වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
තාත්තාගේ මරණය අපට අදටත් සැකයි

අදින් ඇරැඹෙන විශේෂාංගය
“සිනමාවේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වුණත් පේ්රක්ෂකයන්ගෙන් එකම විසිල් පාරක්වත් ලැබුණේ නැති නළුවෙක් තමයි අපේ තාත්තා.”
විසිපස් වසරක සිය රංගන දිවියේ දී අවස්ථා ගණනාවක දී ම විවිධ සම්මානයට පාත්‍ර ව දුෂ්ටයාගේ චරිත නිරූපණයෙන් රටක් වඩාත් හඳුනා ගත් ප්‍රවීණ රූපණවේදී පියදාස ගුණසේකරයන්ගේ දූ දරුවන් නව දෙනකුගෙන් යුත් පවුලේ කලාභූෂණ සම්මානලාභි 70 දශකයේ ළමා පිටියෙන් ගායන දිවිය අරඹා ටෙලි නාට්‍ය ශිල්පිනියක ලෙසින්ද නමක් දිනූ බාලම දියණිය ලංකා රාජිනි ගුණසේකර මහත්මිය එසේ පැවසුවාය.
තම ආදරණීය පියාණන් පිළිබඳ මතකය ආවර්ජනය කරමින් පසු වූ ඕ වරෙක කඳුළු සඟවා ගන්නට නිෂ්ඵල වෑයමක යෙදුණාය. තවත් වරෙක සි්නා පිරි මුවින් බොහෝ දේ කියන්නට වුවාය.
‘ ඒ කාලේ අපි පාසල ඇරිල එද්දී මිනිස්සු කිව්ව කතා හින්ද අපි අසරණ වුණ වෙලාවල් තියෙනවා. අන්න අර ගෑනු හොරාගෙ දුව යනවා. ඔය මිනිහට හොඳක් වෙන්න එපා කිය කිය අපේ තාත්තාට සාප කරනවා. අපිට මහ මොකද්දෝ වගේ.
තවත් දවසක අපේ තාත්තා රඟ පෑ චිත්‍රපටයක් බලන්න අපේ නැන්දා කෙනෙක් ගියා. චිත්‍රපට හෝල් එකේ දී එක කාන්තාවක් උඩ පැන පැන අපේ තාත්තට නොසැහෙන්න බනිනවා ලු. ‘ඔය මිනිහාට හොඳක් වෙන්න එපා. ඕකාට ශාප වෙනවා -ශාප වෙනවා - කිය කිය හෝල් එකම දෙවනත් කරලා - පස්සේ බැරිම තැන නැන්දා නැගිටලා ඒ ගෑනු කෙනාට හොඳටෝම බැනලා - කට වහගන්නට - ඒ මගෙ සහෝදරයෙක් - කරන්නේ රඟපෑමක් කියලා.”
ඕ තොමෝ මදෙස බලාගන්තවනම සිට යමක් මතක් වූ වුවාක් මෙන් දෑස් ලොකු කළාය.
‘අනේ දන්නවද, අපේ රත්තරන් තාත්තාට කෙනෙක් කරපු හදියක්. ඒත් වයසක ගෑනු කෙනෙක් නැන්දලත් එක්ක තාත්තා උත්සවයකට සහභාගි වුණා. එතැන හිටිය වයසක ගෑනු කෙනෙක් උඹට වටිනවද මිනිහෝ ගෑනුන්ට ඔහොම කරන්න. උඹට නම් හොඳක් වෙන්නෙම නෑ කියල අනේ අපේ තාත්තාගේ මුණටම කෙළ ගහලනේ. තාත්තා හිනාවෙලා බිම බලාගෙන ඉඳලා. එදා නැන්දල ඇවිත් අම්මාට කිව්වාම අම්මාගෙ ඇස් දෙකට කඳුළු ආවා. ආ.. ඒව ගණන් ගන්න එපා. ඒ මගේ රඟපෑමට එයාලා වහල් වෙලා හින්දනේ කියලා තාත්තා අම්මගෙ හිස අතගාලා අම්මව සැනසුවා.”
මම නිහඬවම ඇය දෙස බලා සිටියෙමි.
‘අපේ තාත්තා අපේ ගෙදරටම ආලෝකයක්. තාත්තාගේ වැඩ කටයුතු ක්‍රමානුකූලයි. හරිම පිළිවෙළයි. කොයිතරම් කාර්ය බහුල වුණත් අපේ තාත්තා උන්නේ ගෙදරත් එක්කමයි.
අදටත් මගේ ජිවිතයේ මං දැකපු හොඳම පිරිමියා අපේ තාත්තා. දරුවන් හැමෝම තාත්තා ගෙදර නම් ඉරිදාවට ගෙදර එකතු වෙන්න ඕනා කියලා තාත්තා කියලා තිබුණේ. අපට හොඳට ඉගැන්වුවා. ප්‍රංශ, ජර්මන් ආදී භාෂා ප්‍රගුණ කරන්න ආසාව තිබුණේ මට. එයට තාත්තා අත දුන්නා. කලා හැකියාවන් මා තුළ ඇති බව දැන තාත්තා ඊට එරෙහි වුණේ නැහැ. මැජික් කාරයෙක් වාගේ අපේ තාත්තා අපි හැමෝටම හැමදේම දුන්නා.
ඒ කාලෙ මදුරාසියේ වාහිණී චිත්‍රාගාරයේ සැඩ සුළං රූගත කරද්දී එය මතක් වෙන්න අපේ ලොකු අක්කාට නම තැබුවෙත් වාහිණී කියලමයි.
තමන්ගේ දරුවන් ගේ සිතිවිලි එක්කමයි තාත්තාත් හිතන්න හුරුවෙලා හිටියේ. දරුවන්ට මානසික නිදහස දුන්නා. මං තාත්තා. මට ඕන විදිහටයි කියල තවදාවත් අපේ තාත්තා හිතුවේ ම නැහැ. දරුවන්ගේ ආදර සම්බන්ධතාවක දී වුණත් තාත්තා සොයා බැලුවා. ඒත් නීති රිති දමන්නේ නැහැ. දරුවෙකුට ආපු ලියුමක්වත් තාත්තා කඩා බලන්නේ නැහැ.
ඈ නෙතින් කඳුළු රූරා වැටෙයි. කුඩා දැරියක සේ අතකින් කඳුළු පිසදා ගත් ඕ සුසුමක් හෙළා ලය සැහැල්ලු කරගත් නිසාවෙන් මදෙස බලා සිනාවකින් මුව සරසා ගනියි.
‘මොන දේවල් තිබුණත් හරියට රෑ 9ට තාත්තා නින්දට යනවා. උදේ පාන්දර හතරට අවදිවෙලා තේ බොන ගමන් තමයි ගේ දොර, දරුවන්ගේ කටයුතු ගැන අම්මා එක්ක සාකච්ඡා කරන්නේ. හිමිදිරියෙම නාලා ඇවිත් පාර දිගේ ගිහින් මල් කඩාගෙන ඇවිත් බුදුන් වඳිනවා. ඒ සිරිත මගේ අයියලටත් තවම තියෙනවා.
අපේ තාත්තයි විජය මහත්තයයි හරිම එකතුයි. විජය නිතර අපේ ගෙදර ආවා. අපේ තාත්තාගේ හොඳ ගොඩක් තිබුණ මනුස්සයෙක් නේ. වැරදි අඩුවෙන් තියෙන්න ඇති. අපේ අම්මා හැමවිටම දරුවන්ට දුන්නේ තාත්තාගේ හොඳමයි.
සිනමාවේ දුෂ්ට චරිතයටම කොටු වී සිටි අපේ තාත්තාට මිනිස්සු බැන්නට සාප කළාට සමාජයේ ඉහළම පිළිගැනීමක් අපේ තාත්තාට තිබුණා. කල්යාමේදී අපට තාත්තා ගැන අගයක් දැනුණේ. ෂූටිං වලට දුර ඈතක මහ කැලේක වුණත් කොහේට හරි ගිහින් ගෙදරට කතා කරල සුවදුක් විමසන පුරුද්දක් අපේ තාත්තාට තිබුණා.
ඇත්තමයි. අනූන්ගේ දුකක දී පිහිට වෙන ගතිය කිසිම අඩුවක් නැහැ. අපේ දුප්පත් ඥාතීන්ගෙ, දන්න කියන දුප්පත් අයගේ හැමදේටම තාත්තා උදව් උපකාර කරනවා. මඟුල් තුලාවල් පවා තාත්තා තමන්ගේ වියදමින් කරවල එයාලත් එක්කම තාත්තත් සමූහ පින්තුරවලට ඉන්නවා. ඩෝබි ආවත්, යාචකයෙක් ආවත් ගෙට අඬ ගහල වාඩිවෙන්න පුටුවක් දීලා කෑම බීම දීලා අතට මුදලකුත් දීලයි පිටත් කර යවන්නේ.
අපේ තාත්තාගේ ගුණ කියලා නිම කරන්න නම් බැහැ. අඩුපාඩු වැරදි ඇති. හොඳ ගතිගුණ ගොඩයි. ඉතුරු කරන්න ඕනා කියන දේට වඩා අම්මාට අපට ඉහළින්ම සලකන එකයි තාත්තාට ඕනාකම වෙලා තිබුණේ.’
ඕ යළි බිම බලාගන්වනම හඬන්නීය.
‘ළමා ගීත පෝෂණය හා රූපවාහිනි රංගන, දායකත්වයට 2021 දී මම සම්මානිය වුණා. අපේ තාත්තා ගිය මඟ තාත්තා වෙනුවෙන් මමත් යමක් කළා කියල මං අදත් සතුටු වෙනවා.
අපේ තාත්තාගේ ජීවිත කතාව අලළා අපි ග්රන්ථයක් කරන්නට සැලසුම් කර තිබෙන්නේ.’ “පියදාස ප්‍රතිභාව“ ග්‍රන්ථය මගේ වාහිණි අක්කයි මමයි අප හැමෝම එකුත වෙලා භාරකාරත්වය මත ප්‍රකට ලේඛක ශෝන් මැක්ස්මස් දිසානායක මහතා ලියන්නේ. එයා ලබන වසර මුලදී එළි දක්වන්න ඉන්නේ.
කඳුළටම ඈ නෙත් රත් පැහැ වී ඇතැයි මට සිතිණි.
‘තාත්තාගේ මරණය අපට අදටත් සැකයි. වස ශරීරගත වූ බවක් වෛද්‍ය වාර්තාවෙන් කියැවුණේ, තාත්තාට වස දුන්නාද, වස බීවා ද, වස පෙව්වාද අදටත් අපි දන්නේ නැහැ. අපි අම්මාට සමීප වුණේ අපේ තාත්තා අපිව දාලා ගියාට පස්සේ. අපේ තාත්තා ආයේ එනවා නම්.... “ දියණිය ලංකා රාජිනී ගුණසේකර තම දෑතින් මුහුණ වසාගෙනම හඬන්නට වූවාය.