේ මහත්තයා (පසෙකට වී අප පිළිසඳරට සවන් යොමා පසු වූ විශ්‍රාමික වතු අධිකාරිවරයකු වන පේ‍්‍රමසිරි දිසානායක මහතා එතැන් සිටම කටහඬ අවදි කළේය.
“ඒ කාලේ තරුණයෝ මුහුණ දෙපැත්තෙන් සයිඩ් බර්න්ස් තියනවානේ. ඉතිං මං ශාන්තිව අහගෙන ගෙදරට ගිය දවසේ එතුමා මං දිහා කෙළින්ම බලා උන්නා. හිනාවකුත් නැහැ. බලන බැල්මත් හරි නෑ. මං වවාගෙන හිටපු මගේ මුහුණේ සයිඩ් බර්න්ස් දිහා බලලා සැරෙන් මට කිව්වනේ “ඔන්න... ඔන්න ඕවාට නම් මං කැමතිම නැහැ කියලා.’යි කියු පේ‍්‍රමසිරි මහතා උස්හඬින් සිනාසුණේය.
කොලොන්නාව නගරයට නුදුරු ඩී.ආර්. මහතාගේ නිවස නැත. පසුකලෙක දූ දරුවන් විදේශ ගතවීමෙන් එම ඉඩකඩම් වල පදිංචිය සිටිනුයේ මුස්ලිම් වැසියෝය.
ඩි.ආර්. මහාතාගේ ඥාති පුත්‍රයකු වන ලක්ෂ්මන් නානායක්කාර මහතා එහි නගර සභාවට කළ ඉල්ලීමකට අනුව එම පෙදෙස ඩී.ආර්. නානායක්කාර පෙදෙස නමින් නාම පුවරුවක් සවි කරවුයේ එතුමා සිහිවීම පිණිසය.
එය වරින් වර ඇතැමුන් උදුරා දමා තිබියදී යළි එම නාම පුවරුව සවිකළ ඥාති පුත්‍ර ලක්ෂමන් මහතා කීයේ ‘අපේ බාප්පා ජීවත් වුණේ මෙතැනයි. කියාවත් ඉදිරි පරම්පාරවක් දැනගන්න ඕනනෙ. කීවේය.
‘අපේ තාත්තා අපි කවුරුවත් සිනමාවට සම්බන්ධ වෙනවාට කිසිම කැමැත්තක් තිබුණේම නැහැ. ෂුටිං හරි බලන්න අහම්බෙන් හරි අපට එක්කන් ගියේ අපේ ඇවිටිල්ලට.
මං මේ ටික කියන්නේ හරිම කනගාටුවෙන්. අපට මුකුත් ආධාර උපකාර වුවමනා නැහැ. අඩුම ගානෙ අපේ තාත්තා නමින් උපහාරයක්. එහෙමත් නැත්තම් අපේ තාත්තා රඟපෑ චිත්‍රපට උළෙලක් කරන්න කාටවත්ම ඕන කමක් නැති හැටි, ඒ ගැන අපට හරිම කනගාටුවක් තියන්නේ.’ යැයි බිඳුණු හඬින් පැවසු ශාන්ති නානායක්කාර මහත්මිය.
අපේ තාත්තාව රටට මතක් කරවන්න. අපත් එක්ක කතා කරන්න ආව වටින සරසවිය පත්තරයට අපි හැමෝගෙම ගෞරවය ප්‍රශංසාව පිරි නමනවා.’ යැයි ද ඕ කෘතවේදී සිනාවකින් පැවසුවාය.