මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

ඔක්තෝබර් 27, 2022

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
හීනෙන් හිත හී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉඟිළෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුව වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

ගී පද - අමිල තේනුවර
ගී නද - දර්ශන රුවන් දිසානායක
ගී හඬ - අමරසිරි පීරිස්
චිත්‍රපටය - සමනල සංධ්වනිය


පේ‍්‍රමය නිර්වචනය කිරීම හෝ එයට අර්ථකථන දීම කිසිසේත්ම පහසු නැත. මන්ද, පේ‍්‍රමය දැනෙන, විඳින, ලබන අයුරු එකිනෙකට වෙනස් වූ පුද්ගල බද්ධ, ආත්මීය හැඟීමකි.

මෙලොව තිබෙන ලස්සනම, සුන්දරම මෙන්ම, වේදනාත්මක හැඟීමක් ලෙස ‘ඒකපාර්ශ්වික’ ප්‍රේමය හැඳින්වීම වරදක් නොවේ යැයි හැඟේ. මන්ද, එය බෙදා ගැනීමට නොහැකි හදවත තුළ තෙරපගෙන, විඳින, විඳවන හැඟීම්, අත්විඳ ිඇති සිත්ම පමණක් දන්නා සුන්දරම, වේදනාව පිරුණු හැඟුම් සමුදායකි.

අප්‍රකාශිත ආදරය හමුවේ විඳවන, විඳින හැඟීම් තුළ ඇති මනෝලෝකය වරක ඉතාම සොඳුරු, විචිත්‍රවත් මනස්කාන්ත හැඟුමින් පිරි වෙනම ම ලෝකයකි. එහි දුකක්, සැපතකි. එහි කඳුළක් වරක සිනහවකි. එය තනිවම රහසේ විඳගන්නා විට වරක ඉතා මිහිරිය. රසවත් හැඟුමින් පිරි සැනසුම් සුසුමකි.

ඒත් තවත් විටෙක ඒ රසවත් හැඟුමම හද දවා අළු කරන රළු ගින්නකි. වියළි කතරකි. එවිට ඒකපාර්ශ්වික ආදරය තරම් දරුණු වේදනාවක් මෙලෙස නැති තරම්ය. මේ සියල්ලම පුද්ගල බද්ධ වූ හැඟීම් ය.

බොහෝ විට බොහෝ දෙනෙක් ජීවිතයේ එක වරක් හෝ ඒක පාර්ශ්වික ආදරයකට හිමිකම් කියා තිබෙන්නට පුළුවනි. එය සැබැවින්ම, එක දසුනකින්, එක වදනකින් හෝ එක හමුවීමකින් ඇති වුණු පේ‍්‍රමයක් විය හැකිය.

මේ ජීවිතයේ සමහර අවස්ථාවලදී බැඳෙන්නත් බැරි අත්හරින්නත් බැරි හමු්වීම් ඇති වේ. එවැනි බැඳීම් සමහර විට මුළු ජීවිත කාලය පුරාම හදවත පාරවන, රිදුම් දෙන, මතකයන් පමණක්ම ඉතිරි කළ හැකිය. එහෙත් ඒ පැරුණු සිත සනසන විඳිමක් එම ආලයම වුණු අවස්ථා අපමණය.

මෙම ගීතයෙන් කියවෙන්නේ ද එවන් හද පාරවන මතකයක, ඒක පාර්ශ්වික පෙම්වතෙකුගේ ළසෝතැවුලයි.

ඔහුට ඈ හමු වී ඇත්තේ ඉතා ඈතක බව, ‘ඉකි ගසා හඬන අතීතයක...’ යන යෙදුම තුළ සැඟව තිබේ. නොලැබෙන පේ‍්‍රමය ඉල්ලා හඬන්නට හිත ගොඩක්ම බොළඳ යෞවන වියේ දී, ඔහු තුළ මෙම ප්‍රේමය හටගෙන ඇති බව ඉන් ගම්‍ය වේ.

කාලය කෙමෙන් ගෙවී ගිය ද, ඒ හද සසල කළ ප්‍රේමය නිරතුරුව තමා සමඟ ජීවත් වෙමින් මතකය අලුත් කරමින් නින්ද සොරගෙන හද පාරවන බව ඔහු පවසයි. ‘මට මගේ නොවන, මගේම ආදරයක් තිබුණා...’ යනුුවෙන් ඔහු පුනරුච්චාරණය කරන්නේ, ඒ හැඟීම, ඒ ආදරය හදවතේ ගැඹුරුම තැනක සැඟ වී ඇති නිසයි.

කිසි දා සුව නොවන රිදුම් මතක ජීවිතවල තිබේ මේ, ඒකපාර්ශ්වික පේ‍්‍රමයක්, කිසිදා සුව නොවන වේදනාවකි. ඒ වේදනාව දරාගන්නට තිබෙන එකම ඔසුව සුසුම් පමණයි. සුසුම් ගල්වා වේදනාවක් සුව කළ හැකි ද නැත.... එය දරාගත නොහැකි රිදුමක් වූ මොහොතක දෙනෙතිත් කඳුළු ගලා ඒම කෙසේ නම් වළක්වන්න ද?

මේ සියලු වේදනා දරාගෙන ජීවත් වන්නට, ‘මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....’ යැයි ඔහු පවසන්නේ කෙතරම් වේදනාවකින් ද? ඉතාම හැඟුම්බර ලෙස ඔහු පවසන්නේ, ඒ ආදරයේ ගැඹුර හා බැඳීම් නොවෙනස් බව නොවේ ද?

සමහර පුද්ගලයින් පේ‍්‍රමය අයිතියක් කරගෙන පසුවන විට සහ අයිතියට පමණක් ප්‍රේම කරන මිනිසුන් ද සිටින පසුබිමක, සමහර හිත් තව කෙනෙකු වෙත බැඳෙන්නේ අයිතියක් නොමැතිවම, පේ‍්‍රම කරන්නටය. ඒක පාර්ශ්වික පේ‍්‍රමයේ ස්වභාවය එයයි.

විටෙක ඉතාම සුන්දර හැඟුමක් වූ ද, තවත් විටෙක ඉකි ගසා හිත හඬවන මතක සමඟ ගනුදෙනු කරවන, මහ රෑත් නින්දෙන් ඇහැරවන.... කළුවරේම සොයා වෙහෙසෙන, රිදුමක් සේ කිසි දිනක සුව නොවන පේ‍්‍රමයක් ඔබටත් තිබුණි නම්, ඒ හිත් දන්නවා ඒක පාර්ශ්වික ආදරය කොතරම් ගැඹුරු ද? අවංක ද? විශ්වාසනීය ද, සොඳුරු ද, වේදනාත්මක ද... යන වග.

ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයාගේ තවත් සිනමා නිර්මාණයක් වූ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයට ඇතුළත් වූ මෙම ගීතය, මේ වනවිට පොදු රසික සමාජය තුළ ඉතාම ජනපි‍්‍රය, ආදරයෙන් වැලඳ ගත් සදා නොමියෙන විරහ ගීතයක් බවට පත් වී තිබේ.

යොවුන් වියේ දී හදිසියේ දැක, සිත සොරාගත් පේ‍්‍රමයක් දීර්ඝ කාලයක් පුරා කෙතරම් සිත පාරවමින්, රිදුම් දෙමින් පුද්ගල බද්ධව පවතින්නේ ද යන්න පිළිබඳවත් පේ‍්‍රමයේ වෙනස්ම පැතිකඩක් ඉතා සියුම්ව විග්‍රහ කරන චිත්‍රපටයක් ලෙස එම සිනමාපටය හැඳින් විය හැකිය.

‘පිරිමියෙකුට ‘පේ‍්‍රමය’ ජීවිතයේ එක් දෙයක් පමණක් වූවාට ගැහැනියකට ‘පේ‍්‍රමය’ යනු ජීවිතයයයි. ඒත ඉතාම කලාතුරකින් පේ‍්‍රමය ජීවිතයම කරගත් පිරිමි ද නැතුවා නොවේ. මෙම චිත්‍රපටයේ වගීෂ ද එවන් ආදරයක් සිතෙහි සිරකරගත්, ඒ ආදරය මුළු ජීවිතය පුරාම විඳින, විඳවන, ඒක පාර්ශ්වික පේ‍්‍රමයක හිමිකරුවෙකි. ඔහු සිතින් පෙම්බැඳී ඈ ඔහුට වඩා වයසින් වැඩි මහලු ස්ති‍්‍රයකි. ඇය කෙරෙහි ඔහු තුළ ඇති වු පේ‍්‍රමය ඉතා ම ගෞරවණීයයි. ඒ පේ‍්‍රමයටත්, ඈටත් ඔහු එක සේ පේ‍්‍රම කරයි.

2013 වසරේ දී තිරගත වූ මෙය සංගීතමය දෘශ්‍ය කාව්‍යකි. එසේම සුන්දර පේ‍්‍රමවෘත්තාන්තයකි. යශෝධා විමලධර්ම, උද්දික පේ‍්‍රමරත්න ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූ සම්මානනීය චිත්‍රපටයකි. මේ ගීතයේ පද රචක අමිල තේනුවර සංගීතවත් කළ දර්ශන රුවන් හා ගීතය ගැයූ අමරසිරි පීරිස් ලංකා ලයිව් සහ හිරු සම්මාන හිමිකර ගත්හ.

ආදරයේ රසවත් බව හොඳින්ම විඳිය හැක්කේ, විරහව විඳ ඇති හිතකටයි. නමුත් විරහව විඳි, නොවිඳි බොහෝ රසික හදවත් සදා වැලඳගත් මෙම ගීතය මෙතරම්ම සහෘද හදට සමීප වන්නට, ගී පද රචනය මෙන්ම අමරසිරි පීරිස් ගායන ශිල්පියාගේ ගැඹුරු, හැඟුම්බර ලයාන්විත හඬ මුසුවත්, මියුරු සංගීත සංයෝජනයත් උපරීම සාධාරණය ඉටුකර තිබේ.

අචලා මුතුතන්ත්‍රි
[email protected]