පොතක් අතට ගන්න අතීතකාමය තිබුණට නව තාක්ෂණයට අනුගත වෙන්නත් ඕනෑ

ප්‍රවීණ ලේඛක හෙන්රි වර්ණකුලසූරිය
ඔක්තෝබර් 20, 2022

 

හෙන්රි වර්ණකුලසූරිය නම කියවන විටම ඔබට සිහියට නැඟෙන නිර්මාණ රැසක් ඇති. ඒ අතරින් නාඳුනන තුවක්කුකරුවාගේ කතාව, විල්ලර වාඩිය, දඩකඳවුර, නිරුවත් ජීවිත සහ ළමා කෘතියක් වන ගමගෙදර යහළුවෝ අප දුටුවේ මුද්‍රිත කෘති ලෙසය. එහෙත් වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වුවත් ගත්කතුවරයකු සේම කෙටි චිත්‍රපටකරුවකු, සිනමා විචාරකයකු සහ මුහුණු පොතේ ඉතා ක්‍රියාකාරී ලේකඛයකු ලෙස නිරන්තර යාවත්කාලීන වෙමින් තම ක්ෂේත්‍රවල නව මං සොයමින් යන ඔහු සිය නිර්මාණ මිලදී ගැනීමේදී පවතින කඩදාසි ප්‍රශ්නය සහ මිලගණන්වල ඉහළ යෑම මත පාඨකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳ සැලකිලිමත් වෙමින් ඊබුක් සංකල්පය වෙත නොබියව ගමන් කළ කතුවරයෙකුගෙන් කෙනෙකි. මේ ඔහුගේ අලුත්ම නිර්මාණ සහ ඒවා පාඨකයන් වෙත පිරිනැමෙන ආකාරය පිළිබඳ කළ විමසුමකි.

ඔහු කතාවට එලැඹියේ මෙසේ පවසමිනි.

මගේ දැන් ඉලක්කය ඊ බුක්ස්. මෙය ඇත්තෙන්ම කතා කළ යුතු දෙයක්. මොකද ලෝකය අද එතැනට යමින් ඉන්නෙ. අනෙක මේ සාකච්ඡාවේ විශේෂත්වය ඊබුක්ස් ගැන කියන්නේ ඊපේපර් එකකින්. මෙතුවක් අප පොත්පත් ගැන කතා කළේ මුද්‍රිත මාධ්‍යවලින්. ඒත් සරසවිය ඊ පුවත්පත සමඟ ඊ පොත් ගැන කරන මේ කතාබහ මම හිතනවා සුවිශේෂයි කියලා. මොකද මෙය විද්‍යුත් මාධ්‍යයට පාඨකායා යොමුකරන දෙයක් නිසා.

එහෙනම් අපි විද්‍යූත් පොත් නැත්නම් ඊ බුක්ස් කියන්නේ මොනවාද කියලා හැඳීන්වීමකින්ම පටන්ගමු?

ඊබුක් සාම්ප්‍රදායික මුද්‍රිත පොතක විද්‍යුත් පිටපතක්. ඉංග්‍රීසියෙන් කිව්වොත් ඉලෙක්ට්‍රොනික් වර්ෂන් එකක්. එය කියවීමට ජංගම දුරකථනයක්, ටැබ් එකක් හෝ ඊ බුක් රීඩර් කියන උපාංගයක් භාවිත කරන්න පුළුවන්. ඊබුක් එකක් කියන්නේ ගූග්ල් සර්ච්වලින් ලැබෙන පීඩීඑෆ් එකක් නෙවෙයි. පීඩීඑෆ්වලින් අපි දිගට යමක් කියවද්දි ස්ක්‍රෝල් කරලා නැත්නම් උඩ ඉඳන් පහළට තල්ලු කරමින් බලන්නේ. එහි සමහර ඒවා ලොකු කුඩා වෙන්නේ නෑ. සමහර විට උපකරණයේ පරිමානයට ගැළපෙන්නේ නෑ. පිටු පෙරළන්නේ නෑ.

ඊබුක්ස්වල ඊට වඩා පහසුකම් තිබෙනවා. පිටු විදිහට පෙරළන්න, ඇඳේ ඉඳගෙන හෝ පොත බලමින් ඇඟිල්ලෙන් පිටු පෙරළන්න පුළුවන්. බුක් මාක් තියන්න පුළුවන්. අවශ්‍ය කොටස හයිලයිට් කරන්න පුළුවන්. ජම්පින් රෙෆරන්ස් කරන්න පුළුවන්. අවශ්‍ය වචනය සර්ච් කරන්න පුළුවන්. පිටු සද්දේ එනවා. එවැනි සුවිශේෂි වෙනස්කම් තිබෙනවා. අපට ස්වභාවයෙන්ම අතීතකාමයක් තිබෙනවා පොත්වල සුවඳ දැනෙන්න ඕනෙ කියලා. ඒත් ලෝකේ තාක්ෂණික දියුණුව සිදු වෙද්දි හෝ තාක්ෂණ පිමි පනිද්දි ලෑන්ඩ් ෆෝන් වලට වඩා දියුණු හෑන්ඩ්ෆෝන් එනවා. ඇමේසන්වල ඊබුක් රීඩර් කියලා තිබෙනවා. කැනඩාවේ කෝබෝ කියලා තිබෙනවා. කොරියාවේ තිබෙනවා වෙබ්ටූන් කියලා පහසුකමක් කොමික් පොත් නැත්නම් විහිළු කාටූන් කතා කියවන්න පුළුවන් විදිහට. පාසල් ළමයින් ඒකට හරි කැමැතියි. ඇමෙරිකාව, චීනය වගේ රටවල ඕඩියෝ බුක් (හඬපට පොත්) තිබෙනවා. ඒ පොත්වල දෙබස් තිබෙනවා නම් ඒ ආකාරයෙන් කියනවා. ඒවා ආසියානු රටවල පවා දැන් දැන් ප්‍රචලිත වෙමින් පවතිනවා.

 

ඔබ ඊ බුක් ක්‍රමයට හැරෙන්න හේතුව?

මුද්‍රිත පොත්වලට අවශ්‍ය කඩදාසි මිල ඉහළ ගිහින් නිසා පොත් මිලත් දරාගන්න බැරි තරම් ඉහළ ගිහින්. ආර්ථික ප්‍රශ්න හා පවුලක වියහියදම් සමඟ ඒ මිලගණන්වලට පොත් කීපයක් ගන්න බෑ. අනෙක කඩදාසි නිපදවන්නේ ගස්වලින්. ගස් කැපීමේ ප්‍රශ්නය ඉදිරියේදී දැඩිව කඩදාසි හිඟයට මුල පුරන නිසා අපි ඒ තත්ත්වයට සූදානම් වෙන්න ඕනෙ.

පසුගිය සැප්තැම්බර් මාසය වන විට මම මේ වසරට අලුත් පොත් තුනක් නිකුත් කර තිබෙනවා. එය මුද්‍රණය කරන්නේම නෑ කියන ස්ථාවරයේ මම හිටියා. 2021 අන්තිම පොත මුද්‍රණය කළේ. තවදුරටත් පොත් මුද්‍රණය කරමින් අසාධාරණ මිලකට යන්න හොඳ නෑ කියලා මට හිතෙනවා.

කාලය සමඟ සසඳද්දි නවකතාවක වුවත් පළමු මුද්‍රණය පිටපත් 2000 සිට 1000 සහ 500 දක්වා අඩුවෙලා. කවි පොත් නම් 250 ට අඩු වුණා. ඊබුක් වලට එහෙම නෑ. අනෙක පොතක් සොයා ගන්න නැති වුණාම අපේක්ෂාභංගත්වයට පත් වනවා. ඒ වගේම පොත තිබෙන බව දන්නේ නැති සේවකයන් ඉන්නවා. ඒ අයගේ බෙදා හැරීම දුර්වලයි. මේ සියලු ප්‍රශ්න ඊ බුක්වල නැහැ.

ඊබුක් එකක මිල ඉතාම පහළයි. ආයතනයට ආරම්භයේදී මූලික වියදමක් යනවා ඇප් එක හදන්න. ඉන්පසු ලොකු වියදම් නැහැ. මේ වසරේ මගේ පොත් හතරම ගුණසේන ආයතනයේ ගුරුළුගෝමී ඇප් එකෙකන් තමයි එළි දැක්වූයේ. ඒ හතර තමයි, උස්ගලටත් වතුර කියන පරණ පොතක් සහ විල්ලර වාඩිය, දඩකඳවුර , නිරුවත් ජීවිත. ඒ නිසා මගේ පොත් පරණ මිලටම ලබා දෙන්න හැකියාව ලැබුණා. ඊට අමතව 30% ක වට්ටමකුත් ලැබුණු නිසා පොත් වැඩි සංඛ්‍යාවක් මිල දී ගන්න පාඨකයාට අවස්ථාව සැලසෙනවා. නැත්නම් මේ යන රටාවට පොතක් කියවන්න ලොකු වියදමක්නේ.

තවත් වඩා දියුණු ඊබුක් ක්‍රමවේදයක් තමයි කේබුක්ස් කියන්නේ. කේරීඩර් මඟින් නොවැම්බර්වලදී අලුත් ඇප් එකක් එළි දක්වනවා. එයින් ඊබුක්ස්වලට අමතරව ඕඩියෝ බුක්ස් ලබාගන්න පුළුවන්. එහි විශේෂත්වය තමයි වෙන දෙයක් කරන ගමන් පොත අහගෙන ඉන්න පුළුවන් වීම. කේරීඩර් ඔස්සේ මගේ සිඳු රළ මැද නමැති නාවික හමුදා ජීවිතයේ අත්දැකීම් සහ ෆේස්බුක් එකේ උනන්දුවෙන් ලියූවෙකු ලෙස මුද්‍රණයෙන් එළි දැක්වූ නොකී කතා, කී නොකී කතා සහ අලුතෙන්ම ලියූ එකී මෙකී නොකී කතා සමඟ නාඳුනන තුවක්කු කරුවාගේ කතාව, ගම ගෙදර යහළුවෝ ළමා පොත එළිදකිනවා. ගම ගෙදර යහළුවෝ ගැන විශේෂ දෙයක් කීවොත් එය අවුරුදු ගණනාවකට කලින් ලියූවක්. වර්ණ මුද්‍රණය සඳහා විශාල මුදලක් වැය වන නිසා කළුසුදු මුද්‍රණයක් කළේ. ඒත් ඊබුක් ක්‍රමය නිසා දැන් ජපානයේ මගේ මිතුරියක් වන පශු වෛද්‍ය ශ්‍යාමලී ඉරේෂා රණතුංග අඳීන සතුන්ගේ චිත්‍ර වර්ණ සහිතව යොදාගන්න පුළුවන් වුණා. ඒ වගේම සෝදුපත් අප සාමාන්‍ය ආකාරයෙන් නිවැරැදි කර තැබුවත් යම් අත්වැරැදීමක් වුණොත් එය ඊළඟ මුද්‍රණය දක්වා බලා නොසිට ඉක්මනින්ම නිවැරැදි කරගැනීමේ හැකියාවත් මේ ක්‍රමයේ තිබෙනවා.

 

ඔබේ ඊබුක්ස් සඳහා ලැබුණු ප්‍රතිචාරය ?

මුලින්ම මගේ විද්‍යුත් පොත් පාඨකයාට ලැබෙන්නේ සැප්තැම්බර් 22 පමණ සිටයි. මා සමඟ තවත් ලේඛකයන් කීපදෙනකුගේත් ඊ පොත් ඒ සමඟ නිකුත් වුණා. සාමාන්‍යෙයන් අපට කර්තෘභාග ගෙවන්නේ කාර්තු ක්‍රමයට. ඒත් මේ වෙද්දි පොත් අලෙවි වෙලා කියලා ගෙවන්න ලෑස්තියි කියා මට ප්‍රකාශකයන් ඇමතුමක් දී කීවා. එයින් මට මෙහි කිසියම් ප්‍රවණතාවක් තිබෙන බව දැනෙනවා. දැන් අවශ්‍ය වන්නේ මේ ක්‍රමයට පුරුදු වෙන්නයි එය බය නැතිව භාවිත කරන්නයි තමයි.

මේ ඊබුක්ස් අලුතින් එද්දි අප දැනගන්නේ කොහොමද?

ඇප් එක දාගත්තාම නොටිෆිකේෂන් එනවා. නැත්නම් සර්ච් කර හොයාගන්නත් පුළුවන්. කාට් එකට දාලා පේමන්ට් කළාම අපට ලැබෙනවා.

 

ඇප් එක සහිත දුරකථනය අස්ථානගත වුණොත් ?

ඊබුක්ස් සඳහා පොදුවේ ලියාපදිංචි වන්නේ ඊමේල් හරහා. එවිට විද්‍යුත් ලිපිනයට අයත් යුසර් නේම් පාස්වර්ඩ් දෙනවා. ඒක නිරන්තර නිරීක්ෂණය වෙනවා. ඒ නිසා එකම ඊමේල් එකකින් කීපදෙනෙක් එකවර ආවොත් ඒ හිමිකරුගේ ලියාපදිංචිය අවලංගු කරනවා. ලෝකෙත් එහෙමයි. ඒ වගේම සත්‍යවාදී හේතුවක් මත දුරකථනය හෝ පරිගණකය අක්‍රිය වීමක්, අස්ථානගත වීමක් සිදු වුණොත් ඒ ඊමේල් අංකයෙන් වෙනත් යන්ත්‍රයක් ඔස්සේ තමන්ගේ ලියාපදිංචියට අනුව පොත් කියවන්න පුළුවන්.

 

ඊමේල් හැක් කළොත් ?

ඒක තමන්ගේ වගකීමක්.

 

අපි ඉස්සර පොතක් ගත්තාම එය මිතුරන් අතර බෙදාගෙන බලනවා?

දුරකථනය හෝ පරිගණකය වගේ දෙයක් තමන්ට විශ්වාස අය අතර ඒ කියන්නේ ගෙදර අයට වගේ නම් එහෙම පුළුවන් බෙදාගෙන බලන්න. ඒත් පිටස්තර අයට පොත මිලදී ගන්නම වෙනවා. මුද්‍රිත පොත වගේ නිදැල්ලේ යවන්න බෑ.

 

මේ ක්‍රමයට යන ග්‍රන්ථ කර්තෘවරුන්ගේ වගකීම් මොනවාද?

කර්තෘවරයා හැටියට ඉස්සර වගේම දැනටත් අපෙන් ඉල්ලන්නේ පරිගණක යතුරුලියනය කළ අත්පිටපත. ඒත් එය අත්‍යවශ්‍ය නෑ. අතින් ලියා දුන්නත් ප්‍රශ්නයක් නෑ. ටිකක් කල්ගත වනවා පමණයි. අපට විශේෂ වගකීම් කියා නෑ. මුද්‍රිත පොතට වගේම තමයි කටයුතු කළ යුත්තේ.

ප්‍රකාශකයා අලෙවි කළ පොත් සංඛ්‍යාව කර්තෘ දැනගන්නේ කෙසේද?

ලේකඛයාට ප්‍රවේශයට අවසර දෙනවා තමන්ගේ පොතේ අලෙවිය පමණක් බලන්න. එනිසා කාටවත් හොර කරන්න බෑ එතකොට. කර්තෘ වංචාකරුවෙක් නම් පාඨකයාට ඕන තරම් බොරු කරන්න, කියන්න පුළුවන්. එහෙම ලේඛකයන් පාඨකයන්ට නොවේ තමන්ටමයි වංචා කරගන්නේ. සමහරු කියනවා පොත් ලක්ෂගණන් විකුනුණා කියලා. ඒවා විචාර බුද්ධියෙන් විමසන්න අවශ්‍ය දේවල්.

 

ඊබුක්ස්වල දුර්වලතා මොනවාද?

දුරකථන, පරිගණක තිර වැඩිදුරටත් ඇහැට සෞම්‍ය වනවා නම් හොඳයි. ඊරීඩර් වගේ උපකරණ කෙළින්ම එයට සරිලන පරිදි සැකසී තිබෙනවා. සමහර විට අපේ උපකරණවල ඇතිවන දෝෂ නිසා පත්වන අපහසුතා ගැනත් සැලකිලිමත් වන්න සිදුවනවා. ලෝකෙ හැම දේම තාක්ෂණිකව ජයගෙන තිබෙන නිසා ඒවාටත් ඉදිරියේදී ක්‍රමයක් හැදෙයි. කොහොම කළත් මම විශ්වාස කරන විදිහට ටයිම් සඟරාව වගේම විවිධ පත්තර පවා ඊ පුවත්පත් බවට පත් වුණානෙ. ලංකාවේ දැනට මුද්‍රිත හා ඊ යන ක්‍රම දෙකටම පුවත් පත් සහ සඟරා පළ වෙනවා. ඒ නිසා ඉදිරියේදී ඉලෙක්ට්‍රොනික පුවත්පත්, සඟරා සහ පොත්වලට ඉල්ලුම වැඩි වෙයි.

 

ඊ බුක්ස් ගැන ඔබේ ඉදිරි බලාපොරොත්තුව?

මම අධ්‍යයනය කළ තාක්ෂණයේ ඉදිරිය තමයි වර්චුවල් රියැලිටි කියන දෙය. හෙල්මට් එකක් දාගත්තාම සිනමා ශාලාවක වගේ දැනෙනවා. අපි ඉන්න තැන කුමක් වුවත් අපට ශාලාවක ඉන්නවා වගේ චිත්‍රපට බලන්න පුළුවන්. වීආර් තාක්ෂණය එසේ දියුණු වෙද්දි පොතක් කියවන්නත් ඒ තාක්ෂණය යොදා ගන්න පුළුවන්. මොකද අපි ඉන්නේ මේසයක් පුටුවක් තිබෙන තැනක වුවත්, ඇඳක් මත ඉඳගෙන කියෙව්වත්, එතැන ඉඳගෙන තමන්ට කැමැති පරිසරයක ඒ කියන්නේ ගං ඉවුරක හෝ මිටියාවතක ඉඳගෙන පොත කියවනවා වගේ හැඟීමෙන් යුතුව පරිගණකයෙන් තැනූ පරිසරයක ඉඳන් කියවීමේ හැකියාව ඉදිරියට එයි.

මම දිගටම ඊබුක්ස්මයි කරන්නේ. ලෝකේ තිබෙනවා ග්‍රැෆික් නවල් ඒ කියන්නේ විචිත්‍රකරණය කරන ලද නවකතා. පොත කියවද්දි එහි අවස්ථාවල පසුබිම ග්‍රැෆික් මඟින් තැනෙනවා. ඒ ආකාරයේ ග්‍රැෆික් නවල් ක්‍රමයේ කෙටි කතාවක් නොමිලේ පාඨකයන්ට නිකුත් කරන්න සිතා සිටිනවා. එහි චිත්‍ර හැදෙන්නේ ආටිෆිෂල් ඉන්ටලිජන්ස්වලින්. එය කියවන කෙනාට රූපය පෙනෙනවා. කියවන කොටසත් සමඟම සිදුවීම නිර්මාණය කරනවා. මගේ පුතා කලාත් වර්ණකුලසූරිය තමයි එය නිර්මාණය කරන්නේ. මෙය කෙටි කතාවකටත් වඩා කුඩා කතාංගයක් සඳහා කරන්නේ අත්හදාබැලීමක් විදිහට.

 

එය පාඨකයාගේ පරිකල්පනයට යම් බලපෑමක් කරනවා නේද?

එහෙම දෙයක් නම් තිබෙනවා. සමහර විට ඒ මැවෙන ග්‍රැෆික් නිර්මාණය ලේඛකයා මවාගත් රූපය නොවෙන්න පුළුවන්. අපට චරිත සඳහා අවශ්‍ය රූප වුවත් මේ ක්‍රමයට දෙන්න පුළුවන්. එහි වෙනස වන්නේ අපේ යෙදුම නැත්නම් ඉන්පුට් එකට අනුව සැදෙන දෙයක් මිස ලේඛකයා හෝ පාඨකයා මවන පසුබිම හෝ චරිත නොවන්න පුළුවන් වීමයි. මෙහිදී අපි නම් නවකතා ලියයි. ඔබ කියන විදිහට පරිකල්පනය කරමින් කියවන පාඨකයන්ට වඩා මෙය තමන්ට ලැබෙන දේ කියවන අයට හොදයි. අද ලෝකය බොහෝ විට ගමන් කරන්නේ තමන් දෙයක් හිතනවාට වඩා බලහත්කාරයෙන් දේවල් අප අතට පත් කරන ආකාරයෙන්නේ. ඒ අනුව බලන විට මෙය ඒ ක්‍රමයට කැමැති අයට හොඳ දෙයක් වෙයි. ඒ නිසා මේ වසර අවසානයට පෙර ඒ පොත නිකුත් කරනවා. මම කොහොමත් අත්හදා බැලීම්වලට කැමැති නිසා ඒ අවදානම ගන්නවා.

 

ඊ බුක්ස් තෑගි කරන්නත් පුළුවන් නේද?

තෑගි කරන්න පුළුවන්. හැබැයි ඒකට අපි තෑග්ග ලබන කෙනා වෙනුවෙන් එකවුන්ට් එකක් ඕපන් කරලා එය ඔහු හෝ ඇයට ලබා දෙන්න ඕනෙ. අත්සන ගහල පොතක් දෙන තරම් පහසු වන්නේ නෑ එය. අදාළ කෙනාට යූසර් නේම් පාස්වර්ඩ් දෙන්න වෙයි. ‘ගිෆ්ට් අ බුක්‘ පහසුකම ඊ බුක්ස්වල තිබෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒ යූසර් නේම් පාස්වර්ඩ් අනුව. එවිට පොත ලැබෙනවා. ඒ බව ඊමේල්වලින් දැනුම් දෙනවා. මේ ආකාරයට වැඩි දෙනෙක් පොත් කියවයි. හැබැයි ඉතින් අපි කුඩා කාලේ කළා වගේ පොත් හුවමාරු කරගෙන බලනවාට වඩා හුදෙකලා සංස්කෘතියක් හැදෙයි.

 

පිටරටවල ඊ බුක්ස්වලට ඇති ඉල්ලුම ගැන ඔබ සොයා බැලුවාද?

ලෝකය පුරා 70% මුද්‍රිත කෘතිවලට සහ 30 % ඊපොත්වලට කැමැති බවයි සංඛ්‍යාලේඛන අනුව දකින්න තිබෙන්නේ. ඇමරිකාව චීනය වැනි ඒවා වේගයෙන් ඊබුක්ස් පැත්තට යනවා. කොරියාව, ඉන්දියාව වගේ රටවලුත් දැන් දැන් ඊබුක්ස් පැත්තට යොමු වෙනවා. ලංකාව නම් දැන් තමයි උනන්දු වන්නේ. මේ තාක්ෂණය හරියට නොකළොත් ප්‍රශ්න එනවා. ලෝකෙ ඒ තාක්ෂණය තිබෙන නිසා අනාගතයේදී හැමෝම යා යුතු තැනට පත්වෙයි මේ ක්‍රමය.

 

ඔබ ඉදිරි වසරටත් නිර්මාණයක් සූදානම් කරගෙනද ඉන්නෙ?

මෑතදී උණු උණුවෙන් නිකුත් වුණේ නිර්ණාමික පෙම්වතිය, 18+ වාසෙත්තමී සහ තවත් කතා කෙටි කතා පොත අලුතින් නිකුත් වුණා. ලංකාවේ දැනට පරිවර්තනය වුණු එකම කියුබානු කෙටිකතා පොතත් නැවත මුද්‍රණය වුණා ඝාතනය සහ වෙනත් කතා. ලාංකික සිනමාවේ පතිරාජ ලකුණ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉල්ලීම මත යළි මුද්‍රණය කළා. ඉතින් ඊළඟ පියවර ගැන තාම හිතන්න වුණේ නෑ. ලබන වසරේ තමයි නැවත අලුත් නිර්මාණයක් ගැන හිතන්නේ.

 

ඔබ ග්‍රන්ථකරණයට වගේම චිත්‍රපට පිළිබඳවත් උනන්දුයි?

වෘත්තාන්ත සිනමාවට එන්න හීන දැක්ක අපේ ඒ හීන ක්‍රමයෙන් හීන වුණා. සිනමාව පිරිහුණේ සිනමාකරුවන් විසින්ම නිෂ්පාදකයන් නැතී කරගත්ත නිසා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට මොනවා හරි රූප හදල පෙන්වූ නිසා ප්‍රෙක්ෂකයන් සිනමාවෙන් ඈත් වුණා. රූපවාහිනිය හෝ වෙන තාක්ෂණික මෙවලම් අවා කියලා සිනමාවට ලොකු බලපෑමක් වුණ බව නම් මම විශ්වාස කරන්නේ නෑ. ප්‍රේක්ෂකයන් ටෙලි නාට්‍ය බලන්න සිනමා ශාලාවට යන්නේ නෑනේ. මනිරත්නම්ගේ පොන්නියන් සෙල්වන් 1 බලන්න පොරකකා සෙනඟ යනවානේ. ඒ නිසා වෙලා තිබෙන්නේ චිත්‍රපට බලන්න මිනිස්සු නෑ නෙවෙයි, මිනිසුන්ට බලන්න චිත්‍රපට නැති එකයි. මමත් පිටපත් ලියාගෙන ඉන්නවා. ඒත් මේ පවතින ආර්ථික රටාව සමඟ අමාරුයි තනියම නිෂ්පාදනයකට යොමු වෙන්න. තරුණ කාලේ වගේ කැපවෙන්නනත් බෑනේ දැන්. ඒ නිසා අවස්ථාවක් ලැබුණොත් කෙටි චිත්‍රපටයක් වගේම වෘත්තාන්ත චිත්‍රපටයකුත් කරන්න කැමැත්තෙන් ඉන්නෙ.

 

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න